(අ)හිමි සිහින -109

සුධාරකගේ ජීවිතයේ සිටි ගැහැනිය නඩු පටලවා නික්ම ගිය පසු අපි ඒවායින් නිදහස් වූයේ ඉතා අසීරුවෙන්.සමු ගැනීමක් ගෞරවාන්විත ව සිදු විය යුතුයි.එසේ ගෞරවාන්විතව සමු ගත් මිනිසෙකු යළි හමුවීමේ අපූරු කතාවක් ඔබට කියන්නට මම හිතුවා.

අපි දිනක් කඳුකරයට චාරිකාවක යෙදෙද්දී සුධාරක අපූරු යෝජනාවක් ගෙනාවා.ඒ “අසංක” මුණ ගැසෙන්නට හිතුණු බව කියමින්.අසංකගේ ගෙදර ජීවිතය,ඔහුගේ අම්මා සම්බන්ධ කතා සහ ඒ දික්කසාදය ගැන මම කියන කතන්දර ඇත්තදැයි දැන ගන්නට සුධාරකට සිතුණා දෝ කියලා මට නිකමට හිතුණා.ඔහු මා සිහිනයකින්වත් සැක නොකරන වග මම දන්නවා.නමුත් ඔහුගේ ඉල්ලීමට පිටුපාන්න මට හිතුණේ නැහැ.

නොගැළපීම් අහස උසට තිබීම නිසා වෙන් වූ වග ඇත්ත.නමුත් අසංක මගේ සතුරෙක් නෙවෙයි.මට ආදරය පිරුණු ජීවිතයක් දෙන්නට අපොහොසත් වූවාට අසංක හොඳ මහත්මයෙක්.ඔහුව මුණ ගැසෙන්නට යන්න මට මඳක් හෝ අපහසු වූයේ නැහැ.

“මැණිකේ අපි ගිහින් අසංකව බලලා යංකො”

සුධාරක එහෙම කියනකොට මම ඒ යෝජනාව අහකට නොදැම්මේ ඒකයි.අසංක සහ ඔහුගේ ඥාතීන් මගේ ෆේස්බුක් ගිණුමේ මිතුරන් ද වනවා.ඔවුන්ට හංගන්නට කිසිවක් මට තිබුණේ නෑ.ඒ නිසා මට සුධාරකව ඔවුන්ට මුණ ගස්වන්නට අපහසු වූයේ ද නැහැ.අපි ඒ ගමන ගියේ හිතේ සතුටින්.

මුලින්ම මම අසංකගේ මල්ලිගෙ ගෙදරට ගොඩ වැදුණා.මල්ලිගේ බිරිඳ කාලයකට පසු දුටු මාව වැලඳගෙන සතුටු වුණේ පුදුමාකාර ආදරයකින්.ඉන්පසු අපි අසංකගේ ගෙදරට ගියා. අසංක අපිව ඉතාමත් උණුසුම් අන්දමින් පිළි ගත්තා.සුධාරක සමඟ හොඳින් කතාබහක නියැලෙන්නටත් ඔහු අමතක කළේ නෑ.මුණ ගැහෙන ඕනෑම කෙනෙකු සමඟ ඉක්මනින් මිතුරු වෙන මගේ පුංචි කෙල්ල දිහා අසංක බලාගෙන හිටියේ හරිම ආදරයකින්.

“අම්මෝ..ඔයා වගේමයි නේද?”

ඔහු එසේ කියමින් අපේ දියණිය දෙස බොහෝ වෙලාවක් බලාගෙන හිටියා.

“ඉතින් මොනවද බබෝ ඔයාට දෙන්නේ?”

එහෙම කියමින් ඔහු ගෙතුළ වූ රස කැවිලි කිහිපයක් ද අපේ පුංචි බෝනික්කිය අත තැබුවා.අපි එක්ව ජීවිතයක් ගෙවූ මුත් ඒ ජීවිතය හොඳ පවුල් ජීවිතයක් කරගන්නට අපිට හැකියාවක් තිබුණේ නෑ.එසේ වූවානම් මෙවැනි සුන්දර දියණියකගේ පියෙකු වන්නට ඔහුටත් හැකි වෙනවා නේද කියලා අසංකට හිතෙන්නට ඇති.ඔහු අපේ දියණිය සුරතල් කළේ ඉතාම ආදරෙන්.

“ජීවිතේ ඉතින් ඔහොම තමයි.මුණ ගැහෙනවා.වෙන් වීම් වෙනවා.ජීවිතේ කියන්නේ ඒකටනෙ..”

අපි ආ ආරංචියට නිවසට ගොඩ වැදුණු අසංකගේ අක්කා කෙනෙක් එහෙම කතාවකට මුල පිරුවා.

“මෙහෙ ඉන්නකම් ඔයා කරපු සේවය අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ.ඔයා අපේ අම්මා බලා ගත්තේ මොනතරම් ආදරේකින් ද? අම්මගෙ දරුවෝ වුණු අපිටත් වඩා හොඳට ඔයා අපිව බලා ගත්තා.ඒව අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ.ඔයාල නොගැළපීම් නිසා වෙන් වුණා තමයි.ඒත් ඉන්න කාලේ අපි හැමෝම බොහොම එකමුතුවෙන් හොඳට හිටියනේ.”

අක්කා බොහොම හැඟීම්බරව එසේ කියන්නට වුණා.

අපි චාරිකාව ගොස් ආපසු එද්දී අනිවාර්යයෙන් නැවත එන්නටත් ඔවුන් අපිව පොරොන්දු කරවා ගත්තා.ඒ අපිට දිවා ආහාරය සකස් කරන පොරොන්දුව ඇතිවයි.අපි ඒ ඉල්ලීම පිළි ගත්තේ ඉතාම ආදරයෙන්.සුධාරක හොඳ රැකියාවක් කරන ඉහළ නිලයක් හොබවන කෙනෙක් වුණත් ඔහුගේ නිහතමානීකම නුවර නෑදෑයන්ගේ සිත් ගත්තා.ඔවුන් ඔහුට සැලකුවේ ඉතාමත් ආදරයෙන්.ජීවිතයේ එක් කාලපරිච්ඡේදයක් මා විසූ නිවස සහ මගේ නෑදෑයන් වී සිටි පිරිස සුධාරකට පෙන්වූ ගමන එහෙම එකක්.

අපට ජීවිතය පුරා විවිධ මිනිස්සු මුණ ගැහෙනවා.ඇතැම් අය ජීවිතය පුරා අප සමඟ රැඳෙනවා.තවත් අය අතරමඟකදී අත හැරෙනවා.ඒ කොහොම වුණත් ඒ බැඳීම් වලට අවංක වූ විට අපට සතුරන් නිර්මාණය වෙන්නේ නෑ.නුවර නෑදෑයන් මට එතරමට ආදරය කරන්නට හේතුව ඔවුන්ගේ රෝගී අම්මා මා ආදරයෙන් රැක බලා ගත් නිසා බව මම දන්නවා.ඒ නිසාම ඒ අතීතය ගැන මට බිඳුවක්වත් පසුතැවීමක් නෑ.

ඇත්තටම ජීවිතය මොනතරම් පුදුමාකාරද?

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...

හිමගිරි අරණ -19

"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි." හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින්...

(අ)හිමි සිහින -123

මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින්...

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...