සුසුවඳ සූත්‍ර – 24

0
4206

දශක දෙකකට පසු අන්තරා ඇගේ මහගෙදරට ගොඩවූවා ය. පූජා තැටියෙහි පහන් දල්වා, අන්තරා ගේ හිස ඉදිරියෙහි කරකවා, ඇස්වහ කටවහ දොස් දුරු කරවා කිශෝරි ඈ සිය උපන් ගෙට ගත්තා ය. භාණුක ජිතේන්ද්‍ර මුතුමුදලි හිටියේ ආලින්දයේ මඳක් ඈතින් වන කවුළුවකින් පිටත බලාගෙන ය. ඔහු ගේ මූණ ආඩම්බර පාට ය. ගෙදරින් පිට වී ජීවිතය වරදවාගත් දියණිය ගැන වේනාවක් ද ඒ මොහොතේ ඔහු තුළ කැකෑරෙමින් තිබිණ. පියා මඳක් මහත් වී යයි අන්තරා ට සිතිණ. උදරය ද යන්තම් ඉදිරියට නෙරා තිබේ. මේ ඈ සජීවී ව ඔහු දකින්නේ ගෙදරින් පිටමං වූවාට ම පස්සේ ය. පියා ගේ සජීවී ප්‍රසංගයකටවත් අන්තරා පැමිණියේ නැත. කළ වරදට ඈ  දශක දෙකක් පුරාවට තමුන් වෙත දඬුවම් පමුණුවා ගත්තා ය. ඉස්සර ඈ පාසල් යන වියෙහි දී භාණුක ජිතේන්ද්‍ර යනු බොහෝ බාලිකාවන්ගේ රහසිගත ප්‍රේමයයි. ඒ පෞරුෂය එහෙම ම තිබියදී ඔහු පරිනත පුරුෂයෙකු ලෙස රූපාන්තරණය වී තිබේ.

“අප්පච්චි”

කියාගෙන අන්තරා පියා වෙතට අඩියට දෙකට ලං වූවා ය.  නටුවෙන් ගිලිහුණු තුරු පතක් සේ ඔහු ගේ පාද පාමුල වැටුණා ය. ඒ පාද පද්ම සිපගෙන, දෑසින් ගැලූ කඳුලින් පා දෝවනය කළා ය. ජිතේන්ද්‍ර දියණිය ගේ උර පතු වලින් අල්වා ඈ නැගිටුවාලූයේ ය. පරඬල් පතක් සේ අන්තරා පියාණන් බදා පපුතුර හිස හොවාගත්තා ය. පියාණෝ දියණිය වැලඳ සිටියේ ආයේ නම් සොර සතුරෙකුට ඈ ගෙන යන්නට නොදෙමියි තරයේ අදිටන් කරගෙන මෙනි.

“මං සමාව ඉල්ලන්නෑ අප්පච්චි. මං දන්නව සමාව දෙන්න බෑ කියල. සමාව දෙන්නත් එපා. දාසියක් වගේ කකුල්දෙක ළඟ වැටිල හරි මට ඉන්න අවසර දුන්නට අප්පච්චිට ජාති ජාතිත් පිං. මං ණයයි අප්පච්චි. ජාති ජාතිත් මං ණයයි. ඒ ණය ගෙවන්න මේ සංසාරෙත් මට මදි වෙයි”

ජිතේන්ද්‍ර ගේ පපුවෙහි තුවාලය පෑරී ලේ ගැලුවේ ය. උගුරෙහි ඊට නො දෙවෙනි රිදුමක් විය. ඔහු ගේ ඇස් කෙවෙනි වලට කඳුළු පුරා ඇවිත් තිබිණ. ඉක්මන් ඇස්පිය සලමින් හෙතෙම ඒවා උපන් ගෙයි ම අවසන් ගමන් යවමින් සිටියේ ය.

කිශෝරි ඇවිත් පියාත් දියණියත් දෙදෙනා ම දෑතින් බදාගත්තා ය. දශක දෙකක් තිස්සේ හැම හුස්මක් ගානේ ඇය ප්‍රාර්ථනා කළ පැතුම සඵල වී තිබේ. කල් ගත වී ද දෙවියන් නිවී සැනසිල්ලේ ඇගේ කන්නලව්වට කන් දී තිබේ. පියා හා දියණිය අතරේ පරතරය අහෝසි වී යළිත් ඔවුන් දෙදෙනා එක හුස්මක් බවට පත් වී තිබේ.

“දෙවියන්ට පින් සිද්ධ වෙන්න මගෙ ඇස් පියවෙන්න කලින් අපේ ගෙදරට ආයෙත් ඒ සතුට ආව. සරස්වතී දේවිගෙ බැල්ම හරියට මේ ගෙදරට වැටුණෙ අවුරුදු විසි ගාණකට පස්සෙ. ඒ කියන්නෙ තත්පර කොයි තරං ගාණක්ද කියන්න මං දන්නෑ. හැබැයි පුතේ ඒ තත්පර ගාණ තරං අප්පච්චි ඔයා වෙනුවෙන් හීල්ලුව. දැං එයාට ඒ තරංම සතුට ලැබෙන්න ඕනෙ… සැනසීම ලැබෙන්න ඕනෙ”

“ළමයට බොන්න කන්න මොනවහරි ලෑස්ති කරන්න කිශෝරි”

ජිතේන්ද්‍ර උගුරේ රැල් බුරුල් හැර කීවේ ය. පුංචි දෙපා වලින් දුව පැන ඇවිදි මහ ගේ පුරා ම අන්තරා දෑස් දිවවූවා ය. ඈ ගියාට පස්සේ එහි අංශුවකුදු වෙනස් කොට නැති සේ ය. නිරන්තර ගෙතුළ සිසිලස රඳන සේ උළු සෙවිලි කළ වහල, වටේට ම උස් කුළුණු මත ඉදි කළ වැරැන්ඩාව, මල් කැටයම් සහිත හා ශක්තිමත් පිත්තල කූරු වලින් රැකවල් යෙදූ, ලෑලි පියන් සහිත ජනේල, රතු සිමෙන්ති දමා ඔප්නැංවූ පොළොව, ඒ සියල්ල නිහඬව කියන්නේ අතීතයට අයිති ව තිබූ සීතල මතකයන් ගැන කතාවකි. වියන් ඇඳෙහි දැවැන්තයෙකු සේ නිදාගත් අප්පච්චි ට තුරුලු වී කතන්දර ඇසූ කුරුකුහුඹු කෙල්ලක ගැන මතක පුරාණයකි. සරස්වතී පිළිරුව ඉදිරියෙහි පහන් දල්වා දෑස් පියාගෙන ආශීර්වාද ලබාගත් සරසවි බැල්ම හිමි යුවතියක ගැන කඳුළු කතාවකි.

“වෙන්න තියන දේවල් වළක්කන්න සක්කරයටවත් බෑ කියනවනෙ. ඉතිං වෙන්න තිබුණ දේවල් වුණා. අලුත් වර්තමානයක්… බලාපොරොත්තු තියාගන්න පුළුවන් අනාගතයක් දැන් අපි ඉස්සරහ තියනව. ජීවිතේ හෙමිහිට පොට පාදගනී සුදු නෝනා. අපි ජීවිතේට ඉඩ දෙමු”

අන්තරා සසල ව ගියා ය. සුදු නෝනා! ඒ නම ඇයට සිහි වූයේත් දශක දෙකකට පස්සේයි. එනමින් ඈ ඇමතුවේ පියා ජිතේන්ද්‍ර පමණ ය. ඇයටත් අමතක වී තිබි ඒ ආදර නාමය තවමත්, අදටත් ඔහු ගේ මතකයේ තිබී ඇත!

අන්තරා ඇස් වලට ඔහේ අඬන්නට ඉඩ දුන්නා ය. ජීවිතය කියන්නේ මෙයයි. යුගාත්ම කිව්වා සේ ජීවත් වෙනවා කියන්නේ නොයෙකුත් දේවල් සිදු වෙන එකටයි. ඇගේ ජීවිතය මත්තෙහි, පසුගිය දශක දෙකක කාලය තුළ නො සිදු වූ දෙයක් නොමැති තරමි. නමුත් ඒ සියල්ලක් ම දැන් සිදු වී අවසාන ව තිබේ. ඒ ඇතැම් අවස්ථා වල දිවි තොරකරගන්නට පවා ඇයට සිතී නැතිවා නොවේ. නමුත් ඇය තවමත් ජීවත් වන්නී ය. මතුවටත් ඕනෑ තරම් දේවල් සිදු වනු ඇත. ඒ සියල්ල මඳහසකින් පිළිගන්නට දැන් ඈ සූදානම් ය.

කිශෝරි ඉන්දියානු රසට ව්‍යාංජන පිසුවා ය. කාලෙකට පස්සේ අන්තරා අම්මා ට කියා බත් කවාගත්තා ය. ඇය අනන බත් පිඬක වන්නේ දිව්‍යමය රසයකි. අම්මා ඇනූ බත් පිඬක මිස වෙන කොතැනකින්වත් අන්තරා ට එහෙව් රසයක් දැනී නැත. ඊට පස්සේ ඕ අම්මා ගේ උකුලෙහි හිස තියා ඇස් පියාන සිටියා ය. ලොව්තුරු සුවය කියන්නේ අම්මා තුරුලේ දැනෙනා සුවයට බව දැන් ඇයට විශ්වාස ය. අන්තරා ද හොඳ අම්මා කෙනෙකි. නූපුර වෙනුවෙන් ඇගේ සිරුරේ හැම සෛලයක් ම ඇප කැප වී සිටියේ ය. ඔහු ඈ සුරැකියේ ජීවිතය වාගේ ය. එහෙම ආදරය කරන්නට ඇයට හැර වෙනකෙකුට හැකි නම්, ඒ ඇගේ මව හා පියා ට ය. මුළු සන්තානය ම මිරිකා පෙරා ආදරය කරන්නට ඈ උගත්තේ ඔවුන්ගෙන් විය යුතු ය. ඇතැම් විට ඇයට එහෙව් හැකියාවක් ලැබුණේ සිය පවුලේ ජාන සංයුතියෙන් විය හැක.

පියා හා දියණිය අතරේ තිබූ දුරස්තර බව ද සුළු කාලයක් තුළ අහෝසි වී ගොස් මීට වසර විස්සකට පෙර සිටි පියා හා දියණිය පුනරුත්පත්තිය ලබා සිටියහ.  හැන්දෑවේ අන්තරා ගෙදර යන්නට සූදානම් වන විට එරෙහි වූයේ කිශෝරි ටත් වඩා ජිතේන්ද්‍ර ය.

“දැං ඉතිං තට්ට තනියම ඔය ගෙදර ඉන්න ඕකකමක් නෑනෙ. අද ඉඳලම මෙහෙ නතර වුණානං හරිනෙ”

දියණිය ගෙදර පැමිණි වහා ම, මෙතෙක් අතුරදන් ව සිටි සිරිදුවත් යළි පැමිණි වගක් ජිතේන්ද්‍ර ට දැනිණි. ගෙදර ඒ සිරියාව, පිරුණු බව අත්හැර ගන්නට ඔහු ගේ හිත ඉඩදුන්නේ නැත.

“මං හෙට අනිද්දට එන්නං අප්පච්චි ඉන්නම. හෙමිහිට අරං එන්න පිළිවෙළක් කරගන්න ඕන දේවල් ටිකකුත් තියනව”

“හ්ම්. එහෙනං යංකො. මං මගට ඇරලල එන්නං”

අන්තරා පොඩි කාලේ පාසල් ගිය කළු පාට වොක්ස් වැගන් රියෙහි ඉදිරි අසුනට ගොඩ වූයේ අතීත මතක විසින් උපදවන ලද සිනහ රැල්ලක් එක්ක ය.

ඉහවහා යන සතුටක් අන්තරා තුළ දෝරෙ ගැලුවේ ය. ඈ සිය වෛවාහක නිවස පුරා ඇවිද්දා ය. කාලයක් සෙවන දුන් නිවස අතැර යන්නට වෙන එක ගැන ඉසිහින් සංවේදයක් හද තුළ ඉහිර නො තිබුණා නොවේ. නමුත් විය යුතු දේවල් වෙන්නට හරිනවා මිස ඒවා මත්තේ එල්ලී දුක් වෙමින් සිටින්නට තරම් ජීවිතය දිගු නොවනා බව දැන් ඇය දනී. ඒ අත බලා මේ අත බලනා විට ජීවිතයෙන් දශක හතරක් ම ගෙවී ගොස් අවසාන ය. ජීවත් වන්නට ඉතිරි වී පවත්නා කෙටි කාලය තුළ හැම තත්පරයක ම ජීවිතය විඳගත යුතු යයි හදිසි උනන්දුවක් ජනිත වූයේ ය.

“එළියට ගිහින් තේ එකක් බොමුද… හැබැයි මගෙ ගානේ…”

ඈ යුගාත්මටත් පාරින්දිටත් කතා කොට ආරාධනා කළා ය. හැන්දෑව අඳුරු වීගෙන එත්දී ඔවුන් හිටියේ සුවඳ ඉහිරෙන සුඛෝපභෝගී කෝපි හලකයි.

“අද අන්තරාගෙ සතුට ඉතිරෙනව”

පාරින්දි කීවා ය. යුගාත්ම ට ඒ බව දැනුණේ ඈ දුටු ගමන් ම ය. නමුත් ඔහු පාරින්දි සමගින් එකතු නොවී නිවීසැනසිල්ලේ ඇදෙස බලා සිටියා ය. ගළෙහි උරච්චි කළ සුදු සඳුන් ගැල්වූ උවන සඳක් සේ පැහැදුල් ය. ඇගේ වරළෙන් රෝස්මරී තෙල් සුවඳ දැනෙන නො දැනෙන තරමට වහනය වේ. අභ්‍යන්තරයෙහි වන නිරවුල් බව නිසා ඇගේ දෑස් කැඩපත් සේ දීප්තිමත් ය. පැහැදිළි ය. යුගාත්ම ගේ දෑස් මුළුමහත් ඈ විනිවිද දුටුවේ ය. ඒ බැල්මට හසු වූ අන්තරා ගේ දෑස්, ඇය විසින් මුදාගනු ලැබුවේ කලබලයෙනි.

“මං අප්පච්චිල ළඟට යනව හෙට අනිද්දම. ඊට පස්සෙ ටික දවසක් යනකල් මට ඔයාලව මීට් වෙන්න වෙන්නෙනං ඉඳහිට. මොනා වුණත්… අපි කොච්චර ලොකු වුණත් අම්ම තාත්ත ළඟදි අපිට පොඩි කාලෙ දැනුණ බය ටිකක් හරි දැනෙනවනෙ. එයාල ළඟදි අමුතු සුවච කීකරුකමක් ආරූඪ වෙනවනෙ”

“අන්තරා සතුටෙන් ඉන්නෙ ඒකයි එහෙනං”

“මන්දා පාරි. ජීවිතේ ඉස්සරහට එන කොයි දේත් සතුටෙන් බාරගන්න ඕනෙ කියල එක වයසකදි තේරෙන්න ගන්නව. අපේ අම්ම හැමදාම පහන් පත්තුකරල දෙවියන්ගෙන් ඉල්ලුවෙ මගෙ ජීවිතේ හොඳම විදිහට විසඳෙන්න කියලලු. එයානං විශ්වාස කරන්නෙ දෙවියො ඒ ප්‍රශ්නෙ විසඳුව කියල”

“අනේ මොන බොරු කතාද අප්ප ඕව. දෙවියො කියල කවුරුහරි ඉන්නවනං… මිනිස්සුංගෙ ප්‍රශ්න වලට එයාල උදව් කරනවනං… මිනිස්සු මෙච්චර දුක් විඳීද… මන්නං දෙවියො කියල කෙනෙක් විශ්වාස කරන්නෑ”

“පාරි. ඔයා ජොබ් එකක් හොයනව කියල දැනගත්ත වෙලාවෙ ජොබ් එකක් දීල යුගාත්ම උදව් කළේ ඇයි…”

“ඒ යුගාත්ම මාව අඳුරන නිසා. ඔයා කියන්නෙ ඒකත් කළේ දෙවියො කියලද…”

“ළමයො. යුගාත්ම උදව් කළේ ඔයාව එයා අඳුරන නිසා. අන්න හරි. අඳුරගෙන හිටියෙ නැත්තං යුගාත්ම උදව් කරන්නෑ. සමහර විට එයා අඳුරන වෙන කෙනෙක්ට උදව් කරයි. දෙවියොත් එහෙමයි. උදව් කරන්නෙ වැඩිපුර අඳුරන අයට”

“ආ…”

පාරින්දි පමණකුදු නොව යුගාත්ම පවා අන්තරා දෙස බලාගෙන ම සිටියේ ය. ඇය කතා කරන ඉරියව් දෙස ඕනෑ තරම් වෙලාවක් බලා සිටිත හැක. ඈ වූකලී දෙවියන්ගේ නිමැවුමක් සේ ය.

“අපි නිතර දෙවියන්ට පින් දෙනවනං… දෙවියන්ව මතක් කරනවනං… දෙවියන්ව හදවතේ  ජීවත් කරගන්නවනං… දෙවියො ඒක දන්නව. එතකොට එයාල අපිව අඳුරනව. එහෙම දෙවියො එක්ක සම්බන්ධතා පවත්වන අය දිහා තමයි එයාල මුලින්ම බලනව ඇත්තෙ. පිහිට වෙනව ඇත්තෙ. දෙවියො එක්ක ජීවත්වෙන අයට වරදින්නෑ කියල මිනිස්සු කියන්නෙ නිකං නෙවෙයි”

ඈ ඒ ගැඹුරු දහම නිරාවරණය කළේ කෙතරම් සරල ලෙස ද? දේව දූතියක තරම් නිවුණු බවකින් යුතුව ය. එහෙම ඇදහීම් තුළ ජීවත් වීමේ නිරාමිස සතුට, යුගාත්ම ට ඇය වෙතින් කියවාගත හැකි විය.

“අනික… ඔයාට ප්‍රොමිස් එකක් වෙන්නත් එක්කයි මං අද ආවෙ”

එවර අන්තරා ගේ බැල්ම යොමු වූයේ යුගාත්ම වෙතටයි. “මොකක්ද” යන ප්‍රශ්නය තිබණේ ඔහු ගේ දෑස් මතයි.

“ඔයා කිව්ව දේ ගැන මං හිතුව යුගාත්ම. මං කොහොමහරි ඒක කරනව. මවුන්ටන් ෆ්‍රේග්‍රන්ස්… මං ඒක හදනවමයි”

දැනටමත් ඇය ඒ නිමවා අවසාන යයි යුගාත්ම ට සිතිණ. අන්තරා වෙතින් විද්‍යමාන වූ ආත්ම විශ්වාසය එතරම් ප්‍රබල ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here