ආදරේ අහඹුවක් – හත්වන කොටස

0
2213

“මගුල් විසේ ඔලුවට ගහන්න අරන් තියෙන්නෙ මෙයාගෙ මේ හැට පැන්නට පස්සෙනෙ, මට පුදුම ලැජ්ජ හිතුනා සරත් ඇවිල්ල විස්තරේ කියද්දි, මෙයැයි අරලිය ලන්ද අස්සෙ කවි මඩුවෙ කොල්ල එක්කල උන්නය කියල”

ගින්න අවුලන්න පටන් ගත්තෙ අපෙ නංගි.එදා අරයැයි මමයි එයැයි එක්කල අරලිය ගහ අද්දර දොඩ දොඩ ඉද්දි නොහිතපු වෙලාවක ඒ අද්දරින් මතුවෙච්ච නංගිගෙ මනමාලය වෙච්කි හිච්චි මහත්තයයි, උන්දැගෙ යාලු මිත්තරයො කාණ්ඩෙයි ගිනි තියල තිබ්බෙ අපෙ ගෙදර විතරක් නෙවි, මුලු ගමම.

මෙච්චර දවසක් “ලපී, ලපී”, “කසාදයක් හරි යන්නෙ නැත්තෙ ලපේ” හන්දය කියල එක එක එව්ව කිය කිය උන්නු උදවියම “නාකි විසේ ගෙටත් උසේ” කියල මහ නොසන්ඩාල විදිහට කතා පතුරෝල තිබ්බෙ ගම වටේටම.

අම්ම නං පුදුමාකාර විදිහට විස්සෝපෙනුයි, අමනාපෙනුයි උන්නෙ. තාත්ත නං පුරුදු විදිහටම හාන්සි පුටුවෙ ඈඳිගෙන කල්පනා කොර කොර උන්න මිසක්කා මක්කවත් කිව්වෙ නැත්තෙ කියන්න දෙයක් නැති හන්දද නැත්තං මක්කවත් කියල තේරුමක් නැති හන්දද මන්දා

“හැදිච්ච තැන්වල ගෑණියෙක් කොරන දෙයක්ද ඔය කොරල තියෙන්නෙ” කියල අම්ම විස්සෝප උනේ මයි හිතේ මං එයැයි එක්කල අරලිය ගහ අද්දට දොඩ දොඩ උන්නු එක හන්ද වෙන්නැති. නැත්තං ඉතින් මෙච්චර කල් අම්මට තිබිච්ච පුරස්නෙ උනේ මාව පූට්ටු කොරන්න මනුස්සයෙක් නැති එක නෙව, එහෙව් එකේ “අම්ම මක්කටද විස්සෝප වෙන්නෙ” කියල මට අහන්නත් හිතුණා

අනිත් අතට හැදිච්ච තැනක ගෑණියෙක් කියල අම්ම විග්ගරහ කොරාට මං තවම කෙල්ලෙක් මිසක්ක ගෑණියෙක් නෙවි නෙව.

“කා එක්ක හරි පූට්ටු වෙන්නෝන කාලෙ හිමිජ්ජි වගේ ඉඳල දැන් මෙතන මේ අපිට ලැජ්ජ කොරන්න තමා හදන්නෙ”

“ඇයි දුවේ උඹ මේ ඉඳල ඉඳල මෙහෙම කතාවක් අහගන්න තැනට වැඩ කොරේ”

“තියෙන නොසණ්ඩාල කම නෙව. සරත්ලයි ගෙදර මිනිස්සුත් දැන් මෙව්ව දැනගෙන අන්තිමේ අපිටත් නම්බු පිට කටයුත්තක් කොරගන්න පුලුවන් කමක් නැති වෙන එකයි වෙන්නෙ මේකෙන්”

“උඹ කටවහගං” කියල අම්ම සැර කොරාට මොකෝ නංගි කතාව නතර කොරේ “මං කට වහගත්තට ගම්මු නං කටවහගන්න එකක් නෑ අම්මේ” කියලා

ඒකත් ඉතින් හැබෑව, මං හන්ද නෙව නංගිගෙ කටයුත්ත උනත් පමා නොවේ. දැන් මේ කාරණා හන්දා නංගිගෙ කටයුත්‍ත හුරස් පරස් උනෝතින් අන්තිමේ ඒකටත් එක එක එව්ව අහගන්න වෙන්නෙ මට නෙව

අනිත් අතට මට තිබිච්ච ලොකුම පුරස්නෙ දැන් මේ වෙච්ච කාරණා කාරණා එයැයිට කියන්න කොහොමද කියන එක. එදා හිච්චි මහත්තය ඇවිල්ල කතා කොරයින් පස්සෙ එයැයි හොඳටෝම බිරංතට්ටු උනා මට මක්ක හරි පුරස්නයක් වේය කියල

“කවුද ඒ හාදයා?”

හිච්චි මහත්තයයි එයැයිගෙ යාලුවොයි මහ අමුතු විදිහට මං දිඅහව බලාන ඉඳල ගියයින් පස්සෙ එයැයි ඇහුවෙ පරාන බයෙන්.

“ආරච්චි මාමලගෙ ගෙදර හිච්චි මහත්තය”

“ඔයා අඳුරනවද එයාව?”

“අපෙ නංගි බඳින්න ඉන්නෙ එයැයිව”

“දෙයියනේ දැන් ගෙදර ගිහිල්ල කිව්වොත් ඔයාට ඉන්න වෙන එකක් නෑ නෙ”

මං හිතේ එයැයි බයවෙන්න ඇති එයැයිට මක්කහරි පුරස්නයක් වේය කියල. “ඔයැයි බයවෙන්න එපා” කියල මං එයැයිට කිව්වෙත් ආං ඒ හන්දා.

“මට බය මං ගැන නෙවෙයි ඔයා ගැන”

මං හිතන්නෙ ආදරේ පෙන්නන්න ඇහැක් විදි අටෝරාසියක් තියෙනව. ඒක කෙලින්ම කියල දාන්න ඕන නෑ. “මං ආදරෙයි” කියල වචනෙන් නොකීවට ආදරේ විත්තිය පෙන්නන්න, කියන්න ඇහැක් විදි බෝමයි. “මට බය මං ගැන නෙවෙයි ඔයා ගැන” කියල කියන්නෙත් ඒ විදිහට ආදරෙයි කියල කියන එක විදිහක් වෙන්නැති.

පෙලක් වෙලාවට මට හිතුනා මං උන්නෙ මායාවක පැටලිලා විත්තිය. මෙච්චර කාලෙකට කවුරුවත් මට මනාප නොවිච්ච වෙලේ, මගෙ ලස්සනක් නොදැක්ක එකේ, නොහිතපු වෙලාවක, නොහිතපු තැනකින් මතුවෙච්ච පුදුමාකාර ලස්සන මනුස්සයෙක් මට මනාප වෙච්ච එක, මා එක්කල ඇයි හොඳයි කියන එක, මං ගැන බයවෙන එක මට නොසෑහෙන්න බයවෙන්න කාරණාවක් උනා මයි හිතේ.

පුරුදු නැති දේකට පුරුදුවෙන්න මොනතරං නං අමාරුද?

“ඉස්මන් කොරල ලොකු කටයුත්තක් කොරල දුන්න නං හොඳයි අපෙ මහත්තය” කියල අම්මා තාත්තාවත් කතාවට ඈඳල ගත්තෙ තාත්තා එච්චර වෙලා මක්කවත් නොකිය උන්නු හන්දද, එහෙමත් නැත්තං වෙන කොරන්න දෙයක් අම්මට හිතාගන්න බැරි හන්දද මන්දා. නංගිනං බුදියන්න ගොහිල්ල උන්නෙ රෑට කන්නෙවත් නැතුව.

එයැයිට හැබැයි ඉතින් ඔය තරං කෝප ගන්න කාරනාවක් නෑ නෙව. මොකෝ හිච්චි මහත්තය එයැයිව මිසක්ක මාව කාර බැඳගන්න ආ එකක්‍ ය මගෙ චරිතෙ සුද්දවන්ත කම ගැන ඔච්චර විස්සෝප වෙන්නෙ.

“මේ ලමයට මේ ඉඳල ඉඳල මොන යකෙක් වැහුනද මන්දන්නෙ නෑ, අනික ඔය හාදයා කවුද කින්ද මන්ද කියලවත් දන්නවද? වෙන්දේසියෙ කවි කියන්න ආ ගමන් ඇයි හොඳයි කියන්න ගියේ දැකල කරල දවස් කීයද දෙයියනේ?” 

අම්මා විස්සෝප වෙද්දි තාත්තා උන්නෙ මක්කවත් සද්දයක් නොකර.

“ඔන්න අම්මෙ මං නොකිව්වයි කියන්න එපා, මෙයැයි මේ පත්තිනි අම්ම හේ හිට හැංගි හැංගි මගුල් කොරන්න තියාගත්තට මට කාරි නෑ. හැබැයි මෙයැයිට කා හරි හොයල කොරල දෙන්න කලියෙන් මගෙ කටයුත්ත අහවර කොරන්න, නැත්තං නිරපරාදෙ මටත් කතා අහගන්න තමා වෙන්නෙ” කියල බුදියගන්නවය කියල හිතං උන්නු නංගි කාමරේ ඉඳන් බෙරිහන් දෙද්දි තමා තාත්තා ඈඳිගෙන උන්නු හාන්සි පුටුවෙන් ඩිංගක් ඉස්සිලා කොන්ද කෙලින් කොරල වාඩි ගත්තෙ

“ඒ ළමයට හෙටානිද්ද දොහක මෙහෙ එන්න කියල පණිවිඩයක්

 යවන්න”

-උදතාරී-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here