සඳ ගංතෙර -53

“කෝ අක්කේ දුලා?”

සඳරැස් අසන්නේ තාරුකාගේ කාමරයට එබෙමිනි. සිඟිත්තියට කිරි දීම නොනවතාම තාරුකා මල්ලී දෙස බැලුවා ය.

“තාම ආවේ නෑ.”

දැන් හයටත් කිට්ටු ය. විශ්ව විද්‍යාල ළමයෙක් ඒ වෙලාවට ගෙදර නොඒම ලොකු ගැටළුවක් නොවන බව ඇත්තකි. නමුත් සඳරැස් මේ පරක්කුවට කැමති නැත.

“අයියා එක්කන් එයිනෙ?”

ඔහු එසේ අසද්දී ඒ කතාවට කට දැම්මේ කොහෙදෝ සිටි දුලන්‍යාගේ අම්මා ය. දුලන්‍යා ගැන සඳරැස් ඇසීම ඇයට කොහොමටවත්ම අමුතු දෙයක් නොවේ. ඇය සිතන්නේ දියණියට තවත් සහෝදරයෙකු ලැබී ඇති බව ය.

“අයියත් එන්න පරක්කු වෙනවනෙ පුතේ. දූ කිව්වද අයියා එක්ක එන්නං කියලා?”

තමන්ට අද දුලන්‍යාට පණිවිඩයක්වත් යවන්නට නොහැකි වූ බව සඳරැස් පැවසී ය. එසේනම් ඒ කුණාටුවක් බව දන්නී තාරුකා ය. දුලන්‍යාගේ අම්මා ඒ ගැන දන්නා දෙයක් නැත. දැන් දුලන්‍යා ලොකු කෙල්ලක බවත් ඇගේ යන එන වෙලාවල් ගැන ලොකුවට නොසලකා සිටීමට දැන් කාලය පැමිණ ඇති බවත් අම්මා කියන්නේ සිනාවකිනි.

“අනේ ඔහොම ගිහින් තනි රකින්න කෙනෙකුත් හම්බ වෙයි අම්මේ”

තාරුකා කියන්නේ මල්ලීට ඇසෙන්නට ය. කොහොමටත් මෙවැනි කතා ගැන දුලන්‍යාගේ අම්මා බොහෝ ලොකුවට නොසිතන්නී ය. කිරිල්ලකට කූඩුව අතැර පියාඹන කාලය ආ විට එතැනින් එහා සිතීම පලක් නැති දෙයකි. පෙකණි වැල නොකැපූ ළමයින් හදන්නට අම්මා මනාප නැත.

“තමුසෙ ලොකු සීන් දාන්න ගියාම තනි රකින්න කෙනෙක් මුණ ගැහෙන්නත් පුලුවන්”

තාරුකා මල්ලීට එසේ පැවසී ය. ඇය දවාලේ එවා තිබූ යේෂා ෆර්නෑන්ඩු ලියූ සටහන සඳරැස් නැවත කියවූයේ ය. 

හැමවෙලාවෙම වගේ අපිට කව්රුහරි කෙනෙක් ගැන crush එකක් තියෙනකොට නැත්නම් අනුරාගී ආශාවක් තියෙනකොට අපි දකින්නෙ ඒ පුද්ගලයගෙ ඇත්තම ස්වභාවයෙන් ඉතාම සුලු ප්‍රතිශතයක් විතරයි. අනිත් ඔක්කොම ආකර්ශනීය දේ සහ ඔවුන් වෙනුවෙන් අපි දකින ප්‍රතිරූපය අපිම මවාගන්න එකක්. එයාල ඇත්තටම කියන දේවල් වලට ඇහුම්කන් දෙනවා හෝ කරන දේවල් දිහා විමසිල්ලෙන් බලනවා වෙනුවට අපි වෙනුවෙන් එයා වෙනවට කැමති කෙනාගෙ මායාමය ස්වරූපයෙන් එයාගෙ සැබෑ ස්වරූපය අපි විසින්ම වහගන්නවා.

එය සත්‍යයක් වන්නේ ඇයට ද තමන්ට ද යන්න ගැන සඳරැස්ට යළි යළිත් සිතෙන්නට විය. ඔහු ගැන ඇයට තදබල ආකර්ෂණීය හැඟීම් ඇති බව ඔහු හොඳින් දනියි. ඒ හැම හැඟීමකම කෙළවර පැමිණ ඇතිවා වන්නටද පුලුවන. ලෝකයේ තමන් වඩා අප්‍රිය කරන ගැහැනිය මුණ ගැසී ඇය සමඟ කතා කරන්නට දුලන්‍යා වග බලා ගැනීම ඇය සමඟ මෙතරම් කෝප ගන්නට හේතුවක්දැයි සඳරැස්ටම සිතේ. කෝප ගත්තා වැඩියැයි කියා සමාව ඉල්ලන්නට ද දැන් පරක්කු වැඩි ය.

“අපි ඕනෑවට වඩා නපුරු වෙන එක අපිවම විනාස කරන දෙයක් පුතේ.”

එවැනි කතා කියා දෙන්නට සඳරැස් ට අම්මෙකු සිටියේ නැත. පාසලේ තවත් සිසුවෙක්ගේ නහය තලන්නට ගොස් ප්‍රධාන ශිෂ්‍ය නායක පදවිය අහිමි කරගත් දා තාත්‍තා එසේ කීවා ඔහුට මතක ය.

“ජීවිතේ මොනවා වුණත් මං නොකරපුම දේ කේන්තිය එක්ක යාළු වෙන එක. අපිට නොකර ඉන්න පුලුවන් වෙන්නම ඕන දේ ඒක. මං කාට වුණත් සමාව දෙන්නෙ එහෙම හිතලා.”

තාත්තා එදා දිගින් දිගටම පැවසී ය.

ඇත්ත ය! මේ කේන්තිය ඕනෑවට වැඩි ය. අවුරුදු දහ අටේ කොලුවෙකුගේ ශිෂ්‍ය නායක පට්ටමට වඩා අවුරුදු විසි හයක කොල්ලාට ප්‍රේමය සම්බන්ධයෙන් එය දැනෙයි.

අම්මා හන්දා දේවල් අහිමි කරගත යුතුම නැත.

දුලන්‍යා නිවසට ගොඩ වූයේ කිසිම කලබලයක් නැතිව ය. වෙනදා මෝටර් රථයෙන් සැපට ගෙදර එන ඇයගේ හිස කෙස් අවුල් ව ගොස් තිබේ. ත්‍රීරෝද රථයකවත් එන්නට නොහැකි වූවාදැයි අසා ඇයට බනින්නට ඔහුට සිතේ. 

“අපි අද එළියෙන් රොටී කෑවා අම්මේ. තේ විතරයි ඕනෑ.”

දුලන්‍යා එහෙම කියන්නේ අම්මාට ඇසෙන්නට නම් නොවේ.

“ඇයි ඒ කඩෙන් වෙනදට රොටී කන්නැද්ද? අද විතරද බඩ පිරුනේ?”

සඳරැස් එහෙම පණිවිඩයක් ලියා මකා දැමී ය. එක අතකට මේ හොටු කෙල්ලන්ට ඕනෑවට වඩා දෙවැනි වන්නට ඕනෑ නැත.

“වැරැද්ද කරේ මං හින්දා මං කතා කරොත් දුලා කතා කරයිද දන් නෑ.”

සඳරැස් තනියම කියවමින් ආලින්දයේ සක්මන් කරන්නට විය. දුලන්‍යාගේ අම්මා සාලයට වී ප්‍රවෘත්ති නරඹයි. ඒ හන්දා කාමරයට එබෙන්නට හැටියක් ද නැත. සිදුව ඇත්තේ වස වැරැද්දකි. කෙල්ලකට මෙහෙම පැරදුණේ සෑහෙන කාලයකට පසු බව ඔහු සිතී ය.

“තමුන්ගෙ පස්ස කැඩිලද? එහෙට්ට මෙහෙට්ට යන්නේ?”

අක්කා එහෙම ඇසුවේ අට වෙනි වතාවට ය. දරුවෙක් කුස දැරූ අක්කා  ගැන ආ අමුතු ආදරය නොවන්නට සඳරැස් අක්කාට ද හොඳ පාරක් දී අවසන් ය. නමුත් දැන් ඒවා කරන්නට නොසිතේ. අක්කා ගැන ඔහු දැන් සිතන්නේ වෙනස් ලෙසට ය.

හිරු එළියෙන් ඇරඹී සඳ එළියෙන් අවසන් වූ දවස් දැන් ඔබේ සිනාවකින් ඇරඹී ඔබේ හාදුවකින් අවසන් වන බව” ලියන්නේ තිළිණි එන් ලියනාරච්චි ය. ඒ බොහෝ ඈත දවසක ය. ඒ අකුරු ෆැන්ටසි පමණක්ම බව සිතූ කෙල්ලකට සිනාවකින් ඇරඹී නිදාගන්නට අණ කෙරෙන කටහඬකින් අවසන් වන දවස් සුරංගනා කතාවකට සමීප හැඟීමකි.

ප්‍රේමය ඉපිදෙමින් හිනැහෙයි.

හිනැහෙමින් මා සරසයි!

“ගිම්හානය වෙනුවට මම වස්සානය වී එන්නද?”

පැරණි ගීයක් සිහි වේ. වඩා තෙත වැහි අයත් නුවරක වැස්සක් සිතේ මැවෙයි. ප්‍රේමයට ගිම්හානය සේම වස්සානයක් වෙන්නට ද හැකි බව දනිමි. එහෙත් ලස්සනම වස්සානය ය! ඔබ වැස්සක් නම් මම අහස ද?

නැත!

ගීතයේ ඊළඟ පදය සිහි වේ.

“ඒ වැස්සෙන් පෙම්වත්වූ මිහිලිය වී මම ඉන්නද”

-දුලන්‍යා-

දුලන්‍යා එසේ ලියා තිබෙනු ඔහු දැක්කේ අහම්බයකිනි.

“කාමරේ දොර වහන් ලව් හෑලි ලිව්වම හරි. පාඩම් කරනවා.”

තරහ අවසන් කරන්නට සිතා ඔහු ලියා යැවී ය. දුලන්‍යා හිනැහෙන පූස් පැටවෙකුගේ ඉමෝජියක් එවා තිබිණ.

ප්‍රේමයට ගිම්හානය සේම වස්සානයක් වෙන්නට ද හැකි බව දනිමි. එහෙත් ලස්සනම වස්සානය ය! ඔබ වැස්සක් නම් මම අහස ද?

අනතුරුව නැවතත් එසේ අසා තිබිණ.

“එක එක විකාරකාරියෝ ආයේ මුණ ගැහුණොත් මං වැස්සක් නෙවෙයි සුනාමියක්.”

ඊළඟ වට්ස් ඇප් පණිවිඩය ලියැවුණේ හිතේ ඇති හැම දුකම අමතක කරමිනි. සඳරැස් තනිව හිනැහෙන්නේ මොකදැයි රටේ ආර්ථිකය ගැන විස්සෝප වෙමින් ආණ්ඩුවට දෙස් තබමින් සිටි දුලන්‍යාගේ අම්මා පවා විපරමින් බැලී ය.

“වයසෙ වැරැද්ද අම්මේ”

එතැනින් යන්නට ආ තාරුකා එසේ පවසා බිළිඳු දියණිය මාමා අත තැබී ය. මල් සුවඳ මැකී කිරි සුවඳ ළං විණ. එහෙත් සඳරැස් සිටියේ සොම්නසකිනි.

අද ඉඳන් සතියේ හැම දවසකම හවස 6.30 ට සඳ ගංතෙරේ ඇවිද යමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles