පිණි මුතු පලසක් – 04

0
1762

“අනේ එපා, අනේ එපා. ම්ම්ම්ම්, අනේ…..හ්ම්ම්ම්ම්. අම්ම්ම්ම්ම්. අනේ අම්මේ. අනේ එපාආආආ” කියාගෙන සත්සරා නින්දෙන්ම මේ අඬන්නේ සෑහෙන කාලකයට පස්සෙ බව ගුණවතීට මතක් උනේ රෑ නින්ද මැද්දේ එකපාර සත්සරා අඬන හඬට ඇහැරුණාමය. මීට මාස බොහෝ ගණනකට පෙර සත්සරා මේ විදියට දවස් කීපයක්ම හීනෙන් බයවෙච්ච බවත්, කවුරුන් හෝ වළක්වමින් හඬා වැලපුන බවත් ගුණවතීට මතකය.

“නිදියන්න කලින් පන්සිල අරන් නිදාගනින් කියලා මං කියන්නෙ ඕකනෙ. ඔය මල විකාර හීන පෙන්නෙ නෑ බං එතකොට. අනික උඹ හීනෙන් අඬද්දි ළඟට දුවන් එන්න මොකෝ අම්මා ඉන්නෙ උඹේ ඇඬිල්ල ඇහෙන පේන මානෙකද?” කියා ආච්චි අම්මා කියද්දී සත්සරා උන්නේ තමන් ඒ දැක තිබෙන්නේ හීනයක් බව තේරුම්ගත්ත හිතේ සැනසීමකින් ය. හීනයකට හිතට කරදර කරන්න පුලුවන් බව ඇත්තකි. එහෙත් ශරීරයට කරදරයක්, අවැඩක් කරන්න හැකියාවක් හීනෙකට නැති එකම හිතට සැනසීමකි.

මේ හීන අස්සේත්, මේ බය වීම්, හැඬීම් අස්සේත් තිබෙන්නේ අම්මා කෙනෙකු අහිමි වීමේ වේදනාව නොවන බවත් ඊට වඩා බොහෝ දුර ගිය බියක් බවත් ආච්චි අම්මාට කියන්නේ කෙසේද කියන ප්‍රශ්නයට වඩා සත්සරාගේ හිත පෙළූ ලොකුම ප්‍රශ්නය වුනේ “මං එහෙම කිව්වට කවුරුවත් ඒක විශ්වාස කරාවිද?” කියන එකය. ඒ නිසාම ඒ කතන්දරය තිබූනේ සත්සරාගේ හිත අස්සේ ලැගුම් ගෙනය. අද මෙහෙම කාලාන්තරයකට පසුව එළියට මතුව එන්නට හේතුවක් තිබුණ බවත් ඒ නිසාම දැන උන්නේ සත්සරාම පමණකි.

සමුධ්‍යා ටීච “ඇයි පුතේ අඬන්නේ?” කියා අහද්දී සත්සරා ඔලුව උස්සා බැලුවේ ඒ සියල්ල ආයෙ ආයෙ මතක් වෙද්දිය.

සත්සරා දුක්විඳින්නේත් හඬන්නේත් මෙතන දෙනෝ දාහක් දරුවන් ඉදිරියේ කියන්නට බැරි කතාවක් බව සමුධ්‍යා තේරුම් ගත්තේ අධ්‍යාපනවේදී උපාධිය එක්කම කළ ළමා මනෝ උපදේශන ඩිප්ලෝමාවේ ඉගෙන ගත් දේවල්වලට පින් සිද්ද වෙන්නය. සමුධ්‍යා සත්සරාට එසේම ඩෙස්කුවේ ඔලුව ගසාගෙන ඉන්නට ඉඩ දී පංතියේ ඉතුරු වැඩ ටිකට හිස යොමු කලේ සත්සරාව ඔලුව අස්සේ එක තැනක සිහියේ තබාගෙනය.  පංතියේ වැඩ ටික ඉවරවෙන්නට ගිය වෙලාව කල්පාන්තයක් බව තේරුණේ සමුධ්‍යාට විතරක් නොවේ. සත්සරා උන්නේද දිගටම ඩෙස්කුවේ හිස ඔබාගෙන බොහෝ දේ කල්පනා කරන ගමන් ය. ඉංග්‍රීසි පාඩම අවසන් වූ වහා සමුධ්‍යා ටීච තමන්ගෙන් මේ කාරණාව ගැන අසන්න පෙළඹෙන බව දන්නවා උනත්  තමන් කියන්න ඕන මොකද්ද කියන එක ගැන පැහැදිලි අදහසක් සත්සරාට තිබ්බේ නැත.

“මෙහෙමම පොඩි මහත්තයගෙත් කාමරේ අතුගාමු කෙල්ලෙ. ඊටපස්සෙ තියෙන්නෙ ඇඳවල්වලට බෙඩ් ශීට් ටික දාන එක විතරනෙ” කියාගෙන මන්ත්‍රී නෝනා ඒ කොරිඩෝව දිගේම ඉදිරියට ගියාට සත්සරා උන්නේ එතනින් එහාට එක අඩියක් උස්ස ගන්න බැරුවය.

මේ අඳුරු කොරිඩෝව කෙළවර තමන්ව ඩැහැගන්න බලාගෙන ඉන්නා යක්ශයෙක් ඉන්න බව සත්සරාට අමතක නැත.

මන්ත්‍රී නිවසේ පොඩි පුතා වුන ලකී බේබි මහත්තයා නැතහොත් ලක්ශිත බේබි මහත්තයාව සත්සරා පුංචි කාළයේ සිට දැක තිබුණි. තමන්ට වඩා අවුරුදු දහයක් පමණ වැඩිමහල් ලකී බේබි මහත්තයාව සත්සරාට හරියට මතක් වුනේ ලොකු ළමයෙක් වෙච්ච දවසේ මන්ත්‍රී නෝනාට බුලත් දී වඳින්නට මන්ත්‍රී බංගලාවට ගිය දවසේය.

එදා ලකී මහත්තයා තමන් දෙස බලාඋන්නේ ඉන් පෙර සතියක ලොකු ළමයෙකු වෙන්න කළින් දුටුවාට වඩා වෙනස් බැල්මකිනි. ඒ බැල්මේ ඇඳී තිබූනේ “ඔයාව මීට කළින් මං දැකලා නෑනේ?” කියන කතාව බව සත්සරා තේරුම් ගත්තේ ඉන්පසු දවසක ආයෙ වතාවක් මන්ත්‍රී බංගලාවේ අස් පස් කිරීමේ වැඩවලට ගිය විට ලකී මහත්තයා තමාව කතාවට අල්ල ගත්ත වෙලේය.

“මං මීට කළින් ඔයාව දැකලා නෑ කියලයි මට හිතෙන්නේ” කියා ලකී මහත්තයා කිව්වේ තමන් පල්ලෙහා තට්ටුව අතු ගගා ඉද්දි වට පිට බල බල කවුරුන් හෝ ඉන්නවද කියා බලමින් වග සත්සරාට අද වගේ මතකය. 

“මහත්තයට මාව මීට කළින් හම්බුවෙලා තියෙනව. මං ඕන තරම් ඇවිත් තියෙනවනෙ අස්පස් කරන්න” කියා කිව්වයින් පසු ලකී මහත්තයා තමන් දිහාව බලාගෙන උන් බැල්ම දරාගන්න බැරුව තමන් දෙනෙත් බිම හරවාගත් බවත් සත්සරාට අද මෙන් මතකය.

“මාව කළින් හම්බුවෙලා තියෙනවා? ඔයාට කොහොමද මාව කළින් හම්බුනේ?” කියා ලකී මහත්තයා ඇස් දෙකත් හීනි කරගෙන හීනි හිනාවක් එක්ක අහද්දී සත්සරා ආයෙ වතාවක් ඇස් උස්සා ලකී මහත්තයා දෙස බැලුවේ ඒ ප්‍රශ්නෙ ඇස්වල ඇඳගෙනය.

“මට තේරුනේ නෑ මහත්තයා අහන දේ” කියා තමන් එදා ඇහුවේ මුව පොව්වෙකුගේ අහිංසකත්වයෙන් බව සත්සරාට විශ්වාසය. ඒත් ඒ මුව පොව්වන් දඩයම් කරගන්නට මාන බලන දඩයක්කාරයෙකුගේ දැලට තමන් හසුවන්නට නියමිත බව තමන් ඒ වෙලාවේ දැන උන්නා නම් වහා එතනින් දුව යන බව සත්සරාට විශ්වාසය. 

“ඔයාට මාව හම්බුවෙන්න විදියක් නෑනේ ළමයො කළින්”

“ඇයි ඒ?”

“අපේ අම්මටනෙ ළමයො මාව හම්බුනේ” කියා ලකී මහත්තයා සිනාසෙද්දී සත්සරාද සිනාසුණාය. ඒ ඇත්තටම තමන්ට නැති අයියා කෙනෙකුගේ සහෝදරත්වයෙන්, ආදරයෙන් කළ විහිලුවක් බව සලකාය. එහෙත් සමහර විහිලු ඇස් රතුවෙන ඒවා බව සත්සරා දැනගත්තේ පස්සේය.එදයින් පසු අවස්තා කීපයකදීම ලකී මහත්තයා තනියම ඉන්න වෙලාවල් වල තමන් එක්ක කතාකරන්න උත්සහ කරන බව සත්සරා දුටුවාය. අම්මා කෙනෙකු ළඟ නැතුව, තාත්තා කෙනෙකු ළඟ නැතුව, ඉතාම වියපත් ආච්චි අම්මා කෙනෙක් එක්ක ජීවිතේ ගෙවමින් උන් සත්සරාට තාත්තා කෙනෙක්ගේවත්, වැඩිමහල් සහෝදරයෙක්ගේවත් ආදරේ කිසිම ආකාරයකින් හමු වී නොතිබුණ නිසාවෙන් ලකී මහත්තයා හොරෙන් හෝ ඇවිත් කරන කතන්දර සත්සරා භාරගත්තේ අයියා කෙනෙකු නංගී එක්ක කරන සුරතල්වීම් විලසටය. සත්සරාට මුල සිටම තිබුණේ පාලුවෙන් පිරිච්ච ජිවීතයකි. තාත්තා කියන්නේ කවුදැයි නොදන්නා හන්දාම පාසලේ සම වයසේ මිතුරියන් මෙන්ම ඔවුන්ගේ මව් දෙමව්පියන්ද සත්සරා දෙස බැලුවේ එක්තරා විදියක නොපහන් බැල්මකි. ඒ නොපහන් බැල්ම වනාහී “කොළඹ රස්සාවට යනවා කියලා ගිහිල්ල බඩවල් හදන් ආවා” කියා සත්සරාගේ අම්මා වෙත එල්ල කෙරෙන නොපහන් බැල්මක් වූවද මල්කාන්ති ගම උන්නේ නැති හන්දා ඒ නොපහන් බැල්මත් වෙනස්කමුත් දරාගන්නට වුණේ සත්සරාටය. ඒ නොපහන් බැල්මෙන් මදක් හෝ මිදුණු මොහොතක් ලෙස සත්සරාට මතක තිබ්බේ මන්ත්‍රී නිවසේ වැඩපල කරන්නට ඉඳ හිටක ආ ගිය නිමේෂයන් ය. කොපමණ ධනයද බලයද එක්‍ රැස් වුණ තැනක් වුව මන්ත්‍රී නෝනා සත්සරා දිහාවට නොපහන් බැල්මක් එක්කලේ නැත. විශේෂ යමක් පිළියෙල කර විට ඉඳහිටක හෝ ගුණවතී අතේ සත්සරාට කොටසක් එවන්න ඈ කටයුතු කලාම. එහෙම අම්මා කෙනෙකුගේ පුතා වුණ ලකී මහත්තයා තමන් එක්ක මේ කතා බහ කරන්නේද, විහිලු කරන්නේද ඒ මනුස්සකම නිසාවෙන්ම බව සත්සරා සිතුවේ ඒ නිසාවෙන්මය.

 එදා මන්ත්‍රී නෝනා උන්නේ නෑ ගෙදරක ගොසින් ය. එනිසා මන්ත්‍රී නිවසේ එදා උන්නේ ලකී මහත්තයා පමණකි. ලකී මහත්තයාට කෑම සකසා දෙන්නට මන්ත්‍රී නෝනා ආච්චි අම්මාට කියා තිබ්බ හන්දා ආච්චි අම්මා එක්කම මන්ත්‍රී ගෙදරට ආව සත්සරාට උඩු මහලට යන්න උනේ ආච්චී අම්මා කිව්ව විදියට ලකී මහත්තයට තේක අරගෙන යන්නටය.

“මං අර පෙඟෙන්න දාපු පොල් අතු ටික එළියට ඇදලා දාලා එන්නම්, උඹ එතකං පොඩි බේබි මහත්තයට තේක ගෙනිහින් දීපං” කියා ආච්චි අම්මා කුස්සියෙ දොරෙන් එලියට යද්දී සත්සරා උඩු මහලට නැග්ගේ බන්දේසියේ තිබ්බ තේ කෝප්පෙ එක්කමය.

“ලකී මහත්තයා තේ ගෙනාවා” කියා සත්සරා ලක්ෂිතගේ කාමරය අසල සිට කතා කරේත් ලක්ෂිත දොර ඇරියේත් එකම මොහොතක වගේය. ඒක හරියට සිද්ද උනේ තමන් එන බව දැනගෙනම දොර අරින්නට ලකී මහත්තයා එතන උන්නාද කියා සත්සරාට පවා හිතෙන තරම් අඩු වෙලාවකදීය. 

“ආහ් අද තේ ගෙනාවෙ ඔයාද?” කියා ලක්ෂිත හිනා උනාට තේක බන්දේසියෙන් අතට ගත්තේ නැත. “ඔව් මහත්තයා” කියා සත්සරා තේක තමන් දෙසට දිගු කරද ලක්ෂිත උන්නේ එය අතට අරගන්න අදහසක නොවේ. 

“මං මේ කාමරේ පොත් වගයක් අස් කර කර හිටියෙ. අත් දෙකේ දූවිලි. හොඳ ළමයා වගේ ඇවිත් ඕක මේසෙ උඩ තියලා යන්නකො” කියා ලකී මහත්තයා අහිංසක තාලෙට බෙල්ල ඇල කර කියද්දී සත්සරා ඉස්සරහට අඩියක් තිබ්බාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here