අවබෝධය

රමේෂ් ,ලක්ෂිකාගේ කාර්යාලය ළඟට ඇවිත් වාහනය නතර කරගෙන ඉඳලා විනාඩි 20 කුත් ගතවෙලා තිබුණා.හදිසියේ යෙදුන රැස්වීමක් නිසා තරමක් ප්‍රමාද වන බව ලක්ෂිකා කෙටි පණිවිඩයකින් කිව්වේ රමේෂ් ඇගේ කාර්යාලය ළඟට ආවටත් පස්සේ.රොමේෂ්ගේ බෝඩිමේ සගයා වගේම හොඳම යාළුවා උන පවන් එක්ක දුරකථන ඇමතුමක ඉන්න අතරේ වාහනයේ පැති කණ්නාඩියෙන් ලක්ෂිකා එන හැටි රමේශ් දැක්කා

” හරි මචං මම උඹට පස්සේ ගන්නම් “

එහෙම කියමින් රමේෂ් දුරකථන ඇමතුම විසන්ධි කරනකොටම ලක්ෂිකා වාහනයට නැග්ගා.

” කවුද කතා කළේ ?”

ආසන පටිය පැළඳ ගන්නත් කලින්ම ලක්ෂිකා ඇහුවේ එහෙම

” මේ අපේ පවන් “

රමේෂ් වාහනය පණ ගන්වන ගමන් පිළිතුරු දුන්නා.

” කතා කළේ පවන් නම් ඇයි මම එනකොටම කට් කලේ ? “

ලක්ෂිකා ආයෙමත් ඇහුවේ තරමක් සැරෙන්.

” ඔයා ආපු නිසා තමයි කට් කලේ. ඔයා පරක්කු වෙනවා කියලා මෙසේජ් එක දානකොටත් මම මෙතන. ඉතිං මම කම්මැලිකමට වගේ ඌට කෝල් එකක් ගත්තා “

වාහනය පාරට දාන ගමන් රමේෂ් එහෙම කියද්දී , ලක්ෂිකා පසෙක තිබුන රමේෂ්ගේ දුරකථනය අනවසරයෙන්ම අරගෙන තප්පර කිහිපයක් එය පරික්ෂා කළා.ඊට පස්සේ නිහඬවම දුරකථනය තිබුණ තැනින්ම තිබ්බා.

රමේෂ්ගේත් ලක්ෂිකාගේත් ප්‍රේම සම්බන්ධයට ඒ වෙනකොට වසර තුනක් පමණ ගත වෙලා තිබුණා.එයට දෙමාපියන්ගේ ආශිර්වාදය ලැබිලා තිබුණත් රටේ පවතින තත්වයත් එක්ක විවාහ මංගල උත්සවය කල් දමන්න රමේෂ් වගේම ලක්ෂිකාත් කටයුතු කලා.

” කවුද රමේෂ්, මන්දාකිණි කියන්නේ ? “

ලක්ෂිකා ඇහුවේ ඇගේ දුරකථනය දිහා බලාගෙන

” මොන මන්දාකිණි ද ?”

” මන්දාකිණි සමරනායක “

” හප්පේ. ඒකි අපේ ඉස්කෝලේ. හරිම හොඳ කෙල්ලෙක් “

රමේෂ්ගේ මුහුණට හිනාවක් නැගුනේ මන්දාකිණි කියන්නේ පාසල් කාලයේ ඉඳලම විනෝදකාමී තරුණියක් බව සිහිපත් උන නිසා

” එයා මොකටද ඔයාගේ ෆොටෝස් වලට හාට් කමෙන්ට් කරන්නේ ? “

ලක්ෂිකා රමේෂ් දිහා බැලුවෙ තරහෙන්

” ඒ ළමයට යාළුකම් වලට ගෑනු පිරිමි බේදයක් නැහැ ලක්ෂිකා.එයාගෙ හස්බන්ඩ් වුණත් ඒක දන්නවා.හරිම ෂෝක් කපල් එකක් “

” මට හිතාගන්න පුලුවන් එයාගේ නම කිව්ව ගමන් මූණට ආපු හිනාවෙන් “

ලක්ෂිකාගේ මුහුණේ ඇඳිලා තිබුණෙ සමච්චල් සහගත හිනාවක්.රහස් පරීක්ෂකවරියකගේ චරිතය රඟදක්වන ලක්ෂිකා ගැන රමේෂ්ගේ හිතේ නොරිස්සුමක් ඇති වුණත් ඔහු බොහොම ඉවසීමෙන් යුතුව ඒ හැඟීම යටපත් කරගත්තා

” උඹ ඕවා ගණන් ගන්න එපා බං. ආදරේ වැඩි වුණාමත් ඕනාවට වඩා හොයලා බලන්න හිතෙනවනේ. ඒක ගෑනුන්ගේ හැටි “

ලක්ෂිකාව නිවසට ඇරලවලා අවුල් සහගත මුහුණෙන් යුතුව බෝඩිමට ආව රමේෂ්ගේ වෙනසට හේතුව ඔහුගේ හොඳම යාළුවා උන පවන් දැනගත්තේ රමේෂ්ට තරමක් ඇවිටිලි කරාට පස්සේ

” ලක්ෂිකා හිතනවද දන්නෙ නැහැ මම එයා ගැන හාර හාර හොයන්නේ නැත්තේ එයා ගැන ගානක් නැති නිසා කියලා “

වතුර වීදුරුවක් එක හුස්මට බීලා ඉවර කරපු රමේෂ් එහෙම කිව්වේ කල්පනාකාරීව

” ඇත්තටම ඉතිං උඹ එහෙම හොයන්නේ නැත්තේ ඒකිව ගොඩක් ෂුවර් නිසා නේ. ඒක ඉතිං ඒකි දන්නවා ඇති “

කවදාවත්ම ලක්ෂිකාට එන දුරකතන ඇමතුම් ගැනවත් අහන්නෙ නැති රමේෂ් ඇගේ දුරකථනයවත් පරීක්ෂා කළේ නැහැ. බැඳීමක් තුළදී අනෙකාට කුඩා හෝ පෞද්ගලික අවකාශයක් තිබිය යුතුම බව වගේම දෙදෙනාම එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය රැකිය යුතු බවත් රමේෂ් විශ්වාස කළා.

” ඔයාගේ ෆෝන් එක waiting ඇයි රමේෂ් ? “

තවත් දවසක ලක්ෂිකා ඇහුවේ කාර්යාලයේ හදිසි කටයුත්තකට තරමක් වෙලා දුරකථන ඇමතුමක හිටපු රමේෂ් ගෙන්

” ඔෆිස් එකේ වැඩක් ලක්ෂිකා “

රමේෂ් පිළිතුරු දුන්නේ සංසුන්ව.

” මෙච්චර වෙලා ? “

ලක්ෂිකා ඉන්නෙ නොරිස්සුමෙන් කියලා ඇගේ හඬින්ම රමේෂ් ට තේරුණා.

” අද යසිත් නිවාඩු. අපේ වැඩකට ඕන documents වගයක් ඌ ගාව. ඒ ටික මේල් කරගන්න කතා කළේ. ඇයි ? “

එවර රමේෂ් පිළිතුරු දුන්නේ තරමක් තද හඬකින්.

” නෑ නිකං “

කෙළවරක් නොවෙන ලක්ෂිකාගේ ප්‍රශ්න ඇසීමත් , දේවල් ඕනාවට වඩා සොයා බැලීමත් එතරම් හොඳ නොවන බව රමේෂ්ට වැටහෙමින් තිබුණා. බැඳීමකදී එවැනි කාරණා සමඟ කටයුතු කළ යුත්තේ ඉතාම ප්‍රවේශමෙන් නිසා ලක්ෂිකාට කරුණු වටහා දීමට වඩා වටහා ගැනීමට ඉඩ හැරීම හොඳ බව රමේෂ් හිතුවා.

” ලක්ෂිකා ඔය දේවල් තේරුම් ගන්නකම් බලාගෙන හිටියොත් උඹට වෙන්නේ හැමදාම ඔය වගේ අවුලෙන් ඉන්න තමයි රමේෂ් “

” එෆෙයාර් එකක් කොච්චර පරණ වුනත් අනෙක් කෙනාගේ තේරුම් ගන්න බැරි සමහර ගතිගුණ තියෙනවා නේ පවන් . සමහරවිට මගෙත් වැරදි තියෙන්න පුළුවන් මට තේරෙන්නේ නැති. ඒ උනාට ලක්ෂිකා ඕනාවට වඩා මෙහෙම පස්සෙන් පන්නන එක නම් මට මානසික වදයක්. මොකද එයා ඉස්සර ඔහොම නැහැනේ “

” ඒක නෙමෙයි. උඹ අහලා නැද්ද විසෙන් විස නසන්න ඕනේ කියලා කතාවක් “

එහෙම අහපු පවන්ගේ මුහුණේ ඇඳිලා තිබුණේ අමුතු හිනාවක්. රමේෂ්ට ඇති වෙමින් තියෙන ගැටලුව දුරදිග නොයා සරලවම විසඳගන්න ක්‍රමයක් පවන් යෝජනා කලා.

කාර්යාල වේලාවේදී ලක්ෂිකාට බාධා කරන්න අකමැති රමේෂ් ඊට පසු දින දවල් කෑම වෙලාවෙදි වගේම තේ වෙලාවෙදිත් ලක්ෂිකාට දුරකථන ඇමතුම් ගත්තා. ” ඔයාට කමෙන්ට් කරන අර කොල්ලා කවුද ” යනුවෙන් ලක්ෂිකාට කෙටි පණිවිඩයක් ටයිප් කරපු රමේෂ් දුරකතනය පසෙකින් තිබ්බේ තනියම හිනාවෙන ගමන්.

” ඇයි අද ඔෆිස් එකෙන් එලියට එන්න පරක්කු වුනේ ? මම මෙතනට ඇවිල්ල විනාඩි දහයකට වඩා වැඩියි ලක්ෂිකා “

ලක්ෂිකා වාහනයට නැගුන ගමන් රමේෂ් කිව්වෙ බොරු නොරිස්සුමක් මවාගෙන

” මන්ත් එන්ඩ් එකට කලින් ඉවර කරන්න ඕන වැඩ වගයක් තිබුනා රමේෂ් “

” ඉතිං ඔයාගේ ඩිපාර්ට්මන්ට් එකේ ඔයාගේ යාළුවො කිහිප දෙනෙක්ම ඕෆ් වෙලා යනවා මම දැක්කා නේ “

රමේෂ් එහෙම කියනකොට ලක්ෂිකා ඔහු දිහා බැලුවේ පුදුමයෙන් වගේ.

” මම මෙතන හැමදාම ඔයා එනකන් බලන් ඉන්නවා. පරක්කු වෙනවා නම් පොඩ්ඩක් කලින් කියන්න ලක්ෂිකා. මමත් මහන්සි වෙලා නේ ඉන්නේ “

ඉතාම සන්සුන් චරිතයක් වුණ රමේෂ්ගෙ වෙනස ලක්ෂිකාට හොඳින්ම දැණුනා.

” ම..මම හිතුවේ නෑ ඉතින් පරක්කු වෙයි කියලා “

ලක්ෂිකාගේ හඬ එන්න එන්නම බාල වෙනවා කියලා රමේෂ්ට දැනුනා.

” ගේට්ටුවෙන් එලියට එනකොට ඔයාට අත වනාගෙන ගිය කොල්ල කවුද ?”

” ඒ සන්දේශ් නේ අනේ.get together එකේදි මම ඔයාට introduce කරල දුන්නෙ.එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩුත් එදා ඇවිල්ල හිටියනේ “

රමේෂ් නිහඬවම වාහනය පැදෙව්වේ මුවට නැගෙන්න එන හිනාව තද කරගන්න ගමන්

” ඇයි ඔයා කවදාවත් නැතිව ඔච්චර ප්‍රශ්න අහන්නේ රමේෂ් ? “

” එහෙම ඕනාවට වඩා ප්‍රශ්න අහන එක ඔයාට කරදරයක්ද ? “

රමේෂ් ඇහුවේ අවන්හලක් ඉදිරිපිටින් වාහනය නතර කරන ගමන්

” මම යන්නෙ එන්නෙ කොහෙද ආශ්‍රය කරන්න කාවද කියලා ඔයා හොදටම දන්න නිසා ඔයා වෙනදට එහෙම අහන්නේ නැහැනේ “

” ඉතිං ලක්ෂිකා ඔයත් අවුරුදු ගාණක් තිස්සේ මං ගැන හොදටම දන්නවනේ. එහෙනම් ඇයි ඔයා මගේ ෆෝන් එකට එන calls පවා බලන්නේ ? අපි අතරේ කවදාවත් එහෙම වැරදි අවබෝධයක් තිබිලා නැහැ නේ .තිබුනත් ඒ ගැන මාත් එක්ක කෙලින්ම කතා කරන්න ඔයාට බැරි කමක් නැහැ නේද ? “

රමේෂ් බොහොම සන්සුන්ව එහෙම කියනකොට ලක්ෂිකා නිහඬව අහගෙන හිටියේ දුරදිග නොසිතා තමන්ගේ අතින් නොදැනුවත්වම උන වැරැද්ද ගැන හිතමින්

” තමන්ට වෙනවට අකමැති දේවල් අනුන්ට නොකර ඉමු ලක්ෂිකා “

එහෙම කියපු රමේෂ් වාහනයෙන් බැහැලා ඇවිත් ලක්ෂිකාගේ දොර ඇරියේ හැමදේම අමතක කරලා අවන්හලට ගිහින් කෝපි කෝප්පයක රස විඳින්න හිතාගෙන

More Stories

Don't Miss


Latest Articles