මල්සර හී සර – 48

0
1964

“ගර්ල් ෆ්‍රෙන්ඩ් මිසින් වෙලා ඉද්දි මේ වගේ පාටි දාන්න ප්ලෑන් කරන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව මං දැක්කමයි” කියලා මාලවී කියද්දි සමුද්‍ර උන්නේ ෆුඩ් සිටියෙන් තමන් අරගන්න ආව බඩු මුට්ටු ටික අරගෙන කැශියර් එකට යන්න බලාගෙන. ඇඳුම හදන්න දුන්න තැනට ගිහිල්ල ඉන්පස්සෙ සැලොන් එකටත් ගිහින් ඒ එන අතරමග මාලවී ෆුඩ් සිටි එකට ගියේ ගෙදරට ඕන කරන මඩු මුට්ටු වගයක් අරගෙන එන්න. ඒ ගමන මැද්දෙ සමුද්‍රව දකින්න මාලවී ඇත්තටම බලාපොරොත්තු උනේ නෑ. අනික සමුද්‍ර නිතරම සප්තමීලගෙ ගෙදර යනවා එනවා කියලා ආරංචි උනාට මොකෝ තමන් දැන් ඉන්නෙ මාරම බිසී ශෙඩුල් එකක හන්දා මාලවී ඉස්සර වගේ ගෙදර රැඳිච්ච නැති හන්ද එහෙම යන එන වෙලාවක සමුද්‍රව දකින්නත් මාලවීට චාන්ස් එකක් හම්බුනේ නෑ.

මාලවී එහෙම කිව්වම සමුද්‍ර කලේ හිනාවෙන එක. ඒ වගේ දෙයක් කිව්වම හරිහමන් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් කරන්නෙ හිනාවෙන එක නෙවෙයි හන්දම මාලවීට නිකමට වගේ තමයි හිතුනෙ “මූද දන්නෙ නෑ සප්තමීව ඉස්සුව මිනිහා” කියලත්. ඒත් අනිත් පැත්තටම සප්තමී කෝල් කරලා නන්දා ආන්ටිට කියලා තිබ්බ කාරණා මතක් වෙච්ච හන්දා ඒක ඉතින් එහෙම වෙන්න බෑ නේද කියන එකත් මාලවීට ඒ අස්සෙම කල්පනා උනා.

“ඒ වගේ දෙයක් කිව්වම හිනාවෙනවද අනේ?” කියල මාලවී ආයෙම වතාවක් ඔලුව ඇල කරලා අහද්දිත් සමුද්‍ර නම් කලේ හිනාවෙන එක තමයි.

“ඇයි ඔයා බලාගෙන හිටියෙ සප්තමි නැති උනාම මම අඬ අඬ ඉඳිවි කියලද?” කියල සමුද්‍ර කවදාවත් තමන් දිහාව නොබලපු තාලෙකට බලලා අහද්දි මාලවී පොඩ්ඩක් විතර ගැස්සුනේ ඒ ඇස්වල ඇඳිලා තිබිච්ච තේරුම්ගන්න බැරි බැල්ම හන්දමයි.

“ඇයි ඔයාට දුක නැද්ද එයා ඔයා ලඟ නෑ කියලා. ඔයාලා දෙන්න නිකන් කුරුලු ජෝඩුව වගේනෙ හිටියෙ. සප්තමී ඒත් මාත් එක්ක කිය කිය හිටියෙ ඔයාලා දෙන්න ඉක්මනට මැරි කරන්න එහෙම තමයි ඉන්නෙ කියලත්” කියලා මාලවි ආයෙ කියද්දි සමුද්‍ර කලේ ආයෙම වතාවක් අර මහ අමුතුම හිනාව දාලා මාලවී දිහාව බලපු එක.

“අන්න ඒක නම් එයා කරපු ලොකුම ලොකු වරදක්” කියල සමුද්‍ර කියද්දි මාලවීට හිතාගන්න බැරි උනා සප්තමී කියපු මොන වරද ගැනද සමුද්‍ර මේ කියවන්නෙ කියලා.

“ඒ කිව්වේ? මොකද්ද සප්තමී කර වරද?” කියලා කටෙන් ඒ පිටවුණේ ආන්න ඒ ප්‍රශ්නෙ.

“මගෙන් අහන්නෙ නැතුව, මාත් එක්ක කතාකරන්නෙ නැතුව එහෙම දෙයක් පිටට කිව්ව එක” කියල සමුද්‍ර ආයෙම වතාවක් හරිම සැහැල්ලු විදියට හිනාවෙලා තමන් දිහා බලන් ඉද්දි නම් මාලවීට ඒත් පොඩ්ඩක් විතර බය හිතුනා මේ මිනිහා මේ වගේ අමුතු දේවල් කියල අමුතුම විදියට මං දිහාව බලලා හිනාවෙන්නෙ මූ සීරියල් කිලර් කෙනෙක් වෙන්නත් බැරි නෑ නේද කියලා. 

“ඇයි ඒකෙ මොකද්ද වරද? අනික ඔය දෙන්න කොහොමත් ආශ්‍රය කලේ බඳින්න හිතාගෙන නේද?” 

“ඔව් එහෙම නම් තමයි ආශ්‍රය කලේ. ඒ උනාට එයාට තිබ්බා ඔය විත්තියක් කාටවත් කියන්නෙ නැතුව ඉන්න නේද?” 

“ඇයි ඒ?”

“නෑ ඉතින් නිකන් මොකටද අපේ දේවල් පිටට කියන්නෙ. නැති ප්‍රශ්න ඇති කරගන්න හේතුවෙන කතන්දරනෙ ඕව” කියල සමුද්‍ර කියද්දි මාලවී කරේ නිකන් හරියට ඒක තමන්ට තේරුම් ගියා වගේ බොරු හිනාවක් තොල් උඩ ඇඳගෙන සමුද්‍ර එක්කම හිනාවෙච්ච එක. තවදුරටත් සප්තමී ගැන කතාව කරගෙන යන එක හිතට පොඩි කරදර ගතියක් අරගෙන ආව හන්දම තමයි මාලවී ඒ කතාව සප්තමීගේ පැත්තෙ ඉඳලා ඔය හෙටානිද්ද දවසක තියෙන්න නියමිත වෙච්ච ටෙලි ඩ්‍රාමා එකේ සක්සස් පාටි එක ගැන සමුද්‍ර එක්ක කතාකරන්න හිතුවෙ. අනික සමුද්‍රගෙ ප්‍රඩක්ශන් හවුස් එකෙන්ම කරන ගොඩක් ඇඩ්ස් වලට මේ වෙද්දිත් මාලවීව තෝරගෙන තිබිච්ච හන්දා වගේම ඒවයි ශූට්ස් කීපෙකටම මාලවී ඕල්රෙඩි සම්බන්ධ වෙලා තිබ්බ හන්දම සමුද්‍ර කියන්නෙ මේ ඉන්ඩස්ට්‍රි එකෙ ඉස්සරහට යන්න තමන්ට දිගටම ළඟ තියාගන්න ඕන වෙන මනුස්සයෙක් කියන එක මාලවී හොඳට මතකෙ තියාගත්තා.

“එකපාර පාටියක් දාන්න හිතුවෙ ඇයි?” කියලා මාලවී අහද්දි සමුද්‍ර ආයෙ කලේ අර සීරියල් කිලර් හිනාවෙන් මාලවීව තප්පර ගානකට තිගස්සපු එක.

“එකපාරම නෙවෙයි. ට්‍රෙන්ඩින් නම්බර් වන් ආව හන්දයි මිනිස්සු ඕල්‍රෙඩි සෑහෙන පොසිටිව්ලි මේ ගැන කතාකරන හන්දයි තමයි මම හිතුවෙ කට්ටියටම පොඩි පාටියක් දාලා සන්තෝසෙ සමරන්න ඉඩක් දෙන්න ඕන කියලා.

අනික ඉතින් මේකෙ රඟපාපු අයගෙ එහෙම දක්ශතාවෙ හන්දනෙ මෙච්චර ඉක්මනට මෙච්චර උඩට ආවෙ. එයාලට මම කොහොමත් ස්පෙශල් විදියට ට්‍රීට් කරන්න ඕනනෙ” 

“ඒ උනාට ඔයා හරිනම් හොඳටම ස්පෙශල් ට්‍රීට් කරන්න ඕන වෙච්ච මනුස්සය නැතුව මේ පාටි එක වැඩක් තියෙනවද දීලා?” කියල කිව්වට පස්සෙ තමයි මාලවීට හිතුනෙ ආයෙ මේ කතාවක් මැද්දට සප්තමියෙක්ව ඇද ගත්ත එක නම් අපරාදෙ කියලත්. ඒත් ඉතින් කියපු වචන මොකෝ ආයෙ ගිලින්න කියලද?

“ඇයි මම එයාට විතරද ස්පෙශල් ට්‍රීට්මන්ට් එකක් දෙන්න ඕන?” කියල සමුද්‍ර තමන් දිහාවට පොඩ්ඩක් විතර නැමිලා එක එල්ලේම ඇස් දෙක දිහා බලාගෙනම අහද්දි ඒ ඇස් අස්සෙ ලියවිලා තියෙන්නෙ මොන වගේ කතාවක්ද කියල අඳුරගන්න කොච්චර උත්සහ කරත් ඒ කලු පාට ඇස් අස්සෙ මාලවී දැක්කෙ අන්ධකාරෙම විතරයි. ඉන් එහා සමුද්‍ර හිතන්නෙ මොනවද, එයා කියන්නෙ මොනවද, එයා මොන වගේ මනුස්සයෙක්ද කියන එක තේරුම්ගන්න ඒ ඇස් වලින් අමාරු බව මාලවීට තේරුණා.

“ඇ..ඇයි..යි..ඇයි තව..ත…ව…කවුද…ඉ…ඉන්..ඉන්නෙ ඔයාට ස්පෙශල් ට්‍රීට් කරන්න?” කියල වචන කැඩි කැඩී උනත් සමුද්‍රගෙන අහන්න මාලවී හිතුවෙ ඇස්වලින් තේරුම්ගන්න බැරිවෙච්ච ඒ ප්‍රශ්නෙට උත්තරේ සමුද්‍රගෙ කටෙන්ම අහගන්න වගෙ.

“ඇයි ඔයත් ඉන්නවනෙ? මං ඔයා වෙනුවෙන් ස්පෙශල් ට්‍රීට්මන්ට් එකක් රෙඩි කරන්න ඉන්නෙ. කොහොමත් දැන් සප්තමී කියන කෙනාට වඩා මිනිස්සු මේ ටෙලි ඩ්‍රාමා එක නිසා අඳුරගෙන ඉන්නෙ ඔයානේ” කියලා ආයෙම වතාවක් අර සීරියල් කිලර් හිනාව දාලා තමන්ගෙන් ඈත්වෙලා යද්දිත් මාලවී එතනම එහෙමම තප්පර ගාණක් ස්ටක් වෙලා කල්පනා කලේ සමුද්‍ර ඒ කිව්වෙ මොකක් ගැනද ඒ වගේම එයා එහෙම දෙයක් කිව්වෙ ඇයිද කියන එක ගැන.

සප්තමී ආයෙ තමන්ට කොයි වෙලාවක හරි කෝල් එකක් දෙයි කියන බලාපොරොත්තුවෙන් නන්දා ඉන්පස්සෙ දිගටම වගේ උන්නෙ ෆෝන් එක ලඟටම වෙලා. ගෙදර මොකක් හරි වැඩක් පලක් කරන වෙලාවක උනත් නන්දා ෆුල් ෆෝකස් එක දීගෙන උන්නේ ෆෝන් එකට.

රෑ අටහමාර වෙද්දි ගෙදර ඔක්කොම වැඩ ටික ඉවර කරලා නන්දා ටීවි එක ඉස්සරහට එන්නෙ සංසාර පාරමිතා ටෙලි නාට්ටිය බලන්න. මේ හැම ප්‍රශ්නයක්ම පටන් ගත්තෙ ඔය මගුල් ටෙලි නාට්ටිය හන්දා උනාට මොකෝ තමන්ගෙ දරුවව එහෙම හරි බලාගන්න තිබිච්ච චාන්ස් එක මොන තරම් හිතේ දුක තිබ්බත් නැතිකරගන්න නන්දා කටයුතු කලේ නෑ.

ටෙලි නාට්ටිය මගක් ගිහින් ඇඩ් එකක් යන්න නතර වෙච්ච වෙලාවෙ තමයි ගෙදර දොර සීනුව නාද උනේ. මේ වෙලාවෙ එන්න ඉන්නෙ ජයබාහු විතරක් උනාට මොකෝ එයා සාමාන්‍යයෙන් ගෙදර සීනුව නාද කරන්නෙ නෑ නේද කියන එකම හිතන ගමන් තමයි නන්දා දොර අරින්න ගියේ.

නන්දා දොර අරිනවත් එක්කම තමයි හීනියට වගේ පිරිමි කටහඬක් “ස්ස් කෑගහන්න එපා” කියලා කිව්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here