අම්මාගේ රිදුම් දෙන දෙපාවලට පාවහන් යුගළක් තෑගි කළ ළමා රියැලිටි තරුව

රියැලිටි තරගවල එක් එක් අදියරවලදී විවිධ මාතෘකා ඔස්සේ ගී ගයන්නට ඉඩ දීම සාමාන්‍ය කාරණාවක්.දරුවන් සම්බන්ධ රියැලිටි තරගවලදී බොහෝ අවස්ථාවල දරුවන්ට මව්ගුණ ගී ගයන්නට ලැබෙනවා.Indian Super Star තරගයේ ද එදා මාතෘකාව වූයෙ මව් ගුණ ගීත.

මානි,ඉන්දියන් සුපර් ස්ටාර් වේදිකාවේ කැපී පෙනෙන තරුවක් වුණා.ඔහු එදිනත් සුවිශේෂි ඉදිරිපත් කිරීමකට සූදානම් වී සිටි බව තරගයේ සිටි කාටත් නොරහසක්.

“මට විශේෂ දේකට අවස්ථාවක් ඕනෑ”

ගීතය ගායනා කරන්නට පෙර කුඩා පිරිම් දරුවාට එවැනි ඉල්ලීමක් තිබුණා.

“මගේ අම්මා,එයා තමයි මගේ ලෝකය.මම හැමදාම රෑට අම්මාට වඳිනකොට අම්මාගෙ කකුල්වල තියන කැපීම් සීරීම් දකිනවා.”

මානි එහෙම ප්‍රකාශ කරන්නේ ඉතාමත් සංවේදී ලෙස.

ඔහුගේ අම්මා ජීවන වෘත්තිය ලෙස කරන්නේ ඇඳුම් මැසීම.ඇගේ මැෂිම ක්‍රියා කරවන්නේ පාදවලින්.නමුත් ඇයට ඒ වෙනුවෙන් සැකසූ විශේෂිත පාවහන් තිබුණේ නෑ.නමුත් එවැනි පාවහන් යුවලක් අම්මාට තිළිණ කරන්නට ඒ කුඩා ගායන තරුවට අවශ්‍ය වෙනවා.ඒ අම්මාගේ පාදවලට සිදු වෙන හානිය අවම කරන්නටයි.

“කොහෙන්ද මනීට මේ සපත්තු ගන්න සල්ලි?”

රියැලිටි තරගයේ නිවේදකයා දරුවාගෙන් විමසනවා.ඔහු ඒ පාවහන් මිලට ගෙන තිබුණේ ඔහුගේම මුදලින්.පත්තර බෙදා හරින තැනක අත් උදව් කරුවෙකු ලෙස කටයුතු කරන්න මේ කුඩා දරුවා තීරණය කරලා තිබුණේ අම්මාට තෑග්ගක් මිලට ගන්න හිතාගෙනමයි.ඔහු අවශ්‍ය මුදල් එකතු කරගෙන අම්මාට අවශ්‍ය කරන පාවහන් මිලට ගෙන තිබුණා.ඔහු ඒ පාවහන් අම්මාට පිරිනමන්නේ රියැලිටි වේදිකාව මත.ඔහු තමන් ගෙන ආ පාවහන් අම්මාට පළඳන්නේ බොහෝ වෙලාවක් ඇය වැළඳගෙන සිටීමෙන් අනතුරුවයි.ඒ සංවේදී මොහොත හැම කෙනෙකුගේම දෑස් තෙත් කරන්නට සමත් වූ බව නොකියාම බැහැ.තරගකරුවන් ද විනිශ්ච මණ්ඩලයද කඳුළු පිසිමින් ඒ දසුන දෙස බලා සිටියා.සෑම කෙනෙකුම අසුන්වලින් නැගිට මනීට ගෞරව කරන්නට අමතක කළේ නැහැ.

අම්මා කෙනෙක් සෑම මොහොතකම දරුවන්ට හොඳම දේ ලබා දෙන්නට පැකිලෙන්නේ නෑ.ඇය දරුවන්‍ට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දෙන්නේ ඇගේ ජීවිතය තුළ බොහෝ කැපකිරීම් කරමින්.ඒවා දරුවන් වටහා ගන්නේ බොහෝ කාලයක් ගත වීමෙන් පසුවයි.නමුත් මනීට එය කුඩා වයසේදීම හඳුනා ගන්නට හැකි වීම ගැන විනිශ්ච මණ්ඩලයේ සිටි Javed Ali ඉතා ප්‍රසංසනීයව අගය කළා.

“දෙවියන්ට සෑම තැනකම ඉන්නට බැහැ.එනිසා දෙවියන් අම්මාව නිර්මාණය කරනවා”ඒ ලෝ ප්‍රකට ජනප්‍රිය කියමන දරුවන්ගේ හදවතේ වඩාත් තදින් ධාරණය කරන්නටයි රියැලිටි වැඩසටහන “මගේ අම්මා”නමින් දවසක් නම් කළේ.ඒ දවසට වඩාත් ඉහළ වටිනාකමක් දෙන්නට කුඩා මනීට හැකි වුණා.

Sony Super star තරගයේ කිරුළ මනීට හිමිවේවිදැයි දැන්ම පුරෝකථනය කරන්නට හැකියාවක් නැහැ.රියැලිටි තරගවල සාමාන්‍ය ස්වභාවයට අනුව ඔහුට කොයි මොහොතක හෝ වේදිකාවෙන් සමු ගන්නටත් සිදු වේවි.නමුත් තාරකාවක් බවට පත් වුවත් නැතත් ඔහු පුංචි වීරයෙක්.

More Stories

Don't Miss


Latest Articles