ඔබ සතියේ දවස් කිහිපයක්ම වැඩිපුරම ගත කරන්නේ ඔබේ රැකියාව වෙනුවෙනුයි. කාර්යබහුල දවසක් අවසානයේදී ඔබේ ප්‍රධානතම පරමාර්ථය වන්නේ විවේක ගැනීමයි. නමුත් සමහරක් දෙනා රැකියාවේ ඉතිරි වන වැඩ කටයුතු නිවසට රැගෙන ඒම පුරුද්දක් වශයෙන් සිදුකරන අතර තවත් සමහර දෙනා රාත්‍රී ආහාරය ගැනීම සහ රූපවාහිනිය නැරඹීමට අමතරව සිදු කරන්නේ නින්දට යාම පමණයි. නමුත් රැකියාවෙන් පසුව අර්ථවත් ලෙස විවේක ලබා ගන්නේ කොහොමද ? රැකියාව අවසන් කර නිවසට පැමිණියායින් පසුව ඔබ නින්දට යන තෙක් කාලය අර්ථවත් ලෙස ගත කරන්නේ කොහොමද? ඒ ගැන මේ ලිපියෙන් කතා කරමු.
විසන්ධි කරන්න
නූතන ලෝකයේ අප එදිනෙදා වැඩ කරන විට බොහෝ උපකරණ සහ තාක්ෂණය අප ප්‍රයෝජනයට ගන්නවා. රැකියාවේදී අප කුමන තනතුරක සිටියත් නිවසේදී අප ඉතාම සාමාන්‍ය පුද්ගලයන් සහ පවුලේ අයට ඔවුන් ආදරය කරන සාමාජිකයා පමණයි. එනිසා නිවසට පැමිණි විට ඔබගේ කාර්යාලයට අදාළ උපකරණ විසන්ධි කරන්න.කාර්යාල වේලාවෙන් පසු ඊමේල් පණිවිඩ පරීක්ෂා කිරීම , කාර්යාලයේ වැඩ කිරීම නවතා දමන්න.
උණුසුම් පානයක් රස විඳින්න

දවස පුරා ඔබෙන් ගිලිහී ගිය ශක්තිය ඔබට නැවත ලබා දීමට, ඔබේ ආතතිය දුරු කිරීමට සහ මනස සන්සුන් කිරීමට උණුසුම් පානයකට හැකියාව තියෙනවා. මේ තේ කෝප්පයක්,කෝපි කෝප්පයක් , ග්‍රීන් ටී එකක් හෝ උණුසුම් චොකලට් පානයක් හෝ විය හැකියි. දිගු දවසකට පසුව සන්සුන් බවක් දැනීම සඳහා ඔබට මෙවැනි පානයක් රස විඳින අතරේ ඔබ වෙනුවෙන්ම වෙලාවක් වෙන් කර ගත හැකියි.
ව්‍යායාමයක නිරත වන්න
වෙහෙසකර දවසක් අවසානයේදී ව්‍යායාමයක නිරත වීම තවත් වෙහෙසකර කාර්යයක් ලෙස ඔබට හිතෙන්නට පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම එය එසේ වන්නේ නැහැ.සුළු ශාරීරික ක්‍රියාකාරකමකින් පවා ඔබේ මනෝභාවය සැලකිය යුතු ලෙස වෙනස් කර ඔබට ජවසම්පන්න බවක් ගෙන දෙන්නට පුළුවන්.ඊට අමතරව විශේෂයෙන්ම ඔබේ මානසික ආතතිය දුරු කර රාත්‍රී කාලයේදී ඔබට සුව නින්දක් ලබා දෙන්නටත් මේ ව්‍යායාම වලට හැකියාව තියෙනවා.
එළිමහනේ කාලය ගත කරන්න

කාර්යබහුල දවසකට පසුව එළිමහනය කාලය ගත කිරීම ඔබේ මානසික ආතතිය දුරු කිරීමට තවත් එක හොඳ ක්‍රමයක්.සෑම දිනකම විනාඩි විස්සක් හෝ තිහක් එලිමහනේ ගත කිරීම ඔබේ මනසට ධනාත්මක ලෙස බලපෑමක් ඇති කරනවා. මුහුදු වෙරළක් , එලිමහන් ක්‍රීඩාංගණයක හෝ ඔබේ නිවසේ මිදුලෙහි පවා ඔබට මෙවැනි සුළු කාලයක් ගත කරන්නට පුළුවන්.
ඇවිදින්න
ඔබට සුරතල් සතෙකු සිටිනවා නම් මේ කාර්යය ඔබට වඩාත් පහසුයි. සවස් කාලයේ ඇවිදීම මගින් ඔබේ ශරීරයෙන් ගිලිහී ගිය ශක්තිය ඔබට නැවත ලබා ගන්නට හැකි වනවා වගේම වලින් ලැබෙනවා වගේම ජව සම්පන්න බවක් ලබා ගන්නටත් පුලුවන්. ඊලඟට පැය බාගයක් හෝ මිනිත්තු 45ක් ඇවිදීමෙන් ශරීරයට සෞඛ්‍යමය වාසි රැසක් ලබා ගන්නට හැකි වනවා වගේම ඔබේ ශරීරයේ අනවශ්‍ය බර වැඩි වීමද පාලනය කරනවා.
උණුසුම් වතුර වලින් ස්නානය කරන්න
දවස පුරාම වෙහෙස වන ඔබට ඔබේ ශරීරය සැහැල්ලු කරගත හැකි , ඔබේ මනස ලිහිල් කර ගත හැකි තවත් හොඳම ක්‍රමයක් තමයි ස්නානය කිරීම. උණුසුම් වතුර වලින් මඳ වේලාවක් ස්නානය කිරීම මගින් දවස පුරා ඔබට දැනෙන වෙහෙසකාරී බවින් ඔබව ඈත් කරනවා. ඒ වගේම ඔබේ ශරීරයට නැවුම් බවක් ලබා දෙනවා.
ඔබේ සුවපහසු ඇඳුම් වලට මාරු වන්න
ඔබ රැකියාවට යන විට නියමිත ඇඳුම් ඇඳ, මේකප් භාවිතා කර ඔබ ඇසුරු කරන සමාජයට ගැලපෙන අයුරින් හැඩ ගැහෙනවා. නමුත් නිවසට පැමිණි විට ඔබ ඉතාම සාමාන්‍ය පුද්ගලයෙක් වන අතර නිවසේදී ඔබ ඔබට අවශ්‍ය ආකාරයට සැහැල්ලුවෙන් ජීවත් විය යුතුයි. මේ සැහැල්ලුව ඔබට දැනීම සඳහා තවත් හොඳම ආකාරයක් තමයි ඔබ කැමතිම ආකාරයේ සුවපහසු ඇඳුම් වලින් සැරසී සිටීම. එය ඔබට ආරක්ෂාකාරී , සුවපහසු සහ වඩා සැහැල්ලු හැඟීමක් ඇති කරවනවා.
ඔබ කැමතිම ආහාර රස විඳින්න
සමහර අයට ආහාර පිසීම කරදරකාරී දෙයක් ලෙස හැඟෙන නමුත් ඇත්ත වශයෙන්ම ආහාර පිසීම කියන්නේ ඔබේ මනස සැහැල්ලු කළ හැකි දෙයක්. විශේෂයෙන්ම වෙහෙසකර දවසක් අවසානයේදී ඔබ කැමතිම ආහාරයක රස ඔබට ඕනෑ ආකාරයට රස විඳීමට හැකි වීම ඉතා හොඳ දෙයක් ලෙස ඔබට සිතේවි. රාත්‍රී ආහාරය ලෙස විශේෂ සහ සැහැල්ලු ආහාරයක් ඔබ වෙනුවෙන් සකස් කර ගැනීම සහ එය රස විඳීම දවස අවසානයේදී ඔබට හොඳ හැඟීමක් ඇති කරවාවී.
ආදරණීයන් සමග කාලය ගත කරන්න
ඔබේ වෙහෙස මහන්සිය නැතිකර ගැනීමට තවත් හොඳම ක්‍රමයක් තමයි ආදරණියන් සමග කාලය ගත කිරීම. දවස පුරා ඔබ ලද අත්දැකීම් , ඔබ කාලය ගත කළ ආකාරය සහ එළඹෙන දවස් පිළිබඳව ඔබේ පවුලේ සාමාජිකයන් සමඟ එකට වාඩි වී කතා කරන්න. ඔවුන් සමග අදහස් බෙදා ගන්න. ඔවුන් සමග ඇති වන සතුටු කතා බහ ඔබේ ආතතිය බොහෝ දුරට අඩු කරවනවා.
ඔබේ නිදන කාමරය සුව පහසු කර ගන්න
වෙහෙසකර දවසක් අවසානයේදී ඔබ විවේක ගන්නා ප්‍රධානතම තැන තමයි ඔබේ නිදන කාමරය. මෙය ඔබට ඉතා සුවපහසු සහ මනසට සැහැල්ලුවක් ගෙන දෙන තැනක් විය යුතුයි. ඔබේ ඇඳ ඇතිරිලි සහ තිර රෙදි ලා පැහැ වලින් තෝරා ගත යුතු අතර ඉතා අවම ගෘහ භාණ්ඩව්කිහිපයකින් ඔබේ නිදන කාමරය සමන්විත විය යුතුයි. ඔබේ නිදන කාමරය කලබලකාරී තැනක් නොවිය යුතු අතර ඔබ නින්දට යාමට මිනිත්තු කිහිපයකට පෙර සුවඳ ඉටිපන්දමක් හෝ එයාෆ්‍රෙශ්නර් එකක් කාමරයට භාවිතා කරන්න. මෙය ඔබේ නින්ද වඩාත් සුව පහසු එකක් කරාවි.
පොතක් කියවන්න
බොහෝ දෙනා නින්දට පෙර ජංගම දුරකථනය භාවිතා කිරීම සහ සමාජ මාධ්‍ය භාවිත කිරීම පුරුද්දක් කර ගෙන සිටිනවා. නින්දට පෙර ඩිජිටල් තිර භාවිතා කිරීම මගින් ඔබේ නින්දට බාධා ඇති කරවන නිසා එවැනි පුරුදු වලින් ඔබ වැලකී සිටිය යුතුයි. ඒ වෙනුවට ඔබේ ජීවිතයට යමක් එකතු කර ගත හැකි පොතක් හෝ පත්තරයක් කියවීම පුරුද්දක් කර ගන්න.
ලියන්න

නින්දට පෙර ඔබට කළ හැකි තවත් දෙයක් ලෙස ලිවීම සලකන්නට පුළුවන්. දවස පුරා ඔබ ලද අත්දැකීම් සහ දවස අවසානයේදී ඔබට දවස ගැන සිටින ආකාරය පිළිබඳව ඔබේ දින පොතෙහි ලියන්න. ඒ වගේම එළඹෙන දිනය ගැන ඔබට ඇති සැලසුම් , ඔබට නියමිත වැඩ ආදියද සැලසුම් කරන්න. මෙමගින් ගෙවුණු දවස ගැන තෘප්තිමත් බවක් වගේම එළඹෙන දිනය ගැන බලාපොරොත්තු සහගත හැඟීමක් ඔබට ඇති කරවනවා.
කාර්යබහුල ලෝකයේ ඔබගේ දවසත් අතිශයින්ම කාර්යබහුල නිසා සෑම දිනයකම ඔබ ආතතියට පත්වීම සහ වෙහෙසට පත් වීම ඉතාම සාමාන්‍ය දෙයක්. නමුත් ඒ වෙහෙසකාරී බවින් මිදීම සඳහා පියවර ගත යුත්තේ ඔබමයි. ඒ සඳහා ඔබට අනුගමනය කළ හැකි ඉතාම සරල පියවරවල් කිහිපයක් ගැනයි මේ ලිපියෙන් අපි ඔබට කරුණු ගෙන ආවේ.