මාස 16 සිගිත්තා නිවසේ තනිව දමා පෙම්වතා සමග විනෝද චාරිකාවක් ගිය මව..

දරුවන් කියන්නේ මේ ලෝකයේ අනාගතය. ඒ විතරක් නෙමෙයි , දෙමව්පියන්ට තියෙන වටිනාම සම්පත තමයි තමන්ගේ දරුවන්. හැබැයි එහෙම නොවෙන , දරු සෙනෙහස නොහඳුනන දෙමව්පියන් අපිට ඉතාම කලාතුරකින් දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නේ පහුගිය දවසක අහන්න ලැබුන ලෝකයම කම්පාවට පත් කරපු ඉතාම ඛේදජනක සිදුවීමක් ගැන.

මේ සිදුවීමට මුහුණ දෙන්නේ වයස මාස දාසයක කුඩා බිළිඳියක්.ජේලින් කැන්ඩෙලාරියෝ කියන මේ බිළිඳිය ජීවත් උනේ ඔහියෝ ප්‍රාන්තයේ. ඇයට මේ අවාසනාවන්ත ඉරණම අත් වෙන්නේ ක්‍රිස්ටෙල් කැන්ඩෙලාරියෝ නම් වූ ඇගේ මවගේ කුරිරු ක්‍රියා කලාපය නිසා.

ඔහියෝ ප්‍රාන්තයේ ක්ලීව්ලන්ඩ් හි නිස්කලංක වීදි හරහා රාත්‍රියේ දෝංකාර දුන් ජේලින්ගේ හැඬුම් සහ කෙඳිරි ගෑම් වල මතකය තවමත් ඒ අසල්වාසීන්ව කම්පාවට පත් කරනවා. ඇගේ ඒ හඬ එක් අසල්වාසියෙකුගේ නිවසෙහි දොරේ සීනු කැමරාවක පවා පටිගත වෙලා තිබුණා.

ඇත්තටම ජේලින්ට මොකද උනේ ?

ක්‍රිස්ටෙල් කැන්ඩෙලාරියෝ ඇගේ වර්තමාන පෙම්වතා එක්ක ඩෙට්‍රොයිට් සහ පුවර්ටෝ රිකෝ ප්‍රදේශ වල දින දහයක නිවාඩුවක් ගත කරන්න පිටත් වෙලා යන්නේ ජේලින්ට කිරි බෝතල් කිහිපයක් විතරක් තියලා. කිසිම දෙයක් නොතේරෙන , නොදන්න පුංචි දරුවෙක්ට කවුරුත්ම නැති නිවසක් ඇතුලේ ඊට පස්සේ සිද්ධ වෙන දේ ඔබට හිතාගන්න පුළුවන්ද ?

දින දහයකට පස්සේ ක්‍රිස්ටෙල් ඇගේ සංචාරය නිමා කර නිවසට පැමිණෙන කොට ජේලින් ඉන්නේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක. ඒ බව දකින ක්‍රිස්ටෙල්ම මේ ගැන පොලිසියට වහාම දැනුම් දෙනවා.

” මගේ ලෝකයම කඩා වැටුණේ එවිටයි. මට දැනුනා ඇයව බේරගන්න පුළුවන් කියලා.  මොකද මම නිතරම ඇයව හොඳින් බලා ගත්තා “

ක්‍රිස්ටෙල් පොලිස් නිලධාරීන්ට පිළිතුරු දීලා තිබුන එහෙම. නමුත් ඒ වන විටත් මේ වයස මාස දාසයක සිඟිත්තිය මෙලොව හැර ගිහින් අවසානයි. ක්‍රිස්ටෙල් ගේ දැනුම් දීමට අනුව ඔහියෝ වල පිහිටි ඇගේ නිවසට පොලිස් නිලධාරීන් පැමිණෙන විට ඔවුන් දුටු දසුන ඔවුන්ව අතිශයින්ම කම්පාවට පත් කරලා තිබුණා.

” මළ මූත්‍රා වලින් පිරුණු අතිශයින්ම අපිරිසිදු වූ බ්ලැන්කට් මත , විජලනය වී සිටි ජේලින් මිය ගොස් සිටියා. ඇගේ බර පවා තුනෙන් එකක් අඩු වී තිබුනා “

කිසිවෙකුත් නොමැති නිවසක් තුළ වයස මාස දාසයක තමන්ගේ දියණියව දමා ගොස් නිවාඩුවක් ගත කරන්නේ කෙසේදැයි පොලිස් නිලධාරීන් විසින් ක්‍රිස්ටෙල් ගෙන් ප්‍රශ්න කළ විට ඇය පවසා තිබුනේ මෙසේයි.

” ඒ ප්‍රශ්නයට පිළිතුර ලෝකයේ සෙසු අයට තේරුම් ගැනීමට තරමක් අපහසුයි. විශේෂයෙන්ම උසාවියේදී සඳහන් කර ඇති පරිදි මා සිදුකර ඇත්තේ පාහර ක්‍රියාවක් බව පෙන්වා දෙන පුද්ගලයන් සඳහා . ඒ වගේම මම මගේ සාක්ෂිය දුන්නා.මගේ ක්‍රියාවේ වරද මම භාරගත්තා. මම සිටින්නේ දැඩි මානසික ආතතියකින් “

ක්‍රිස්ටෙල් කැන්ඩෙලාරියෝ විසින් මේ සිදුවීම සම්බන්ධයෙන් බොහෝමයක් ප්‍රකාශ පොලිසියට ලබා දීලා තිබුණා. ඇය සඳහන් කරලා තිබුණ ආකාරයට ඇයට ජේලින්ගේ පියා සමඟ බොහෝ ගැටලු තිබී තිබෙනවා. මෙම ගැටළු නිසා ඇය මානසික පීඩනයකින් පෙලුනු බවත් , ඒ සඳහා ඇය රෝහල් ගතව පවා ප්‍රතිකාර ලැබූ බවත් , තමන් ජීවත් වීමට උත්සාහ දරන නිසා තම පෙම්වතා සමඟ මෙවැනි නිවාඩුවක් ගත කිරීමට තමා තීරණය කළ බවත් ඇගේ ප්‍රකාශ වල සඳහන්. ඒ වගේම මෙවැනි ගමනක් යාම සඳහා ඇය මාස කිහිපයක් සැලසුම් කල නමුත් මෙම ගමන සඳහා තමා පිටත් වූයේ හදිසියේ ඇති වූ ආවේගයක් මත බවත් ඇය තව දුරටත්  සඳහන් කර තිබෙනවා.

කෙසේ වුවත් සංචාරය අතරතුරදී ක්‍රිස්ටෙල් කැන්ඩෙලාරියෝ ගෙන් ඇගේ පෙම්වතා ජේලින් පිළිබඳව විමසා සිටීමේදී ඇය ඉතා හොඳින් සිටින බවත් ක්‍රිස්ටෙල් පවසා තිබුනා.

Cuyahoga County පොදු අභියාචනාධිකරණ විනිසුරු බ්‍රෙන්ඩන් ෂීහාන් විසින් ක්‍රිස්ටෙල් ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ අතර එම විනිසුරුවරයා ඇතුළු මෙම නඩුවේ අනෙකුත් විමර්ශකයන් සහ නිලධාරීන් පවසන ආකාරයට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ ඔවුන් දුටු වඩාත්ම බිහිසුණු සිදුවීම මෙයයි.

“මම මගේ ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට උත්සාහ නොකරමි, නමුත් මා කොතරම් දුක් විඳිමින් සිටිනවාද සහ මා අත්විඳින්නේ කුමක්ද යන්න කිසිවෙකු දැන සිටියේ නැත ” ක්‍රිස්ටෙල් කැන්ඩෙලාරියෝ අවසන් වශයෙන් එසේ පවසා තිබුණා.

“මවෙකු සහ දරුවෙකු අතර ඇති බැඳීම ඉතාමත් පිරිසිදු හා පරිශුද්ධ බැඳීම්වලින් එකක්. එය ආදරය, විශ්වාසය සහ නොසැලෙන ආරක්ෂාව මත ගොඩනැගුණු සම්බන්ධයක්. ඔබ එම බැඳීම පාවා දුන්නා.ඒ පුංචි දරුවා කවුරු හරි එයාව බේරගන්නවා කියලා බලාගෙන හිටියා. ඔබට සරල දුරකථන ඇමතුමකින් එය කළ හැකිව තිබුනා. ඒ වෙනුවට, ඔබේ දරුවා ජීවත් වීමට උත්සාහ කරමින් ඇගේම අසූචි අනුභව කරන විට ඔබ වෙරළ තීරයක විනෝද වෙමින් ගත් ඡායාරූප මා දැක්කා “

විනිසුරු ෂීහාන් එසේ පවසද්දි නඩුවට අදාළ බොහෝ නිලධාරීන් එය පිළිගෙන තිබුණා.

” ඔයා ජේලින් මැරෙනකන් කවුරුත් නැති ගෙදරක තනිකරලා තිබ්බ වගේ ඔයාට වෙනවා ජීවිතේ ඉතුරු කාලය සිරමැදිරියක ගත කරන්න. එකම වෙනස බන්ධනාගාරයෙන් ඔයාට කෑම බීම සහ වතුර ලැබෙන එකයි “

විනිසුරුවරයා විසින් ක්‍රිස්ටෙල් කැන්ඩෙලාරියෝ ට දඬුවම් නියම කර තිබුණේ එසේ පවසමින්.

කුමන මානසික තත්ත්වයකදී වුවත් දියණියව බේරා ගැනීමට සහ ඇගේ ජීවිතය රැක ගැනීමට බොහෝ ඉඩකඩ තිබියදී ක්‍රිස්ටෙල් කැන්ඩෙලාරියෝ විසින් සිදුකළ මෙම ක්‍රියාවලිය කිසිවෙකුත් අනුමත කරන්නේ නැහැ. විශේෂයෙන්ම මෙය ඉතාම අමානුෂික සහ කුරිරු මිනී මැරීමක් ලෙසයි බොහෝ දෙනා හඳුන්වන්නේ.

Related Articles

Don't Miss


Latest Articles