යුගාත්ම කාශ්මීර අමුණුගම හැල්මේ කඳුකරය බලා රිය ධාවනය කළේ ය. පපුවේ වේදනාවක් මත අම්මා ව රෝහල් ගත කළේ යයි අප්පච්චී ඔහු ට කතා කොට කීවේ මීට දෙතුන් හෝරාවකට පෙරයි. නමුත් රෝහල් ගතකිරීම සිදු කොට තිබුණේ පෙර දා රාත්‍රියේයි.
“කලබල වෙලා දුවගෙන එන්න ඕන නෑ. ඊසීජී එක නෝමල් කියල ඩොක්ටර් කියලයි තියෙන්නෙ”
අප්පච්චී වැඩිදුරටත් එසේ පැවසී ද ඒ මොහොතේ ම නුවර නොයා සිටින්නට යුගාත්ම ට නො හැකි විය. ඊටත් වැඩිය ඔහු ට දැනුණේ මඳ කේන්තියකි. හෘදයාබාධයක් මත අම්මා ව පෙර දා රාත්‍රියේ රෝහල්ගත කර තිබියදී අප්පච්චී එය ඔහු ට දැනුම් දෙන්නේ අද උදයේ ය.
“අම්මගෙ ටිකට් කැපුව පුතා”
කියා දෙවන දුරකතන ඇමතුම එන විට යුගාත්ම පේරාදෙණියට ලං වී සිටියේ ය. එබැවින් ඔහු රෝහල වෙත ගොස් අම්මාත් අප්පච්චිත් කැටිව ම පූජාපිටියේ මහගෙදරට ගියේ ය.
“මං කියල තියනව ඕගොල්ලොන්ට… මොන දෙයක් වුණත් ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ඇඩ්මිට් වෙන්න කියල… ඕගොල්ලො කියන දෙයක්නං අහන්නෑ. ඊට වැඩිය බලන්න මට පණිවිඩේ දෙන්නෙ කොච්චර පරක්කු වෙලාද කියල…”
ගෙට ගොඩ වූ ගමන් යුගාත්ම දොස් කීවේ අම්මා අප්පච්චි දෙදෙනාට ම පොදුවේ ය. නමුත් ඔවුන් දෙදෙනාගේ ම මුහුණු වල වූයේ මඳ සිනහවකි.
“පුතාට කියන්න එපයි කියල මගින් මගටම කිව්වෙ අම්ම තමයි. අනික එයාම තමයි කිව්වෙ පේරාදෙණියෙ ගිහිං නතර වෙමු කියල”
තරුපති මුණසිංහ පපුවේ රෝම පිරිමදිමින් පුරුදු ළෙංගතු තානයෙන් කීවේ සියලු වැරදි වලින් නිදොස් වී නිදහස් වීමේ අදහසිනි.
“අනේ අප්පච්චි අප්පච්චිත් පොඩි ළමයෙක් වගේ කතා කරනවනෙ ඉතිං. ලෙඩාට ඕන විදිහට වැඩ කරන්නෙ කව්ද…”
“හරි හරි පුතා. ඒක පොඩි පපුවෙ දැවිල්ලක්. කෝකටත් කියල වැඩි හොඳටයි ඉස්පිරිතාලෙට ගියේ. හිතුවත් වගේ ඒක මේ ගෑස්ට්‍රයිටිස් වලට ආපු දැවිල්ලක් වෙන්ටෑ. අනික පුතා ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ කියන්නෙ අපිට නුහුරු තැනක්යැ… මට පුතා හම්බුණෙත් එතන. අනික් කොයි කොයි දේ සිද්ධ වුණෙත් එතන. ප්‍රයිවට් ඉස්පිරිතාල වලට සල්ලි මිටි ගණං පූජා කරන්ට ඕනැන්නෙ නෑ”
පළිඟු මැණිකේ තීන්දුව දුන්නා ය. ඇය සමග කිසිවක් ගැන තර්ක කරනවාට වැඩිය නිහඬ වන එක හොඳ බව යුගාත්ම දනී. අම්මා කවදත් දිනවන්නේ ඇගේ ම මතයයි. ඒ පදේට ම නටනා සූදානමින් හිඳින අප්පච්චි ගැන විටෙක ඔහු ට කේන්ති ය.
“අම්ම කියන කතාවෙත් ඇත්තක් තියනව. අපිට නිකංය කියල රජයෙන් ලැබෙන්නෙ නිදහස් අධ්‍යාපනේයි නිදහස් සෞඛ්‍යයි විතරයිනෙ. ඉතිං ඒවයෙං ප්‍රයෝජන ගත්තහම අහවල් එකක් වෙනවැයි… අනික ඕව නිකං ලැබෙනවයි කිව්වට අපේ බදු මුදල් වලින් තමයි ඔය හැම එකම ආණ්ඩු මට්ටු වෙන්නෙ”
“පුතා ආපු එකනං හොඳයි තමයි. හැබැයි මං ඉස්පිරිතාලෙය කියල පුතාට කියන්නෙපා කියල මං අප්පච්චිට කිව්වෙ කලබල වෙලා පුතා දුවං එන නිසා. හිත කලබල කරං වාහන එලෝනවට මං මනාපම නෑ”
“ඔය දෙන්න එක්කනං කතා කරල වැඩක් නෑ. අපි පොඩි කාලෙ ඉඳලම මැරීගෙන ඉගෙනගන්නෙ ඇයි… හොඳ රස්සාවක් කරල සල්ලි හම්බ කරන්න. ඒවයිං සැපවත් ජීවිතයක් ගෙවන්න. ඉතිං හම්බකරන සල්ලි වලින් සැප විඳින්නෙත් නැතුව දුකමනං විඳින්න ඕනෙ…”
“අනේ ඕකෙ ඇති දුකක් නෑ පුතා. ඉන්නකො මං පුතාට කෑම ටිකක් හදල ගන්න”
පළිඟු මැණිකේ ලහි ලහියේ මුළුතැන්ගෙට යන්න ගියේ ටික දවසක් ගෙදර නො පැමිණි පුතු වෙනුවෙන් ඉක්මන් කොට දිවා ආහාර පිළියෙළ කරන්නටයි. නමුත් රෝහලේ සිට පැමිණි ගමන් අම්මා උයන්නට වෙහෙසෙනවාට යුගාත්ම කැමති වූයේ නැත. ඔහු දිවා ආහාර පිටතින් ගෙන එන්නට සූදානම් වී ද ඕ තොමෝ ඊට එරෙහි වූවා ය.
“අනේ ඔය කඩවල තෙල් පුරෝපු ජරාව කන්න බෑ පුතා. අනික මට අසනීපයක් නෑ ගෑස් මිසක්. ඔය පොඩි පොඩි ලෙඩ ඔළුවට අරං ඇඳට වෙලා ඉන්න ගියොත් ඉතිං…”
කියමින් ඇය මුළුතැන්ගෙට ගියා ය. යුගාත්ම කමිසය ගලවා පුටු වතක එල්ලා මැදමිදුල දෙසට ගියේ ය. තරුපති මුණසිංහ ගේ ප්‍රාණ සරි උඩරට බෙරය ද, යුගාත්ම නම ගම් නො දන්නා තවත් නර්තනයට අදාල නාද භාණ්ඩ ගණනාවක් ද මැදමිදුල හා ආලින්දය අතරේ විශේෂ කොටසක ස්ථානගත කොට තිබේ. කුඩා සන්දියේ පටන් ම ඔහු අමුණුගම පරපුරෙහි උරුමයක් යයි කියන උඩරට නර්තනය කෙරේ කිසිදු කැමැත්තක් හෝ උනනදුවක් දැක්වූයේ නැත. ඒ නිසා ම එංගලන්තයේ විශ්ව විද්‍යාලයකට අනුයුක්ත වී ඔහු ලබාගත්තේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධි ය. තරුපති මුණසිංහ සිය එක ම පුතු ගේ මේ ස්ථාවරය පිළිබඳව කම්පිත ව සිටි යුගයක් තිබිණ. නමුත් බලහත්කාරයෙන් කිසිවෙකු මත කිසිත් පැටවිය නො හැකි බැව් ඔහු දැන සිටියේ ය. පරපුරේ උරුමය රැකගන්නට ය කියා යුගාත්ම රිසි නොවන ක්ෂේත්‍රයකට ඔහු ඇද නො දමන්නට ඔහු පුතාට පොරොන්දු වූයේ ය. ඒ ඔහුගෙන් එක් පොරොන්දුවක් ලබාගෙනයි. එනම් සිය පවුලට නර්තනය ප්‍රගුණ කරනා දියණියක තෝරාගන්නා බවයි. යුගාත්ම ඈ සිය පාදපරිචාරිකාව කරගන්නට එකඟ වෙන බවයි.
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ යුගාත්ම ඒ පොරොන්දුව ලබා දුන්නේ ය. පියා ඔහු වෙනුවෙන් තේරුවා යයි කියන ඔහු ගේ මිතුරා ගේ දියණිය ගැන අදහසට ද වචනයකින්වත් විරුද්ධ නොවී සිටියේ ය. එවකට විදෙස්ගතව සිටි ඔහු ට ඒ යුවතිය ගැන ලොකු මතකයක් වූයේ නැත. වතාවක් හෝ දෙකක් පවුල් දෙකේ අය හමුවන අවස්ථාවක දී ඈ දැක තිබිණි ද එතකොට ඇය කුඩා දැරියකි. එවන් අදහසක් ඔහු ගේ තුන් හිතකවත් නොවූ නිසා යුගාත්ම ගේ මනසේ ඈ ගැන ලොකු මතකයක් නො රැඳිණි. දෙනුවර අතරෙහි නිතර ගමන් කළේ තරුමුතු කලායතනයෙහි ඉගැන්වීම් කළ තරුපති පමණක් වන නිසාවෙන්, ළමයින් එකිනෙකා හැඳිනුයේ නැත. යෝජනාව ගෙනෙනා කාලය වන විට ඇය සාමාන්‍ය පෙළ අවසාන කොට සිටියා ය. ඔහු ලංකාවට පැමිණි පසු ඇය මුණගස්වන්නට කතිකා කරගෙන තිබිණි. නමුත් ඔහු එන්නට පෙර ඇය සිය ඉරණම ලියාගෙන තිබුණා ය.
දෙවියන් ඔහු ගේ මූණ බැලුවා යි යුගාත්ම සිතුවේ ය. නමුත් ඒ සිතිවිල්ල වැරදී ගියේ තරුපති සිය දක්ෂතම සිසුවියක වන කවින්ද්‍යා ලේලි කරගන්නට තීරණය කරගෙන සිටි බැවිනි. යුගාත්ම පියාට වූ පොරොන්දුව දිවිහිමියෙන් ඉටු කළේ ය.
“බත් කනකල් ඉඟුරු තේ ඩිංගිත්තක් බොමු පුතා”
අම්මා ගේ හඬ මුළුතැන්ගේ දෙසින් නැගුණෙන් යුගාත්ම එහි ගියේ ය. ප්‍රකට ප්‍රවීණ නර්තනාචාරී තරුපති මුණසිංහ, හිරමණය මත හිඳ පොල් ගාමින් සිටියේ ය. යුගාත්ම ගේ කට කොනකට සිනහවක් නැගුණ ද ඔහු කිසිත් කියන්නට ගියේ නැත.
“දැං ඉතිං ඔහොම හිටිය මදෑ. තනියම ජීවත් වෙනකොට පිරිමි වල්අලි වගේ අයාලෙ යනව. අප්පච්චිට ඕන අය නෙවේ… පුතා කැමති කෙනෙක්ව සහේට ගන්ට”
පළිඟු මැණිකේ කෙළින් ම මාතෘකාවට ගොඩ වූවා ය. යුගාත්ම ගේ මුවට සිනහවක් ආවේත් හිතට අන්තරා පැමිණියේත් එකට ම ය.
“අම්මෝහ්. එක සැරයක් බඳින්න හිටිය කෙල්ල පැනල ගියා. ඊලඟට බැඳපු එකී ඩිවෝස් වෙන්න ඕන කිව්ව. අම්මා… වැඳල කියන්නං. ගෑනුනං ඕනෙ නෑ”
“ඒක යස කතාවක්නෙ. හැම ගෑනිම ඒක වගේ නෑ. ඔයාගෙ අම්මත් එහෙමද… සල්ලියි නිදහසයි පිරිමිංව නරක් කරනව පුතා. අපිත් මෙහෙම හිටියද තව කී කාලෙද කියන්න බෑ. දැනුත් එහෙං මෙහෙං අසනීප. පුතා පිළිවෙළක් වුණොත් අපිට හිතේ නිදහසේ ජීවිතේ අන්තිම අඩිය ගෙවාදාන්ට ඇහැකි”
පමා වී දිවා ආහාර ගන්නා තුරු ම පළිඟු මැණිකේ විටින් විට කියවූයේ අලුත් විවාහයක් ගැනයි. යුගාත්ම ඒ කතා විහිළුවකට ගනිමින් මගහැරියේ ය.
අන්තරා උදේ සිට ම කඳුකර සුවඳ නිර්මාණය කිරීමේ මෙහෙයුම දියත් කළා ය. විවිධ කඳුකර ශාක කොටස් වලින් නිස්සාරණය කරනා ලද සගන්ධ තෙල්, විවිධ අනුපාත වලින් ඇල්කොහොල් හෝ වෙජිටබල් ග්ලිසරින් මාධ්‍යයෙහි මිශ්‍ර කරමින් පරීක්ෂා කළා ය. දිගින් දිගට ම අනුපාත වෙනස් කළා ය. ඇගේ සමස්ත මනස හා ශක්තිය ඒ කෙරේ ම ඉලක්ක කළා ය.
ජංගම දුරකතනය හැඬවුණේ කීයට ද කියාවත් ඇයට නිනව් නැත. නමුත් ඒ ඇමතුම යුගාත්මගෙන් නිසා ඇයට සතුටක් දැනිණ. හිත අප්‍රමාණ වෙහෙස ව හිඳින වෙලාවක හිතමිතුරු වදනක් යනු දිව මතුරකි.
“හදිස්සියෙම නුවර එන්න වුණා. ගෙදර මේ ඉන්නෙ”
“අපරාදෙ. දන්නවනං මටත් යන්න තිබුණ ප්ලාන්ට්ස් ටිකක් එකතුකරං එන්න”
ඈ එහෙම කීවේ ඇත්තට ම එහෙම කිරීමේ අරමුණක් මත නොවේ. නිකමට කටට ආවාට ය. නමුත් යුගාත්ම “ඉතිං ආයෙ දවසක එමු ” යයි කීවේ ය. අන්තරා ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත.
“ඉතිං… මොකද කරන්නෙ ඔයා… කාල බීල එහෙමද ඉන්නෙ…”
“නෑනෙ. මතක් වුණෙත් නෑ කෑමක් ගැන. මේ වැඩේනෙ ඔළුව තිබුණෙ. මොනාහරි හදාගන්න ඕනෙ”
“කීයද බලන්නකො ඉතිං දැන් වෙලාව…”
“බඩගින්නක් නෑ ඉතිං…”
“වැඩ කරන්න කාල බීල ඉන්නෙපැයි අප්ප”
“හරි ඉතිං දැං මොනාහරි හදාගන්නව”
“අනේ මන්දා ඔයාගෙත් වැඩ”
අන්තරා පරීක්ෂණ කාමරයේ සිට මුළුතැන්ගේ දෙසට යන විට ගේට්ටුවෙහි සීනුව හැඬවිණ. ආහාර ඇනවුම් ප්‍රවාහනය කරනා යතුරුපැදියක් දොරකඩ විය.
“මං ඕඩර් එකක් දැම්මෙ නෑනෙ”
අන්තරා සැකමුසුව කීවා ය.
“ලොකේශන් එක මේක තමයි මැඩම්. යුගාත්ම කියල සර් කෙනෙක් තමයි…”
“ආ හරි හරි එහෙනං”
අන්තරා කෑම එක ලබාගත්තේ හදවත තුළ කැළඹුමක් සිදු වෙත්දී ය. ඒ ඇයට වචන කළ නො හැකි හැඟුම් ප්‍රවාහයකි. දෑස් තෙත් කළ කඳුළු මීදුම තුරන් වන සේ ඕ ඇස් පියන් තද කරගත්තා ය.