මේ ඒ වසන්තයයි – 46

0
2732

සිකුරාදා දිනයේ ඉසිනි  ඇරඹුවේ සැහැල්ලුවෙනි. සති අන්තය නුරාන් සමඟින් කොළඹ ගෙවා දමන බලාපොරොත්තුව එක්කය.  එහෙත් උදෑසන එකොළහ පමණ වන විට ආයතනය තුළ යම් කලබලයක් ඇති වන්නට පටන් ගත්තේය. ඉසිනි කැබිනයේ වීදුරු තුලින් ඒ දෙස බලමින් උන්නේ එකිනෙකා වෙත එබෙමින්, විමතිය දනවමින් කුමක් කතා බහ කරන්නේද සිතා ගන්නට නොහැකිවය. මද වේලාවක් බලා උන් ඕ කැබිනයෙන් පිටතට ආවාය

” මොකෝ ප්‍රශ්නේ ?..”

ඉසිනිගේ සැහැල්ලු හඬ සමඟ සියල්ලෝම පාගේ තවත් කලබල වනු දකිද්දී  ඉසිනි ගේ සැහැල්ලුවද මඳකින් අඩු වුයේය. ඕ සියල්ලන් දෙසම විමසිලිමත් බැල්මන් හෙලනා අතරේ, ඉදිරියේම වූ නිළධාරිනිය අතෙහි වූ ලිපිය දෙස විමසිල්ලෙන් බැලුවාය. එහෙත් එම නිළධාරිනිය එම ලිපිය සඟවා ගන්නට උත්සාහ කරන බව ඇසිල්ලෙන් වටහා ගත් ඉසිනි වහාම ඒ පිළිබඳව විමසුවාය.එහෙත් කිසිවෙකුත් කිසිවක් පවසන්නට උත්සුක වූයේ නැත.

” මොකද්ද සංජය මහත්තයා ප්‍රශ්නේ ?”.”

“නෑ ඒඩී මිස්… එහෙම අවුලක් නෑ.. ඒඩී මිස් අවුලක් නෑ..”

එම නිළධාරියා වෙනදාට හැසිරෙන්නේ ඉතාම සැහැල්ලුවෙන් සහ විහිළු පුරවාගෙන බව දැන උන් ඉසිනි ඔහුගේ හැසිරීමද වටහා ගන්නට නොහැකිව මෙන් බලා උන්නාය.

“හරි එහෙනම් මොකද කට්ටියම මේ යකෙක් දැකලා වගේ…?”

” නෑ මේ මේ වෙන ප්‍රශ්නය ඒඩී මිස්… මෙහෙට අදාල එකක් නෙවි..”

කිසිවෙකුත් කිසිවක් පවසන්නට උත්සුක නොවම බව වටහා ගත් ඉසිනි යළි කැබිනය තුළට ගියාය. මේසය මත වූ දිනයේ ලිපි අංකනය කරන්නට ගත්තාය. එහෙත් සිත තුළ වූයේ නොසන්සුන්කමම පමණි.

ඇගේ නමට එවා තිබූ ලිපිය වූයේ ලියුම් ලිපි ගොනුවට යටින් වූ ගොනුවේය. ඕ එය විවෘත කලාය. හතරට නවා තිබූ සුදු පැහැ කොළය දිග හැරියාය.

ඉසිනිට  එක්වරම සිහි එළවා ගන්නට හැකි වූයේ නැත.

”   දික්කසාද, අම්පාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය තරුණයන් දැලේ දාගන්නේ මුදල් සූරා කන්නද? .. විවාහය අසාර්ථක වූයේ අනියම් සම්බන්ධතා වල සීමාව සැමියාට දරාගන්නට නොහැකිවද ?”

එම වැකි දෙකට යටින් ඉසිනි දිනක් ක්ශේත්‍ර දිනයකදී ගත් සේයාරුවක්ද මුද්‍රණය කර තිබුණි. ඉසිනිගේ හිස තුළ කිසිවක් වූයේ නැත. ඇයට කිසිවක් කල්පනා වූයේද නැත. ඕ හිස එසෙව්ව්වාය. සියලු දෙනාගේම ඇස් ඇත්තේ තමා මත බව වටහා ගනිද්දීම, තමාට පෙර ඒ ලිපි ඔවුන් දැක ඇති බව තහවුරු කරගත්‍තාය. සියල්ල අවසන් බව ඇය වහ වහා වටහා ගත්තාය. සියලු දෙනා තමා දෙස බලන්නේ පිලිකුල් සහගත දෑසින් බව ඕ කියවාගත්තාය. සැඟවිය යුතුය. වහා සැඟවිය යුතුය. ජංගම දුරකතනය බෑගයය ඔබා ගත් ඉසිනි වහා කැබිනයෙන් පිටතට ආවාය.  කවුරුන් හෝ තමා පසුපස ඒවියැයි බියෙන් මෙන් ඉක්මන් ගමනින් පිටතට ඇවිද ආවාය.

” මිස්ට යන්න දෙන්නෙපා නේද ?”

පිරිස එලෙසින් කථිකා වනු ඇයට ඇසුනේ නැත. නිළධාරීන් වහා දිව එන විට, ඕ මෝටර් රිය ප්‍රධාන මාර්ගයට දමා තිබුණි. ඉසිනි මෝටර් රිය ධාවනය කලේ නවාතැනෙන් එපිටටය. ඉඩ ලැබෙන පළමු අවස්ථාවේදීම මෝටර් රිය ඇලකට පෙරලා ගනිමියි ඕ සිතුවාය. එවිට මරණය සිදුවේ.

” නෑ.. නෑ.. එහෙම එපා.. එතකොට ඒ කතා හැමෝම දැනගනී.. අක්කා, දරුවෝ, අයියා.. ලැජ්ජ වෙයි.. අරුණෝද මට ආයේ ආයේ හිනාවෙයි.. අරුණෝද ගේ අක්කලා ආයේ හිනාවෙයි… නෑ.. නා.. මෙහෙම නෙවෙයි… කොහේ හරි යනවා.. කාටවත් හොයාගන්න බැරි වෙන්න යනවා… නුරාන්.. නුරාන්…බලන්න නුරාන් මට වුණ දේ.. මට… මට… මං … ජරා ගෑණියෙක් කරලා නුරාන්…. මාව  ජරා ගෑණියෙක් කරලා.. අනේ… ඔෆිස් එකේ හැමෝටම ලියුම් එවලා නුරාන්… දෙයියනේ.. මං මොකද්ද කරන්නේ නුරාන්…. අනේ..”

ඉසිනි ට හැඩුනේ නැත. හිත එලෙස විමසමින් තිබුණි. එහෙත් පිළිතුරු වූයේ නැත.

ජංගම දුරකතනය බෑගය තුළ නාද වෙන හඬ ඇසෙද්දී ඕ එය වහා අතට ගත්තාය. සරණි මිස් ඕ අමතමින් උන්නාය. ඕ ඇමතුම විසන්ධිව  යන්නට හැර ජංගම දුරකතනය  ක්‍රියා විරහිත කලාය. යන්නේ කොහිදැයි වැටහෙන්නේ නැත. මරණය හැරෙන්නට තෝරාගන්නට කිසිවක්ම ඇයට පෙනුනේද නැත.

කාර්‍යාලයේ අයෙකු  සමුහයට  එවා තිබූ පින්තූරය සහ විස්තරය දුටු පැහැසරා වහා ධනුක ඇමතුවාය.

” මං අපේ බූරුවාට කිව්වා මේක …”

“ඒත් කාටද මෙහෙම දෙයක් කරන්නෝනි සරා…”

“අපි දන්නවාද ධනුක මිනිස්සුන්ගේ හිත් ??..”

“දැන් ඒඩී කෝ ?..”

“දන්නේ නෑලු… සංජයල ෆලෝ කරන්න මඟක් යද්දී බයික් එකේ පැච් එකක් ගිහින්…ෆෝන් එකත් ඕෆ් ලූ… ටව්න් එක පැත්තට ගිහින් තියෙන්නේ …”

” කොහොම වුනත් කෙල්ල හොයාගන්න එක තමා ඉස්සෙල්ලම කරන්න වෙන්නේ සරා..  ඔය කියන විදියට ඔය කේස් එක එක්ක ලියුමක් ඔෆිස් එකේ ඔක්කොටම ඇවිල්ලා කියනෙකත් ඒඩී දන්නවා නම් ආයේ ජීව්තේ ගැන බලාපොරොත්තුවක්  තියාගනීවි හිතන්න බෑ….”

“මොනවාද මේ කියන්නේ ඔයා ධනුක ?”

“ඒඩී ජීව්තේ එකම බලාපොරොත්තුව විදිඅට ජොබ් එක තියන් උන්න ගෑණියෙක් සරා…”

“මල්ලිට මේක කියන්නද ?”

“කියමු… “

“මට බයත් හිතෙනවා ධනුක…”

“ඔෆිස් එකට එන්න ඕමම ඔයත්… “

“ඔයා මල්ලිට කතා කරගෙන් එනවාද ?”

“හ්ම්ම්…. මං ඒ කිට්ටුව ෆීල්ඩ් එකක ඉන්නේ.. මං ඌට මේක කියාගෙන එන්නම්…”

පැහැසරා වහා කාර්‍යාලය වෙත යන්නට පිටත් වූවාය. දැන් හිතට ඉසිනි ගැන දැනෙන්නේ දයාර්ද්‍ර බරකි. ඇයට ජීවිතය වැරදිම නිසා ඇයට කිසිදිනෙක නිවැරදි විය නොහැකි බව හා හට නම් පවසන්නට හැකිද?

එහෙත් නොවැටහෙන්නේ  ඇගෙන් මෙලෙස පලිගන්නට අවැසි කා හටද කියාය. මෙතරම් පෞද්ගලික පළිගැනීමක් ඇය හා පිරිමහන්නට අවැසි කා හටද කියාය.

පැහැසරා කාර්‍යාලයට යන විටද එහි වූයේ කලබලයකි

” ඒඩී මිස් මිසින් …”

සියලු දෙනා දැන සිටියේ එපමනකි. ධනුක ට ඇමතුමක් ලබා දුන් පැහැසරා නිවසට ගියාය.

” නුරාන් මීටින් එකකට ගිහින්.. ගෙදර එන කතාවක් කිව්වලු…”

දෙදෙනාම නිවසට පැමිණි පසු අම්මලාට වෙනසක් නොපෙන්වා ඉසිනි පිළිබඳව තොරතුරු සෙවුහ. ධනුක උන්නේ පැහැසරා ට නොපෙන්වූ කලබලයකිනි. සැබැවින්ම තමා ඇය පත් කලේද ලේසි පහසු පීඩනයකට නොවේය.  ඒ අතරය කඩා වැටි ඇත්තේද සුලු පටු පීඩනයක් නොවේය. ඇගේ පවුලේ කිසිවෙකුත් ලඟ පහතක නැත. මේ පීඩනය ඕ තුළම පුපුරා යා හැක. එවන් අවාසනාවක් සිදු වන්නට යනවා නම්…,

” ඔයා කල්පනා කරන්න එපා ඔහොම ධනුක… අපි කර දෙයක් නෙවීනේ..”

“මේ කෙල්ල කොහේ ගියාද කියලා හිතාගන්න බැරි…”

ධනුකට එලෙස පවසා නිම වන්නට ඉඩ ලැබුනේ නැත. නුරාන් ගේ කැබ් රිය නැවතෙනු ඇසුනි.. දෙදෙනාම් සාලය වෙත ඇවිද ගියේ එකිනෙකාට සමාන්තරවය.

“ධනුක…. ධනුක…”

නුරාන් නිවසට පිවිසියේ මහ හඬින් එලෙසින් කෑ ගසාගෙනය. අම්මා සහ තාත්තාද ඒ හඬින් කලබලයට පත්ව වහා සාලය වෙත ඇවිද ආවෝය.

තමන් ඉදිරියේ සිටින සහෝදරයා දුටු නුරාන් ගේ ඉවසීම අවසන් වූයේය. ඔහු ධනුකට පහර දුන්නේ පැහැසරා මහ හඬින් කෑ ගසද්දීමය. අම්මාද නුරාන් පසෙකය කරන්නට උත්සාහ කලාය. නුරධ්‍යා හඬ නඟා හඬා වැටුනාය. නුරාන් ගේ  පියා දැරිය නිවසින් පිටතට රැගෙන ගියේ නුරාන් ට  කෑ ගසමිනි.

” ඇයි යකෝ ඒ වගේ බලු වැඩක් කලේ තෝ ….ඒ කෙල්ල හුස්ම ගන්න හැදුවා විතරයි යකෝ…තෝ කෙල්ලෙක්ගේ තාත්තා කෙනෙක් කියලාවත් මතක් වුනේ නැද්ද ධනුක…”

ධනුක නුරාන් පසෙකට තල්ලු කලේය. ධනුකගේ උඩු තොල පැළී ගොස් තිබුණි. පැහැසරා හඬා වැටුනාය.

“මොකක්ද මිනිහො කියන්නේ ?”

“කියන්නේ.. කියන්නේ ? කියන්නේ මොකක්ද කියලා තොට තේරෙන්නේම නෑද … බල්ලා… සහෝදරයෙක් වෙලා ඉඳලා කොහොමද යකෝ මට මෙහෙම කලේ..?? මගේ ජීව්තේ මෙච්චරකල් බලාගෙන උන්න සතුට මං හොයාගත්තගමන් ඒකට මෙච්චර හතුරුකමක් කලේ කොහොමද තෝ ?”

අම්මා නුරාන් ට පහර කිහිපයක්ම ගැසුවාය. නිහඬ වන්නට කීවාය. එහෙත් නුරාන්  නැවතුනේ නැත. අත පය විසි කරමින් ඔහු කෝපය පල කලේය.

” තාරා ආ ගිය අතක් නැ.. ඔෆිස් එකේ උන් කෙල්ල ගිය දිහාවක් තාම හොයනවා… තාරා මොකක් හරි තීරණයක් අරගෙන තිබුනොත්, මාත් ඒ පාරෙම යනවා ධනුක.. උඹ අන්න එදාට ඔය කරපු බලු වැඩේට විඳවපං…”

” නුරාන් … පිස්සෙක් වගේ කෑ ගහන්න එපා මල්ලී… අයියා එහෙම දෙයක් කරාවි කියලා කොහොමද හිතන්නේවත් ඔයා… අපි මේ ඒඩී මිස් ගැන විස්තරයක් හොය හොයා උන්නේ. ..”

නුරාන් පැහැසරා වෙත් සමච්චල් බැල්මක් පෑවේය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here