මිෂෙල් උන්නේ තමා කළ වැරැද්ද පිළිබඳව පසුතැවීමෙන් වුවත් ධීර සහ තාදී කෙරෙහි වූ අසීමාන්තික වෛරය ඇගේ සිතෙන් පහව ගොස් තිබුණේ නැත. තම පියා වැඩි වේලාවක් තමාට සිර මැදිරියෙහි සිටින්නට ඉඩ නොතබන බව දැඩි ලෙස විශ්වාස කළ නිසාත් , මිෂෙල් පොලිස් ජීප් රථයෙන් බැස පොලිසියට ඇතුළු වෙද්දීම ඊට පිටුපසින් රූපසිංහ වසන්ත සමග පොලිසියට ඇතුළු වූ නිසාත් මිෂෙල් ගේ සිතෙහි තිබූ බිය තරමක් පහව ගියේය. නමුත් ඇය උන්නේ දරා ගත නොහැකි ලැජ්ජාවකිනි. ඒ තමා විසින් සිදු කළ සියල්ල සියලු දෙනා ඉදිරියේ එළිවීම නිසාය. මේ වන විට මේ සිදුවීම පිටුපස සිටින්නේ තමා බව ධීර අනිවාර්යෙන්ම දන්නවා ඇත.ඒ නිසා ඔහු තමා කෙරෙහි තවත් කෝපයෙන් සිටිනු ඇත.
මිෂෙල් ව සිර මැදිරිය අසල වූ බංකුවකින් වාඩි කල කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනා ඇය අසල සිට කට උත්තරයක් ගනිමින් සිටි අතර රූපසිංහ ඔහුගේ පෞද්ගලික නීතිඥවරයා අමතා සිදුවී ඇති සිදුවීම පැහැදිලි කලේය.
” මේ ඔක්කොම අර කෙල්ල නිසානේ වසන්ත. ධීරත් මේවට වගකියන්න ඕනේ ”
තම දියණිය විසින් කළ වරද තේරුම් ගන්නවා වෙනුවට රූපසිංහ කලෙ ධීර ටත් තාදීටත් චෝදනා කිරීමය. වසන්ත උන්නේ දෙගිඩියාවෙනි. මීළඟට කළ යුත්තේ කුමක් දැයි ඔහු සිතමින් උන්නේය. තමාත් මෙම වැරැද්දෙහි කොටස්කාරයෙක් බව වසන්තට සිතුණු අතර මෙම විවාහය පිළිබඳව තමාට තීරණයක් ගැනීමට කාලය එළඹ ඇති බව වසන්තට සිතුනේය. එහෙත් මෙම විවාහය දැන් අවලංගු කළ නොහැක. රූපසිංහට දුන් පොරොන්දුවත් තමාගේ ව්‍යාපාරයේ අනාගතයත් රැඳී ඇත්තේ මේ විවාහය මතය. ඒ නිසා කිසිදු හේතුවක් මත හෝ දැන් නැවත හැරෙන්නට නොහැක.
නීතිඥවරයා පැමිණියේ තවත් පැය භාගයකට පමණ පසුවය.මිෂෙල්ව නිදහස් කර ගැනීමට අවශ්‍ය කරුණු කාරණා ඔහු රූපසිංහට පැහැදිලි කළ අතර වසන්ත හඳුනන මන්ත්‍රීවරයකු ගේ මාර්ගයෙන් එම දිනය ඇතුළත ප්රශ්නය විසදා ගෙන මිෂෙල්ව නිදහස් කර ගැනීමට සුදුසු පියවරක් ගැන ඔවුන් සාකච්ඡා කළෝය.
” ශොප් එක රෙපයාර් කරන්න දවස් කීපයක් යයි තාදී. ඔයා එතකං ගෙදරට වෙලා රෙස්ට් කරන්න ”
ධීර දහවලට කෑම රැගෙන තාදීගේ නිවසට එනතුරු ගයත්‍රි ඇය සමග රැඳී සිටියාය.
” අනේ මං බාරගත්ත වැඩ ටික ? ”
තාදී උන්නේ අසරණවය. තමා මේ වසර ගණනාවටම බාර ගත් වැඩක් දිනක්වත් පමා කලේ නැත. තමාගේ සේවාව ලබා ගැනීමට පැමිණි සියල්ලන්ගේම විශ්වාසය දිනා ගත්තේ ඒ ආකාරයටය. නමුත් දැන් සියල්ල වෙනස් වෙමින් පවතී. කුමන තත්ත්වයකදී වුවත් තමා වෙහෙස මහන්සි වී ගොඩ නගා ගත් නාමය විනාශ කර ගත නොහැක.
” ම්ම්ම්.. repair එක වෙන්නේ ශොප් එකේ ඉස්සරහ නේ. එහෙනම් අපි හවස් වෙන්න ඇරලා shop එක පැත්තට යමු. ඔයාට පුළුවන්නෙ හෙමින් සැරේ වැඩ ටික පටන් ගන්න.ඔයා වැඩ කරනකම් මං ඉන්නම් ”
ධීර කීවේ කල්පනාකාරීවය. මේ මොහොතේ නැවත කිසිම හේතුවක් නිසාවත් තාදීව තනි නොකරන්නට ධීර සිතා ගෙන උන්නේය. තමා අතින් සිදුවූ කුඩා අතපසු වීමක් නිසා තාදීට විශාල අනතුරක් වන්නට තිබූ බවට පසුතැවීමක් ධීර ගේ සිත පෙළමින් තිබුණේය.
” අනේ ඔයා හොටෙල් එකට ගිහින් වැඩක් කර ගන්න ධීර. ඔයාට අද මුළු දවසමත් පාඩුයිනේ මං හින්දා. අනික තාත්තා යන්නෙත් නෑ නේද මේ ටිකේ හොටෙල් එකට ? ”
” ඒක මම බලාගන්නම් හරිද ? අපි ඉස්සෙල්ලා මේ ශොප් එකේ වැඩ ටික පිළිවෙලක් කර ගන්න බලමු තාදී. ලොකු ඩැමේජ් එකක් වෙලා තිබුණට ඉක්මනට වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වෙයි “
ධීර එසේ කියද්දි තාදී මොහොතකට නිහඬ වූවාය. තවමත් මේ සිදුවීම පිටුපස සිටින්නේ කවුරුන්දැයි ඒ මොහොත වෙනතුරුත් තාදී දැන උන්නේ නැත. ඒ සිදුවීම ගැන සිතන්නට පවා බියක් තාදීට දැනුණු අතර තවමත් ඒ වේදනාව තාදී ගේ සිතෙන් බිඳක් හෝ පහව ගොස් තිබුණේ නැත.
” ධීර ”
තාදී සිහින් හඬින් ධීර ඇමතුවාය. ධීර හැරී බැලුවේ ඒ හඬටය.
” හ්ම් ? ”
” ඔයා පොලිසියට ගියා නේද ? ”
තාදී එසේ ඇසුවේ ධීර දෙස එක එල්ලේම බලාගෙනය. ඒ බැල්ම මඟ හරින්නට ධීර ට හැකි වූයේ නැත. දැන් සියලු සත්‍යය තාදී ට පැවසිය යුතුය.
” මිෂෙල් ව ඇරෙස්ට් කරලා තියෙන්නෙ ”
ධීර පිළිතුරු දුන්නේ ඉවත බලන අතරේය. තාදී ට දැනුනේ විශාල පුදුමයකි. එසේ නම් මේ බිහිසුණු සිදුවීම පිටුපස සිටින්නේ මිෂෙල් ය. ඇත්තටම මෙය සිදු කළේ වසන්ත යැයි හැඟීමක් තාදී ගේ සිත තුළ තිබුණද ඇය එය නොපවසා සිටියේ ධීර ගේ සිත රිද වන්නට බැරි නිසාය. එහෙත් දැන් සිදුවී ඇත්තේ අනෙකකි.
” ආපු බයික් නම්බර්ස් වලින් මේක හොයා ගත්තේ. මිෂෙල් ගෙ කීමට මිෂෙල් ගේ යාළුවො ටිකක් තමයි මේක කරලා තියෙන්නේ. ආයුශ් ගේ යාලුවෙක් ඉන්නවා පොලිසියේ. මං කියලා ආවේ කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න කියලා. අපේ අම්මයි තාත්තායිත් මිෂෙල් ගේ ගෙදර ඉද්දිමයි මිෂෙල් ව ඇරෙස්ට් කරලා තිබ්බේ. අම්මා තමයි මට විස්තරේ කිව්වේ. හැබැයි ඉතින් රූපසිංහ අංකල් අපේ තාත්තා එක්ක එවලෙම පොලිසියට ගිහින්. ඒ දෙන්නා දැන් මොනා කරලා මිෂෙල් ව එළියට ගත්තත් හැමෝම දන්නවනේ මේක පිටිපස්සේ ඉන්නේ මිෂෙල් කියල ”
ධීර හැඟීම් විරහිතව කියා දැම්මේ ය. තාදී ට දැනුනේ කම්පාවකි. අනෙක් අතට මිෂෙල් පිළිබඳව දුකකි. තමා මිෂෙල්ට කළ වරදක් නැත. මිෂෙල්ගේ විවාහ යෝජනාව ධීර වෙත ආවේ පසුවය. ඒ වන විටත් ධීර තමා හා බැඳී අවසානය. එහෙත් මේ කිසිවක් මිෂෙල් වත් වසන්ත වත් තේරුම් ගන්නට සූදානම් නැත. මේ සියලු කරදර සිදු වූයේ ඒ නිසාය.
” මට මිෂෙල්ව බලන්න ඕනේ ”
විනාඩි කිහිපයක් කල්පනා කිරීමෙන් පසුව තාදී කීවාය. ධීර ඇය දෙස බැලුවේ පුදුමයෙනි. එක අතකට පුදුම වන්නට දෙයක් නැත. තාදී යනු සියල්ලන් කෙරෙහිම කරුණාවෙන් සහ අනුකම්පාවෙන් බලන්නියකි.
” මොකද්ද ? “
” අපි පොලිසියට යමු. මිෂෙල්ව එළියට ගමු ධීර. ප්ලීස් ”
” මොනාද තාදී ඔයා මේ කියවන්නේ ? ”
” ධීර , මිෂෙල් කියන්නේ මම වගේම තරුණ ගෑණු ළමයෙක්. එයා පොලිස් කූඩුවේ ඉන්න ඕන කෙනෙක්ද ? මොන වැරැද්ද කළත් එයත් මං වගේම නේද ධීර ? පොඩ්ඩක් කාට හරි කෝල් කරලා බලන්න දැන් මොකක්ද වෙන්නේ කියලා.අපි ඉක්මනට පොලිසියට යමුකෝ ”
තාදී බැගෑපත් වූවාය. මිෂෙල් ඇගේ සිතට ආ ක්ෂණික සිතුවිල්ලක් මත මේ අපරාධය කරන්නට ඇති වූවත් ඇයට සිර මැදිරියක කල් ගත කිරීමට ඉඩ දිය නොහැක.ඇයද තමා වැනිම වූ තරුණියකි. ඇය මේ සියල්ලම කරන්නට ඇත්තේ ධීර කෙරෙහි වූ ආදරය හෝ ලෝභකම මත විය හැක. ඒ නිසා කෙසේ හෝ ඇයව නිදහස් කර ගත යුතුය. එය පහසුවෙන්ම කළ හැක්කේ තමාට බව තාදී සිතුවාය.
” හරි. ඔයා ගිහින් ලෑස්ති වෙන්නකෝ. මං ආයුෂ්ගේ යාළුවට කෝල් එකක් දීලා බලන්නම් ”
තාදී නිදන කාමරය දෙසට ගියේ පොලිසියට යාම සඳහා සූදානම් වීමටය. ධීර ඇය කාමරයට යන දෙස පුදුමයෙන් බලා සිටියේය. තාදී යනු පරාර්ථකාමී හිතක් ඇත්තියකි. ලක්ෂ ගණනාවක පාඩුවක් මිෂෙල් විසින් කර තිබියදීත් තාදී සිතන්නේද ඇය ගැනය. තමාට කුමන ආකාරයේ වරදක් සිදු කරත් අන් අය කෙරෙහි උණු වන හදවතක් ඇය සතුව ඇත්තේය.
මේ තරම් අපරාධයක් මිෂෙල් විසින් සිදු කර තිබියදීත් ඇයට සමාව දී ඇයව බේරාගන්නට , ඇය කෙරෙහි අනුකම්පාවෙන් බලන්නට තරම් තාදී ගේ හදවත සුපිරිසිදුය. ධීර ට ඇය කෙරෙහි දැනුනේ අප්‍රමාණ සෙනෙහසකි. මේ තමා ජීවිත කාලයම ළඟ තබා ගත යුතු, රැක ගත යුතු ආදරය ය.
ධීර දුරකථනයක අතට ගෙන පොලිස් පරීක්ෂක දේවපුර ගේ අංකයට ඇමතුමක් ගත්තේ ය.
ReplyForwardAdd reaction |