සුසුවඳ සූත්‍ර – 50

0
2387

තරුපති අමුණුගම පළිඟු මැණිකේ සමග එක්ව දිවා ආහාරය සරුවට සූදානම් කළේ ය. අමුත්තන්ට සංග්‍රහ කරන්නට පළිඟු මැණිකේ මනාප ය. වෙනදාට ජිතේන්ද්‍ර සමග කිශෝරි නුවර එන දවසට කල් ඇතිව ම ඇය සූදානම් වී හිඳී. කොළඹ ගිය විට කිශෝරි ඔවුන්ට ආගන්තුක සත්කාර කරන ආකාරයට නො දෙවෙනිව ඔවුන්ට සංග්‍රහ කරන්නට පළිඟු මැණිකේ උත්සුක වෙයි. නමුත් මේ වතාවේ හිතේ කහටක් තිබේ. ඒ ඔවුන් දෙදෙනා එන්නේ තනිවම නොවන නිසාවෙනි. එදා කොළඹදී දුටු දේවතා රුවක් වන් ගාන්ධාරා ගැන කියන්නට අඩුවක් නැති බව ඇගේ හදවත පිළිගනී. නමුත් වතාවක් වැරදි කළ කෙනෙකු යළිත් ජීවිතයට වද්දා ගැනීම අලුත් වැරදි කීයකට පාර කපාවිද කියා අම්මා වශයෙන් ඈ සිතිය යුතුව තිබිණ.

“මේ ලක ලෑස්ති වෙන්නෙ ලේලි කෙනෙක් පිළිගන්න නෙවෙයි හොඳද… මහත්තයගෙ හිතේ තියෙන දේ ඉෂ්ට සිද්ධ වෙනවට මගෙනං කිසිම කැමැත්තක් නෑ”

තරුපති ගේ උනන්දුව කුමක්දැයි ඉඳුරා දැන උන් ඕ තොමෝ කල් ඇතිව ම කීවා ය.

“හරි හරි මැණිකෙ. ඔයා අකමැතිනං ඒක එච්චරයි. ඔයා අකමැති දේවල් කරන්න කියල මං කවදාවත් බල කරල නෑනෙ. හැබැයි පුතණ්ඩියගෙ තීරණ මොනාද කියල මං දන්නෑ. මට ඒව ගැන වගකියන්නත් බෑ”

පළිඟු මැණිකේ ඇස් දෙක පුරා සිය සැමියාව දැක බලාගත්තා ය. තරුපති ඉවත බලාගත්තේ ඒ බැල්ම නො දුටුවා මෙනි. වචන වලින් මොනවා කිව්වත් තරුපති ගේ හිතේ ඇති දේ පළිඟු මැණිකේ දනී. ඔහු ඔය හීනය දකින්නේ මීට වසර විසි ගණනකට පෙර සිට බවත් ඇය දනී.

“අප්පච්චිල පුතාල දෙන්නම ගැන මං බලාගන්නංකො”

මැණිකේ මොනවා කීවත්, ඔහුව සිය පදයට නටවන්නට ඈ සමත් වූවත්, පුතාව ඒ විදිහට ආංබාං කරන්නට ඇයට නො හැකි වන බව තරුපති ට ඉර හඳ සේ විශ්වාස ය. අම්මාටත් පුතාටත් කැමති පරිදි ඒ අවනඩුව විසඳාගන්නට හැර පසෙකට වී සිටින්නට තරුපති කල් ඇතිව ම තීරණය කරගෙන සිටියි. යුගාත්ම අන්තරා කෙරේ වසඟ වූ සිතකින් පසුවන බව ඔහු දැනටමත් දනී.  එබැවින් මේ මැණිකේ ට උවමනා පරිදි නිමා වන නඩුවක් නොවේ කියා ද ඔහු මැනැවින් දනී. කිසිදු චකිතයකින් තොරව ඔහු මේ තරම් සැහැල්ලු ලෙස හැසිරෙන්නේ එබැවිනි.

කෙසේ වෙතත් අමුත්තන් පිළිගැනීම සේ ම දිවා භෝජනය ද කිසිදු වෙනසක් නොමැතිව ඉතා සුහද ලෙස සිදු විය. පිළිසඳර කතා බහ ද තේ පානය ද සිදු වීමෙන් පසු, දිය නා නැවුම් වී දළදා වන්දනාව පිණිස පිරිස පිටත් වූහ. බවලතුන් තිදෙනා කැටිව යුගාත්ම මෝටර් රථයෙන් ගියේ ය. ඉපැරණි මිතුරෝ දෙදෙන ත්‍රීරෝද රියක් කැඳවාගත්හ.

පළිඟු මැණිකේ රියදුරු අසුනට යාබදව හිඳගෙන ගියේ ආඩම්බරයෙන් පපුව පුම්බාගෙන යි. යුගාත්ම කාශ්මීර අමුණුගම ගේ අයිතිවාසිකම සපුරා හිමිවන්නේ ඇයට යයි අවශේෂ ස්ත්‍රීන්ට නො කියා කියන්නට ඇයට ඕන වුණ සෙයකි. අන්තරා නම් වැරදීමකින්වත් යුගාත්ම දෙස බැලුවේ නැත. පළිඟු මැණිකේ ගේ උජාරුව ඇයට දැනෙමින් තිබිණ.

වැඳ පුදා ගැනීමෙන් පසු පිටතට එන විට රාත්‍රිය අත වනමින් සිටියේ ය. වැව් ඉස්මත්තෙන් අඩ සඳක් පායා එමින් තිබිණ ය. වැව රවුම ආලෝකවත් කළ විදුලි බුබුළු වල ඡායා දිය මතුපිට රත්තරන් පාට සෙවණැලි ඇන්දේ ය. අහරක් ලැබෙනතුරු ඔට්ටුවට පීනන මත්ස්‍යයෝ, රිදී රේඛා දහස් ගණනක් දියෙහි අඳිමින් සිටියහ. ඔවුහු හෙමි හෙමිහිට වැව් ඉස්මත්තේ පිය නගමින් සිටියහ. රංචුවක් ලෙස එකට පිය නැගූ ඔවුන්ගෙන් ජිතේන්ද්‍ර හා තරුපති ඔවුන්ගේ කතා ලෝකයක අඩියක් දෙකක් ඉස්සර වූයේ ඉබේට ම ය. පළිඟු මැණිකේ ඇගේ ආතරයිටිස් අපහසුතා ද වාත පිත්ත රෝග අමාරු ද වයසට යාමත් එක්ක එන තව බොහොමයක් අසීරුතා ගැන ද කිශෝරි සමගින් පැමිණිලි කරමින් සිටියා ය. තවමත් කිශෝරි ට ඒ තරම් රෝග හා පීඩා වල බලපෑමක් ඇතිව නොතිබිණි ද, දැන් දැන් ඒවා ළඟ එනු ඇතැයි ඇයට දැනුණේ බියක් වාගේ හැඟීමකි. වයසට යාමේ භීතියත්, මිය යාමේ භීතියත් යන භීතිකා දෙකෙහි සෙවණැලි, අන් සියල් ජීවන පිරිපත වලට වැඩියෙන් දැනෙන්නට ගන්නා එක්තරා වයසක් එළඹේ. ඔවුන් දැන් සිටින්නේ එකී සීමාවන්හි ය.

අම්මලාව තනි කොට ඔවුන් ට ඉස්සර වී යා නො හැකි බැවින් යුගාත්ම සේ ම අන්තරා ද අඩිය තැබුවේ මඳක් හෙමිහිට ය. කොහොමටත් මේ මිහිරි රාත්‍රිය සව්මිය ලෙස විඳගන්නට ඇයට ඕනෑ වී තිබිණ. හිරිගඩු පිපෙනා සීතලේ, ලංව පිය නගනා යුගාත්ම ගේ මෘදු පිරිමි සුවඳ ඈ උණුහුම් කළේ ය. අම්මලා ගේ ලෙඩ දුක් ගැන කතාව බලෙන් වාගේ විත් සවන් වලට රිංගුවා මිස ඔවුන් ඊට ඇහුම්කන් දුන්නේ නැති තරමි. නමුත් ඉඳහිටක, වැස්සක් නැති ආකාසයේ දෑස් අතරේ විදුලි කෙටුවා මිස ඔවුන් දෙදෙනා අතරේ වචනයක් හෝ හුවමාරු වූයේ නැත. එනිසා ම පළිඟු මැණිකේ ට ඔවුන් ගැන අවධානය ගිලිහී යන්නට ඇත. තමන්ගේ ශරීරය ආක්‍රමණය කරන්නට පටන්ගෙන ඇති හන්දිපත් වේදනා ඇතුළු අනිත් අපහසුතා ගැන උනන්දුවෙන් අහගෙන ඉන්නා කෙනෙකු හමු වූ විට උපරිම ප්‍රයෝජන ගැනීම ඇගේ සිරිතයි. එහෙම වෙලාවට ඇයට මුළුමහත් ලෝකය ම අමතක වී යන බව යුගාත්ම දනී. ඔහු කල්යල් බලමින් සිටියේ ඒ මොහොත උදාවෙනතුරුයි.

කොයිතරම් නුවර ආවත් මේ විදිහට රාත්‍රියෙහි නුවර වීදි වල ඇවිදින්නට අන්තරා ට අවස්ථාව ලැබී නැත. කොළඹ රාත්‍රියට වඩා නුවර රාත්‍රිය වෙනස් ය. ඒ වෙනස් හැඟීම් ඇය වෙන වෙන ම හඳුනන්නී ය. වෙන් වෙන් ව විඳින්නී ය.

සීතල කටු තුඩු අනිනා වැව රවුමේ චමත්කාර හිතිවිලි ලෝකයක ඇවිද යන අතරේ යුගාත්ම යන්තමින් අන්තරා ගේ අතැඟිල්ලක් ඇල්ලුවේ ය. ඇයට දැනුණේ විදුලි සැර වැදීමකි. එකෙනෙහි තිගැස්සී ඔහු දෙස බලමින් ම අත ඇදගන්නට දැරූ උත්සාහය ව්‍යර්ථ ව ගියේ යුගාත්ම ඒ අතැඟිල්ල අත් නො හළ බැවිනි. ඇයට ‘ස්…’ කියවිණ. ඇගේ බියපත් දෑස් මාරුවෙන් මාරුවට පළිඟු මැණිකේ දෙසට ද යුගාත්ම දෙසට ද හැරවිණ. නමුත් ඔහු ට ගාණක්වත් නැත. හන්දිපත් රුදාව ගැන කතාවට වැටුණ විට, ගෑනු ළමයෙකුගේ අතින් ඇල්ලුවා නොව ගෑනු ළමයෙකු ඔසවාගෙන ගියත් අම්මා නො දකින බව ඔහු දනී. ඒ අවසරයෙන් ප්‍රයෝජන ලද හෙතෙම, අන්තරා ගේ අත්ල ම අල්වාගෙන මහපටැඟිල්ලෙන් ඒ උණුහුම් කළේ ය. එවර නම් ඇය තරවටු බැල්මක් හෙළා තදින් අත ඇදගත්තා ය. යුගාත්ම ගේ මුහුණේ හිතුවක්කාර සිනහවක් විය.

“පිස්සුද…”

එය ඉසියුම්ව තරවටුවකි.

“හ්ම්”

ඔහු දෑත් කලිසම් සාක්කු වල ඔබාගත්තේ ය. කතිකා කර ගත්තා සේ ඔවුන් දෙදෙනා ම මව්වරුන් වෙතින් තවත් අඩියක් පසුපසට වූයේ එකට ම ය. අන්තරා මේ මොහොත කෙරේ හදවතින් බැඳෙමින් සිටියා ය. ආයේ තවත් පිරිමියෙකුට ලං වෙන්නට ඇය සිහිනයෙනුදු සිතා තිබුණේ නැත. දක්ෂිණ ඇයගේ වස්තුවක් නොවේ කියා ප්‍රත්‍යක්ෂ වශයෙන් ම දැනගත් දා සිට ඈ ජීවත් වූයේ නූපුර කේන්ද්‍රය කරගෙනයි. ඇගේ සිතිවිලි කක්ෂය කැරකුණේ ඔහුගේ අක්ෂය වටායි. එමතු වෙනත් ලොවක් ඇයට නොවී ය. අන් හැම තැනෙක ම පැවතියේ ඉමක් කොනක් නැති හිස්කමයි. ඒ හිස්තැන් ඇගේ පුංචි සුන්දර තරු කැටයම් වලින් පුරවා ගන්නා හැටි අන්තරා දැන සිටියා ය. සුවඳ නිර්මාණය කිරීමත් එවන් එක් තාරකා කැටයමකි.

යුගාත්ම පැමිණියේ පමා වී එන වසන්තයක් ලෙසයි. විලවුණක අන්තිමට ඉතිරි වෙන සුවඳ පොදක් ලෙසයි. අවාරයේ පැමිණි සංචාරයක කුරුල්ලෙකු ලෙසයි. ඒ හැම වේශයක් ම ඔහු ට විශේෂිත විය. සාමාන්‍යයෙන් කිසිවෙකුට හදවතේ දොරගුළු විවර නො කළ ඕ, යුගාත්ම ට සුළඟක්ව හමා එන්නට හැර ඔහේ බලා සිටියා ය. ඔහු ගේ අපමණ පිරිමිකම්, දඩබ්බර කොලුකම්, හිතුවක්කාර දඟකම්, ප්‍රතික්ශේප නොකර වැළඳගත්තා ය. ඔහු ඉන්නා විට ඇයට පහසුවක් දැනිණ. සුරක්ෂාවක් දැනිණ. ඔහුත් එක්ක හදවතේ හිර වී තිබි අතීතය බෙදාහදා ගන්නා විට, තමන්ගේකමක් දැනිණ. නූපුර ට වාගේ ම හදවත යුගාත්මටත් ලෝභ වෙමින් ඇති වග ඈ නො දැන සිටියා නොවේ. නමුත් නොදන්නවා වාගේ සිටියා ය. විශේෂයෙන් ම ආයේ ජීවිතය සින්නක්කරේට ලියා දෙන්නට  පිරිමියෙකු ඕනෑ නැති නිසා, හිතේ ඔහු ඉන්නා තැනක් සොයා දැනගන්නට ඈ ඉක්මන් වූයේ නැත. අනිත් අතට කාලයකට පස්සේ ජීවිතය මිහිරි මොහොත වලින් පුරවන කුඩා මිතුරිය පාරින්දි, යුගාත්ම ගැන දකිමින් උන් හීනයට නපුරක් එක් කරන්නට ඇය මොහොතකටවත් නො සිතුවා ය. එබැවින් යුගාත්ම කාශ්මීර අමුණුගම, මන්දාකිණියක ඈත කොනක පායන දන්නා තරු කැටයක් සේ දුරින් මුත් ළඟින් ඉන්නවාට ඈ රිසි වූවා ය. යුගාත්ම හා පාරින්දි අතරේ ඕනෑ ම විදිහක හිතවත්කමක් ඇති වෙන්නට සුදුසු ම අවකාශයක් තනා දෙමින්, හොඳ මිතුරියක සේ සිටියා ය. නමුත් ඔහු මිතුරෙකුට වඩා ඈතට ගොස් පෙම්වතෙකු තරම් දුරට නොයා ඒ අතරමැද තැනක නතර වී ඇදෙස බලා සිටින බව අන්තරා ඉඳුරා දැන සිටියා ය.

හදිසියේ ම ඔහු සිය සීමාව අතික්‍රමණය කළේ ය. එහෙම මොහොතක් ගැන බලාපොරොත්තුවක් රහිතව සිටියාට, අන්තරා උදහස් වූයේ නැත. ඔහු සිය ස්ථානය වෙනස් කළත් නො කළත් ඇය උපේක්ෂාවේ හදවතක් දරාගෙන සිටි තැනට ම වී සිටියා ය.

දැනුත්, මේ මොහොතේත් ඇයට විවාහ බැඳීමක අවශ්‍යතාවයක් නැත. නමුත් හදවතේ, ඔහු දැන සිටිය යුතු හැඟීමක් වන බව ඇයට දැනේ.

“හම්මේ දැන්නං කකුල් රිදෙනව”

කියමින් පළිඟු මැණිකේ වැව රවුමේ සිමෙන්ති බංකුවකට බර වූවා ය. කිශෝරි ද එතැන පමා වූවා ය. අන්තරා වලාකුළු බැම්ම ළඟ නතර වී වැව් දියට එබුණා ය. යුගාත්ම රවුමක් කැරකී මනමාල කුරුල්ලෙකු සේ ඇය වෙතට ම ගොස් නතර වූයේ ය.

“දළදාව පේන මෙතන ඉඳං මට ඇත්තම කියන්න ඕනෙ”

ඔහු ආලවන්ත තර්ජනයක් කළේ ය. අන්තරා සිය දෑස් දල්වා තාරකාමය බැල්මක් හෙළුවා ය.

“තාමත් මට කැමති නැද්ද…”

ඇය වැව් දිය තුල දෑස් වලට ගිලෙන්නට හැරියා ය. රිදීවන් මාළුවෝ අහරක්   බලාපොරොත්තුවෙන් එතැනට රොක් වන්නට වූහ.

“ම්…”

යුගාත්ම දෑත් පපුව මත බැඳගනිමින් වලාකුළු බැම්මට පිට දී හිටගත්තේ ඉලන්දාරියෙකු මෙනි. අන්තරා ගේ රතදර අතරේ සිනහ පානා කතාවක් විය.

“කැමතිද නැද්ද… කැමතිද”

“ඔව්”

එහෙම නිමේශයක එහෙම පිළිතුරක් ඔහු සිහිනයෙන්වත් බලාපොරොත්තු නොවූ බව සහතික ය. කියවෙමින් තිබූ ඉතිරි වචනය යුගාත්ම ගේ උගුරේ හිර විණි. ඔහු වහා දෑස් දල්වා ඇදෙස හැරී බැලුවේ ය. නො පියවුණු දෙතොල් පෙති සැලෙනු අන්තරා දුටුවා ය. ඊළඟ මොහොත ගැන ගැහැනු ඉවක් ඇයට වේ. පළිඟු මැණිකේ පුතු ඇයට නො දෙනා බවට අඩව්වක් අල්ලනු නියත ය. ඒ බව පේන මානයේදී ‘ඔව්’ කී එක ගැන තැවුලක් අන්තරා ට නැත!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here