සුසුවඳ සූත්‍ර – 19

0
3719

ඒ හැන්දෑව සෞම්‍ය වූයේ ය. අන්තරා, පාරින්දි හා යුගාත්ම බැඩ්මින්ටන් ගැසූහ. පාරින්දි ගේ වද කිරීමට එය පටන් ගත්ත ද ඒ හින්දා හිත බෙහෙවින් ම සැහැල්ලු වෙනු අන්තරා ට දැනිණ. ඔවුන් සිනහ වෙවී සෙල්ලම් කළේ පාසල් වියෙහි කෙළිදෙලෙන් හැසිරෙන බාලක බාලිකාවන් සේ ය.

“ඇත්තමයි අප්ප. ඉස්කෝලෙ ගිය කාලෙන් පස්සෙමයි මේ බැඩ්මින්ටන් ප්ලේ කළේ. මා…ර රිලැක්ස් දැන්නං”

පාරින්දි හති දමමින් තණ පලස මත හිඳගත්තා ය. අන්තරා ඔවුන් වෙනුවෙන් අයිස් ටී ගෙනාවා ය. ඒවා බොමින්, තණ පලස මත හිඳ කතා කරමින් සිටින විට, ඔවුන් තිදෙනා ම ජීවිතයෙහි යම් යම් අඩුපාඩු සහිතව ජීවත් වෙමින් සිටි බව සිහි වූයේවත් නැත. ඔවුන්ගේ ආත්මයන් හි මහ කළු ගලක බරක් එල්ලා පොළොව වෙත බැඳ තැබූ රැහැන් බිඳී, අහසෙහි පා වෙන සැහැල්ලුවක් දැනෙන්නට ගති. ඒ නිමේශය තුළ ඒ සියලු ප්‍රශ්න, අර්බුධ හා ජීවන බර අහෝසි වී ගොස් තිබිණ.

“ඇත්තටම අපේ ජීවිත බරක් වදයක් කරං ඉන්නෙ අපිමයි නේ…”

යුගාත්ම ගේ මුවින් පිට වූයේ අවංකව ම ඒ මොහොතේ ඔහුට දැනෙමින් තිබූ දෙයයි.

“මොහොතක් ගානෙ දවසක් ගානෙ ජීවත් වෙනව කියල අපි කරන්නෙ බර පටෝගන්න එකමනෙ. අපිත් ටිකක් ජීවත් වෙන්න ඕන කියල හිතනවනං අපි වෙනුවෙන්ම මෙහෙම පොඩි වෙලාවක් වෙන් කරගන්න බැරි නෑනෙ”

“මන්නං එහෙම නොකරනව කියන්නත් බෑ”

අන්තරා මුණිවත බින්දේ කෝළ හඬකිනි.

“පුතා පොඩිකාලෙනං මං එයා කියන කියන සෙල්ලම කළා. එයා එක්ක හැංගිමුත්තං කරන්න ඇඳවල් යට පවා රිංගන්න වුණා. ආයෙ එළියට එන්නෙ මකුළුදැල් පටලෝගෙන කොණ්ඩෙ අවුල් කරගෙන පිස්සු සමයමක් වගේ හිනාවෙන ගෑනියෙක්. පුතා එතකොට මහ හයියෙන් හිනාවෙනව. එයාගෙ හිනාව දකින්න මාත් ඕන දෙයක් කරන්න ලෑස්ති වෙලයි ඉන්නෙ. එයාගෙ පාට්නර් වෙලා ක්‍රිකට්, බැඩ්මින්ටන් විතරක් නෙවෙයි බාස්කට් බෝල් හිටං ගහල තියනව. චෙස් අදිනව… ස්ක්‍රැබල් කරනව. එයා ලොකු වෙනකොට ඒව අඩු වෙලා මට නිකං ඉන්න වෙලාව වැඩි වුණා. පුතාල ලොකු වෙද්දි කොහොමත් කතාබහ අඩු කරල ඒගොල්ලොන්ගෙ ලෝකෙක තනි වෙනවනෙ. කෙල්ලො වගේ තොරතෝංචියක් නැතුව කියවන්න එන්නෑ. ඒ සමහර දවස් වල මං තනි වෙලා වගේ දැනිල තනියම ඇඬිලත් තියනව. ඒත් ටික ටික මං ආස දේවල් කරන්න ඒ වෙලාව වෙන්කරගත්ත”

අන්තරා දිගට ම කියවාගෙන ගොස් දිගු හුස්මක් ගත්තා ය.

“ගේ ලස්සන කරන්න… මල් වලට සාත්තු කරන්න… තව එක එක දේවල් වලට”

ඒ එක එක දේවල් ගැන ඈ නො කියා සිටියා ය. ඒ එක එක දේවල් අතරෙහි සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමේ උත්සාහයන් ඉදිරියෙන් ම වන බව ඇය දනී. නමුත් කුමක්දෝ හේතුවකට ඒ බව කියන්නට තරම් ඈ ඉක්මන් වූයේ නැත. යුගාත්ම වාගේ ජාත්‍යන්තර මට්ටමේ ඉහළ ම විලවුන් නිෂ්පාදන ආනයනය කරන, ඕරා ඔෆ් ඇරෝමා වාගේ විලවුන් සාප්පු ජාලයක හිමිකරුවෙකු වෙන කෙනෙකුට ඇගේ ප්‍රාථමික මට්ටමේ විලවුන්  නිෂ්පානයන් ගැන කියන්නට කිසිම හේතුවක් නොමැති සේ ඇයට දැනිණ.

“අපි හිතුවට මහා ලොකුවට සල්ලි වියදං කරන්න වෙන ලොකු තැන්වලයි ලොකු දේවල් වලයි තමයි සතුට තියෙන්නෙ කියල… එහෙම නෑ. අපි නොහිතන තරං හරිම චූටි තැන් වලින් වුණත් ජීවත් වෙන්න තරං සතුට හොයාගන්න පුළුවන්. වෙලා තියෙන්නෙ අපි ඒව දකින්නෑ. අපි ඒව දිහා බලන්නෑ”

“ඒත් සල්ලි නැතුව සතුට තියා මොනවත්ම හොයාගන්න බෑ කියල පහුගිය කාලෙ මං හොඳට තේරුං ගත්ත අන්තරා. ජීවත් වෙන්න ඇති තරං සල්ලිත් තියනවනං ඔය කියන පොඩි දේවල් වලින් සතුටු වෙන්න පුළුවං වෙයි”

පාරින්දි ඒ විරෝධය පෑවේ සිය අත්විඳීම් සිහිකර ගනිමිනි.

“ඒක ඇත්ත වෙන්න පුළුවං පාරි. ඒත් සල්ලි කොච්චර තිබුණත් සතුටෙන් ජීවත් වෙන්න දන්නැති කෙනෙකුට සල්ලි වලින් සතුට ගන්න බෑ. ලස්සන ෆ්ලවර් බොකේ එකක් ගන්න අපිට ගාණක් වියදං වෙනව තමයි. හැබැයි එහෙම නැතත්… පාර අයිනෙ අහිංසක විදිහට පිපිල තියෙන ට්‍රයිඩැක්ස් මල් ටිකක් ලස්සන කොළ ඉත්තක් එක්ක වාස් එකකට දාල වුණත් ඒ සතුටම විඳින්න පුළුවන්. ඒකට ට්‍රයිඩැක්ස් මලකත් ලස්සන දකින්න පුළුවන් හිතක් තමයි තියෙන්න ඕනෙ. මන්දා… මටනං එහෙම පුංචි දේවල් වලින් ලොකූ සතුටක් විඳින්න පුළුවං. වැස්සකට පස්සෙ මිදුලට බැස්සහම විතරක් නෙවෙයි… හෝස් එකෙන් වතුර දැම්මට පස්සෙ වුණත් ගස් වල කොළ වල මල් වල තියන ප්‍රබෝධය දැක්කහම අලුත් සතුටක් මට දැනෙනව”

තණ පලසෙහි හිඳ දෑත් පිටුපසට බර කරගෙන යුගාත්ම අන්තරා දෙස ම බලා සිටියේ ය. ඇය කතා කරන්නේ ගහ කොළ මල් පවා සිතින් විඳිමිනි. ඒවා නිසා ඇගේ හදවතට දැනෙන්නා වූ මිහිර, මේ මොහොතේත් සතුටක් ලෙස ඇගේ දෑසින් කියවාගත හැක. අල්ප වූ දේවල්      මත සතුටු විය හැකි හදවතක් කියන්නේ ප්‍රීතියෙහි මල් උයනකි. එවන් ආත්මයකට අහසට වුව සිනාසිය හැක. මලක් වුව සිපගත හැක. ගහකට වැලකට වුව ප්‍රේමයෙන් ඇමතිය හැක. ඔවුන් සතු වන්නේ ජීවිතය විසින් නිදොස් කොට නිදහස් කළා වූ හදවත් ය.

අන්තරා හවස තේ සූදානම් කළේ ටෙරසයෙහි ය. එක ම ගෙදරක වුව එක එක ස්ථානයන්හි වන්නේ වෙනස් රිද්මයන් යයි ඇය විශ්වාස කරයි. ඉඳහිට ඒ ඒ තැන් වෙනස් කොට තේ එකක් බොන එක, කෑම ටිකක් කන එක පමණකදු නොව පොතක් කියවන එක ද ජීවිතයට වෙනසක් එක් කරයි.

“ශාහ්… මෙතන මාර වෙනස් වයිබ් එකක්නෙ තියෙන්නෙ”

එහි ගොඩ වූ ගමන් යුගාත්ම සිය ප්‍රහර්ශය හෙළිදරව් කළේ ය.

“බීච් එක අයිනෙ වගේ… මාර හුළඟක් එනව නේ…”

“සමහරු කියනව මෙතන හුළං කපොල්ලක් වෙන්නැති කියල. රස්නෙ කාලෙට අව්ව බැස්සහම මං වැඩිපුර ඉන්නෙ මෙතන. රෑට වුණත් ඔය පැද්දෙන පුටුවට වෙලා අහස දිහා බලං ඉන්නකොට දැනෙන නිදහස් හැඟීම වචන වලින් කියන්න බෑ”

“ඔයා හරි වාසනාවන්තයි අන්තරා. අඩු ගානෙ ඔයාට මෙහෙම නිදහසේ ජීවත් වෙන්න ලස්සන ගෙයක් තියනව”

“ගෙයක් තිබුණ කියලත් හැම මනුස්සයෙක්ටම අන්තරා වගේ ජීවත් වෙන්න බෑ පාරින්දි. ඒකට අන්තරා වගේ හිතන හිතක් තියෙන්නත් ඕනෙ”

බටහිර අහස රතු තැඹිලි කහ පාට ඉහිරුණ සිතුවමක් සේ දිස්වේ. ඒ මැද්දෙහි රක්ත වර්ණ ගෝලයක් සේ හිරු අහස කෙළවර එල්ලී හිඳී. ඒ කොයි මොහොතේ සිතිජ රේඛාවේ ගිලී යන්න ද යන නො ඉවසිල්ලෙනි. මිතුරන් දෙදෙන තේ බොන අතරෙහි අන්තරා ඉක්මනට ගෙට දිව ගොස් අලංකාර සුවඳ විලවුන් බෝතලයක් ගෙන පැමිණියා ය.

“මේක ඔයාට”

ඒ පාරින්දි වෙනුවෙන්, මේ දවස සිහි වන්නට තිලිණයකි. රෝස තෙල් වලින් ඈ වෙනුවෙන් විලවුනක් තනා දෙන්නට අන්තරා සිතා සිටිය ද, පසුගිය දින වල හිතේ වූ පීඩනය නිසා ඊට අවකාශ ලැබුණේ නැත.

“ශාහ්… ඒක මාර සුවඳක්නෙ. හරියට කපපු ගමන් තණකොළ පිට්ටනියකදි දැනෙන තණකොළ සුවඳ වගේ”

පාරින්දි යළි යළිත් ඒ සුවඳ ආඝ්‍රාණය කළා ය.

“එහෙම දැනෙනවද…”

අන්තරා විමසුවේ උනන්දුවෙනි.

“ඔව්”

“ඒ සෙන්ට් එක තියනව. හැබැයි එක්ස්පෙන්සිව්”

යුගාත්ම පැහැදිලි කළේ සිය ව්‍යාපාරික දැනීමෙනි.

අන්තරා සුවඳ ලෝලියෙකු බව දැන් යුගාත්ම ට සහතික ය. ඔහු එහි වෙළෙඳ නාමය කුමක් දැයි බැලුවේ ය. නමුත් විලවුන් කුප්පිය මත එ් ගැන කිසිදු සඳහනක් වූයේ නැත.

“මොකද්ද මේ බ්‍රෑන්ඩ් එක…”

අන්තරා ගේ මල් පෙති දෑස් මඳ කෝල බවකින් බිමට හැරිණ. ඇගේ කම්මුල් මත ලා රත් පැහැයක් ඉහිර ගියේ ය.

“ඒක… මං හදපු එකක්”

යුගාත්ම ගේ ද පාරින්දි ගේ ද ඇස් මඳක් මහත් විය. පාරින්දි ට ඒ ගැන ලොකු අදහසක් නොවී ද යුගාත්ම ට ඒ විශ්වාස කළ නො හැකි ප්‍රකාශයක් සේ ය.

“ඔයා හදපු කිව්වෙ…”

“මං චුට්ටක්… පර්ෆියුම් හදන්න එක්ස්පෙරිමන්ට්ස් කරනව. ලොකුවට නෙවේ ඉතිං… මං ආසයි සුවඳට. ඒ ආසාව නිසා තනියම විස්තර හොයල ඉගෙනගෙන ඉතිං… නිකං ඉන්න වෙලාවට පොඩියට ට්‍රයි කරනව”

යුගාත්ම ගේ ඇතුළාන්තයෙහි සුළි සුළඟක් හමා යන්නට විය. සැබවින් ඔහු මුළුමනින් කලබල වී සිටියේ ය. මේ ගැහැනිය ප්‍රහේළිකාවක් බව ඔහු ට දැනෙමින් තිබිණ. නමුත් ඒ මේ තරම් සංකීර්ණ වූ ප්‍රහේළිකාවක් වෙතැයි ඔහු සිතුවේ ම නැත.

“ඔයා මොනාද කියන්නෙ… ඔයා පර්ෆියුම් ගැන එක්ස්පෙරිමන්ට්ස් කරනව…”

“අනේ ලොකුවට නෙවේ ඉතිං. ඒකයි මං ඕගොල්ලොන්ට ඔය ගැන නොකියා හිටියෙත්”

“ළමයො… ඔයා මාරයිනෙ. එතකොට ඔයා යූස් කරන්නෙත් ඒ පර්ෆියුම්ද… මාර යුනික් ෆ්‍රේග්‍රන්ස් එකක් කියල හිත හිත ඒවයෙ බ්‍රෑන්ඩ්ස් මොනා වෙන්න ඇද්ද කියල මං කල්පනා කර කර හිටියෙ. එතකොට ඒ පර්ෆියුම් ඔයාගෙම ප්‍රඩක්ශන්ස් ද…”

“අනේ මං කිව්වෙ ඉතිං… චූටියට මට විතරක්…”

“වාව්… ඔයා මාරයිනෙ”

යුගාත්ම හිටියේ ඒ විශ්මය දරා ගන්නේ කෙසේදැයි නො දන්නා විශ්මයක් තුළ ය. පාරින්දි බලා සිටියේ ඔහු දෙසයි. ඔහු වූ කලී මුල් ම දිනයේ පටන් අන්තරා ළඟ දැනුණා වූ සුවඳට උමතු වූ හදක් දරා සිටි අයෙකි. ඒ සුවඳ වල අයිතිය ඇගේ ම බව දැනගත් මේ මොහොතේ ඔහු මුළු මහත් අන්තරා කෙරේ උන්මාදයට පත්ව ඇතැයි පාරින්දි ට සිතේ. ඇගේ හදවත මැද ඇය නො දන්නා සීරුමක් ඇතිවෙමින් තිබිණ.

රිය නලා හැඬවුණේ ඒ මොහොතේ ය. අන්තරා ටෙරසයෙහි බැම්මෙන් පහළට එබී බැලුවා ය. දක්ෂිණ රිය ගෙමිදුල දෙසට හරවාගෙන, ගේට්ටුව විවර වන තුරු බලා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here