මල්සර හී සර – 45

0
2488

ඒ කෝල් එක එද්දි නන්දා උන්නේ දවල් වරුවෙ පොඩි ඇලර්ට් එකක් දාගෙන. නන්දා මුලින් හිතුවෙ ඔය සප්තමී රඟපාන එක ගැන අහන්න කවුරු හරි කෝල් කරනවා කියලා. ඒ හන්දා නන්දා ෆෝන් එක තියෙන දිහාවට ඇවිදගෙන ආවෙ නිකන් නිදිමතෙන්ම වගේ. ඒ උනාට​ඒ නිදිමත කොහෙද මන්දා ආයෙම ගෙන්න ගන්න බැරි දිහාවකට ගියේ තමන් “හෙලෝ” කිව්වට පස්සෙ එහා පැත්තෙන් “අම්මා” කියල සප්තමී ඇඬුම්බර කටහඬකින් කතාකරනවා ඇහුනම.

“අනෙ මගෙ පුතේ ඔයා කොහෙද පුතේ මෙච්චර කල් උන්නේ? ඇයි ඔයා අපිට කෝල් එකක්වත් දුන්නෙ නැත්තෙ. අපි කොච්චර ගින්දරෙන්ද උන්නෙ කියලා ඔයාට තේරුනේ නැද්ද දරුවො?” කියල අම්මා අහගෙන අහගෙන යද්දි දැනුවත්ව හරි නොදැනුවත්වම හරි තමන්ගෙ අම්මට මේ විදියෙ​දුක් ගින්දරක් දීපු එක තමන්ට තව ආත්ම ගාණකට පටිසන් දෙන්න හේතුවක් වෙන්න පුලුවන් කියන එක සප්තමි හිත අස්සෙන් හිතුවා.

“මං හොඳ තැනක ඉන්නවා අම්මේ. ඔයා බයවෙන්න එපා.මම කිසිම කරදරේක වැටිල නෙවෙයි ඉන්නෙ. එහෙම කරදරයක් වෙන්න කලින් තමයි අම්මෙ මම මෙහෙම ආවෙ” කියලා​ සප්තමී කියද්දි ඒ කියන්නෙ මොකක් ගැනද කියල හිතාගන්න බැරුව තමයි “නන්දා ඇහුවෙ ඇයි ඔයා එහෙම දෙයක්​ කිව්වෙ?” කියලා.

“අර මට වෙච්ච බයික් ඇක්සිඩන්ට් එක ඒක නිකන්ම නිකන් ඇක්සිඩන් එකක් නෙවෙයි අම්මෙ. මම හොඳටම දන්න කෙනෙක් මාව සදාකාලෙටම ඇඳ්අක් උඩට කරලා තියන්න වගේ හිතාගෙන ප්ලෑන් කරලා කරපු දෙයක්. ඒකයි මම මේ වගේ ටික කාලයක් හැංගිලා ඉන්න තීරණය කරේ”

“ළමයො කවුරුහරි ඔයාට කරදරයක් කරන්න හදනවන්ම් ඔයා ඒකට කරන්න ඕන හැංගිලා ඉන්න එක නෙවෙයිනෙ. පොලිසියකට හරි ඒ වගේ තැනකට ගිහිල්ලා මෙහෙම ජීවිත අනතුරක් තමන්ට තියෙනවා ඒකෙන් බේරෙන්න​තමන්ට උදව් කරන්න කියලා කියන එක නේද?” 

“සමහර වෙලාවට ඒ​වගේ​දේවල් වලට අපි යන එකම වැරදි කරන වැරදි කරපු මිනිස්සුන්ට ඒ වැරදි අතුපතුගාලා මකලා දාන්න හේතුවක් වෙනවා අම්මේ. ඒ හන්දා තමයි මං මේ වගේ දෙයක් කෙරුවෙ. අම්මා බයවෙන්න එපා. තව ටික කාලයයි. මං ඉක්මනට ගෙදර එනවා. මං කතාකර ​විත්තිය ඔ​යා කාටවත් කියන්න එපා. මොකෝ මං කතාකර විත්තිය මට අනතුරක් කරන්න ඉන්න කාගෙ උනත් ඔලුවට යන එක මං​ආපහු ගෙදර එන එක තව පමා කරන්න පුලුවන්.

මං දැන් තියෙනවා අම්මේ. මං ආයෙ පුලුවන් වෙච්ච ගමන් ගන්නම්.​ඔයා දුකෙන් ඉන්න එපා. මං නෑ කියලා නොකා නොබී ඉන්න එපා.ස​න්තෝසෙන් ඉන්න. මමත් සන්තෝසෙන් ඉන්නවා. ටෙලි නාට්ටිය බලලා මම ගැන​කවුරුහරි ඇහුවොත් ඔයා එයාලට එවෙලෙට මොකක් හරි බොරුවක් කියන්නකො” කියලා නන්දා ආයෙ වචනයක් කියන්න කලින්ම සප්තමී ෆෝන් එක කට් කරා. විනාඩි ගාණක් විතර සප්තමී ගෙන්​ කෝල් එකක් ආව කියන කම්පනේ හන්දම එතනට හිටගෙන උන්නු නන්දා ඉන්පස්සෙ ඉක්මනටම කලේ ජයබාහුට කෝල් එකක් දීලා සප්තමී මෙහෙම කෝල් එකක් දුන්නා කියල දැනුම් දුන්න එක. හරිනම් ඒක ඇහුවට පස්සෙ තාත්තා කෙනෙක් විදියට ජයබාහු සන්තෝස වෙන්න ඕන නේද කියල හිතුනත් ජයබාහු ආයෙ​ ආයෙම නන්දාගෙන් ඇහුවෙ “ඔයාට හොඳටම ශුවර් ද ඔය කතා කරේ සප්තමීමයි කියලා?”

“ඇයි හත් දෙයියනේ මට​ මගේ දරුවගෙ කටහඬ හොයාගන්න බැරිද?”

“නෑ නෑ මං එහෙම හේතුවක් හන්දා ඇහුවා නෙවෙයි, අර කවුරුහරි අපි එක්ක මොකක් හරි නරක විහිලුවක් කරනවද කියන්න අපි දන්නෙ නෑනෙ. ඒකයි මං එහෙම ඇහුවෙ”

“කවුරුවත් මොකටද අපේ දරුවා වගේ මට බොරුවට කතාකරන්නේ? අනික ඒ සප්තමීගෙ කටහඬමයි. මට මොකෝ මගෙ දරුවගෙ කටහඬ අමතක වෙනවද අවුරුදු ගාණක් ගියත්. මට තියෙන ප්‍රශ්නෙ​ඒක නෙවෙයි සප්තමී මට කීප සැරයක්ම කිව්වා එයා මෙහෙම කතා කල විත්තිය කාටවත්ම කියන්න එපා කියල. මං ඒත් ඇහුවා ඇයි එහෙම කියන්නෙ කියලා. එයා කියනවා එයාට කවුද අනතුරක් කරන්නලු ඉන්නෙ. එයා මෙහෙම හැංගිලා ඉන්නෙ ඒ හන්දලු. එයා කතාකර විත්තිය දැනගෙන, එයා​ඉන්න තැනක් හොයාගෙන ඒ අනතුර කරන්න හදන මිනිස්සු ආවොත් එහෙම කියල එයා කතාකර විත්තිය ගැන කටෙන් කෙල බිඳ්උවක් පිට මිනිහෙක් ඉස්සරහ හෙලන්න එපා කියලා”

“හරි ඉතින් මං කාටවත් කියන්නෙ නෑ පිට එකෙක්ට. ඔයත් ඔය අහල පහල ගෙවල්වල උන් එක්කවත් ඕක දොඩවන්න යන්න එපා”

“මං කා එක්කවත් දොඩවන්න යන්නෙ නෑ. මං මේ​ ඔයාට කතා කරේ ඔයත් ඔය විස්තර අර හාදයා එක්ක කියන්න එපා කියලා”

“මොන හාදයා එක්කද?”

“වෙන​කවුද අර සමුද්ර එක්ක?”

“ඇයි ඒ දරුවට කිව්වම මොකද වෙන්නෙ? ඒ දරුවගෙ යාලුවෙක්නෙ පොලිසියෙ ඉඳගෙනත් ඔය වැඩේ බලන්නෙ. අනික පිට මිනිස්සුන්ට​ නේද කියන්න එපා කිව්වේ. මේ පිට ළමේක් නෙවෙයිනෙ”

“එව් එව් පිට ළමේක් නෙවෙයි වෙන්න තිබ්බ අපේ කෙල්ල ඔහොම අන්තරස්දාන උනේ නැත්තම්. ඔය මගුල් ටෙලි නාට්ටියක් හන්දා තමයි මේ ඔක්කොම වින්නැහි වෙන්න පටන් ගත්තෙ කියන එක අමතක වෙච්ච තාලෙට කතා කරන්න එපා. මීට කලින් අපිට එහෙම කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නෑනෙ. එහෙම එකේ දෙයක් එපා කිව්වම ඒක අහන්න. දරුවා උනත් කාටවත් ඔය විත්තිය කියන්න එපා කිව්වෙ මොකක් හරි හේතුවක් ඇතුවනෙ. අඩුම ගානේ දැන් අපි දන්නවා ඒ දරුව කොහෙ හරි තැනක ඉන්නවා කියලා. කටහඬෙන් උනත් මට තේරුනේ තමන්ම හිතල ගත්ත කෝල් එකක් මිසක්කා කාගෙවත් බලපෑමකට ගත්ත කෝල් එකක් නෙවෙයි කියලා.

අනික ඔය මහ ලොකු පොලිස් යාලුවා මහන්සි වෙලා මේ වැඩේ ගැන බැලුවනම් අඩුම ගානෙ මෙච්චර දවසකට අපේ දරුවා ජීවත්වෙලා යහතින් ඉන්නවා කියන එකවත් හොයාගන්න පුලුවන්කමක් තිබුනා නේද? එහෙම කිසි දෙයක් උනේ නැත්තෙ උන්ගෙ කිසි උනන්දුවක් ඕක ගැන නැති හන්දමයි කියලා තමයි මට නම් හිතෙන්නෙ”

“සප්තමී ඉන්න තැනක් ගැන එහෙම හරියාකාර විස්තරයක් මුකුත් කිව්වද?”

“නෑ එහෙම දෙයක් කිව්වෙ නෑ, මං ඒක​ අහන්න යද්දිම තමා ෆෝන් එක තිබ්බේ. අපිට පුලුවන් නේද අපිට කෝල් එක ආව නම්බර් එක මොකද්ද කියලා බලාගන්න මේ ෆෝන් කම්පනියට​ ගිහිල්ලා බලන්න”

“ෆෝන් කම්පනියට ගිහිල්ලා නම්බරේ ගන්න පුලුවන් උනාට ඒ නම්බරේ තියෙන ෆෝන් එක තියෙන්නෙ කොහෙද කියල බලන්න මං හිතන්නෙ අපිට පොලිසිය හරහ තමයි යන්න වෙන්නෙ. මොකෝ එහෙම අපි ගියා කියල ඒ පලියට ඔය ෆෝන් වල විස්තර දෙන්න ඒ කම්පනි කැමති වෙන්නෙ නෑනෙ”

“අපෝ අපෝ පුලුවන් නම් ඔය නම්බරේ දෙනවකො අර සමුද්රයට හරි එයාගෙ මහ ලොකු පොලිස් යාලුවට හරි​​. මම නම් තාම කියන්නෙ අපි වෙනම ගිහිල්ලා ඇන්ට්‍රියක් දාමු කියලා. අපෙන් ඇහුවොත් ඇයි මෙච්චර දවසක්  ඇන්ට්‍රිය දාන්න පරක්කු උනේ කියල එතකොට කියමු මෙහෙම මෙන්න මෙයා තමයි කේස් එක බලන්නෙ කියලා”

“එතකොට ඇහුවොත් ඇයි කියල එහෙම දැනටම පොලිසිය මේකට සම්බන්ධ වෙලා ඉද්දි තව වතාවක් ඇන්ට්‍රියක් දාන්නෙ කියල​ මොකද්ද ඒකට කියන්නේ?”

“අපි කියමු එතකොට අපිට ඒ මිනිස්සු මේ වැඩේ කරන විදිය ගැන එච්චර හිතට සතුටක් නෑ කියලා”

“අනේ නන්දා මේ ඔයාගෙ ඔය ඔලු ගෙඩිය අස්සෙ හැන්දක තම්‍රමෙවත් මොලයක් නැද්ද? පොලිසිය වැඩ කරන විදිය ගැන සතුටුද නැද්ද කියන්න ඔයා​ දන්නවද පොලිසියක වැඩ වෙන විදිය. නෑනෙ. එහෙම එකේ පොඩ්ඩක් කලබල නොවී ඉන්න. අනික ඔයා නොදන්නවා උනාට ඔය අරවින්ද කියන පොලිස් මහත්තය එහෙම මේ නිකන්ම නිකන් පොලිසියෙ වැඩ කරන කෙනෙක් නෙවෙයි. හැම ෆීල්ඩ් එකෙන්ම වගේ හොඳ බර අතුවලට කන්ටැක්ට්ස් තියෙන පොලිස් ලොක්කෙක්. එහෙම මනුස්සයෙක් මේ යාලුවෙක්ගෙ කීමටවත් අපි වගේ සොක්කන්ගෙ වැඩ වලට හොර කරලා තමන්ගෙ තත්ත්වෙ නැති කරගනීවි කියලා ඔයා හිතනවද?

අනික ඔයා කියන විදියට අපේ දරුවට කරදර කරන්න හදන කෙනා සමුද්ර නම් අහවල් දෙයක් අපෙන් හරි අපෙ දරුවගෙන් ලබාගන්න අදහසින් මේවා කරනවා කියලද ඔයා හිතන්නේ? අපේ දරුවට කරදර කරලා ඒ මනුස්සයට මොනවා ලැබෙනවා කියලද ඔයා​ හිතන්නේ?”

“සමුද්රට මුකුත් වාසියක් ලැබෙන්නෙ නැත්තම් ඔයා කියන්නෙ කවුරු මේවා කරනවා කියලද?”

“අන්න ඒක ගැන තමයි ඔයා හිතන්න ඕන. කෙනෙක්ට තව කෙනෙක් කරදර කරන්නෙ තමන්ට දෙයක් ලබාගන්න නම් අපේ දරුවට කරදර කරාම​, අපෙ දරුවව අතුගාලා දැම්මම දෙයක් ලැබෙන කෙනා කවුද කියන එක තමයි ඔයා හිතන්න ඕන”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here