යුගාත්ම ගේ මෝටර් රථය ජිතේන්ද්‍ර ගේ මන්දිරේ දොරකඩට ම ගෙන නතර කරන විටත් තණ පලසෙහි පිනි බින්දු රැඳී පැවතිණ. සුළඟ පමණකුදු නොව හිරු එළිය පවා සිහිලැල් වූයේ ය. අත් දිග ටී බැනියමක් හැඳ උන් ඔහු රියෙන් පිටතට බැස්සේ ම අත් දෙක පපුවෙහි බැඳගෙන ය.
“සීතලයි අප්ප”
අන්තරා උදේ කෑම ද උණුසුම් තේ බෝතලය ද සහිත කූඩය ගෙන රිය වෙත පැමිණියා ය. ඒ සීතලේ යුගාත්ම ට ඇය දැනුණේ මිදුණු පිනි බින්දුවක් මෙනි. ඔහු ගේ සීතල දෑස් බැල්ම තත්පර කිහිපයකට මුදවාගත නො හැකි ලෙස ඇය වෙත ම දැල්වීගෙන තිබිණ. දුඹුරු වරලස තනි කරලකට ගොතා, සැහැල්ලු අත් දිග ශර්ට් බ්ලවුසයක් හා ඩෙනිම් කලිසමක් හැඳ උන් ඕ වයස හතළිස් ගණනක අම්මා කෙනෙකු නොව විසි ගණනක පොඩි කෙල්ලක සේ පෙනුණේ ය.
“මේක අරින්… න…”
ඇස් පිය නො සලා ඇදෙස බලා හිඳිනා ඔහු වෙතට අන්තරා හුරුබුහුටි නෝක්කාඩුවක් පෑවා ය. යුගාත්ම සිහි එළවාගෙන පසුපස දොර විවර කළේ අඩ සිනහවකිනි. අද ඈ ළඟ දැනෙනුයේ එදා ඈ දුටු මුල් ම දිනයේ පුස්තකාල ශ්‍රවණාගාරය තුළ දී ද කෝපි හලෙහි දී ද දැනුණු සුවඳයි. කම්මුලක තැවරී තිබි කියඹු රැල්ල ද ඒ අතරින් සුසුදු කන් පෙත්තෙහි වන පුංචි තරු කරාබුවද සිපගන්නට හිතෙන සංයමකින් ඇය කූඩය පරිස්සමට තැබුවා ය. යුගාත්ම සීතලට අත් බැඳගෙන ම ඒ සුලලිත ස්ත්‍රී රේඛාවන් දෙස බලා සිටියේ ය. අන්තරා යළි නැගී සිටිය දී ඔවුන්ගේ ඇස් කුඩා පරතරයක් ඇති සීතල අවකාශයක හමු විය. ඇගේ ඇස් සිනහවකට කල් යල් බලමින් තිබිණි.
“ලස්සනයි”
ඔහු කොඳුළේ ය. අන්තරා ගේ නෙළුම්පෙති දෑස් කෝල ලෙස බිමට හැරිණ.
“සුවඳයි…”
යුගාත්ම අවුරුදු දහ අටේ දඩබ්බර ප්‍රේමවන්තයෙකු වී සිටියේ ය.
“ඉඹින්න හිතෙනව”
ඇය වහා නෙතු නගා බැලුවේ එතැනින් නික්මෙන්නට අඩියක් පෙරට තබමිනි. ඊට පෙර ඔහු දෑසින් ඈ සිපගත්තේ ය. දෙපා වල කිලෝ ගණනක බරක් ගැටගසා ඇති ලෙස අන්තරා ට දැනිණ.
මේ, කාලේකින් මෙහෙම සකුටක් එක්ක සූදානම් වී යන ගමනකි. ජිතේන්ද්‍ර හා කිශෝරි ඒ සතුට හැංගුවේ ම නැත. පෙර දා රාත්‍රියේ පෙඟෙන්නට දැමූ මයිසූර් පරිප්පු වලින්, කිශෝරි අළුයම අවදි වී වඩේ බැද්දා ය.
“කොල්ල ඉන්දියන් කෑම වලට කැමතියිනෙ. අප්පච්චි වගේම තමයි”
ඇය වඩේ බදින අතරේ කියවූයේ ම යුගාත්ම ගැනයි. අන්තරා නිශ්ශබ්ද ව ටූනා සැන්ඩ්විචස් පිළියෙළ කළා ය. ඊලඟට ඉඟුරු යහමින් දමා, සීනි මඳක් ඉස්සර වන සේ රස කහටක් උණුසුම් බෝතලයට පුරවාගත්තා ය. අත් පිස්නාවේ සිට ම, ඕනේයි හිතුණ හැම දේ ම කූඩයට අසුරාගත්තා ය.
“පැය දෙකක නුවර ගමනට අපේ නෝනා යාපනේ යන්න වගේ කෑම හදාගෙන”
කියමින් ජිතේන්ද්‍ර හඬනගා සිනහ වූයේ ය.
“ඔය කතා නෑ කනකොට”
ජිතේන්ද්‍ර රියදුරු අසුනට යාබද ඉදිරි අසුනේ ය. කිශෝරි හා අන්තරා පිටුපස අසුනේ ය. මෝටර් රථයෙහි කුඩා අවකාශය තුළ පුදුමාකාර තමන්ගේ හැඟීමක් දෝරෙ ගැලුවේ ය. මීට පෙර ඔවුන් ඒකක තුනක් ලෙස වෙන වෙන ම ඕනෑ තරම් නුවර ගොස් තිබේ. යුගාත්ම ට ඒ ගමන් අතිශය සාමාන්‍ය ය. ජිතේන්ද්‍ර හා කිශෝරි ගිය ගමන් වල වූයේ දළදා වැඳගැනීමේ ආගමික අවශ්‍යතාවයක් පමණකි. එන ගමන් තරුපති හමු වී රැයක් එහි ගතකොට හෝ එහෙම ම කොළඹ එන එක සිරිත විය. නමුත් හදවතට මෙහෙම උණුහුමක් දැනී නැත. අන්තරා පහුගිය කාලයේ කඳුකර සුවඳ නිර්මාණය කිරීම වෙනුවෙන් කඳුකර පැළෑටි ගෙන එන්නට නිතර නිතර කඳුකරයට ගියා ය. ඈ ඒ ගමන් ගියේ දුම්රියෙහි තනිවම ය. එතකොට විඳ තිබෙන්නේ හුදෙකලා රසයකි. විවිධ මාතෘකා ඔස්සේ කතා කරමින් ද ගෙදරදී හදාගත් කෑම කමින් ද මෙහෙම ගමනක් යත්දී දැනෙනුයේ වෙනම ම හැඟීමකි.
අතරමගදී පාරින්දිගේ නමින් අන්තරා ගේ දුරකතනය හැඬවිණි. අන්තරා සිය දුරකතනය සවනට ගත්තේ ආදරබර තානයකිනි.
“ගුඩ් මෝනිං”
“එසේම වේවා. යන ගමංද ඔය…”
“හ්ම්”
“කොහොමද… මනමාලය පැණි පෙරනගමං යනව ඇති නේද…”
අන්තරා ට සිනහ නැගුණේ ද, කිසිවෙකුට පාරින්දි ගේ හඬ ඇසේවියි බියෙන් දුරකතනය සවනෙහි තදකර ගත්තේ ද එකට ම ය.
“මේ… ඉස්කෝලෙ ප්‍රින්සිපල් වගේ ඉන්න බෑ හරිද… කොල්ලට චූටියට බුරුලක් දීල ඔය වැඩේ ඔය ගමනෙදිම ඉවරයක් කරං එන්නෝනෙ”
“පිස්සුද අනේ…”
“පිස්සු නෙවේ. දළදා මාළිගාවට බාරයක් වුණත් කමන්නෑ හැමදේම හොඳට වෙන්න කියල”
“දොඩෝනවද…”
“දොඩෝනව නෙවේ. ඇත්තටම කියන්නෙ. ඔයා සතුටෙන් ඉන්නෝනෙ. ඔයා තනිවෙලා හිටිය හොඳටම ඇති. එයා තරං ලස්සනට ඔයාව බලාගන්න දන්නෑ වෙන කවුරුත්”
“පා… රී…”
“ඔන්න කැමැත්ත දෙන්නෝනෙ හොඳද…”
අන්තරා මුදු ලෙස සිනහ වූවා ය.
“පිස්සු අනේ ඔයාට”
“ආදරෙයි මැණික් කැටේ. උම්මා. ආවහම දෙන්නගෙංම මට ට්‍රීට් එකක් හම්බෙයිනෙ”
“හීනෙං තමයි”
පාරින්දි උස් හඬින් සිනහ වූවා ය. දුරකතන සම්බන්ධය බිඳ දමා ඉකි බිඳිමින් හැඬුවා ය. ඇයට ඇගේ ම හිත තේරෙන්නේ නැති තරමි. යුගාත්ම කෙරේ බැඳුණු හිත ගලවා ගත්ත ද මේ රිදුමෙන් මිදෙනා එක පහසු නැත. අනිත් අතට දැනටමත් අන්තරා ට හිමිකම් ලැබී ඇති යුගාත්ම වෙනුවෙන් අයිතිවාසිකම් කියන්නට යාමත් විහිළුවක් බව ඇය දනී. වෙන මොනවා නැති වී ද අන්තරා වාගේ මිතුරියක අහිමි කරගන්නට ඇයට ඕනෑ නැත. ඇයට කිරුළ දී කැමැත්තෙන් පසුබසින්නට පිළිවන. නමුත් කියන දෙයක් නාහා වැළපෙන්නේ අකීකරු හදවතයි.
ඒ ගමන විචිත්‍ර වූවකි. ඔවුහු කොස්කැලේ දී සැන්ඩ්විචස් හා වඩේ කමින් ඉඟුරු තේ බීවෝ ය. කජුගම දී යුගාත්ම රිය නතර කොට කජු මිල දී ගෙන අන්තරා ට දුන්නේ ය. ඇය කජු අහුර බැගින් හැම කෙනෙකුගේ ම අත්ල පිරවූවා ය. මේ වන විට ඇය ප්‍රීතිමත් දැරියක බවට පත් වෙමින් සිටි අතර, දකින දකින දේ මිල දී ගැනීමට ද ආශා වූවා ය.
“වේවැල් බඩු තියන හරියෙදි නවත්තන්න හොඳේ. මට කිචන් එකට වට්ටි පෙට්ටි ටේබල් මැට්ස් වගේ දේවල් වගයක් තියනව ගන්න”
ඇය කල් ඇතිව ම කීවා ය.
“ඕව එනගමං ගන්න බැරියෑ”
කියා ජිතේන්ද්‍ර කියත්දී අන්තරා මූණ නරක් කරගන්නා හැටි යුගාත්ම දුටුවේ ඉදිරි කැඩපතිනි. ඇය තවත් වරක් ඉල්ලා නො සිටිය ද වේවැල් ගම දී ඔහු රිය නතර කොට ඉන් බැස ගත්තේ ය. නමුත් අන්තරා බහින්නට ඉක්මන් වූයේ නැත.
“එන්න ඉතිං… බලල ගමු”
කියමින් යුගාත්ම ඈ සිටි පස දොර විවර කළේ ය. අන්තරා සිනහව ගිලගෙන ප්‍රීතියෙන් පිටතට ආවා ය.
මෙතැනින් යන එන බොහෝ අවස්ථා වල ඇයට මේ ආශාව ඇති වී තිබේ. නමුත් ඒ කිසිදු ගමනකදී ඊට අවස්ථාව ලැබී නැත. ඇය ඉතාම සතුටෙන් හා උනන්දුවෙන් වේවැල් භාණ්ඩ තේරුවා ය. අන්තරා මෙවන් විසිතුරු දෑ වලට රිසි ය. ඈ ළඟ නොයෙක් ආකාර වල ගෘහ භාණ්ඩ හා උපකරණ නැතිවා ද නොවේ. නමුත් විවිධ කාල වලදී අලුත් පන්නයේ ගෘහ උපකරණ මිල දී ගැනීම ඇයට සතුටකි. එතකොට ඇය ගෙදර තිබූ කලින් භාවිතා කළ අඩුම කුඩුම ටිකක් අසල්වැසි ආර්ථික අපහසුතා ඇති පවුලකට ලබා දෙයි. ඉතා ම හොඳ තත්වයේ වන ඒ බඩු මුට්ටු, ඔවුන් ගෙන යන්නේ පින් දෙමිනි. බඩු ගොඩගසා නො ගැනීමත්, හිත බැඳෙන අලුත් දෑ මිල දී ගැනීමත් යන දෙක ම නිසා ඇය සතුටු වෙයි. දක්ෂිණ වෙනතක බැඳුනාය කියා අන්තරා අකාලයේ වියපත් නොවුණේ ඇගේ මේ නැවුම් සිත නිසා විය හැක. දක්ෂිණ ගෙන් හිස් වූව ද ඇය තව බොහෝ දේවලින් හිත පුරවාගෙන සිටියා ය. තුටු පහටු වෙන්නට හේතු එකතුකළා ය.
නූපුර උසින් මහතින් වැඩෙත්දීත් අන්තරා ලස්සනට ඇන්දා ය. පෙනුම ගැන සැලකිලිමත් වූවා ය. නමුත් සෑම විට ම ඇයට ගැලපෙන විලාසිතා තෝරාගන්නට කල්පනාකාරී වූවා ය. නූපුර ට හෝ දක්ෂිණ ට අපහසුවක් වනු ඇතැයි සිතෙනා කිසිදු විලාසිතාවක් ඇගේ තේරීම වූයේ නැත.
ජීවිතය සතුටෙන් ඉදිරියට ගෙන යන්නට ඒ කුඩා දේවල් අපමණ අගයක් දුන් බව ඇය දනී. කවුරුන් ජීවිතයට ආවා ගියත්, මොනතරම් නො ලැබීම් උරුම වී තිබුණත්, ඇයව දකිනා කිසිවෙකු ඒ බවක් දුටුවේ නැත. ඇගේ ගෙදරට ගොඩ වූ කෙනෙකුට ඔවුන් ගේ ජීවිත වල කිසිදු අඩුවක් දැනුණේ නැත.
දළදා මාළිගාවට ගොස් වැඳ පුදාගෙන පූජාපිටියට යන්නට ජිතේන්ද්‍ර සිතාගෙන සිටියේ ය. නමුත් අන්තරා ට ඕන වුණේ හැන්දෑ වී එහි එන්නටයි. රාත්‍රියට වැව රවුමේ නිසංසලේ ඇවිදින ආශාවක් කාලයක් තිස්සේ ඇගේ හිතේ යටපත් වී පැවතිණ.
“හවසට එමු අප්පච්චි. රෑට එළියෙ ඇවිදින්නත් එක්ක”
ජිතේන්ද්‍ර එකහෙළා ඊට එකඟ නොවුණ ද යුගාත්ම කෙළින් ම පුජාපිටියට රිය ධාවනය කළේ ය.
“හවස් වෙලා මාළිගාවට එමු නේද අංකල්… එතකොට අව්වත් බැහැලනෙ”
ඔහු ට තිබුණ නිදහසට කාරණය එයයි. ජිතේන්ද්‍ර පිටුපස අසුන දෙසට හැරී කිශෝරි ගේ මූණ බැලුවේ ය. ඇය සමච්චලයට වාගේ සිනහ වූවා ය.
“පිරිමි ඔක්කොම එකයි. ගෑනු මොකද්ද කියන්නෙ… ඒක තමයි කරන්නෙ”
වැනි කතාවක් කිශෝරි ගේ බැල්මේ ලියැවී තිබිණ. අන්තරා අම්මාත් අප්පච්චිත් දෙදෙනා ගේ ම මුහුණු මගහැර වීදුරු කවුළුවෙන් පිටත බලාගත්තා ය.