තාදී – 49

0
2261

මිෂෙල් කාමරයට වී සිවිලිම දෙස බලාගෙන කල්පනා කරමින් උන්නාය. වසන්ත කුමන පොරොන්දුවක් දී තිබුණත් ධීර ව නම්මා ගැනීම පහසු නැත. තම පියා පැවසූ ආකාරයට අතීතයේදී තමා විසින් සිදු කළ බොහෝ දේවල් දැන ගත් පසු විවාහ වීම සඳහා තරුණයකු සොයා ගැනීම ලෙහෙසි කාරණාවක් නොවේ. එම නිසා මේ ලැබුණු අවස්ථාව අතහැර ගැනීම අනුවණකම කමකි. නමුත් එසේ කියා තමා පිළිබඳව අපැහැදීමෙන් සිටින ධීර ව හිමි කර ගැනීම සඳහා ඕනෑම දෙයක් කිරීමටද හැකියාවක් දැන් නැත. තාදීට රිදවීම නිසා ධීර තමා කෙරෙහි තවත් අපැහැදුනු බව කාටත් රහසක් නොවන නිසා මිෂෙල් උන්නේ තමා ඊළඟට කළ යුත්තේ කුමක්දැයි සිතමින්ය.

රමණි මිෂෙල්ගේ කාමරයට පැමිණියේ මිෂෙල් උදෑසන ආහාරයවත් නොගෙන සිටි නිසාය. මේ ආකාරයට හරි හැටි කෑමක් නොගෙන මිෂෙල් ගත කරන දෙවන දිනය මෙය ය . කෙතරම් උගත් වුවත් ලැබුණු නිදහසින් අයුතු ප්‍රයෝජන ගෙන ජීවිතයේ වැරදි මාර්ගයන් ඔස්සේ ගමන් කරන තම දියණිය පිළිබඳව එක අතකින් රමණිට දැනුනේ අනුකම්පාවකි. 

” මිෂෙල් ” 

මිෂෙල් නැගිට වාඩි වූවාය. ඇගේ මුහුණෙහි වූයේ මලානික බවකි. වසන්ත විවාහය ගැන කතා කර ගැනීම සඳහා හවස් වරුවෙහි නිවසට පැමිණෙන බව පැවසුවත් ධීර ගේ අකමැත්ත නිසා මෙම විවාහය පිළිබඳව තීරණය ඇත්තේ වැට උඩය. මිෂෙල් මේ දෙගිඩියාවෙන් සහ ශෝකයෙන් සිටින්නේ ඒ නිසා බව රමණි දැන උන්නාය.

” ඔහොම නොකා නොබී හිටියා කියලා කිසි දෙයක් වෙන්නේ නැහැ ළමයෝ. ඇවිල්ල කාලා ඉන්න ” 

” හවසට මොකක් වෙයිද අම්මා ? ” 

” මොනවා වෙන්නද. ඒ ළමයා කැමති නැත්නම් අපි වෙන අතක් බලා ගමු ” 

රමණි එසේ කීවේ වෙන කියන්නට දෙයක් නොමැති තැනය. තම දියණියට විවාහ කර ගත හැකි එකම තරුණයා ධීර නොවේ. එහෙත් මිෂෙල් පිළිබඳව සියල්ල දැනත් ඒවා විශ්වාස නොකර විවාහයට කැමැත්ත පළ කර සිටින වසන්ත වැන්නෙකු සොයා ගැනීම පහසු නැත. අනෙක් අතට වසන්ත සහ රූපසිංහ අතර පවතින අනාගත ව්‍යාපාර අරමුණු ද පවුල් දෙකටම යහපත සැලසෙන ඒවාය. සියල්ල සලකා බලන විට මේ විවාහයෙන් පවුල් දෙකටම සිදුවන්නේ සෙතක් බව රමණි ද සිතුවාය.

” දැන් ඒක කරන්න බෑ අම්මා. අනික ධීර වගේ කොල්ලෙක් හොයා ගන්න එක ලේසි නැහැ. මට එහෙදිවත් හම්බ වෙලා නෑ මේ වගේ කොලිටීස් තියෙන කොල්ලෙක්. මම මගේ සේරම වැරදි හදා ගන්නවා මේ මැරේජ් එක කෙරුනොත් ” 

” මොනා කරන්නත් ඒ ළමයා කැමති වෙන්න එපැයි. අනිත් එක ඔය ඉන්න ගෑනු ළමයාව දාලා ඇවිල්ලා ඒ ළමයා මේකට කැමති වෙයිද? ඔයා අර කරපු වැඩෙන් පස්සේ ඒ ළමයගේ හිතේ පොඩි හරි කැමැත්තක් තිබ්බනම් ඒකත් නැති වෙලා යන්න ඇති සමහර විට ” 

” මොකක්ද අම්මා ඔයත් එහෙම කතා කරන්නේ ? මං නං හිතන්නේ එයා කවදාහරි මට කැමති වෙයි. අනික වසන්ත අන්කල් කොහොමත් මට කැමති එකේ ධීර ට ඕන විදිහට නටන්න එයා ඉඩ තියෙන එකක් නෑ  ” 

” තාත්තා මොනවා කිව්වත් ඔයා ඔය ගැන වැඩිය බලාපොරොත්තු තියා ගන්න යන්න එපා. අන්තිමට රිදෙන්නේ ඔයාටමයි. ඔයාට මේ දේවල් කලින් කියලා දුන්නේ නැති එකේ පලවිපාක තමයි දැන් මේ හම්බ වෙන්නේ. මොන මනුස්සයෙක්ව උනත් බලෙන් ලබා ගන්න බෑ මිෂෙල් එතන ආදරයක් නැත්තම්. එන දේකට මුහුණ දෙනවා මිසක් ආපහු අර වගේ මෝඩ වැඩ කරලා හිරේ ලඟින්න නම් ලෑස්ති වෙන්න එපා ” 

රමණී අවසන් වාක්‍ය කීවේ තරමක් තදිනි. තම දියණියට මේ දේවල් කියා දීමට තිබුණේ මෙයට බොහෝ කාලයකට පෙරය. එසේ නම් මෙවැනි විපතක් තමන්ගේ දෑස් ඉදිරියේ සිදු නොවන්නට තිබුණි. රමණි කාමරයෙන් පිටවන විට මිෂෙල් ගේ හිතේ තබාගෙන සිටි අවසන් බලාපොරොත්තුවද බිඳ වැටුණි. 

තාදී ධීර සමඟ දියත උයනට පැමිණියේ තාදී ව සොයා ගෙන පැමිණි කාන්තාව මුණගැසීමටය. ඇය ඉතා ඉක්මනින් තාදීව මුණගැසීමට අවශ්‍ය බව පැවසූ නිසා තාදී බියක් නැතිව ඒ ගමනට සූදානම් වූයේ ධීර නිසාය. එහෙත් දියත උයන දෙසට වාහනය හරවන විට තාදී තැති ගෙන උන්නාය.

” මුලින්ම මං ගිහිල්ල කතා කරන්නන් තාදී. ඔයා ටිකක් වාහනයට වෙලා ඉන්න ” 

තාදී ඒ අදහසට එක පයින්ම කැමති වූවාය. තමා සමග ඉතා හොඳින් කතා කර මුණගැසීමට අවශ්‍ය බව පැවසුවත් ඒ කාන්තාවගේ සැබෑ අරමුණ කුමක්දැයි තමා දන්නේ නැත. ඒ නිසා මුලින්ම ධීර ට ඒ කාන්තාව සමග කතා කරන්නට හැර වාහනයට වී සිටීමට තාදී එකඟ වූවාය.

ධීර දුරකථනයෙන් අමතා අදාළ කාන්තාව සිටින තැන සොයා ගත්තේය. ඇය තාදී ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් දියත උයනේ කෙළවර බංකුවක වාඩිවී සිටි අතර ධීර දුරකථනය කනේ තබාගෙන පැමිණෙන විට ඇය වාඩි වී හුන් තැනින් නැගී සිටියාය.

” හායි.මම ධීර ” 

කාන්තාව සිනා මුසු මුහුණින් ධීර ව පිළිගත්තාය. එහෙත් ඇගේ දෑස් වටපිට බලමින් සොයන්නේ තාදීව බව ධීර තේරුම් ගත්තේය .

” හායි. මම ෂෙරින් . වාඩි වෙන්න ධීර ” 

ධීර වාඩි වූයේය. නැනෝ අම්මා පැවසූ ආකාරයටම මේ කාන්තාවගේ කුමක්දෝ හුරු බවක් ඇති බව මුල සිටම ධීර නිරීක්ෂණය කළේය.

” තාදී ආවෙ නැද්ද ? ” 

” තාදි වාහනේ ඉන්නවා ” 

” එතකොට ඔයා? ” 

” මම තමයි තාදි ව මැරි කරන්න ඉන්නේ ” 

ධීර එසේ කී විට ශෙරින් ගේ මුහුණේ වූ සිනහව වඩාත් පුළුල් විය. 

” ධීර ට හිතාගන්න පුළුවන්ද මං කවුද කියලා ? ” 

ෂෙරින් ඇසුවේ ඒ සිනහවෙන්මය. ඒ සිනහවෙහි වූයේ අව්‍යාජ බවකි. එහි අනතුරක සේයාවක්වත් සටහන් වී තිබුණේ නැත.

” එහෙම හිතාගන්න බැරි නිසා තමයි මං වැඩි හොඳට තාදීව වාහනේ තියලා ආවේ. මේ දවස් වල එයාට ටිකක් කරදරයි ” 

” මං තාදී ගේ අම්මා ” 

ෂෙරීන් එසේ පැවසූ විට ධීර ගේ දෑස් පුදුමයෙන් විසල් විය. ඔහු උන්නේ මේ ආගන්තුක කාන්තාව පැවසූ දේ අදහාගත නොහැකිවය. 

” What ? ” 

” හිතා ගන්න අමාරුයි නේද? ඒත් ඒක තමයි පුතේ ඇත්ත. අවුරුදු විසි ගානකට පස්සේ මං මගේ දරුවා ඉන්න තැන හොයා ගත්තේ කොච්චර අමාරුවෙන්ද කියල ඔයා දන්නවද? ” 

” මට මේක හිතා ගන්නවත් බෑ. මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ? ” 

” ඔයාට විතරක් නෙමෙයි. මටත් මේක හිතා ගන්න බැරි වුණා ධීර ” 

” ඒත් ඔයා කොහොමද හරියටම කියන්නේ තාදී ඔයාගේ දුව කියල ? මං අහන්නේ ඒක ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද?  ” 

ෂෙරින් මේසය මත වූ ලිපි ගොනුව ධීර දෙසට තල්ලු කළාය.

” මේකේ ඒ හැම විස්තරයක්ම තියෙනවා. ඔයාට සැකයි නම් තාදීව මෙතනට ගේන්න ඉස්සෙල්ලා ඒ හැමදේම බලන්න පුළුවන් ” 

ධීර ලිපි ගොනුව දිගහැර බැලුවේය. එහි තාදීගේ උප්පැන්න සහතිකය , ඇය උපත ලද  රෝහලේ ලියකියවිලි මෙන්ම ඇයව ළමා නිවාසයට බාර දුන් ලියකියවිලි සියල්ල ද ඇතුළත් විය. ධීර නැවත නැවතත් ඒ ලියකියවිලි සියල්ල පරීක්ෂා කර බැලුවේය. 

” ඔයා හිතන්න එපා මං නරක අම්මා කෙනෙක් කියලා. මගේ දරුවා ජීවතුන් අතර කියලා දැනගෙන හිටියනං එයාව හොයාගෙන එන්න කවදාවත් මම මෙච්චර කල් ගන්නේ නැහැ ධීර.

ධීර ෂෙරින් කියනා දේ අසා සිටියේ තවමත් අදහා ගත නොහැකි හැඟීමකිනි.ඔහුගේ බැල්මෙන්ම ෂෙරීන් එය තේරුම් ගත්තාය. 

” මට ඔය දෙන්නටම කියන්න හුඟාක් දේවල් තියෙනවා ධීර ” 

” තාදී ට මේ දේවල් හිතා ගන්නවත් බැරි වෙයි ” 

” ඇත්තටම එයා කවදාවත් එයාගේ දෙමව්පියන්ව හොයන්න උත්සාහ කරේ නැද්ද ? ” 

” නෑ. එයා හිතුවේ එයාව ළමා නිවාසයක දාලා ගිහින් ඔයගොල්ලෝ ප්‍රාර්ථනා කරපු ජීවිතේ ඕගොල්ලන්ට හම්බ වෙන්න ඕනේ කියලා. තාදී කවදාවත් එයාගේ අම්මටයි තාත්තටයි වෛර කරේ නැහැ. එයා හැමදාම හිතුවේ එයාව දාලා යන්න ඕගොල්ලන්ට හේතුවක් තියෙන්න ඇති කියලා ” 

ෂෙරීන් ගේ දෑස් කඳුළු වලින් බර වූයේ බලා සිටියදීමය. තාදීට පිහිටා ඇත්තේ ද ෂෙරීන් ගේ මුහුණුවරමය. දුටුවනම ඇය තුළ කුමක්දෝ හුරු පුරුදු බවක් දැනුනේ ඒ එක සමාන මුහුණුවර නිසා බව ධීර සිතුවේය.

” දැන්වත් මට තාදීව බලන්න පුළුවන්ද ? ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here