පිණි මුතු පලසක් – 02

0
3706

සූර්‍යයා සිටියේ ඒ සුන්දර පිණිබර උදෑසන කොළඹින් බොහෝ දුර ඈත ආණමඩුව – පරමාකන්ද ගම්මානය සිපගන්නට පහත්වෙමින් ය. 

උදේ පාන්දර ඉර එළිය සමගින්ම ඇහැරුණු සමුද්‍යා උන්නේ පාසල් යන්නට සූදානම් වෙන අතරවාරයේය. ආණමඩුව වැනි ප්‍රදේශයකත් තවත් මදක් ඈතින් වන්නට තිබූ පරමාකන්ද ගමේ එකම පාසල වූ ආණ/පරමාකන්ද මහා විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුතුමිය වී එන්නට සමුද්‍යා දෙව් දූ පරණවිතානට අවස්තාව හමුවුනේ, මොණරාගල දිස්ත්‍රික්කයේ ඉතා දුශ්කර පාසලක වසරක් දෙකක සේවය කිරීමෙන් අනතුරුවය.

“ගෑණු ළමේක්ව ඔච්චර දුරකට වැඩට යවන්න මම නම් පොඩ්ඩක්වත් ආස නෑ” කියා ඒ වෙද්දිත් සේවයෙන් අස් ව නිවසට වී සිට ගුරුතුමියක වූ අම්මා කියද්දී මුල් ගුරුවරයෙකු වූ අප්පච්චී මොණරාගල පාසලට සේවය සඳහා යන්නට තමන්ට අවස්තාව දුන්නේ හිතේ දෙගිඩියාවක් තියාගෙන මුත් තමන් ගැන වූ විශ්වාසයෙන් බව සමුද්‍යාට අදටත් රහසක් නොවේ. මොණරාගල ඉන්නා තුරු “වෙන කොහෙට හරි ට්‍රාන්ස්ෆර් එකක් හදාගෙන එන්න ළමයො. ගෑණු ළමයි ඔච්චර දුරක තියලා මේ අම්මල අප්පල වෙච්ච අපි කොහොමද නිවි හැනහිල්ලෙ හුස්මක් කටක් ගන්නෙ?” කියා අම්මා කොපමණ කිව්වද අම්මාටත් අප්පච්චිටත් නිවි හැනහිල්ලේ හුස්මක් කටක් ගන්නට, මොණරාගලට වඩා ළඟ තැනකට එන්නට සමුද්‍යා දෙව් දූ පරණවිතානට හැකිවුණේ මොණරාගල ගොස් අවුරුදු දෙකකට පමණ පසුවය.

මේ ගෙවෙන්නේ එලෙස, පරමාකන්ද මහා විද්‍යාලයට පත්වීම ලැබී ගෙවෙන දෙවනි සතියයි. තවම තමන් මේ ප්‍රදේශයට අලුත් වුවද ස්ථිර ඉංග්‍රීසි ගුරුවරියක නොමැතිව දරුවන්ට ඉංග්‍රීසි ඉගෙනුම ලැබීමට අවස්තාවක් බොහෝ කාලයක් පුරාවට නොමැති වීම නිසා ගම්මුන් උන්නේ “ඒ මිස්වත් ටික කාලයක් මේ ඉස්කෝලේ ඉඳීවිද?” කියන ප්‍රශ්නය හිතේ දරාගෙන බව තේරුම් ගන්න බැරිකමක සමුද්‍යාට තිබුණේ නැත. 

ඉස්කෝලේ මුල් ගුරුවරයාගේම නිවසේ කාමරයක නවාතැන් ගන්නට හැකි වීම නිසාත් අම්මාගේ හිතේ තමන්ගේ ආරක්ෂාව ගැන වූ සැකය වඩ වඩාත් මැකී යන්නට හේතු වූ බවත් සමුද්‍යා දනී.

“මේ ඉස්කෝලෙ ඉතින් දුවලා ගියපු කොළඹ ඉස්කෝලවලට වඩා සෑහෙන්න වෙනස් බව මම දුවට අමුතුවෙන් කියන්න ඕන නෑ දුවටම පේනවා ඇතිනෙ. කොළඹ මං හිතන්නෙ අඩු ආදායම් ලාභී පාසල් පවා මම හිතන්නෙ අපේ මේ ගමේ ඉස්කෝලවලට වඩා හොඳ තත්ත්වෙක තියෙනවා” කියා මුල් ගුරුතුමා වුණ සන්ධානන්ද මහත්තයා කියන්න යෙදුණේ සමුද්‍යා නවාතැන් ගත් දෙවනි දිනයේ රැයේය. 

“ගමේ මිනිස්සු නම් ඒත් දෙගිඩියාවෙන් ඉන්නෙ කලින් ආව ඉංග්‍රීසි ගුරුවරියො වගේම මිසුත් ඉක්මනට ගම් පලාතට මාරුවෙලා යයි කියලා” සද්ධානන්ද ලොකු මහත්තයා කියද්දී සමුධ්‍යා තමන්ගේ බත් පිඟානට ඕලු බත් බන්දේසියෙන් හැන්දක් බෙදුව සද්ධානන්ද ලොකු මහත්තයාගේ බිරින්දෑ වෙතට සිනාවක් තිළිණ කරන්නත් සමුද්‍යා අමතක කරේ නැත.

“අනේ නෑ සර්, අපිත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත මිනිස්සුනෙ. ඉතින් මං නම් මේ ගුරුකම දකින්නෙ රාජකාරියකට එහා යුතුකමක් විදියට. ඒ හන්දා කවුරු මොනව කිව්වත් සර්ට මාව විශ්වාස කරන්න පුලුවන්” කියා සමුධ්‍යා කියද්දී සද්ධානන්ද මහත්තයා හිනාවෙන ගමන්ම හිස ඉහල පහල වැනුවේ ඒ කතාව හා එකඟ වෙන ගමන් ය.

පන්සිල් සමාදන් වීමෙන් පසු සමුධ්‍යාට මුලින්ම තියෙන්නේ හත ශ්‍රේණියේ ඉංග්‍රීසි උගැන්වීමේ කටයුතු ය. සමුධ්‍යා පංතියට යද්දිත් ඒ පංතියේ සිසු සිසුවියන් උන්නේ එකිනෙකා හා දොඩමලු වෙමින් ය.පසුගිය සතියේත් මේ පංතියේ දරුවන් සමග දෙතුන් වතාවක්ම ඉගැන්වීම් කටයුතුවල නිරත වී උන්නු නිසාවෙන් පළවෙනි දවසේ දැනිච්ච සබකෝලය මෙදා පාර සමුධ්‍යාට දැනුනේ නැත.

“ගුඩ් මෝනින් ළමයි” කියාගෙන පංතියට ඇතුලු වෙද්දී ළමයිනුත් පුරුද්දට පුටුවලින් නැගිට “ගුඩ් මෝනින් ටීචර්” කියයි. පළවෙනි දවසේ ටීච කියන යෙදුම වෙනුවට ළමයි මිස් කියා කියද්දී “මිස් කියලා නෙවෙයි අපි ටීච කියලා කියමු. මිස් කියනවට වඩා ඒක ලස්සනයි. සර් ලට නම් සර් කිව්වට කමක් නෑ. ලේඩි ටීචර්ස්ලට අපි ටීච කියලා කියමු” කියා කිව්ව නිසා දැන් ළමයි සමුධ්‍යාගේ ඒ වදන් අනුව යති. 

සූදානම් කරගෙන ආ පෙරහුරුව දරුවන් අතරට බෙදා දුන් සමුධ්‍යා දරුවන් ඒ පෙරහුරු ක්‍රියාකාරකමේ නිරත වෙද්දී ඩෙස් අතරින් එහා මෙහා යමින් දරුවන් ප්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාරය අනුව දරුවගේ ඉංග්‍රීසි දැනුමේ තත්ත්වය තේරුම් ගන්නට කටයුතු කළාය.සමහර දරුවන් වේගයෙන් උත්තර ලියන බවත්, තවත් දරුවන් කිසිම ප්‍රශ්නයකට උත්තර ලියාගන්නට බැරුව තතනමින් ඉන්න බවත්, ඒ අතරවාරයේම තවත් සමහර දරුවන් අනෙකාගේ පෙරහුරු පත්‍රය බලමින් තමන්ගේ පිළිතුරු සොයාගන්නට උත්සහ කරන බවත් සමුධ්‍යා නොදුටුවා නොවේ. එහෙත් මේ එයට පිළිතුරු දෙන්නට වෙලාව නොවන බවත්, හොඳම දේ හැකිතාක් මේ දරුවන්ව අධ්‍යයන කිරීම බවත් සිතට කියමින් සමුධ්‍යා පංතියේ කෙළවර ඩෙස්ක් පේළිය වෙත ගියාය.

සත්සරා උන්නේ ඒ අවසන් පේළියේත් අවසාන ඩෙස්කුවේ වාඩිවී පංති කාමරය අයිනේ කොට බිත්තියෙන් එහා පේන ඈත වියලුණ වැවේ නෙලුම් අල හාරන, කවුදැයි කියා මෙතන හිඳ බලද්දී නොපෙනෙන කාන්තාවන් දෙස බලාගෙනය. සත්සරා ඒ නොපෙනෙන මුහුණු අස්සේ සොයනවා ඇත්තේ ඇගේ අම්මා විය යුතු යැයි සමුධ්‍යා උපකල්පනයකට ආවේ තවමත් මේ පංතියේ ඉන්නා දරුවන්ගේ නම් හැර වෙන කිසිම පෞද්ගලික තොරතුරක් ගැන අදහසක් නැති නිසාවෙන් ය. 

එහෙත් තමන් පංතිය භාරගත් පළවෙනි දිනයේ සිටම සත්සරා ගේ සුන්දර, නෙළුම් මලක් වැනි මුහුණ අස්සේ සිරවී තිබුන නොකී වේදනාවක සේයාවන් සමුධ්‍යාගේ නෙතට හසු නොවුණා නොවේ. 

මේ මොහොතේ පංති කාමරයේ කොට බිත්තියෙන් එහා අනන්තය වෙත දෙනෙත් යොමාගෙන උන්නු සත්සරාගේ ඒ දුක්බර මුහුණ අස්සේ ඒ දුකට හේතුවේ සේයාව වඩා පහසුවෙන් කියවාගන්නට හැකිද කියා අසීරු උත්සහයක යෙදුණ සමුධ්‍යා එය වැරදුණ කල්හි සත්සරාගේ හිස මත අත තැබුවාය.

“මොකෝ පුතේ, ඇසෙස්මන්ට් එක කරන්නෙ නැද්ද?” කියා ඇසූ සමුධ්‍යා ටීචගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ සත්සරා වචනයෙන් නොව කදුළු වලිනි.

“ඇයි පුතේ අඬන්නේ?” කියා සමුධ්‍යා ආයෙම වතාවක ඇහුවේත් සත්සරා මූණ ඩෙස්ක් එක අස්සේ හංගගෙන හඬන්නට ගත්තේත් එකම මොහොතකය.

ප්‍රභාත් ඒ මොහොතේ උන්නේ කොළඹය. උදෑසන වැඩට යන්නට සූදානම් වී නවාතැනේ එළියේ තනා ඇති බුදු පිළිරුවට මල් පූජා කර වන්දනාමාන කර ප්‍රභාත් හැමදාම ගෙට එන්නේ ඊලඟට දුරකතනයට එන අම්මාගේ දුරකතන ඇමතුමට සවන් දෙන බලාපොරොත්තුවෙනි. තාත්තාගේ නොපනත්කම් දරාගන්නට බැරිකම නිවසත් ගමත් හැරදා කොළඹ එන්නට එය හේතුවක් උනාද ඒ ලේ බැඳීම සදහටම කැඩී නොයනු පිණිස තවමත් තමනුත් ගෙදරත් අතර යා කරන බැම්මක් වී ඉන්නට අම්මා කටයුතු කරන එක ප්‍රභාත් දරාගත්තේද භාරගත්තේද ආදරය මුසුවුණ අනුකම්පා සහගත හැඟීමකිනි.

“පුතේ වැඩට යන්න ලෑස්තිද?” කියා සුපුරුදු විදියට අම්මා අහද්දී ප්‍රභාත් හැමදාම දෙන සුපුරුදු උත්තරයම එයට දුන්නේය.

“දැන් අද කොහෙද ඔයාට යන්න තියෙන්නෙ?”

“අර මම අම්මට කිව්වේ මාතර පැත්තෙ පොඩි ගෑණු ළමයෙක්ගෙ කේස් එකක් ගැන. අන්න ඒක ගැන විස්තර වගයක් හොයන්න අද එහෙ යනවා අම්මේ”

“අනේ මන්දා ළමයො ඔයා ඉතින් හැමදාම අනුන්ගෙ කේස්  හොය හොය ඉන්නකො. ඔයාට ගෙදර එන්න අදහසක් නැද්ද පුතේ?” කියා අහද්දිත් ඒ අවසන් වචන පේළිය අවසන් වෙද්දි පුරුදු විදියටම අම්මාගේ කටහඬ බිඳී යනු දැනුන එකම ප්‍රභාත්ව තප්පර කිහිපයකට නිහඬ කරවන්නට හේතු වුණේය.

“අම්මා දන්නවනෙ මං ගෙදර එන්නෙ නැත්තෙ ඇයි කියලා”

“තාත්තව වෙනස් කරන්න මටවත් බැරිවෙච්ච එකේ ඔයා කොහොමද පුතේ ඒක කරන්න පුලුවන් කියලා හිතුවෙ. මං කොච්චර දේවල් තාත්තට කිව්වද? කෝ ඇහුවද? අන්තිමේ දරුවො දෙන්නා වෙනුවෙන් මට කට වහගන්න සිද්ද උනා. අන්තිමේ මෙච්චර අවුරුදු ගාණක් හැම දුකක්ම දරාගත්ත මං තනිවෙච්ච එකනෙ උනේ. ඔයා මාස ගාණකින් ගෙදර ඇවිත් නෑ. මං ඔයාව දැකලා නෑ. මං උයපු බත් කටක් මට ඔයාට කවන්න විදියක් නෑ. තාත්තා උදේම යනවා රෑට එනව. සමහර දවසට රෑට කොහෙ ඉන්නවද කියන්න මමවත් දන්නෙ නෑ. මේ සාගරේ වගෙ විසාල ගෙදරක මං තනිවෙච්ච එක තමයි උනේ”

“දැන් ලබන සතියෙ මල්ලි එනවා කිව්වනෙ, අම්මට එතකොට පාලුවක් නැතිවෙයි?” කියා උත්තරයක් දෙන්න උවමනාවට කිව්වට කවදත් අම්මට ලොකුම සම්බන්ධය තිබුනේ තමන් එක්ක බව ප්‍රභාත්ට අමතක නැත.

“එනවා තමයි. ඒ ළමයා යන්නෙත් තාත්තා යන පාරෙමයි. කවුද දන්නෙ කොළඹට වෙලා මොනව කරනවද කියලා? කොළඹ ඉන්න ඔයාවවත් හම්බුවෙන්නෙ එන්නෙ නැති ළමයා මේ ගමට ඇවිල්ලා ඉඳීවි කියල ඔයා හිතනවද?”

“ටික දවසක් ගෙදර ඉද්දි වෙනස් වෙයි අම්මේ. කොළඹ ආවම ඉතින් කොළඹ දේවල් දැකලා කොල්ලො වෙනස් වෙනවනෙ”

“එහෙනම් ඉතින් ඔයත් එහෙම වෙන්න ඕනනෙ. ඔයා වෙනස් උනත් මට බය නෑ පුතේ මට බය මල්ලි ගැන. මුරණ්ඩු ළමයා. කියන කිසි දෙයක් අහන්නෙ නෑ මං කියන. තාත්තාගෙන් සල්ලියි වාහනේ යතුරයි ඉල්ලන් ගෙයින් එලියට පැනලා රෑ වෙලා තමයි එන්නෙ. කොහෙ යනවද කවුරු එක්ක යනවද මොනව කරනවද කවුරුවත් දන්නෙ නෑ. මං හිත අස්සෙන් විඳින වේදනාව දන්නෙ මං විතරයි” කියා අම්මා දුරකතනය තියද්දී ප්‍රභාත් හයියෙන් සුසුමක් හෙලුවේ සියලු හිත් වේදනා ඒ සුසුමේ තවරා පිටමං කරනු පිණිසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here