සුහදිනි -18

අනාරාධිත මුණ ගැසීම් ජීවිතය තුළ සමහර සෙලවීම් ඇතිකරන්නට සමත් බව සකී ද අහස් ද දෙතැනකට වී සිතමින් සිටියහ.මේ සිහිනයේ හිඳින්නිය බව ඔහුට හොඳින්ම විශ්වාස ය.ඔහු තමන්ව  හඳුනාගත්තේ කෙසේදැයි සකීට ගැටළුවකි.

“ඔයාගේ හීන ගැන ඔයා මට කිව්වා.ඒත් ඒ හීනවල මාත් ඉන්නවද?”

ඇය තනිව මුමුණා ගත්තා ය.අහස් රටම දන්නා තරුවක නොවී එදිනෙදා සරසවියේ දී මුණ ගැසෙන තරුණයෙකු වූවා නම් ඔහු සමඟ මේ සිහිනයන් ගැන කතා කරන්නට ඇය පැකිලෙන්නේ නැත.නමුත් ඔහු තරුවකි.ඔහු සමග එවැනි දෙයක් කතා කරන්නට නොහැකි තරමේ දුරක් කොහොමටත් තිබේ.අනෙක් අතට යුවතියක තමන් සමග මෙවැනි විකාර කතාවකට පැමිණි බව ඔහු පුවත්පතකට හෝ යූටියුබ් නාලිකාවකට පැවසුවහොත් තමන්ට මෙතැනින් එහා නැගිටීමක් නැතැයි සකී සිතුවා ය.

එහෙත් ඇයට ඔහු දකින්නට ඕනෑ විය.ඔහු දකිද්දී දැනෙන පුරුදු ස්වභාවය ඔහු නිතරෝම රූපවාහිනි තිරයේ පෙනෙන්නට සිටින කෙනෙකු නිසා ඇති වූවක් නොවේ.ඔහු තමන්ගේ සිහිනවල හිඳින්නෙකු නිසා ඇති වූවෙකි.ඡායාරූපයක් ලබා ගන්නට ඔහුගේ අතක් තමන්ගේ උරය මත වැටෙද්දී දැනුණු හැඟීම ඇය යළි යළිත් සිහි කළා ය.උදරය තුළ සමනලුන් පියාඹන බවත්,හිසේ සිට දෙපතුල දක්වාම හිරිවැටෙන බවත් සාහිත්‍යමය කතා කියවා තිබුණාට සකී එය අත්දුටුවේ ඒ මොහොතේ ය.

එහෙත් සකීට ඒ සිහිනමය හැඟීමේ ගිලී හිඳින්නට වෙලාවක් තිබුණේ නැත.විභාග කටයුතු අහවර වූ හන්දා මඳ ඉසිඹුවක් ගන්නට සැරසෙද්දීම තාත්තා නැවත ගිලන් වූ වග ආරංචි විය.සකීගේ කම්මුල් මතින් ගලා යන කඳුලැලි පිසිමින් ඇය සනසන්නට නිම්නාට සහ රන්මිණිට සෑම මොහොතක ම ඕනෑ විය.

“අංකල්ව මහරගමට එක්කන් ආවොත් හොඳයි.මේ ලෝකේ මිරකල්ස් කියලා දේවලුත් තියේ සකී.විශ්වාසෙන් ඉමු.අංකල්ට මොනවාවත් වෙන් නෑ.”

ඔවුන් එසේ කියමින් මිතුරිය යළි ගොඩ නඟන්නට තැත් කළ අතර සකී හැඬුම් අතර ද මඳහසක් මවා ගත්තා ය.සමහර මොහොතකදී ප්‍රාතිහාර්යයන් පමණක් විශ්වාස කරන්නට ද සිදු වේ.

“ඔයාට ඔය ගමන තනියම යන්න පුලුවන් යැ.අපි දෙන්නත් එන්නං.”

තාත්තාගේ වෛද්‍ය වාර්තා කිහිපයක් ලබාගන්නට පෞද්ගලික රෝහලක් වෙත සකී තනිව යන ගමන වළකාලමින් රන්මිණි ඇසුවා ය.එහෙත් සකී ඒ ගමනට මිතුරියන් එක්කර ගන්නට නොකැමැති වූවා ය.මේ කුඩා දුරක ඇති ගමනකි.ඒ ගමන වෙනුවෙන් මිතුරියන් අධ්‍යාපනය පාඩු කරගත යුතු වන්නේ නැත. 

“එක එක හීනවල ඉන්නකං කොල්ලෙක් යාළු කරගත්තනම් මේ ගමන්වලට ඌ ඉන්නව ඉතිං.”

නිම්නා නෝක්කාඩුවෙන් කියද්දී සකී කිසිවක් නොපවසා ඉන්නට සිතා ගත්තා ය.ප්‍රේමය කියන්නේ තනිකම මැකීමට සමාන පදයක් නොවේ.ප්‍රේමයෙන් තනිකම මැකී ගිය ද තනිකම වෙනුවෙන් සහකාරයෙකු සොයා ගන්නා තැනදීම ගැහැනියක අසාර්ථක බව ඇයට සිතේ.ජීවිතය අත නෑර දරා ගන්නටත් ඉතා සැහැල්ලු තැන්වලදී සේම අසීරු තැන්වල ළඟ රැඳෙන්නටත් ප්‍රේමයක් උවමනා ය.නිර්වචනය කළ නොහැකි තරම් ගැඹුරු වචනයකට “තනිකම මැකීම” අර්ථය සැපයීම ම වරදක් බව සකී සිතුවා ය.

ඇය පෞද්ගලික රෝහල් කොරිඩෝව දිග ඇවිද ගියේ ඒ සිතිවිල්ලෙනි.

“සකී!!”

ප්‍රේමය කියන්නෙ තනිකම මැකීම නොවන බවට බරසාර සංකල්පනාවක ගිලී සිටි දැරිය වහා හැරී බැලී ය.ඇය සමඟ මේ මොහොතේ සිටියානම් යැයි ඇයට සිතුණු කටහඬ ය.සිහිනය දැන් සැබෑ ජීවිතය තුළ ද ඇයට සිහින පෙන්වන බව සිතූ සකී අඩිය ඉක්මන් කළා ය.

“කන් ඇහෙන්නෙත් නැද්ද මන්දා”

අඩි දෙක තුනක දුර තත්පරයකින් අරික් කාලක් තුළ පසු කරන්නට පිටියෙන් ලද පුහුණුව අහස් ප්‍රයෝජනයට ගත්තේ ය.මේ ඔහු ය.මේ වතාවේ ද දෛවය ඔවුන් මුණ ගස්වා තිබේ.

“තනියම කොහෙද යන්නේ?”

ප්‍රේමය කියන්නේ තනිකම මැකීම නොවේ.එහෙත් ඔහුගේ අතකින් වැරෙන් අල්ලා ගන්නා තරමේ ආවේගයක් සකීට ඇති විය.තාත්තාගේ වෛද්‍ය වාර්තා වල මොනවා තිබේදැයි ඇය නොදනී. ඒවා දරාගන්නට උදව් දෙන්නැයි ඔහුගේ අතක එල්ලී අයදින තරමට හැඟීමකින් ඇය පිරී යයි.

“සනීප නැද්ද නංගි?”

ඕනෑ තැන්වල එපා තැන්වල ද ක්‍රියාත්මක වන ජංගම දුරකථනවල කැමරා මේ මොහොතේ දී පවා තමන් සහ සකී වෙත එල්ල විය හැකි බව නොසිතාම අහස් විමසුවේ සකීට නැඹුරු වෙමිනි.

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා ලස්සන කෙල්ලක් එක්ක පෞද්ගලික රෝහලේ මොකද කරේ? අනේ බලන්නකො ඒ ආදරේ.” 

වැඩකට නැති ඕපාදූප වෙබ් පඩංගුවක එසේ පළ වීමේ අවධානම ගැන නොසිතාම අහස් සකීගේ දෑසට එබිණ.ඇය සරසවි සිසුවියක නම් ඈත පළාතකින් කොළඹට ආ යුවතියක වන්නට පුළුවන.මෙවැනි මොහොතක තනිවීමේ දුක ඇගේ දෑසේ සටහන් වී ඇති බව ඔහු වටහා ගත්තේ ය.

“මම නෙවෙයි අයියේ,තාත්තා.”

ඔහු තරුවක නිසා මෙතරම් කාලයක් නෑකමක් නොකියූ බව ඇත්තකි.අහස් කියන්නේ තමන්ට වඩා වසරකින් වැඩිමහල් තරුණයකු බව සකී දනියි.ඔහු තමන්ට “නංගී” කියද්දී නම කියා ඔහු අමතන ධෛර්යයක් ඇයට නොමැත.අසනීපයෙන් හිඳින්නේ තමන්ගේ තාත්තා බවත් ඔහුගේ තත්ත්වය කිසිම වෙනසක් නොවන බවත් කියන්නට සකී මිනිත්තු දෙක තුනක් වැය කළා ය.දෑසට කඳුළු පිරී තිබුණ ද ඒවා පිට කිරීම අපහසු ය.එක් අතකට ඔහු නන්නාඳුනන තරුණයෙකි.එහෙත් රටම දන්නා ඔහු අසල හඬන්නට යාමෙන් ඔහුගේ නමට හානියක වීමේ ඉඩ වැඩි ය. ඇය අසීරු කඳුල සඟවා ගන්නට තැත් කළා ය.

ඊලඟට කතා කිරීමේ අවස්ථාව ආවේ අහස් ට ය.ඔහු පවසන කාරණාව සකී පුදුමයෙන් ගල් කරන්නට සමත් විය.

(ඔබේ අදහස් ලියා යන්න) 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles