කසාදය

දැන් අපි බැඳල ඉන්න වෙන්නෙ කොලඹ නේද? ඔයාට හෙඩ් ඔෆිස් එකට ට්‍රාන්ස්ෆර් එකක් ගන්න වෙයි නේද? මම නම් කැමති ඔහෙ එන්න. ඒත් දන්නවනෙ ඇඩ්වටයිසින් ඒජන්සි තියෙන්නෙ කොළඹනෙ හොඳ ඒවා”

සාරන්‍යා එහෙම්ම කිව්වෙ භානුකට. භානුකයි සාරණ්‍යායි යාලුවෙලා දැන් අවුරුදු හතරක් විතර. දෙන්නම ඉගෙනීම් කටයුතුත් ඉවර කරල නිසා දැන් කසාද බැන්දනම් හොඳයි නේද කියන යෝජනාව ආවෙත් සාරණ්‍යාගේ පැත්තෙන්.

දෙන්නගෙම ගෙවල් වලින් කතා කරලා මේ කටයුතු එහෙනම් සූදානම් කරමු කියල පවත්වපු තේ පැන් සංග්‍රහය තිබ්බේ ගිය සෙනසුරාදා. උදේම නැගිටල බස් එකේ කොලඹ යන ගමන් සාරණ්‍යා මෙහෙම ඇහුවෙ භානුකගෙන්.

දෙන්නම කරන්නෙ හොඳ පඩියක් ලැබෙන රස්සා දෙකක් නිසා පුංචි තැනක් කුලියට අරගෙන අලුත් ජීවිතේ පටන් ගන්න ජීවිතයක් ගැන හීනයක් සාරණ්‍යාට තිබුනා. උදේම නැගිටල දෙන්නටම කෑම හදන් යන්න, ගේ අස් කරන්න, ගෙදරට ඕන කරන ජාති නිවාඩු පාඩුවෙ අරගෙන යන්නත් ඒ හීනවල ලියලපු අතුවල එල්ලිල තිබුණා.

“එහෙම ලේසියෙන් කොළඹ සෙට්ල් වෙන්න බෑනෙ?”

“ඇයි එහෙම කිව්වේ?”

“ඔයා හිතන්නෙ ගෙයක් ගන්න එක ලේසියි කියලද?”

උදේ පාන්දරක වුණත් භානුකගෙ කටහඬේ තිබුනේ නොරිස්සුමක්. ඒ මේ උදේ නැගිටල තමන් එක්ක කතා බහ කරන්න උන නිසාද එහෙම නැත්තම් තමන් කතා කරපු මාතෘකාව ගැන කතා කරන්න ආව අකමැත්තක්ද කියල සාරණ්‍යාට හිතා ගන්න බැරිවුණා.

“ගෙයක් ගන්න නෙවෙයි මම කියන්නෙ අනේ අපි දෙන්නට ඉන්න තැනක් බලමු. මුලින් අපි රෙන්ට් අවුට් එකට තැනක් ගමු. අනික තාත්තල උදව් නොකර ඉන්නෙ නෑනෙ”

“ඔයාගේ තාත්තාට උදව් කරන්න පුලුවන් උනාට අපෙ ගෙදර අයට එහෙම ලොකු සල්ලියක් නෑ කියල ඔයා දන්නවනෙ. අනික ඉන්න තැනක් ගන්නවනම් කොළඹින්ම ගන්න ඕන. නැතුව මේ මහරගම පැත්තෙ  අරගෙන වැඩකුත් නෑ. අනික කාර් එකක් නැතුව කොළඹ ට්‍රැවල් කරන්නත් ලේසි නෑ. ඒ ඔක්කොම කරන්න සල්ලිත් නෑ”

“සල්ලි නෑ කියන්නේ ? අපි දැන් අවුරුදු පහක් විතර වෙනවනෙ රස්සාව කරන්න පටන් අරගෙන. මම සල්ලි ටිකක් එකතු කරගෙන ඉන්නෙ.වෙඩින් එක පොඩියට අරගෙන පොඩි තැනකින් රෙන්ට් එකට ගෙයක් ගන්න පුලුවන්. අනික අම්මලත් උදව් කරනවනෙ. මම ෆ්‍රී ලාන්ස් ප්‍රොජෙක්ට්ස් දෙකකටත් තව ජොයින් උන නිසා මැනේජ් කරගන්න පුලුවන්.

ඔයා ළඟ කොයි තරම් සල්ලි ඉතුරු වෙලා තියෙනවද?”

“මගෙ ලඟ කීයක්වත් ඉතුරු වෙලා නෑ එහෙම ලොකු දෙයකට වියදම් කරන්න”

ඒ උත්තරේ තමා භානුකගෙන් අහන්න බලාපොරොත්තු උනේ නෑ නේද කියන සිතුවිල්ලත් එක්ක පොඩි වෙලාවක් නිහඬ උනාට ඒ නිහඬතාවයේම සදාකල් ගිලිල ඉන්න බෑ කියන කාරණාව සාරන්‍යා දැනගෙන උන්නා. ඒ නිසාමයි එයා ඊලඟ ප්‍රශ්නෙ ඇහුවෙ.

“සල්ලි නෑ කියන්නෙ? මෙච්චර කල් හම්බ කරපුවට ඔයා මොකද කරේ?”

“ඒවයින් ඉන්ටනෙට් බිල් ගෙවල, ඇඳුම් එහෙම අරගෙන, කෑම ගෙදරට ගත්තම ඔක්කොම ඉවරයි”

“ඔයාට මට වගේ දෙගුණයක් විතර සැලරි එකක් ලැබිලත් ඔයා කියන්නෙ කීයක්වත් සේව් කරගත්තෙ නෑ කියලද? මමත් සල්ලි ඉතුරු කරගත්ත නම් ඔයාට ඇයි බැරිඋනේ?’

“මම දන්නෙ නෑ බිල් ගෙවල ඉවර උනාම සල්ලි ඉවර වෙනව. ඔයාට වගෙ නෙවෙයිනෙ. මම ෆ්‍රීලාන්ස් එහෙම වැඩ කරන්නෙ නෑ”

“ඉතින් අනේ ඔයා ගෙදර ඉඳලනෙ ගොඩක් වර්ක් කරන්නෙ. මොකක් හරි වැඩක් ආවම විතරනෙ ඔයාට යන්න තියෙන්නෙ. ෆ්‍රීලාන්ස් වැඩ ටිකක් හරි කරන්නකො. ඔයාට ඩිසයින් එහෙම හදන්නත් පුලුවන් නේ”

“මට බෑ. මට මහන්සියි. අනික මම ආස නෑ ෆ්‍රී ලාන්ස් වත් වැඩ කරන්න”

ඒ කතාව තව දිගට කරගෙන යන එක තේරුමක් නෑ කියල තේරුම්ගත්ත නිසා කතාව නැවැත්තුවට. භානුක කියපු දේවල්වලින් දිගට හිතන්න දේවල් තියෙන බව සාරන්‍යා නොදැන උන්නා නෙවි.

අවුරුදු පහක, හොඳ පඩියක් ලැබෙන රස්සාවක් කරා කියන්නේ සල්ලි කීයක් හරි ඉතුරු කරගන්න හේතුවක් බව සාරන්‍යා නොදැන උන්නා නෙවි.

“තාත්තට සල්ලි තිබුනට අනේ බෝඩිමටත් ගෙවන්, කන බොන ඒව ඇඳුම් පැලඳුම් වලට වියදම් කරගත්තෙ මම නේ”

හිත් වේදනාව එලියට දාගන්න සාරන්‍යා තමන්ගෙ ඔෆිස් එකේ එහා මේසෙ වාඩිවෙලා ඉන්න දිනිතිට එහෙම කිව්වා.

“ඉතින් අනේ මෙච්චර කල් හම්බ කරපුවට එයා මොනවද කරල තියෙන්නෙ?”

දිනී එහෙම ඇහුවෙ දහයට හම්බෙන ටී එක බොන ගමන්. හිත රිදිල ඉන්න යාලුවගෙ හිත සනසන්න වගේ.

“මට තේරෙන්නෙ නෑ අනේ. එයාට සමහර දවස්වලට වැඩක් ඇත්තෙම නැති තරම්. ඩිසයිනින් එහෙමත් හොඳට පුලුවන් නිසා මම කිව්ව ෆ්‍රීලාන්ස් වැඩ ටිකක් අරගෙන කරන්න කියල. ඒකටත් කැමති නෑ”

“සමහරවිට ජොබ් එක කරන්නෙ ගෙදර ඉඳලම නිසා එයාට කම්මැලි ඇති”

“එහෙම හිතාගෙන හිටියට එයාගෙ යාලුවො කොහෙ හරි යන්න කතාකරාමයි බොන්න කතාකරාමයි ඒවට යන්න ඕනවටත් වඩා සල්ලි තියෙනව. වෙලාවත් තියෙනව. කම්මැලිත් නෑ”

“දැන් ඔයා මොකද කරන්න හිතන් ඉන්නේ?”

“මට හිතාගන්න බෑ මොකද කරන්නෙ කියල”

“බැන්දට පස්සෙත් මනුස්සය සල්ලි නාස්ති කරන කෙනෙක් උනොත් කෙල්ලෙ ඔයාට තමා ලොකුවටම කට්ට කන්න වෙන්නෙ. තේරෙනවනෙ මං කියන දේ”

ඒ කතාවෙ ගත යුත්තක් තියෙන බව දැනගෙන හිටියත් කරන්න ඕන මොකද්ද කියල සාරණ්‍යාට හිතාගන්න බැරිඋනා.

මේ ගැන තමන්ගෙ අම්මල තාත්තල එක්ක කතා කරන්න ගියොත් හොඳටම බැනුම් අහන්න වෙන බවත් සාරන්‍යා දැනගෙන උන්නා. අම්මල හිතන් ඉන්නෙ භානුක තමන් වගෙම සල්ලි ටිකක් ඉතුරු කරගෙන අරපිරිමැස්මෙන් ජීවත් වෙන කෙනෙක් කියල මිසක් මේ වගේ කෙනෙක් නොවන බව සාරන්‍යා දන්නවා.

අනික තමන්ගෙ සම්බන්ධෙ නොදන්න කෙනෙක් නැති තරම්. ඉතින් ලැජ්ජාවට පත් වෙන්නත් බැ.

ඒත් කසාදෙ කියන්නෙ ලෝකෙ මිනිස්සු කියන දේවලට බයේ කරගන්න ඕන දෙයක් නොවන බව සාරන්‍යා දැනන් හිටියා. ඒ වගේම කසාදයක් ඇතුලෙ දෙන්නගෙම කැපවීම කොයිතරම් වැදගත් ද කියන එකත් දැනගෙන හිටියා.

ඉතින් මේ ඇවිත් තියෙන්නෙ මේ කසාදය කරගන්න කලින් තව දෙතුන් පාරක් හිතන්න ඕන වෙලාවක් බව තේරුම් අරගෙන සාරන්‍යා ආයෙමත් ලැප්ටොප් එක දිහාවට හැරුනෙ හවසට බෝඩිමට ගිහින් නිස්කලංකෙ මේ ගැන භානුක එක්ක කතා කරනව කියල හිත හිත.

More Stories

Don't Miss


Latest Articles