සෝමා නැන්දාගේ කතාබහට පසු ඉසිනි උන්නේ යම් කම්පනයක් එක්කය. සෝමා නැන්දා තමාගෙන් ඉල්ලා සිටින්නේ කුමක්දැයි හරි හැටිම නොවැටහුනාට, ඇයගේ ස්වර වල වූ වේදනාව ඉසිනි ව යළි යළිත් රිදවමින් තිබුණේය.
” ඔයා දැන් ඔහොම මූණ එල්ලගෙන ඉන්නේ සෝමා නැන්දාගේ කතා වලට නම් තාරා… ඒක කිසිම පලක් නැති දෙයක්…සෝම නැන්ද විතරක් නෙවෙයි, ඕනම අම්මා කෙනෙක් සමහරවිට වත්සලා වගේ දරුවෙක් නිසා ඔය වගේ අපහසුතාවයකට, ඔය වගේ අසරණ වීමකට වැටෙන්න පුළුවන්..
ඒත් ඒකට ඔයාටවත්, මටවත් කරන්න දෙයක් නැහැ ..ඔයාට මාව විශ්වාස නම්, වත්සලා ඔය තත්ත්වයට පත්වෙන්න මම වත්සලාට තද පෙළඹවීමක් නොකල කියන දේ ඔයාට දැනෙනව නම් , ඔයා ඔය කාරණාව ගැන පොඩ්ඩක්වත් හිතන්න ඕනි නැහැ …..
අහන්න තාරා වත්සලාට විතරක් නෙවෙයි ඔෆිස් එකේ උන් හැම කෙනෙකුටම මං මගේ කියලා සැලකුවා. මම මේ වැඩේ පටන් ගන්නකොටමයි මම වත්සලාව හයර් කරේ…. එයා ඉන්ටර්වීව් එකේදම මං බලාපොරොත්තු වුන විදියේ හොඳ පර්ෆෝමන්ස් පෙන්නුවා. මට ඕන කරන විදියට ටැලන්ට් එක, මට ඕන කරන විදියට දේවල් දරාගෙන කඩාගෙන ඉස්සරහට යන්න තිබිච්ච තිබිච්ච වුවමනාව මම වත්සලාගෙන් දැක්කා..
ඒ ටැලන්ට් එකට , ඒ මහන්සියට මං ප්‍රමාණයටත් වඩා ගෙවලා තියෙනවා. ඒ වගේම මගේ කෙනෙක් කියන ගෞරවයෙන් එයාට අවශ්‍ය හැම තැනකදිම මං ඒකිට සපෝට් කරලා තියෙනවා…
ඒ ඇරෙන්න කසාද බඳින්නවත් , ආදරය කරන්නවත් , එකට ජීවත් වෙන්නවත් කිසිම බලාපොරොත්තුවක් මම හිතා මතා වත්සලාට දීලා නෑ තාරා…. මගේ සැලකීම් වල හොඳකම් වේවා , එහෙම නැත්නම් ඒ වගේ තිබිච්ච මොකක් හරි ආදරණීය කමක් වේවා , වත්සලා ඒක වැරදියට තේරුම් අරගෙන කතන්දරයක් ගොතා ගත්තට මට ඒකට කරන්න දෙයක් නැහැ….. කිසිම වෙලාවක මට ආදරය කරන බවක් ඒක මට අඟවලවත් නෑ…. මං ඔයාට මේ කාරණය කලිනුත් කිව්වා. හැම වතාවකදිම සෝමා නැන්දා හරි, වත්සලා හරි, ඔයයි මායි අතර මොකක් හරි ගැටුමක් ඇති කරන්න උත්සාහ කරද්දී ඔයා ඔහොම පැත්ත ගහන්න ගත්තොත් , මම හරි අසරණ වෙනවා..
කල් යනකොට ඒක හරි ප්‍රශ්නයක් වෙනවා තාරා….”
” කෑ ගහන්න එපා නුරාන් ….ඔයාට ඔහොම සද්දේට කෑගහන්න දෙයක් වුණේ නැහැනේ….”
” සද්දේට කෑ ගහන්න දෙයක් වුණේ නෑ කියන්නේ කොහොමද තාරා …. ඔයා සුප් කෝප්පෙ මට පොවන්න පටන් ගත්තෙ ඔක්කොම බොන්න ඕනි කියලා කියලා. …ඒකෙන් තව භාගෙටත් වඩා ඉතුරු ඇති …..ඔයාට කල්පනාවක් නැහැ මොකක්ද කරන්න ඕනේ කියලා….. ෆෝන් එක කට් කරා….. ඔයා මගෙන් ඈතට ගිහිල්ලා ඔය පුටුවේ වාඩි වුණා….. දැන් ඔයා කල්පනා කර කර ඉන්නවා…… ජීව්තේ මට වඩා හය්යෙන් ඔයාව මෙවෙලේ ඕනි තාරා මට ..”
ඉසිනි පියවි සිහියට එළඹුණේ ඉන් පසුවය. සුප් කෝප්පය සම්පූර්ණයෙන්ම බොන්නට අවශ්‍ය යැයි කියා නුරාන් සමගින් වාද කරමින් සුප් කෝප්පය පොවන්නට පටන් ගත් බව සිහි වූයේ ඊටත් පසුවය. ඒ සුප් කෝප්පය අසල මේශය මතය. දැන් ඒ සුප් කෝප්පය නිවී ඇති බවට සැක නැත.
” ඉන්න..මං ඔය සුප් එකක් ඕඩර් කරන්නම්…
ඇය රෝහලේ අභ්‍යන්තර දුරකථනය වෙත ඇවිද යමින් කීවාය.
” මට දැන් ඕන ඇති සුප් එකක් නෑ …..ඇවිල්ල මෙන්න මෙතනින් වාඩි වෙනවා…. මට ඔය එක්ක කතා කරන්නයි ඕනේ….මං මේ හරි හොඳින් කියලා පෙන්නගෙන උන්නට, මම ඇත්තටම හොඳින් නෙවෙයි තාරා… මට ඔක්කොම පැටලිලා තියෙන්නේ…”
” සුප් එකක් බොන ගමන්.. කතා කරමු…”
ඉසිනි එලෙසින් කියමින් දුරකථන අංකය සඳහන් කළාය. නුරාන් ඇයට කිසිත් නොපවසා බලා උන්නේය . ඇණවුම තහවුරු කිරීමෙන් පසුව ඕ යළි විත් නුරාන් අසලින් වූ අසුනේ ඉඳගත්තාය. නුරාන් ඇය දෙස බැලුවේය. ඇගේ වත පුරාම ඇත්තේ අවිනිශ්චිතතාවය. එහෙත් ඒ අතරින් යම් නිශ්චිත වූ හැඟීමක් කියවා ගන්නටද නුරාන් ට හැකි විය. ඒ නිශ්චිත බව දනවන්නේ සැනසීමකි.
” හරි දැන් මට කියන්න ඇයි මූණ එල්ලන් ඉන්නේ..?”
” එහෙම මුකුත්ම නෑ නුරාන්…. සෝනා නැන්දා මටම කතා කරලා අරහෙම කියනකොට මට දෙන්න උත්තරයක් හිතාගන්න බැරිඋනා… ඇත්තටම මම මොකද්ද දෙන උත්තරේ නුරාන් ..?”
ඉසිනි ඉතා සෙමින් නුරාන් ගේ එක් අතකින් අල්ලා ගනිමින් හිස පසෙකට ඇල කර කීවාය. ජීවිතය ඇතැම්විට තීරණයක් ගැනීමට අපහසු නිමේෂයන් ඉදිරියට ගෙන විත් අතහැර දමා යන්නේය. ඒ ප්‍රශ්න විසදාගන්නට කිසිදු ඉඟියක්වත් නොදී ඉන්නටද පරිස්සම් වන්නේය. එහෙම වෙලාවල තීරණ ගැනීමට යමකුගේ උදව්වක් අත්‍යවශ්‍ය වන්නේය.
ඉසිනි උන්නේ ඒ සහයෝගය නුරාන් කෙරෙන් බලාපොරොත්තු වෙමිනි. ජීවිතයේ ඇතැම් රිදවීම් දරා ගැනීම කෙතරම් අපහසු දැයි ඕ දනී. වත්සලාටද එවන්ම රිදීමක් ඇති බවට සැක නැත. එහෙත් එසේ යැයි කියා නුරාන් ගේ ජීවිතය තමාගෙන් අතැර දමා, තමා හුදෙකලා වන්නේ කෙසේදැයි ඉසිනි ට වැටහුනේ නැත.
අනෙක් අතට ප්‍රේමය දිනා ගන්නට යැයි කියා වත්සලා විසින් සිදු කළ ආකාරයේ ක්‍රියාවක් සිදුකිරීම කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැක. ඉන් නුරාන්ගේ මුළු ජීවිතයම වෙනස් වී ගියේය. ඇතැම් විට ඔහුගේ ජීවිතයේ සියල්ල නැතිවී යන්නට ද ඉඩ තිබිණි. ඕ සම්පූර්ණයෙන් හැරී නුරාන් දෙස බැලුවාය.
” වත්සලාගේ ප්‍රශ්නෙට ඔයා මැදිහත් වෙන එක නවත්තන්න තාරා…. සෝමා නැන්දාගේ කෝල් වුනත් ආන්සර් කරන එකෙන් ඔයා ඔය විදියේ පීඩාවට පත්වෙවානම්, ඒ කෝල් ආන්සර් නොකර ඉන්න…..තමන්ගේ හිතේ සැනසීම වෙනුවෙන්, කපලා දාන්න අවශ්‍ය මිනිස්සු කපලා දාන්නම ඕනි තාරා…”
” මං කොහොමද නුරාන් එහෙම කරන්නේ…. මං මෙහෙ ආවට පස්සේ සෝමා නැන්දා මාව බලා කියා ගත්තේ අම්මා කෙනෙක් වගේ. එහෙව් මනුස්සයා ඔය වගේ මානසික පීඩාවකදි මම කොහොමද වචනයක්වත් නොකිය මග අරින්නේ …? මං කොහොමද එහෙම කරන්නේ ?
“ප්‍රශ්නෙ තියෙන්නේ සෝමා නැන්දා ඔයාව බලා කියාගත්තේ කොහොමද කියන එක නෙවෙයි තාරා. … ඒ බලා කියාගත්ත එක ඉස්සර කරගෙන එයා දැන් ඔයාව වචනවලින් බ්ලැක්මේල් කරන්න හදන එක…. ඒක ලේසි නෑ ඔයාට… ඒ හින්දා දැන් මේ ප්‍රශ්නෙට ඔයා පනින එක තේරුමක් නැති නිසයි මම එහෙම කිව්වේ….. මට මේ ප්‍රශ්න හැන්ඩ්ල් කරන්න ඉඩ දෙන්න…. කලින් උනත් අයියයි අක්කයි දෙන්නා කලබල වෙලා වත්සලා ගෙදර ගියේ නැත්නම් මේක මෙහෙම දුරදිග නොයන්නත් තිබුණා… පොලිස් කතා ගාව නොගෙන විසඳගන්නත් තිබුනා…
මම පොඩි එකෙක් නෙවෙයි තාරා….. මගේ ජීවිතේට එන ප්‍රශ්න මට විසඳගන්න පුළුවන්….. මට ඕනි ඔයා ඉන්න මගේ ලඟ…”
නුරාන් එලෙසින් පැවසුවේ දැඩි හඬෙනි. එසේ නොවන්නට තාරා මෙම ප්‍රශ්නය ඇගේ කරගෙන අවසානයේ තමාට විසඳන්නට ද නොහැකි තරමට මෙම ප්‍රශ්නය දිග්ගස්සන බව ඔහුට නිකමට වැටහුණු නිසාය.
” මට තේරෙන්නේ නෑ නුරාන්…. කොහොම වුණත් සෝමා නැන්දාට වත්සලාව කන්ට්‍රෝල් කරගන්න කාගේ හරි සහයෝගයක් නම් ඕන වෙයි.. වත්සලා එහෙම අම්මා කියන දෙයක් අහලා , ඒ පිළිවෙලකට ජීවත් වෙන කෙල්ලෙක් කියලා මට හිතෙන්නේ නැහැ…… දැන් එයා ඉන්නේ පිස්සුවෙන්…. උමතුවෙන්…..ඔයාව දිනාගන්න උවමනාවෙන්….. එහෙව් කෙල්ලෙක් අතින් ඕනම වරදක් වෙන්න පුළුවන්…”
” මෙහෙමයි තාරා. මං සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් නෙවෙයි හතර වටේ ඉන්න ගෑනුන්ගේ ,මිනිස්සුන්ගේ දුක් ඔක්කොම මගේ කරගෙන ඒවා විසඳන්න …. මට එහෙම පුළුවන්කමක් නැහැ … ඕනිකමකුත් නැහැ…. අනිත් එක වත්සලා මගේ ජීවිතයට කරලා තියෙන දේවල් වල හැටියට මං තවදුරටත් ඒකි ගැන හොයන්න ඕනි කියලා ඔයා කොහොමද තාර හිතන්නෙවත්….”
” මං එහෙම දෙයක් නෙවෙයි නුරාන් කිව්වේ…. සමහර වෙලාවට අපට සමහර ප්‍රශ්න ගැන පුදුමාකාර තරම් සානුකම්පිත වෙන්න වෙනවා…… සහ කම්පනය උඩින්ම තියාගන්න වෙනවා……. මෙවෙලේ වත්සලා අසරණයි අසරණයි! ඊට වඩා සෝමා නැන්ද අසරණයි….. එහෙම වෙලාවක අපි කිසිම දෙයක් වුණේ නෑ , දන්නේ නෑ , වගේ පැත්තක් බලාගන්න එක හරිද කියලයි මට හිතා ගන්න බැරි ….”
” හරි ඒක වැරදිමයි කියමුකෝ …. දැන් ඔය වත්සලා නටපු නාඩගම නිසා අයියයි මායි මරාගෙන , මං අර ගිය ගමනින් මගේ ජීවිතේට මොකක් හරි නපුරක් උනා නම් මං අහන්නේ ? එතකොටත් ඔයා වත්සලාට ඔය වගේ මෛත්‍රී කර කර ඉන්නවද කියන්න…?”
ඉසිනි හිස පසෙකට ඇලකර වත පුරා ප්‍රශ්නාර්ථ හැඟුමක් මවා ගත්තාය. නුරාන් විමසන්නේ කුමක්දැයි නොවැටහෙනවා නොවේ. නුරාන් ගේ අහිමිවීම නිසා තමා ලත් රිදුම් නොදැනෙනවා නොවේ.
එපමණක් නොව දින දෙක තුනක් ඇතුළත නුරාන් සදාකාලිකව තනිව ඇවිදින්නට නොහැකි තරමේ අසරණ හැඟීමක් දරන්නෙක් බවට පත්වී ඇත. එයද වත්සලාගේ වරදක් නිසා බව තමාට අමතක නැත. එහෙත් සෝමා නැන්දා අතාරින්නේ කෙලෙසද. ?
ReplyForwardAdd reaction |