අන්තරා මහගෙදරින් පිටතට පියතැබුවේ දික්කසාද තීන්දුවෙන් දින හතරකට පස්සේ ය. වස්සාන සමයේ දැඩි වර්ෂාපතනයට හා සුළඟට හසු වූ ඇගේ මිදුලේ ගහ කොළ තෙතබරිතව පහළට නැවී තිබිණ. පා පහසක් නො ලැබ, වැස්සට සරුවට වැඩුණු තණ පත් අහසට ඉස්සී බලුවේ ය. සුළඟ තුරුපත් හා ඇතැම් තුරු හිසක් ද කඩා දමා ගොස් තිබුණෙන් මිදුල හැඩි වී ය.
දින කිහිපයකින් නො හරින ලද දොර ජනේල නිසා, ගෙතුළ වාතාශ්‍රය බර වී තිබිණ. අන්තරා කඩිසර ලෙස දොර ජනේල විවර කොට දමා ගේ අතු පතු ගෑවා ය. ඉරිදාවක් වූයෙන් පාරින්දි සාප්පුවට යන්නේ නැත. “මං ගෙදර ආවා” යනුවෙන් ඕ දෙමිතුරන්ට වට්සැප් පණිවිඩ තැබුවා ය.
ජීවිතයත් මේ වාගේ යයි පිරිසිඳු කරන අතරේ අන්තරා ට සිතිණ. නිතර අස් පස් නො කළොත් බලා කියා නො ගත හොත්, හැඩි වී අවුල් වී කිළිටි වී වල් වැදී යන එක වැළකිය නො හැකි වේ. කෙනෙකුට සමීපතමයෙකුගේ මරණීය වියෝවීමක් මත හෝ සදහට වැළපෙමින් සිටිත නො හැකි ය. ඔහු ඉක්මනින් යථාවත් විය යුතුව තිබේ. සාමාන්‍ය සමාජ ජීවිතයට අවතීර්ණ විය යුතුව තිබේ. එය ඇයට ද නියතයක් යයි වැඩ අතරේ ම ඇයට සිතිණ. කවරක් සිදු වුව ද අපගේ ජීවිතයෙහි අවසාන මොහොත තෙක් අප ජීවත් විය යුතුව තිබේ. මරණයට පෙර මිය යාම අපරාධයකි.
යුගාත්ම පැමිණියේ ඈ තොප්පියක් දමාගෙන මිදුල අස් කරමින් සිටියදී ය. ඊට කලින්එහි පැමිණි පාරින්දි වැරැන්ඩා පුටුවකට වී අන්තරා සමග කතා කරමින් සිටියා ය. මිදුලට බට යුගාත්ම, ගස් වල අනවශ්‍ය අතු කපා දමා අන්තරා ට උදව් කළේ ය.
“අනේ ඔයාගෙ ඇඳුනුත් තෙත වෙලානෙ”
අන්තරා ගේ ඇස් මත මහත් ස්නේහයක් විය. තමන්ගේ කියන්නට කවුරුත් ම නැති වී ගිය වෙලාවක, අහම්බෙන් හමු වී පුංචි හෝ උදව්වක් කොට ජීවිතයට හයියක් වෙන මිනිසුන් වෙනුවෙන් පුදන්නට, ඒ සෙනෙහසට වඩා වටිනා යමක් නො තිබිය හැක.
“ඒකට හරියන්න කන්න ඕනෙ”
“කන්න…”
“බඩගිනී”
අන්තරා එන ගමන් පෙති පාන් ගෙඩියක් ගෙන පැමිණියේ මිතුරන් නො පැමිණියොත් දිවා ආහාරය එයින් පිරිමසාගන්නා කම්මැළි සිතිණි. නමුත් යුගාත්ම ට කුසගිනි වී ඇති හින්දා ඕ බිත්තර, තක්කාලි, ලූණු, මාළුමිරිස් හා මොසරැල්ලා චීස් දමා පීට්සා බ්‍රෙඩ් ටෝස්ට් පිළියෙල කළා ය. පාරින්දි ඈ ළඟින්, ඇයට අත් උදව් දෙමින් පැන්ට්‍රි මේසයට බර වී සිටියා ය. යුගාත්ම කුඩා මේසය අසල වාඩි වී බලා සිටියේ ය. ටෝස්ට් වූ පාන් පිඟානකට දමා මේසය මතින් තබමින් අන්තරා පාරින්දිට ද කෑමට ඇරයුම් කළා ය.
“ඔයා කනකොට කන්නං”
“ඔයා කන්නකො. මේ ටික ටෝස්ට් වුණාම මං එන්නං”
අන්තරා උතුරන වතුරට මාමයිට් ද ලුණු හා දෙහි යුෂ ද එක් කොට රස සුවඳ ඉහිරෙන මාමයිට් පාණයක් ද පිළියෙළ කළා ය.
“ම්… සුව…ඳයි”
පාරින්දි ඒ සුවඳට ඉවකළා ය.
“පව්නෙ ඉතිං අපේ කොල්ල තෙමුණත්නෙ. සීතල ඇතිනෙ”
“කොල්ල… ඉස්සර කාලෙ…”
පාරින්දි ගේ නෝක්කාඩුව යටපත් වී අහෝසි වී ගියේ යුගාත්ම ගේ හඬ මන්ද්‍ර ලෙස වුව ද මහා හඬක් සේ නැගී සිටි බැවිනි.
“අපේ අප්පච්චි මට මනමාලියක් හොයං”
යුගාත්ම එය කීවේ කිසිවෙකු කිසිසේත් බලාපොරොත්තු නොවූ වෙලාවකයි. කාන්තාවන් දෙදෙන ම හැරී බැලූයේ එකටම ය. යුගාත්ම පාන් කමින් ම මුවග මඳහසකින් සිටියේ ය.
“මාව එහේ එක්කං යන්නමයි හැදුවෙ. අනූ නවයෙං බේරුණේ”
“ඉතිං අනේ යන්නෙපැයි”
කියමින් විත් අන්තරා මේස පුටුවක් ඇද එහි හිඳගත්තා ය. ඔහු ගේ අඩ සිනහව තවමත් ඒ ලෙස ම රැඳී තිබේ.
“කසාදයක් නැතුව බෑ කියල එකක් නෑනෙ. මං මේ හොඳට ඉන්නෙ…”
“කසාදෙ අපිට වැරදුණාට ඒ නිසාම හිටියටත් වැඩිය ලස්සන ජීවිත ගත කරන මිනිස්සු ගෑනු ඕනතරං මේ ලෝකෙ ඉන්නවනෙ. තාම තරුණ නිසා කසාදයක් නැතත් කමක් නෑ කියල හිතුණට… වයසට යනකොට ජීවිතේ පාළුව තනියම දරාගන්නවට වැඩිය ඒක බෙදාහදාගන්න කවුරුහරි ඉන්නෙක හොඳයි ඉතිං”
“ඔයා හිතන්නෙ ඔයාට ආයෙ බඳින්න ඕන කියලද…”
යුගාත්ම ගේ ඒ ප්‍රශ්නය අන්තරා ට දැනුණේ හතර අතින් වට කොට පැන යා නො හැකි සේ එල්ල කළ ප්‍රහාරයක් සේ ය. නමුත් ඇය සන්සුන් ව ද සිනහ මුසු මුහුණින් ද ඒ පිළිගත්තා ය.
“මං හිතන්නෙ මායි ඔයයි කියන්නෙ තත්ව දෙකක් යුගාත්ම. ඒ කියන්නෙ එකම ප්‍රශ්නෙකට වුණත් ගෑනියෙකුයි පිරිමියෙකුයි මූණදෙන්නෙ දෙවිදිහකට. ඇත්තම කතාවනං… ගෑනියෙක්ට තරං මානසික ශක්තියක් පිරිමියෙක්ට නෑ. එයාල තනිවෙන්න බයයි. ආර්ථිකව කොහොම වුණත් අනිත් හැම දේකින්ම එයාල වයිෆ් මත යැපෙන්න පුරුදු වෙලා ඉන්නව. සෙක්ස් ලයිෆ් එක ගත්තත්… ගෑනු කෙනෙක්ට වැඩිය පිරිමියෙක්ට මැරේජ් ලයිෆ් එකක් ඕනෙ. ඒකයි ඇත්ත. අනිත් එක ඔයා ඩිවෝස් වෙලා දැන් ටික කාලයක් තනියම ඉඳල තියනවනෙ. අම්ම අප්පච්චිලට හිතෙනව ඇති එහෙම හිටිය ඇති කියල”
“මනමාලිව බලන්න අපිවත් එක්කං යන්න හරිද…”
පාරින්දි පසෙක සිට ඔච්චම් සරකින් කීවා ය.
“ඔව් ඔව්. මනමාලිව මං බලන්නෙ නැතුවහරි උඹල දෙන්නට පෙන්නනව”
“ඒ කියන්නෙ අපිට වෙඩින් එකක් එනව නේ පාරි… සාරි එකක් ඇඳං ලස්සනට යන්න කාලෙකට වෙඩින් එකක් නැතුව හිටියෙ”
“අර පාන් ටික කරවෙනව ඇති දැන්”
අන්තරා සිනහ වෙවී නැගිට ගොස් පාන් පෙති ටික ඉවතට ගෙන අලුත් ඒවා දැමුවා ය. හීන් සංවේග හැඟීමක් හිතට ඇතුලු වී නො තිබුණා ම නොවේ. ඒ අලුත් සම්බන්ධයෙන් පසු ඔවුන්ට යුගාත්ම කියන හොඳ මිතුරා අහිමි වී යන්නට බැරි නැති බවට සංවේගයකි එය.
“ඉතිං එයා කවුද කින්ද මන්ද කියල කියන්නකො. ෆොටෝ එකක් නැද්ද ඔයාගෙ ළඟ…”
“නෑ නෑ ඒ මුකූත් මං දන්නෑ. මුකුත් කියන්නෑ මීට පස්සෙ”
ඉන් ඔබ්බට ඔහුගෙන් වචනයක් ගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ගැනීම සරි විය. කලින් දවසේ ඔහු පියා – තරුපති ව ජිතේන්ද්‍ර ගේ නිවසින් ගෙන ඒම සඳහා ටැක්සි රියක් යැව්වේ ය. ඒ දුර දිග කල්පනා වූ බැවිනි. ජිතේන්ද්‍ර රිය වෙත විත් ගෙට ගොඩ වී යන ලෙස ආරාධනා කළහොත් ප්‍රතික්ශේප කළ නො හැකි බැවිනි. ඔහුට වෙනත් මනාලියක අවශ්‍ය නොවන බව අන්තරාට ඔප්පු කොට පෙන්විය හැකි අවස්ථාවක් උදාවනු ඇතැයි යුගාත්ම සිතාගත්තේ ය.
එක අතකට යුගාත්ම අන්තරා ගෙන් ඈත් වී වෙනත් කෙනෙකු හා විවාහ වෙනවා නම් කම් නැතැයි පාරින්දි ට සිතිණ. එතකොට ඇයට පාඩුවේ අන්තරා සමග වන මිත්‍රත්වය පවත්වාගෙන යා හැකි ය. ඔවුන් දෙදෙනාව ම නැති වේ යයි ඇගේ හිතේ වූ රුදුරු බිය, මේ අලුත් ආරංචිය නිසා මඳක් සමනය වූ සේ ය.
ඒ රාත්‍රියේ තරුපති ගේ පවුලේ අයට භෝජන සංග්‍රහයක් කරන්නට ජිතේන්ද්‍ර සූදානම් වූයේ ය.
“මරුනෙ. ඉස්සර වගේ කිශෝරි හදන ඉන්දියන් කෑම වේලක් කන්න පුළුවං එහෙනං”
තරුපති ඉමහත් ප්‍රීතියෙන් ආරාධනය පිළිගත්තේ ය. මේ අලුතෙන් අලුත් වෙන සම්බන්ධය ගැන පළිඟු මැණිකේ ගේ ඒ තරම් මනාපයක් නොවී ද, ඉන්දියානු කෑම වේලක් භුක්ති විඳින්නට ඇති කැමැත්ත නිසා ඇය ඊට විරෝධය පෑවේ නැත.
“හරි නෑනෙ නොයා ඉන්න එක. අපි ගිහිං කෑම ටිකක් කාල එමු. වෙන මුකුත් නෑ. පුතාගෙ අකමැත්තෙන් කොහොමත් මුකුත් වෙන්නෑනෙ”
තරුපති යුගාත්ම ට ලං වී කොඳුළේ ය. යුගාත්ම ඒ ගමනට එක් වූයේ අප්පච්චි පව් කියා සිතුණ බැවිනි.
“හැබැයි මං ඔය පැනල ගිය කෙල්ලව බඳින්නෑ කිව්වොත් නෑමයි හොඳේ”
ඔහු යන්නට පෙර කොන්දේසියක් ද පැනවූයේ ය. තරුපති මඳහසකින් එය ඉවසුවේ ය. මේ වෙලාවේ ඔහු ට ඕනෑ කොට තිබුණේ පවුල් දෙක අතරේ විවාහයකට වැඩිය, මිතුරා ගේ හිත නොරිද්දා ඒ ගෙදරට ගොඩ වී එන්නටයි.
තරුපති ලාට රෑ කෑමක් දෙන බව අන්තරා දැනගත්තේ හැන්දෑ වී මහගෙදර ගිය පසු ය. කිශෝරි දෝසේ ද වඩේ වර්ග ද පූරි ද අලබෝල ද සාම්බාරු හොදි ද පොල් චට්නි ද අල මසාලා හා සූදුරු බතක් ද පිළියෙළ කරමින් සිටියා ය.
“මගෙ දෙයියනේ… ඔය දෙන්නෙක්ට තුන්දෙනෙක්ට කන්න මේ තරං කෑම…”
අන්තරා පුදුම වෙත්දී කිශෝරි ලස්සනට සිනහ වූවා ය.
“තරුපති අංකල් ඉස්සරත් ආසයි මට කියල ඉන්දියන් කෑම හදෝගෙන කන්න. මසාලා චායිනං හැමදාම ඕනෙ. කවුරුහරි අපි උයන කෑමක් ආසාවෙන් කනව දකින එක මොනතරං සතුටක්ද ධාරා… අනික මේ අංකල් ආන්ටි එක්ක අපේ ගෙදරින් කෑම වේලක් කන්න එන්නෙත් සෑහෙන කාලෙකින්. යාළුවො දෙන්න කතා වෙලා හිටිය විදිහට කසාදෙ නොකෙරුන එකයි තරුපති අංකල් කලායතනෙං අයිං වෙලා නුවර ම නතර වුණ එකයි නිසා කොච්චර කාලයක් පවුල් දෙක ඈත් වෙලා තිබුණද…අප්පච්චි ආයෙමත් මේ වයසෙදි එයාගෙ හොඳම යාළුවට ලං වෙලා ඉන්න එක මට සැනසිල්ලක්”
අම්මා ට උදව් කොට දිය නා අහවර අන්තරා කාමරයට වැදුණා ය. පරිසරය වැහි සීතලෙන් වෙලාගෙන තිබිණ. හිස කේ වේලෙනු වස් ඇය ලැවෙන්ඩර් සුවඳ ඕඩිකොලෝන් වලින් හිස් මුදුන පිරිමැද්දා ය. සැහැල්ලු ටී බැනියමක් හා ඇලඩින් පෑන්ට් එකක් හැඳ සීතලෙන් මුවහ වෙමින් යහනේ ගුළි වූවා ය. තරුපති ලා එන, කතා බහ කරන, සිනහ වෙන හඬ ඇසිණ. මසාලා චායි සුවඳ ඇය සිතින් මවාගත්තා ය. දොරට තට්ටු කරන හඬ ඇසුණේ යන්තමින් ඈ නිදි ලොව වෙත අවතීර්ණ වෙමින් සිටියදී ය.
“මං කොච්චර කතාකළාද…”
කිශෝරි නෝක්කාඩු කීවා ය.
“නින්දක් ගියාද කොහෙද අම්ම”
“මං වඩේ තිබ්බ කන්න. එන්න චායි ට්‍රේ එක අරං යන්න ධාරා. තරුපති අංකල් ඇහුවත් එක්ක ඔයා ගෙදර නැද්ද කියල”
කියාගෙන කිශෝරි නොපෙනී ගියා ය. අන්තරා මුළුතැන්ගෙයි සිට මසාලා චායි සහිත බන්දේසිය ගෙනැවිත් කෝපි මේසය මතින් තබා තරුපති අමුණුගම ගේ පාද ස්පර්ශ කොට නමස්කාර කළා ය.
“මෙයා හොඳට නිදි මං කතාකරනකොට”
කිශෝරි පුංචි කෙල්ලක ගැන වාගේ ආඩපාලියක් නැගුවා ය. අන්තරා ලැජ්ජාශීලී සිනහවකින් යුතුව එතැනින් නික්මෙන්නට සිතත්දී ය ඔහු දුටුවේ. සිදු වෙමින් පවත්නා දේ ගැන කිසිදු විශ්වාසයක් නැති සෙයින් යුගාත්ම දෑස් විසල් කරගෙන ඇදෙස බලාගෙන සිටියේ ය. අන්තරා ගේ මුව හසරැල්ල එසැනෙන් වියැකී යන්නට විය.