අන්තරා ස්වරාවී ගාන්ධාරා, අභ්‍යන්තර සුළි කුණාටුවකට හසු වී සිටියා ය. එහි ප්‍රවේගයෙන් කැළඹීමට ද නො සන්සුන් බවට ද පත් ව සිටියා ය. ඒ කුණාටුවට මුහුණ දීමට බියෙන් විටෙක ඈ ඉන් පිටතට විත් එදෙස බලා සිටින්නට වූවා ය.
යුගාත්ම කාශ්මීර අමුණුගම අර හිටියා වාගේ ම හිටියා නම් යෙහෙකැයි එවිට ඇයට සිතිණ. එතකොට ඇය ඔහු සැහැල්ලුවෙන් සිටියා ය. ඔහු අස බය නැතිව සිනහ වී සිටියා ය. නිදහසේ හුස්ම ගත්තා ය. පොඩි කාලේ අප්පච්චි ළඟදී දැනුණා වාගේ ම සුරක්ෂිත හැඟීමක් ඔහු ළඟදී දැනිණ. අන්න ඒ හැඟීමට ඇය බෙහෙවින් ආදරය කළා ය. ඊට වසඟ වී සිටියා ය. අතිශය ලෝභකමකින් ඒ හැඟීම බදා වැළඳගෙන සිටියා ය. නමුත් දැන් ඔහු දෙස පෙර තිබූ ඇස් දෙකෙන් බැලිය හැකි ද? අභ්‍යන්තර ගැස්මකින් තොරව ඔහුට මුහුණ දිය හැකි ද?
ඇය මහ ගෙදරින් පිටතට නොගොස් දෙදිනක් ම ගත කළා ය. වෙනදා වාගේ පොඩි හේතු වලට පවා යුගාත්ම ට ඇමතුම් නොගෙන සිටියා ය. නමුත් එය පහසු නැති වග ඉගෙනගන්නට සොබාදහම ඇයට මේ අවස්ථාව කොට දුන්නේ ය. හුස්ම හිර වෙන පීඩනයක් විටෙක ඇයට දැනිණ. යුගාත්ම වෙතට තමන් කෙතරම් ඇබ්බැහි වී ඇත්දැයි ඇය උගනිමින් සිටියා ය.
සලකුණු කරන ලද සීමාවන් නොමැති තාක් බැඳීම් හරි නිදහස් ය. නමුත් මිනිස් වර්ගයා බිහි වූ දා සිට ම බෙදුම් ඇති කරගන්නට උනන්දු වූ බව පෙනේ. එසේ ම අයිතීන් සලකුණු කොට සීමා වෙන් කරගන්නට නැඹුරු වූ බව පෙනේ. එය මානව ජාන සංයුතියෙහි ම ලියැවී ඇති චර්යා ලක්ෂණයක් විය හැක. කෙතරම් නිදහස් හා දියුණු මිනිසුන් ලෙස පවතින්නට උත්සාහ කළ ද ඒ පොදු මානව ලක්ෂණ වලින් මුළුමනින් විනිර්මුක්ත වීම පහසු නැත.
අන්තරා ඇගේ ගෙදරට නො පැමිණීමට හේතුව යුගාත්ම දැන සිටියේ ය. නමුත් දිනක් දෙකක් තමන් සමග තනි වී හෝ ඇය මේ යථාර්ථයට මුහුණ දෙනවාට ඔහු රිසි වූයේ ය. ව්‍යාජයන් සමග ගනුදෙනු කරන එක පහසු ය. නමුත් සැබෑව හැමවිට ම අවංක වේ.
චතුරාර්ය සත්‍ය අවබෝධ කොට බුද්ධත්වය ලබන්නට ද බෝසතුන් හට වීර්ය වඩන්ට සිදු විය. වඩාත් වටින්නේ පහසුවෙන් අත්පත් කරගත හැකි දේවල් නොවේ. අසීරුවෙන් කරනා තෝරාගැනීම් ය. අන්තරා යථාර්ථයට නිරාවරණය වී ප්‍රේමය සාක්ෂාත් කරගන්නා තුරු ඉවසා බලා සිටින්නට යුගාත්ම තීරණය කොට සිටියේ ය.
සෙනසුරාදා උදයෙන් ම යුගාත්ම ගේ රිය කවින්ද්‍යා ගේ නිවස ඉදිරියේ නතරවිය. දියණියන් දෙදෙනා විත් රියට ගොඩවූහ. කවින්ද්‍යා ගේට්ටුවෙන් හිස පිටුපසට දමා බැලුවා ය.
“හවසට පන්ති තියනව ඔය ගියාට”
ඇගේ ස්වරයේ නොමනාපයක් වේද කියා හඳුනාගන්නටවත් යුගාත්ම ට ඕනෑ වූයේ නැත.
“ඊට කලින් එක්කං එනව”
එය ස්ථිර ප්‍රකාශයකි. දියණියන් දෙදෙනා ඔවුන්ගේ ම කැමැත්තෙන් ඔහු සමග පිටතට යන්නට පැමිණීම යුගාත්ම ගේ කුරුලු හදවත පියාසර කළ හැකි සැහැල්ලුවකට පත් කොට තිබිණ. කාගේවත් කවර කොන්දේසියකට හෝ යටත් නොවී ඔවුන්ව පන්ති යවන්නට ඔහු ගේ පීතෘ හදවත වගකීමෙන් බැඳී හිඳී. ඒ වගකීමට ඉතසිතින් උර දෙන්නට තාත්තා සූදානම් ය.
රියදුරු අසුනට යාබදව අසුන්ගෙන සිටියේ වැඩිමල් දියණියයි. යුගාත්ම ඈ අමතන්නට පුරුදු වී සිටියේ ලොකු පුතා කියා ය. ඔවුන් ගේ කුළුඳුල් දරුවා පුතෙකු වෙනවා දකින ආශාවක් ඔහු ට තිබිණ. නමුත් ඈ දියණියක වෙත්දී, පෙරළුණ පිට හොඳයි කියමින් ඔහු වැඩිපුර දියණියකට කැමති වූයේ ය. නමුත් පුතෙකු ගැන හිතේ වූ පැතුම නිසා ‘පුතා’ යන වදන ඈ අමතන්නට යොදාගත්තේ ය. දෛවයේ සරදමකට වාගේ දෙවැන්නාත් දියණියක ම වූයෙන්, ඉබේම ලොකු පුතා හා පොඩි පුතා ලෙස දියණියන් හැඳින්විණ.
“පුතාලටයි දුවලටයි ඔක්කෝටම ඔය දෙන්න තමයි. ආයි තාත්තිට පුතාලවත් වෙන දුවලවත් ඕන නෑ”
ඒ කාලේ, බාල දියණිය බිහි වූ අලුත, යුගාත්ම දියණියන් දෙදෙනාව තුරුලු කරගෙන එසේ කීවේ හේතුවක් නැතිව ම නොවේ. සිය යුග දිවිය බිඳ වැටෙමින් ඇති වග ඔහු ට දැනෙමින් තිබි නිසාවෙනි. නමුත් එය මේ විදිහට දෙකඩ වී යතැයි ඒ වෙලාවේ ඔහු සිතා තිබුණේ නැත.
“අපි ධාරා අක්කිටත් එන්න කියල කෝල් කරමුද…”
හදිසියේ ම සිහි වී දියණියන් දෙදෙනාගෙන් අක්කා විමසුවා ය. පසුපස අසුනේ සිටි නංගී වහා ස්ථිර කළා ය. ඔවුන් යුගාත්ම දෙස බලා සිටියේ ඔහුගේ අනුමැතිය ලැබෙනතුරු ය.
ඔහු ට එය හදිසි ප්‍රහර්ශයක් විණි. නමුත් යුගාත්ම ඒ ලොකුවට පෙන්වන්නට ගියේ නැත. ඒ දෙතොලතර වූ සිනහව පවා ඔහු ගේ පාලනය යටතේ සිර අඩස්සියෙහි පැවතිණ. නමුත් සතුට ඇස් වල දිළිසිණ.
“එයා එහෙම එන එකක් නැතිවෙයි පුතේ”
ඔහු මඳ කල්පනාවකින් ම මිමිණුවේ අන්තරා කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි සැබවින් ම සිතාගත නො හැකිව ය.
“ඉතිං එයා ඔයාගෙ යාළුවනෙ තාත්ති”
“හරි ඉතිං… යාළුව වුණාට එයිද… මන්දන්නෑ”
“අපි අහල බලමුකො”
කියමින් දැරිය අන්තරා ගේ දුරකතනය අංකනය කළා ය. දෙතුන් වරක් හැඬවීමෙන් පසු අන්තරා ගේ හඬ ඇසිණ.
“අපි තාත්ති එක්ක චුට්ටක් එළියට ආව”
“අනේ ශෝක්නෙ පුතේ”
“ඔයත් එන්නකො අක්කි. ඔයත් ඉන්නවනං අපිට කම්මැළි නෑ”
“අනේ මැණිකෙ මං එන එක හරි නෑනෙ. ඔය දෙන්න තාත්ති එක්ක එන්ජෝයි කරල පරිස්සමෙන් එන්නකො”
“ඔයත් ඉතිං තාත්තිගෙ යාළුවනෙ. අනේ ප්ලීස්…”
“අනේ බබා මේ හදිස්සියෙ එහෙම දෙයක් කරන්න බෑනෙ. මං කියන්නද… අපි ටිකක් කල්පනා කරල… වෙන දවසක ආයෙ එහෙම ගමනක් දාගමුකො”
දැරියන් අන්තරා ට එකඟ වූයේ මතුයම් දවසක් ගැන බලාපොරොත්තු ඇතිවයි.
ඒ ලස්සන හෝරා කිහිපයකි. යුගාත්ම සේ ම දැරියෝ ද සුතුටෙන් සිටියහ. අන්තිමට ඔවුන් යළි ගෙදර ගියේ උපකාරක පන්ති යාමට ඔන්න මෙන්න තිබී ය. එද යළිත් ඉක්මනින් පියා හමුවන පොරොන්දුව ඇතිවයි.
“හරි ශෝක් එන වෙලාව”
කවින්ද්‍යා දියණියන් වෙත සිය අප්‍රසාදය පළ කළා ය.
“ක්ලාස් යන්න තියන නිසා තාත්තිගෙ බලේට ආවෙ. තව ටිකක් වෙලා ඉන්න තිබුණනං ශෝක්”
බාල දැරිය ගේ හුරතල් වදන් පිහි තුඩක් සේ කවින්ද්‍යා ගේ පපුවේ වැදිණ.
“මෙච්චර දවස් තනියෙං බලාගත්ත මට වැඩිය මේ පැයට දෙකට තාත්තව ලොකු වෙලා නේ”
“තාත්තිනං කිව්වෙ අම්මිට කරදර නොකර අම්මිගෙ හිත රිද්දන්නැතුව ඉන්න කියලයි. අම්මිට වද නොදී ඕනකරන දේවල් තාත්තිට කියන්නත් කිව්ව. අරං දෙන්නං කියල. තාත්ති නැති කාලෙක වුණත් අම්මිව ආදරෙං බලාගන්න කිව්ව”
කවින්ද්‍යා මුණිවත රැක්කා ය. දියණියන් ඇයට වැඩියෙන් පියාට සමීප වෙතැයි බියක් මුල සිට ම ඇයට විය. ඔවුන් ඔහු ට අකමැතියි කියා සිතීමෙන් ඇය කුරිරු සතුටක් ද ලැබුවා ය. ඒ තත්වය ඒ ලෙස ම පැවතුණා නම් මේ කැළඹීම නැත. මේ සියල්ල වෙනස් වී තිබෙනුයේ අන්තරා නිසා බව ඇය දනී. තමන්ගේ හදවතට ඇගේ මතය එන්නත් කරන්නට සමත් වූ අන්තරා, දියණියන් කෙසේ වෙනස් කරනු ඇත්දැයි දෙගිඩියාවක් දැන් ඇයට වේ. නමුත් අදහාගත නො හැකි ලෙස ඇය අන්තරා ගේ සුවච කීකරු යටත්වැසියෙකු වෙමින් ඇති බවක් කවින්ද්‍යා ට දැනේ. ඇයට එරෙහි වන්නට ශක්තියක් නැති තරමට අන්තරා විෂයේ ඈ දුර්වල වෙමින් හිඳිනා වගක් දැනේ.
ජිතේන්ද්‍ර දිය නාගෙන බරාඳයට පැමිණෙන විට කිශෝරි හා අන්තරා තේ බඳුන් ද සමපෝෂ ගුලි පිඟානක් ද ගෙන එහි පැමිණියහ. සාළුව උරහිස් වටා දමාගෙන ම ජිතේන්ද්‍ර බරාඳ පුටුවක අසුන්ගත වූයේ ය.
“සුදුනෝන අදත් ගෙදර ගියේ නෑ නේද…”
ඇතුළාන්තයෙහි ගින්දරක පිච්චීමක් දැනුණේ මන්දැයි අන්තරා දන්නේ නැත.
“නෑ අප්පච්චි. වැඩේ ඉවරවුණ නිසා… ටිකක් රෙස්ට් කළා”
“හ්ම්. ඒක හොඳයි”
“හෙට යන්න හිතං ඉන්නෙ. අස්කරල අතුගාල ආවෙ නැත්තං ජරා වෙනවනෙ ගේ”
“දැං අපි ඔය සෙන්ට් එක හදන ෆැක්ට්‍රි එකක් සුළුවෙං හරි පටන්ගත්තට පස්සෙ… ඒ මැෂින් වලින් උපරිම ප්‍රයෝජනේ ගන්න පුළුවන්වෙන විදිහට තව තව සුවඳ ජාති හදන්න වෙයි නේද…”
“ඔව් අප්පච්චි. ෆ්ලෝරල් බේස් පර්ෆියුම්නං ඕනතරං හදන්න පුළුවන්. අලුත් සුවඳ ක්‍රියේට් කරන එක ගැන තමයි ඉතිං මහන්සි වෙන්න ඕනෙ”
“දැං ඕවට වැඩටත් කීපදෙනෙක්හරි ගන්න වෙනවනෙ… ම්… තරුපතිගෙ පුතා එක්ක මේ ගැන ටිකක් පිළිවෙළට කතාකරගන්න ඕනෙ. ඒ ළමයට වෙලාවක එන්න කියන්න. ම්…”
“හොඳයි අප්පච්චි”
“පොඩි එකා රට ඉඳල උපාධියක් අරං ඇවිත් හොඳ රස්සාවක් කළා වුණත්… පැත්තකින් බිස්නස් එකක් තියන එක ලොකු දෙයක්නෙ… අර ළමය වුණත් ඔය හැමදේම හොයල බලල කරල දෙයිනෙ…”
යුගාත්ම ගේ රිය පිවිසුම් දොරටුව ඉදිරියෙහි අයිනට කොට නතර වූයේ ඒ වෙලාවේ ම ය. අන්තරා නැවත ද අලුත් ගින්නකින් පිච්චී ගියා ය. මේ වෙලාවේ යුගාත්ම මෙහි පැමිණෙනු ඇතැයි ඇය සිතුවේ ම නැත. කොහොමටත් ඔහු ට මුහුණ දෙන සූදානමක් ඇය වෙත නොවිණි. ඕ ගෙදර ම රැඳී සිටියේත් එබැවිනි.
ඔහු ආවේ රත්තරං පාට හිරු කිරණක් වාගේ ආලෝකයක් ඇති කරමිනි. ඒ සිනහවට අන්තරා වශීයකට සේ හසු වී සිටියා ය. කිශෝරි හා ජිතේන්ද්‍ර වුව යුගාත්ම ගේ සිනහවේ කාන්තිය විසින් මෝහනයකට ලක් කරමින් තිබිණ.
“දීර්ඝායුෂණං කියනව කොල්ලට අපරාදෙ කියන්න බෑ”
ජිතේන්ද්‍ර අසුනෙන් නැගිටිමින් බරාඳයේ කෙළවරට පෙරගමං ගියේ සිනහවක් එක්ක ය.
“ඒ මොකද අංකල්…”
“අංකල් මේ පුතා ගැන කතාකළා විතරයි. එන්න කියල පණිවිඩයක් දෙන්නෝනෙ කිව්ව”
“ඔන්න එහෙනං හිතනකොටම මං ප්‍රාදූර්භූත වෙලා”
සිනහ රැල් ඉසිර විසිර ගියේ ය. යුගාත්ම ගේ දෑස් හිරු මඬලක් වාගේ අන්තරා ගේ මුහුණ මත පායමින් තිබිණ. වෙනදාට වැඩියෙන් ඇගේ කොපුල් පුපුරු ගැසුවේ ය. රත් නෙළුම් පෙති දෑස් වරින් වර බිම බලමින් වුව යළි යළිත් ඔහු දෙස ම බැලුවේ ය.