සුසුවඳ සූත්‍ර – 51

0
2514

අන්තරා අම්මාත් අප්පච්චිත් මැදින් යහනේ වැතිරුණා ය. ලොකු ඇඳක් සහිත මේ කාමරය, ජිතේන්ද්‍රලා නුවර පැමිණි විට තරුපති ගේ ගෙදර රැයක් ගතකරන කාමරයයි. ඒ හින්දා පුරුද්දට වාගේ කිශෝරි ඇඳුම් බෑග් තැබුවේ එහි ය.

“දුවට එහා කාමරේ නිදියන්න පුළුවන්. හැබැයි ඒකෙ පොඩි ඇඳක් තියෙන්නෙ”

අන්තරා ද නිදන්නට මේ කාමරයට ම පැමිණි විට තරුපති කාමරයට එබී බලා කීවේ ය.

“නෑ අංකල් කමක්නෑ. අම්මයි අප්පච්චියි එක්ක නිදියනව අද”

ඇයට මේ එවන් අවස්ථාවක් ජීවිතය විසින් උදා කොට දුන්නේ වසර විසි ගණනකට පස්සේ යි. කිශෝරි වුව බල කොට ඇයව කාමරයෙන් පිටත් නොකළේ ඔවුන්ටත් ඒ උණුහුම, සුවඳ හා ළෙංගතුකම විඳගැනීමේ ආශාවක් ඇතිව තිබූ නිසා විය හැක.

වැඩිවිය පැමිණෙන තුරු ම අන්තරා නිදන්නට පුරුදු වී සිටියේ මේ විදිහට අම්මා හා අප්පච්චි මැද්දෙන්, ඔවුන් ගේ ලොකු ඇඳේ ය. වැඩිවිය පැමිණි ඉක්බිති වෙනම කාමරයක නිදන්නට කිශෝරි ඇයට පුරුදු කළ ද, ඇතැම් රැයෙක අන්තරා කොට්ට හා පොරෝනාව ගෙන ඔවුන්ගේ යහනට පැමිණියා ය. හීනයක් දැක අවදි වූවත්, නින්ද යන්නේ නැති වුණත් ඇවිත් අම්මා අප්පච්චි මැදින් ගුලි වූවා ය. එතකොට හිතට දැනුණු අසීමිත නිදහස් හැඟීම මේ දැනුත් ඇයට දැනේ.

පොඩි ම කාලේ නම් අන්තරා ට නිදන්නට ජිතේන්ද්‍ර සින්දු කිව යුතු විය. උකුලේ දමා නිදි කරවන්නට කකුල් දිග වැඩි වූ කාලයේදීත් ඇයට නිදන්නට අප්පච්චි ගේ උකුල ඕනෑ විය.

“මේකිව කකුලෙ දාල හොල්ලන්නත් බෑ දැන්”

කිහිප වතාව ජිතේන්ද්‍ර එහෙම කියා තිබේ. එතකොට කිශෝරි නෝක්කාඩු කියන්නේත් බොරුවට ය. ආදරය හංගාගෙන ය.

“අප්පච්චි තමයි ඔය ගෑනු ළමයව නරක් කරන්නෙ. ඕනවට වැඩිය හුරතල් කරල”

“අපේ කෙල්ලව අපි හුරතල් කරන්නැතුව වෙන කවුද එහෙම කරන්නෙ කිශෝ… අනික අපිටත් කෝකටත් ඉන්නෙ එකානෙ. නාකි වුණත් ඒකිව මං හුරතල් කරයි”

මේ වෙලාවේ ඔවුන් තිදෙනා ගේ ම හිත් වල, කාලයේ වැලි තලා යටින් මතු වී ඒ මතක කැබලිති ගොඩ විත් තිබිණ. අප්පච්චි ගේ පපුව මත තරම් සුව පහසුවට ඉන්පසු කිසි දා නින්ද නොගිය බව අන්තරා මේ මොහොතේ පිළිගනිමින් සිටියා ය. පසුකාලීනව කඳුලුත් එක්ක නිදි වැරූ අනන්ත රාත්‍රීන් වල ඇයට අප්පච්චි ගේ ආදරය සිහි වී තිබේ. ඔහු වාගේ කිසිවෙකු ඇයට ආදරය කළේ නැත. ඇගේ සතුට ගැන හිතුවේ නැත. හදවත ඇතුළේ සදාකාලික වීරත්වය රඳවාගන්නට සමත් වූයේ නැත.

හදිසියේ උපන් කඳුළක් එක්ක අන්තරා ජිතේන්ද්‍ර ට ලං වී ඔහු ගේ පපුව මතින් සුරත දමාගත්තා ය. ඇගේ කඳුළක සීතල ඔහු ගේ පපුවට උරාගත්තේ ය.

“දැන් ඉතින් අඬන්න තැවෙන්න දෙයක් නෑ සුදු නෝනා. ඔයා අප්පච්චියි අම්මයි ළඟනෙ ඉන්නෙ. ම්…”

ඔහු ඇගේ හිස කේ අතරේ අතැඟිලි යවා අපමණ පීතෘ ස්නේහයකින් හිස පිරිමැද්දේ ය.

“අනේ මට සමාවෙන්න අප්පච්චි”

කිශෝරි අන්තරා හා තරුපති ගේ බඳ වටා අතක් දමාගත්තා ය. ඇය ඔවුන්ට අහිමි වීමෙන් වසර විසි ගණනකට පස්සේත්, ජිතේන්ද්‍ර ට හෝ කිශෝරි ට අන්තරා ලොකු ගැහැනියක සේ දැනුණේ නැත. ඒ මලක් සේ ඔවුන් ගේ දෑස් ඉදිරියේ පිපී හිනැහුණ පුංචි කෙල්ල ම ය.

යුගාත්ම හිටියේ කාමරයේ ඒ මේ අත සක්මන් කරමිනි. මේ මුළු රැයට ම නින්දක් ළඟා වෙනු ඇතැයි ඔහු ට නො සිතේ. ඒ වෙලාවේ වලාකුළු බැම්ම ළඟදී ඔහු ඇසූ ‘කැමතිද නැද්ද’ යන පැනයට ඇය හදිසි වී ‘ඔව්’ කීවායි තවමත් ඔහු ට අදහාගත නො හැකි ය. ඒ මොහොතේ ඔහු ගොළු වූයේ ය. නමුත් අන්තරා ගේ දිළිසෙන දෑස් දොඩමළු වී තිබිණ.

“අපි එහෙමනං රෑ කෑම කන්න කොහෙටහරි යමු නේද පුතා…”

කියාගෙන තරුපති ඔවුන් වෙතට පැමිණියෙන් ඒ කතාව එතෙකින් නතර කරන්නට සිදු විය. එය එහෙම වුණ එකත් හොඳයි කියා දැන් යුගාත්ම ට සිතේ. නො එසේ වී නම් අන්තරා ඉදිරියේ වික්ෂිප්ත වී අසරණ වෙන්නට සිදු වෙන්නේ ඔහුට ය.

ජංගම දුරකතනය අතට ගත් හෙතෙම, දෙවරක් නො සිතා අන්තරා ට පණිවිඩයක් යැව්වේ ය.

“මට ටිකක් කතාකරන්න ඕනෙ”

අන්තරා ගේ දුරකතනය වූයේ ඉහ ඉද්දර ය. පණිවිඩය එන හඬට ඈ හෙමිහිට එය අතට ගත්තා ය. ඒ අතරේ අම්මා හා අප්පච්චි දෙසට අඩැස් බැලුම් හෙළුවා ය. ඔවුන් දෙදෙනා ම සිටියේ නිදි ඉරියව්වේ දෑස් පියවාගෙනයි.

පණිවිඩය කියවාගත් ඕ ‘පිස්සුද’ කියා යැව්වේ රවාගත් මූණක ඉමෝජියක් ද සමගයි.

“මං කිව්වනෙ ඔව් කියල”

“එහෙනං සයිකෑට්‍රිස්ට් කෙනෙක් හම්බවෙන්න වෙයි”

“ඒකට තමයි මේ අහන්නෙ”

“මං තියනව. අම්මල ඇහැරෙයි”

ඒ සංවාදය එහෙම අවසන් කරන්නට සිදු වූවාට, යුගාත්ම සමගින් තවත් ටිකක් වෙලා හිතිවිලි හුවමාරු කරගන්නට තිබුණායි අන්තරා ට පසුව සිතිණ. නින්ද තිබුණේ දුර ඈත ය. නමුත් හිතට කිසිදු වෙහෙසක්   දැනුණේ නැත.

අන්තරා යන්නට කැමතියි කිව් බහිරව කන්ද, හන්තානය, ගලහ පාර වැනි මනස්කාන්ත ස්ථාන වලට පසු දා යුගාත්ම ඔවුන් කැටිව ගියේ ය. ඇය කුඩා දැරියක සේ ප්‍රීතිමත් ව සිටියා ය. ඇවිදින්නට අමාරුයි කියමින් පළිඟු මැණිකේ ගෙදර නතර වූයෙන් තරුපතිට ද මෝටර් රථයෙහි ම ගමන් කළ හැකි විය. පරණ මිතුරන් දෙදෙනා අතීත කතා ගොඩ ගනිමින් අතොරක් නැතිව සිනහ වූහ. එබැවින් එදා සංචාරය වඩාත් සිත්ගන්නා සුළු වූයේ ය.

“අප්පච්චිට කියන්නද…”

සුන්දර ගලහ පාරේ චමත්කාරයෙන් වශීකෘතව ඇවිද යන අතරේ යුගාත්ම අන්තරා විමසුවේ ය. පළිඟු මැණිකේ නො සිටි නිසා ද මන්දා පෙර දාට වැඩි නිදහසක් එදා දැනිණ. ඔවුන් ගේ සමාගමය ගැන කිසිවෙකු ගේ අවධානය යොමු වෙතැයි යුගාත්මට හෝ අන්තරා ට දැනුණේ ම නැත. අප්පච්චිලා දෙදෙනා සේ ම අම්මා ද, ඔවුන්‍ගේ මේ හිතවත්කම ඇස් පිහාටුවක් තරම් හෝ නො තැකූහ.

“මොනාද…”

අන්තරා මඳ ගැස්මකින් විමසුවා ය.

“ඔයා මාව බඳින්න කැමතියි කියල”

“එප්…පා”

“ඇයි ඉතිං… අප්පච්චිල කැමති වෙයි. ඒක කාලයක් එයාලට තිබුණ හීනයක්”

“මන්දන්නෑ යුගාත්ම මට ආයෙ බඳින්න ඕනෙද කියල…”

“ඒ කිව්වෙ… එහෙනං ඔයා කිව්වෙ මට කැමතියි කියල…”

“දැනුත් කියනව. ඔව් මං ඔයාට කැමතියි. ඒත් මට ආයෙ බඳින්න ඕනෙද කියල මං තාම දන්නෑ. මහ ගින්නකට අහු වෙලා පිච්චිලා පැත්තක්ම කර වෙලා ගිය ගහක් වගේ යුගාත්ම මං”

“එහෙම ගහක් වුණත් දලු දාල ආයෙ අලුතෙන් වැවෙනව අන්තරා”

“මං දන්නව. ඒත්…”

“කමක් නෑ”

අන්තරා යුගාත්ම දෙස බැලුවේ අවිනිශ්චිත දෑසකිනි. නමුත් ඔහු ගේ දෑස් මත වූයේ නිසංසල බවකි.

“ඒ ගහ අලුතෙන් දලුදාන දවසක් වෙනකල් මට බලං ඉන්න පුළුවන්”

“ඇයි යුගාත්ම එකතුවෙන්න තිබිලත් හම්බ වෙන්නවත් ඉඩක් ලැබෙන්න කලින් අපි වෙන්වුණේ… එදා එහෙම නොවෙන්නයි තිබුණෙ”

“ඒත් එදා එකතු වුණේ නැති එක ගැන මං කැමතියි”

“ඇයි…”

“එහෙම වුණානං මං බඳින්නෙ මං වෙනුවෙන් අප්පච්චි තෝරපු කෙනාව. ජීවිත කාලෙම හොඳින් එකට හිටියත්… එහෙනං මට ඔයා ගැන අද මේ දැනෙන හැඟීම දැනෙන්නැති වෙන්න තිබුණ. අද මගෙ ළඟ ඉන්නෙ මං තෝරගත්ත ඔයා. මැරේජ් ලයිෆ් එකක් ගෙවල… දුවල දෙන්නෙකුත් ලොකු වුණාට පස්සෙ… ජීවිතෙං අත්දැකීම් ලබල පදම් වෙලා ඉන්න මං තෝරගත්ත ගෑනි. මට හරියනව කියල මුළු හිතෙන්ම මං හිතන ගෑනි. මොන ප්‍රශ්න ආවත් එහෙම ගෑනියෙක්ව පිරිමියෙක් නැති කරගන්න හිතන්නෑ. දක්ෂිණ වුණත් හිතුවෙ නෑ. ඉතිං පෙරුම් පුරල පුරල අහගත්ත වචනෙ ආත්ම ගාණකට ඇති වගේ. ඒක නිසා මට බලං ඉන්න පුළුවං”

“අනේ යුගාත්ම”

“තමං තෝරගත්ත ගෑනි තමන්ට ආදරෙයි කියන හැඟීම විතරක් වුණත් පිරිමියෙක්ට ඇති අන්තරා”

“ඔයාට එහෙම දැනෙනවද…”

“කොහොමද…”

“මං ආදරෙයි කියල…”

“එහෙම නැද්ද…”

“එහෙම තමයි කියල මං හිතනව”

ඇය ඇස් පියන් බිමට හරවාගත්තා ය. සීතල පවනැල්ලක් හමා ගියේ ය. යුගාත්ම ඇගේ පිවිතුරු වත දෙස සන්සුන් දෑසකින් බලා සිටින්නට වූයේ ය.

“ඒත් තාම මං ස්ටැබ්ලිශ් නෑ වගේ දැනෙනව. හරියට ළඟම කෙනෙක්ගෙ මරණයක් වෙලා හිත හදාගන්න බැරුව ඉන්නව වගේ මං හරිම අස්ථාවරයි. එහෙම දෙගිඩියාවකට මං කැමතිම නෑ. මං ඕන දෙයක් හදවතින්ම කරන ගෑනියෙක්. ආදරේ ළෙංගතුකම හිතවත්කම වුණත් බොරුවට මූණිච්චාවට පෙන්නන්නැතුව මං කැමති අයට හදවතින්ම ආදරේ කරන කෙනෙක්. ඔයා ළඟත් එහෙම ඉන්නයි ඕනෙ. චූටි ඈතක්වත් නැතුව සම්පූර්ණයෙන්ම ලංවෙලා ඉන්නයි ඕනෙ. එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් වුණත් එක්කෙනෙක් ගැන වගේ හිතන්න පුළුවන් වෙනවටයි මං ආස. ඔයා කියන්නෙත් මංමයි කියන තරං ලංවෙන්න මට පුළුවන් වෙන්න ඕනෙ. ඔයාට බඩගිනිනං මට කෑම ටිකක් උගුරෙන් පහළට ගිලින්න බැරුව හිරවෙන්න ඕනෙ. ඔයා අසනීපෙකින්නං මට ඇහැ පියවන්නැතුව ළඟ ඉඳං බලාගන්න පුළුවං වෙන්න ඕනෙ. ඔයා හිත කරදරෙංනං මගෙ හිතට සැනසිල්ලක් නැති වෙන්න ඕනෙ. මට මාව එහෙම දැනෙන දවසට ඔයාගෙ නොවී ඉන්න මට බැරි වෙයි”

“එහෙම ආදරයක් වෙනුවෙන් බලං ඉන්නව කියන එක චුට්ටක්වත් අමාරු දෙයක් නෙවෙයි”

හුදෙකලා ගලහ පාරේදී ඔහු ඇගේ නළල් තලාව මත ඉක්මන් හාදුවක් තැබුවේ ය. කිශෝරි, ජිතේන්ද්‍ර තබා තරුපතිවත් ඒ දුටුවේ නම් නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here