මා හද මට නැති විට -12

“බලපං තේජ බැල්කනි එකෙන් එබිලා බලනවද කියලා.”

අනුත්තරා මිතුරියගේ කාමරයේ ජනේලය හැර දැමුවේ එසේ කියන අතර ය. සෙනුරි වහා ජනේලයෙන් එබී බැලුවා ය. නිර්වාන් උෂාන්ගේ මිතුරෙකු හන්දා ලාවන්‍යා නිර්වාන්ට අයිති වීම සතුටකි. නමුත් වැඩියෙන්ම වටින්නේ ලාවන්‍යා සතුටින් සිටීම බව ඇය විශ්වාස කරන්නී ය.

“ඒ මනුස්සයා මෙහෙට එබෙනවානම් ඒ උඹ ඉන්න හින්දා වෙන්නැති”

සෙනුරි කෝකටත් කියා පැවසුවා ය. මිතුරියන් හතරදෙනාගෙන් ලස්සනම කවුදැයි මේ තරම් දවසක් සෙනුරි සිතා තිබුණේ නැත. නමුත් කොල්ලන්ගේ වැඩිම ආකර්ෂණය හිමි කරගන්නිය අනුත්තරා බව ඇයට හදිසියේ ම සිහිපත් විණ.

“අවුරුදු දෙකක් විතර එකම ඔෆිස් එකක ඉඳලා ඇහැ නොදැම්ම මිනිහා දැන් තමයි දාන්නේ. අනික ඒ ඇහැ මට ඕනත් නෑ. මට කියලත් ඇහැක් තියනවනෙ.”

අනුත්තරා එහෙම කියන්නේ වගක් නැතුව ය. ලාවන්‍යා ඒ කතාබහට සම්බන්ධ නොවූවා ය. අද මිතුරියන් නොපැමිණියාම හොඳ බව ඇයට සිතේ. තනිව හිඳීමට තිබුණානම් අපූරු ය. ඕනෑවටත් වඩා සිතන්නට දේවල් තිබේ. නමුත් ඒ කල්පනාවට ඉඩ නොතබා මෙතැන වෙනත් දේවල් විසඳන්නට සිදු වී තිබේ. 

“බොරුවට කියවන් නැතුව ඉන්නකො අනේ.”

ලාවන්‍යා කාමරයෙන් පිටතට ආවේ එහෙම කියාගෙන ය. සෙනුරි අනුත්තරාගේ මුහුණ දෙස බැලුවේ පුදුමයෙනි. තවත් කෙනෙකුට එහෙම කතා පැවසීම් ලාවන්‍යාගේ ශබ්ද කෝෂයේ නොවේ. ඇය මෙහෙම එරෙහි වූයේ මුල්ම වතාවට බව සෙනුරිට සිතිණ.

“එයාට තනියම ඉන්න දෙන්න තිබ්බෙ අපිට. අපි මොන පිස්සුවකටද අද මෙහාට කඩාපාත් වුණේ.”

අනුත්තරා කියන්නේ සන්තාපයෙනි. ඒ ලාවන්‍යාගේ දික්කසාදය සමරන්නට වග සෙනුරි කියන්නේ බරපතලක් නැතිව ය. අනුත්තරා හිනැහිණ. ඒ හිනාව සරදමකි.

“වගීෂ මගේ කීවෙනි කොල්ලද කියලා උඹට මතකද?”

එවර සිනාවක් නැඟුණේ සෙනුරිට ය. එකල බාලිකාවේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වූ පාරමීට වැඩිම කරදරය තිබුණේ මිතුරියක වූ අනුත්තරාගෙනි. ඇය පාසල් ප්‍රේමය වූ ලක්මාල්ව කීයටවත් අත්හරින්නට අකමැති වූවා ය. ඒ වෙනුවෙන් දිවි දෙවැනි කොට සටන් කළා ය.

“මට ඇත්තටම ලක්මාල්ව මතකයි. දැන් වගීෂයා එක්ක ෆිට් එකේ ඉන්නවා. අනිත් උනුත් මතකයි. ගනින්නත් අමාරුයි.”

අනුත්තරා මන්දස්මිතයක් නැඟුවා ය. ඇය ඉතා පහසුවෙන් සම්බන්ධතා අත් හරින්නියක බව මිතුරියන් පවා සිතන බව අනුත්තරා දන්නී ය. ඇය ඒ අදහස වෙනස් කරන්නට ද ලොකු උත්සාහයක් දරන්නේ නැත. ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් සිතන්නට ඉඩ හැරීම ඇගේ ගතිගුණයකි.

“ලක්මාල්ට,වගීෂට ඔය නම් මතක නැති ඔක්කොටොම මං ආදරේ කරේ ඇත්තටම. සමහරුන්ව මං අත් ඇරියා. සමහරු මාව අත් ඇරියා. ඒ හැම අත් ඇරිල්ලක්ම මට දරා ගන්න සෑහෙන අමාරු වුණා.”

අත අත් හැරී යාම දුකකි. ප්‍රථම ප්‍රේමයම විවාහ කරගන්නට බලා හිඳිනා සෙනුරිට ඒ ගැන ලොකු වැටහීමක් නොවේ. නමුත් අත අත් හැරී යාම දුකක් වග ඇය සිතුවා ය.

“ඔය සමහරු එක්ක මං ටික කාලයක් එකට ජීවත් වුණා. එහෙම ජීවත් නොවුණු මිනිස්සු පවා මං හිතේ එල්ලන් හිටියා. ඉතිං ඒ වේදනාව මං දන්නවා.හැබැයි මං සමහරුන්ට ළං වුණේ තව කෙනෙක් නැතුව ගිය වේදනාව අමතක වෙන්න.”

අනුත්තරා එහෙම කියන අතර ලාවන්‍යාගේ කාමරය සිසාරා බැලුවා ය. ඇගේ යුගල යහන මත දැන් ඇත්තේ එක් කොට්ටයකි. ලාවන්‍යා තේජගේ කොට්ටය පවා ඉවත් කර තිබේ. නමුත් කොට්ටයක් ඉවත් කරන තරම් වේගයකින් මතක ඉවත් කරන්නට අසීරු ය.

“තේජ බැල්කනියෙන් එබෙනවටවත් නිර්වාන් ගිහින් චැනල් එක ගාව කැරකෙනවටවත් මං අකමැති අන්න ඒකයි. බිඳිච්ච හිතක තනිකම මකාගන්න කාටහරි ළං වෙන්න තරම් ලාවන්‍යා අසරණ වෙන්න ඕන නෑ. එයාට ආදරේ ගැන ඇත්තම හැඟීම එනකම් අපි පාඩුවේ ඉමු.”

අනෙක් අතට ඇයට සියදිවි නසා ගැනීමේ සිතුවිලි ද දැන් නොනැඟේ. ඇය ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගන්නියකි. ඒ හන්දා ඕනෑවට වඩා ලාවන්‍යා පස්සේ වැටීම අනවශ්‍ය වැඩකි.

“එයාට මොනතරම් මතක කන්දක් බිම තියන්න ඇද්ද? මේ ලාවි භවන්ත එක්ක ජීවත් වුණු ගෙදර. මේ උන් දෙන්නාගෙ කාමරේ. අද භවන්තට තියන හැම බැඳීමක්ම ලාවි නීතියෙන්ම මකලා දැම්මා. එහෙම දවසක අපි ඇවිල්ලා එයාට ඩිස්ටර්බ් නොකර ඉන්න තිබ්බේ.”

මතක එකින් එක මැකී යා යුතු බව අනුත්තරා සිතන්නී ය. එහෙම මතක නොමැකෙන හිතකට තවත් හිතක් ළං වීම කිසිසේත්ම තේරුමක් නොවේ.

“නිර්වාන් ඇත්තටම ලාවිට කැමතියි නේද?”

ඇය හදිසි ප්‍රශ්නයක් ඇසුවා ය. සෙනුරි එයට පිළිතුරක් නොදී අනුත්තරාගෙන් ප්‍රශ්නයක් ඇසුවා ය.

“තේජ? තේජගේ හිතේ මොනවා හරි අදහසක් ඇති කියලා ඔයාට හිතෙන් නැද්ද?”

අනුත්තරා දෙවුර ගැස්සුවා ය. ලාවන්‍යා ටික දවසක් නිදහසේ හිඳින්නට ඕනෑ ය. නමුත් ඇය තනි විය යුතු ද නොවේ.

“තේජගෙ හිතේ මොනවා තිබ්බත් තේජ ළමයෙක් ඉන්න තාත්තෙක්. නිර්වාන් කියන්නේ හෙට වුණත් ලාවිව බඳින්න පුලුවන් නිදහස් කොල්ලෙක්.”

සෙනුරි මිතුරිය දෙස බැලුවේ පුදුමයෙනි. ඇය සිතා සිටියේ තේජ දික්කසාද වූ මිනිසෙක් බව ය. එහෙම නැතිනම් ඔහුගේ බිරිඳ මිය ගොස් තිබිය යුතු ය. මේ ගෙදර භාර්යාවක් පෙනෙන්නට නැත.

“තේජ මාත් එක්ක සෑහෙන දේවල් කතා කරලා තියනවා. මිසිස් ප්‍රතාපසිංහගෙ ඕපදූප පවා අපි කතා කරලා තියනවා. හැබැයි තේජ කිසිම දවසක ලියෝන්ගේ අම්මා ගැන වචනයක්වත් කියන්නේ නෑ. තේජ නුවර මනුස්සයෙක්, තේජගෙ මල්ලි ඉන්නේ නාවල. ලියෝන් ගොඩක් වෙලාවට ඉන්නේ එහෙ. ඔන්න ඔච්චරයි.”

කාන්තාවක් දරුවෙක් සමඟ තනි ජීවිතයක් ගෙවන්නේ නම් පියා ගැන කිසිවක්ම නොපවසන්නේ නම් ඒ දරුවා ප්‍ර්‍රේමයක අතුරු ප්‍රතිඵලයක් වග සිතන්නට තිබිණ. නමුත් තේජ පිරිමියෙකි. ලියෝන් දස මසක් කුසයේ හොවාගෙන සිටි ගැහැනියක කොහේ හෝ සිටිය යුතු වේ. අඩුම තරමේ ඇගේ මරණයක් ගැන හෝ සඳහනක් තිබීම වැදගත් ය.

නමුත් ඒ හැමදේම රහසකි.

(ඇත්තටම ලියෝන්ගේ අම්මා ජීවත් වෙනවා ඇතිද? ඔයාලා මොකද හිතන්නේ?)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles