මම වෙන ම මලක් – 09

අම්මා සතු ඇදහිය නොහැකි වෙනස නිලුපුලී බලා සිටියේ පුදුමයෙනි. ඇය සියළු කැත නොසරුප් කතාන්දර සිතෙහි සිර කරගන්නට පටන් ගෙන තිබුණා ය. ඉනික්බිති ආදරණීය අම්මා කෙනෙකු මෙන් හැසිරෙන්නට පටන් ගෙන තිබුණා ය.

“නිලූ…ඔපිස්සෙකට ගෙනිහිල්ලා කන්න බත් එකක් බැඳලා දෙන්න ගිහින් කන එක ලැජ්ජාවක්ද”

ඇය එසේ අසා අනතුරුව ඌණපූර්ණයක් එක් කරන්නට ද වූවා ය.

“මං ඊයේ චිකන් වගයක් ගෙනත් ඉව්වා. හෙට ඉස්සෝ උයන්නන්.”

නිලුපුලී වහා හිස වැනුවා ය. හෝටලයකින් කෑම බෙදා ගන්නා ආහාර බඳුන ඇය අම්මාට දුන්නේ ඉන්පසුව ය. ඇය සතුව එහෙම හොර කෑම පෙට්ටියක් තිබේ. ඒ ඇයට හුරුපුරුදු හෝටලයෙන් බත් සහ ව්‍යාංජන බෙදා ගන්නට ය. ඒ කටයුත්ත ඇය කරන්නේ ඉස්කෝලේ හත අට පන්තියේ පටන් ය. 

“උඹට උයලා දෙන්න මට බෑ. නැහිලා නැහිලා ගෙවල්වල වැඩ කරලා ඉන්නේ. උඹට උදේට උයන්නේ මොන මඟුලටද? ඕනනම් නැගිටලා උයාගනිං”

නිර්මලා එහෙම පැවසුවේ යන්තම් වැඩිවියට පත් වූ කුඩා දැරියට ය. ඇයට ඒ වෙද්දිත් උයන්නට බැරි කමක් තිබුණේ නැත. එහෙත් උයා පිහාගෙන පාසල් යන්නට දැරියට මහන්සි දැනිණ. කැන්ටිමෙන් මොනවා හෝ කෑ දවස් වලට සමු දී ඇය හෝටලයෙන් කෑම රැගෙන යන්නට පටන් ගත්තා ය. ඒ අම්මාගේ පසුබිම්යෙන් සොරකම් කරගත් සල්ලි වලින් ‍ය. රැකියාවට යන්නට පටන් ගත් පසු ඒ වැටුපෙන් වෙන හොඳ හෝටලයක කෑම පාර්සලයක් ගන්නට හැකි වී ද නිලුපුලී මුල අමතක නොකළා ය.

එහෙත් දැන් අම්මා කෑම උයන්නට යයි.

“අම්මට මහන්සි වෙලාවට මම කඩෙන් කන්නං.”

ඇය අම්මාට එහෙම කිව්වේ කරුණාවෙනි. නිර්මලා බොහෝ කාලයකට පසු දියණියට නිර්මල සිනාවක් පෑවා ය. කිසිම දවසක දියණියට කියන්නට නොහැකි කතාවක් තිබුණ ද ඇයට නිලුපුලීට ආදරයෙන් සලකන්නට නොහැකියාවක් නැත. දැන් දියණියට ආදරෙන් සලකන්නට කාලය උදාවී තිබේ.

“මොන මහන්සියක්ද. මම කොහොමත් කරන්නේ උයන එකමනේ පුතේ.”

නිර්මලා කාලයකට පසු දියණියට පුතේ කියන්නට ද අමතක නොකළා ය. මේ සිදුවන වෙනස තේරුම් ගන්නට නිලුපුලී ට අපහසු ය. නමුත් ඇයට අම්මාව ලැබී තිබේ.

“ලබන මාසේ ඔයාගේ උපන්දිනේ.”

ඊළඟ පුදුමය පැමිණියේ එහෙම ය. දෙවිසි වසරක් පුරා අම්මා නිලුපුලීගේ උපන්දිනය සමරා නැත. අම්මාට ඒ දවස ඇගේ ලෝකයේ ඇති නරකම සහ ජරාම දවස ය. පියෙකු නැති දියණියක ලෙස ලෝකයට බිහි වන්නට නිලුපුලීට තිබූ කඩි ගාය ගැන අම්මා කතා කළේ හොඳ වචනවලින් නොවේ. ඒවා නොසරුප් වදන් වලටත් එහා ගිය අප්‍රසන්නම කතාන්දර ය.

“මම කට්ලට්ස් ටිකක් බැදලා සැන්විච් පෙති ටිකක් හදලා දෙන්නං. ඔයා කේක් එකක් ගන්ඩ.”

නිලුපුලී ගල් වී බලා සිටියා ය. උපන්දිනයට යාළුවන්ට මොනවා හෝ ගෙනියන්නට ඇසීමෙන් පසු අම්මා කියන අමන කතාන්දර තවත් නොවේ. ඇය ඒ වෙනුවට කෑම හදන්නට සැරසේ. 

“කේක් ගන්නකොට ෆැබ් එකෙන්වත් ගන්ඩ පුතේ. ලස්සිකා හදන පැණි රහ කේක් එහෙම උස්සන් යන්න එපා.”

අම්මා එසේ පවසා ඊළඟ කතාන්දරය පැවසුවේ වඩාත් ප්‍රවේසම් සහගතව ය.

“අර නිළිය ද ගායිකාවද කසාද බැඳලා ඉන්නේ නදීෂ්ගෙ අයියා විත්තිය මං දන්නේ එදා. ඔය ගායිකාවන්ගෙ මිනිස්සු වාරෙන් වාරේ මාරු වෙනවනෙ. ඕවා ගැන ඉතිං මම දන්නව අඩුයි”

අම්මා රදීෂ් කියන්නේ කොහොම කෙනෙක්දැයිවත් නොසිතා ඔහු සහ තමන් ගැන කැත කතාන්දර පවසා තවම දවසක්වත් ගෙවී නැත. නමුත් ඇය නදීෂ්ගේ අයියා රදීෂ් බව දැන ගැනීමෙන් පසු වෙනස් වී තියේ.

“අම්මා නදීෂ්ව දන්නවද?”

නිර්මලා අඩමාන ලෙස හිස වැනුවා ය.අනතුරුව කතාවෙන් බාගයක් විතරක් කියන්නට හිත හදා ගත්තා ය.

“රදීසුයි නදීසුයි කියන්නේ එකම අම්මගෙ ළමයි නෙවේ. මං රදීස්ගෙ අම්මව ටිකක් දන්නවා. එයැයි මැරුණට පස්සෙනෙ නදීස්ලගෙ අම්මව ගෙනාවේ.”

එහෙම කතාන්දරයක් දැන ගත්තේ දැන් ය. මව අහිමි ආයතන ප්‍රධානියා ගැන නිලුපුලීට සොවක් දැනිණ. ඔහුට අම්මා ඇත්තේම නැත. ඇගේ අතුරුදහන් වූ අම්මා ඇයට ලැබී පැය කිහිපයකි. ජීවිතය කියන්නේ අමුතු තැනක් බව නිලුපුලී සිතුවා ය.

ජීවිතය එක තැනක සිටින මලකට එහෙම පාඩමක් උගන්වමින් සිටි අතර ඇය නිලුපුලකි. සෙව්වන්දියක තම පෙම්වතා හන්දා වඩාත් කැළඹීමට සහ බයට පත් වූයේ ද ඒ කාලයේම ය.  දුලාජ් ඇගෙන් ඈත් වන්නට වූ විට ඔහුගේ ඊළඟ ගොදුර අහස්‍යාදැයි ඇය විපරම් කළා ය. තැති ගත්තා ය. ගනේෂන්ට දිවා රෑ නැතිව කරදරයක් වන්නට පටන් ගත්තා ය. ප්‍රේමයක වේදනාව ඇයට උසුලා ගන්නට පහසු නොවී ය.

“සෙව්වන්දි  කියන්නේ දැන් උඹට ගැළවෙන්න අමාරු උගුලක් පුතේ..”

මත් බඳුන් එකිනෙක අහවර වෙද්දී ගනේෂන් එසේ කීවේ ගිටාරය අපිළිවෙල හඬකින් වයමින් හුන් දුලාජ්ට ය.ඔහුගේ වේගවත් එහෙත් ක්‍රමානුකූල නාද රටාවකට ගමන් නොකළ සංගීත නාදය දුලාජ් මොනතරම් කලබලයට පත්ව සිටීදැයි අනාවරණය කළේ ය. වේදිකාවේ උඩ පනිමින් කියන රැප් ගායනයක් මෙතැන කියන්නට ගනේෂන්ට සිතිණ

“මං කියන්නේ උඹ ඒකිව බැන්දොත් මොකෝ..”

ඔහු ඒ වෙනුවට ඔහුගේ යෝජනාව ඉදිරිපත් කළේ ය. දුලාජ් වැයුම නවතා මිතුරා දෙස බලා සිටියේ පුදුමයෙනි.අනතුරුව ඔහු තවත් මත් බඳුනක් එක හුස්මකට හිස් කර දැමී ය.

“අර නාකි හෝන්තුව? උඹට ඔලුව නරක් වෙලාද ගනේෂයා.අවුරුදු විස්සෙ විසි එකේ පොඩි කෙලි පොඩ්ඩක් බැඳගන්න පුලුවන් මං මේ ගෑනිව බඳින්නේ ඇයි?”

ගනේෂන් නිස්කලංක හිනාවකින් මිතුරා දෙස බලා සිටියේ ය.බොහෝ ලෙහෙසියෙන් අරමුණු සපුරා ගන්නට ඉඩ ලැබී එය ප්‍රයෝජනයට නොගන්නා දුලාජ් ගැන ඔහුට කලකිරීමක් ද හට ගත්තේ ය.

අහස්‍යා කියන්නේ ඇගේම අහසක ඉගිලෙන කිරිල්ලකි. ඇයට දැල් එලන්නට යාම මෝඩකමකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles