fbpx

සඳක් කළ සක්මන් -29

සඳ එළිය වඩාත් සෞම්‍ය වූයේ ය. මගේ කාමරය මට අහිමි වී තිබුණෙන් මම ගෙදර දොරකඩ උළුවස්ස මත හිඳ, ළමා වියේ පටන් දකින්නට මා මහත් සේ ආශා කළ සඳ දෙස බලා ඉන්නට වීමි. වැඩි වියට පැමිණීමෙන් පසු මා සඳ දෙස වුව බැලුවේ යන්තම් හොරැහිනි. ඒ, මිදුලේ නානා ප්‍රකාර පිරිමින් රංචු ගැසී මත් සාද පවත්වමින් සිටි නිසා ය. ඔවුන් ගේ ඇස් බැලුම් වලට හසු වීම මට මහත් අප්‍රසන්න අත්දැකීමක් වූයේ ය.

මේ විශේෂ සැඳෑවේ එකා දෙන්නා බැගින් මිදුලට ඇදී එන්නට වූ මිතුරු සගයන්ව පසෙකට කැඳවා ගෙන ගොස් තාත්තා ඔවුන් ගේ කනට කොට යමක් මුමුණනු මා බලා ගෙන ය. ටික වෙලාවකට පස්සේ ඔවුන් නික්ම ගොස් තිබෙනුත් මට දකිත හැකි විය. කෙසේ වෙතත් වෙනදා සේ මිදුලේ තන් හි තන් හි දුම් රොටු ඉගිල ගියේ නැත. ඔක්කාරය ඇති කරවන විදිහේ සැර පුසුඹවල් හමා ආවේත් නැත. බය නැතිව ඇවිත් මට උළුවස්ස උඩින් හිඳ ගත හැකි වූයේ එබැවිනි.

ආකාශ් ගේ ගෙදර පැත්තෙන් වික්ටර් රත්නායකයන් ගේ ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ ගීය ඇසෙන්නට වූයේ ය. මගේ ඇස් යන්තම් පියවිණි. 

සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ…

හදවත අමුතු මිහිරෙක නැහැවෙන්නට වූයේ ය. නංගී, ගෙදර රූපවාහිනීයේ ඇය නරඹමින් සිටි ද්‍රවිඩ චිත්‍රපට ගීයක හඬ වැඩි කළා ය. නමුත් මම හදවතින් වික්ටර් රත්නායකයන් ගේ හඬ සමග මුහු වී සිටියෙමි.

මට බලා ඉන්න බෑ නුඹෙ නුවන් තෙමෙනවා…සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ…

“පඩි කොච්චර දෙනව කිව්වද ලොක්කි…”

එසේ අසාගෙන අම්මා හෙමිහිට මා ළඟින් හිඳ ගත්තා ය. මගේ දැහැන බිඳ වැටීම ගැන මා තුළ වූයේ ඉසිහින් සන්තාපයකි.

“මං ඇහුවෙ නෑ අම්මෙ”

“කිව්වෙත් නැද්ද…”

“නෑ”

“ඒ වුණාට ඉතිං රස්සාවකට යනකොට මුලිංම කතා කර ගන්න ඕනෙ පඩිය ගැනනෙ”

පඩියකට වඩා මට වටිනව ඒ මිනිස්සු මං ගැන තියපු විශ්වාසෙ”

“ඒක හරි ලොක්කි…ඒත්…”

“මෙච්චර දේවල් කරන මිනිස්සු මට සාධාරණ පඩියක් නොදී ඉඳියි කියල හිතන්න මට ඕන නෑ”

මා ඒ ටික කීවේ තරමක නො රිස්සුමක් විහිදමින් වන්නට ඇත. අම්මා ඇනුම් පදයක් කීවා ය.

“ලොක්කිට දැං ගෙදර අයට වඩා ඒ මිනිස්සු ලොකු වෙලානෙ”

උස්සා පොළොවේ ගැසුවා වන් ගැස්මක් මට දැනිණ.

“අපි කියන්නෙ ඔයාගෙ හොඳට. අහන්න පඩි කීයක් දෙනවද කියල. නැත්තං අන්තිමට දෙන කීයක් හරි අරගෙන අත පිහිදගන්නනෙ වෙන්නෙ”

මම තව දුරටත් වචනයක් හෝ කියන්නට නො ගියෙමි. අම්මලා මිනිසුන් ව සේ ම ජීවිතය ද මනින්නට පුරුදු වී හිඳිනා මිම්ම ඒ ය. ඔවුන් වනාහි නරකාදි ජරා ජීර්ණ ජීවිතයක නීරස ම වැළඳූ මිනිසුන් ය. හොරය, බොරුව, වංචාව වැනි පුහුදුන් මිනිස් ගති ගැන ම අපමණ අත්දැකීම් ඇති මිනිසුන් ය. මනුෂ්‍යාත්මයන් සතුව අපමණ ආදර කරුණා දයා ගුණයන් ඇති බව අත්දැකීමෙන් නොදුටු මිනිසුන් ය. ඒ ගැන අම්මලා ට දොස් කිව නො හැකි බව මම දන්නෙමි. ගුරුගේ ලා ගේ කරුණාව මට ද වටහා ගත නො හැකි වූ කාලයක් තිබූ බැවිනි. නමුත් මනුෂ්‍යත්වය කියන දෙහි අරුත මැනවින් දැන, ඒ මිනිස්කම් උපරිමයෙන් සංස්පර්ශ කරනා මිනිසුන් අතලොස්සක් වුව මෙලොව ජීවත් වෙති. ඔවුහු මෙදිවියෙහි නිස්සාරත්වය මැනවින් අවබෝධ කළෝ වෙති. නමුත් දෝත දරා ආ ජීවිතය සතුටෙන් ද යහපත් ව ද ගෙවා යා යුතු බව ප්‍රත්‍යක්ෂ කළා වූ අය වෙති.

Mini Stories

වෙනස

ළපෙති මල්

ළපෙති මල් -33

Mini Stories

පසුතැවීම

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 31 වන කොටස

Mini Stories

මතක අහුරු

ළපෙති මල්

ළපෙති මල් – 32

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

මේ මොහොත වන වට මම ද ගුරුගේ ලා ගේ ඒ ප්‍රතිපත්තිමය මිනිස් ගති කෙරේ ආශක්ත වී ද, එවන් උදාර වූ ජීවිතයක් ගත කිරීමේ පරම ආශාවෙන් ද පසු වෙමි. ජීවිතයෙහි හරය අවබෝධ කොට ආගමික ජීවිතයක් ගෙවන්නට ද ගෘහාශ්‍රිත ජීවිතයක් ගෙවන්නට ද පුළුවන. මට දුක මගේ අසරණ අම්මලා එහෙව් දිවියක් ගැන නො දැන හෝ ඉන්නා එක ගැන ය. සිද්ධාර්ථ ට හැකි වූවා සේ මගේ මව් පියන් අඳුරෙන් දුරු කරන්නට මට හැකි වේවි ද කියා නො දනිමි.

උදේ මා සූදානම් වූයේ බස් එකේ වැඩට යන්නට ය. නමුත් ආකාශ් ඔහු සමග යන්න ඉන්නයි දුරකතන ඇමතුමක් දී කීවේ ය.

“අනේ මන්දා මේව ඉතිං…බොස් ගෑනු ළමයට ට්‍රාන්ස්පෝටුත් දෙන කතා තියෙන්නෙ ඉතිං හින්දි ෆිල්ම් වල තමයි. කොටිංම දෙමළ ෆිල්ම් වලවත් එහෙම ඒව වෙන්නෑ”

නංගී කොඳුරනු ඇසිණ. මම පිළිවදන් දෙන්නට නො ගියෙමි. නමුත් තාත්තා ට ඒ කතාව ඇසී තිබුණේ ය. කොහොමටත් අපේ ගෙදර කොතැනක හිඳ කතා කළ ද ඕනෑ ම තැනකට ඒ කතා ඇසෙනවා කියා සිතමි.

“අපිට උඹලට වෙන්නැති දේවල් මේ ලෝකෙ සිද්ද වෙන්නෑ කියල හිතන්න තරං මෝඩ වෙන්න එපා බං. ලෝකෙ ඕන දෙයක් වෙන්න පුළුවන්. අනිත් එක වාසනාව තියෙන කෙනාට වෙන්න පුළුවන් දේවල් වාසනාව නැති කෙනාට වෙන්නෙ නෑ. අන්න ඒක තේරුං ගනිං”

නංගී ගස්සා ගෙන එතැනින් නික්ම ගියා ය. දැන්දැන් තාත්තා මා කෙරේ හැසිරෙන්නේ ඉස්සර සේ නොවේ යි මය සිතිණ.

ගෙරවිලි හඬක් නිසා මම කාමරය දෙස බැලුවෙමි. අජිත් තවමත් ඇඳ බදා ගෙන නිදා සිටී. නංගී කර ගත් අපරාදයකැයි අලුතෙන් ම හදවත දුක් ගත්තේ ය. 

මා ආකාශ් ගේ රියට නැගෙත්දී තාත්තා නිරුවත් උඩු කය දෑතින් පොරවා ගෙන එතැනට ආවේ ය. ඔහු ගේ සිහින් කාල වර්ණ මුහුණ මත සිහින් ආඩම්බරකාර සිනහවක් විය. එදා, තාත්තා ට ඇප ලබා දී හිරේ වැටීමෙන් නිදහස් කර ගත් දා ආකාශ් ඔහු ගෙන් ඉල්ලීමක් කළේ ය. තාත්තා මේ විදිහට වෙනස් වෙන්නට පටන් ගත්තේ ඒ ඉල්ලීමට කරනු ලබන ප්‍රතිචාරයක් ලෙස දැයි නො දනිමි.

රිය නික්මෙත්දී තාත්තා හිස නවා ආකාශ් ට ආචාර කරනු දුටු මගේ හදවත ගැස්ම බෙහෙවින් වැඩි විය.

“තාත්තා පව්”

මට එසේ කියවුණේ කවර පදනමක් මත සිට දැයි පැවසිය නො හැකි ය. එසැනෙන් නාසය රිදුම් දී ඇස් තෙත් වී ගෙන ආවේ ය.

“හ්ම්…ඔයාට තියෙනව යුතුකමක්…එයාලව සසරිං එතෙර කරන නෙවෙයි…එයාලව මේ ජීවිතෙං එතෙර කරන…”

“මේ ජොබ් එක නිසා මට උදව්වක් කරන්න පුළුවන් වෙයි ගෙදරට”

“අපි මොනා හරි කරමු පූජා”

එදා ආයතනයේ සේවක මඩුල්ලට මා හඳුන්වා දෙනු වස්  රැස්වීමක් කැඳවා තිබිණි. මින් පසු ආයතනය වෙනුවෙන් මගෙන් සිදු වන මෙහෙය පිළිබඳව ආනන්ද ගුරුගේ මහතා කෙටි හැඳින්වීමක් කළේ, මට ඔවුන් ගේ උපරිම සහයෝගය ලබා දෙන්නයි ඉල්ලා සිටිනු වස් ය. අනතුරු ව උදේ හෝරා දෙක තුනක් ම රෝහලට ඖෂධ හා වෙනත් අවශ්‍ය දෑ සැපයෙන ආයතන ගැන ආකාශ් විසින් මා දැනුවත් කරන ලදී.

ඔහු ගේ කුටිය තුළ ඒ මේසය ඉදිරියේ මා ඒ ගැන අධ්‍යයනය කරමින් සිටියදී එක් තට්ටුවකින් පමණකින් ක්ෂණයකින් දොර ඇරිණි. ආකාශ් හිස ඔසවා බලත්දී මටත් හිස හරවා බැලුණේ ඉබේට ම ය. ඩොක්ටර් විනූ ලෙස මා හඳුනා ගත්, ආකාශ් සමග දිවා කාලයේදී රෝහලේ බාහිර රෝගී අංශයෙහි කටයුතු කරන තරුණ  වෛද්‍යවරිය කුටියට ඇතුළු වෙමින් සිටියා ය.

“අනේ මොකද්ද ආකාශ්..”

ඇය කතා කළේ හුරතල් නෝක්කාඩුවකිනි. ආකාශ් ගේ ඇස් මත ලියැවී තිබුණේ ඇයි කියනා ප්‍රශ්නයයි.

“ඔක්කෝම පේෂන්ට්ස්ලව මට දාල ඔයා මෙහෙ අයිස් ගහනව”

“අයිස්… ඔයා කොහොමද කියන්නෙ මං අයිස් ගහනව කියල. මං මේ ලොකු වැඩක්. පූජාට මේ හැම දෙයක් ගැන ම පැහැදිලි කරල දෙන්න ඕනෙ. ඉස්සරහට එයා මේ ඔක්කොම තනියම හැන්ඩ්ල් කරන්න ඕනනෙ”

මම මඳහසකින් වෛද්‍ය විනූ දෙස බැලුවෙමි. නමුත් ඇය මගේ මඳහස ට ප්‍රතිචාර දක්වනු තබා ඒ ගැන වගකට ගත්තේ හෝ නැත.

“ඒකට ඉතිං එක්ස්පීරියන්ස් තියන කෙනෙක්ව ගන්න ඕනනෙ. දැං දිගටම ඔයා කරන්නෙ මේ ජොබ් එකද එතකොට…”

“අයියෝ විනූ…ඔයාට මැනේජ් කර ගන්න බැරි තරං පේෂන්ට්ස්ල හිටියෙ නෑනෙ. එහෙම වුණානං මං මේ වැඩේ නවත්තල බලනවනෙ”

ආකාශ් මඳ නො රිස්සුමකින් කීවේ ය. ඇය අනාරාධිතව ම මට යාබද ව වූ අනිත් පුටුවෙහි හිඳ ගත්තා ය.

“අයිම් ටූ ටයර්ඩ්”

“දැං තව පේෂන්ට්ස්ල ඉන්නවද එළියෙ..”

“නෑ දැං නෑ. අපි තේ එකක් බීල එමුකො”

මා සිටියේ බිම බලාගෙන ම ය. ඔවුන් දෙදෙනා අතර තෙවැන්නෙකු වන්නට වීමේ මඳ අපහසුතාවයක් මට නො දැනුණා ම නොවේ.

“මං පස්සෙ එන්නද…”

මා ආකාශ් දෙස බලා හෙමිහිට අසා ගත්තේ ඒක ම ය.

“අනේ ඔවි ඔයා පස්සෙ එන්නකො”

දොස්තර විනූ වහා කීවා ය. ඒ වචන කිහිපය හදවත මැදට එල්ල කරන ලද පිහි පහරක් සේ දැනුණත් මම වහා අසුනෙන් නැගිට ගතිමි.

“පූජාට මං යන්න කිව්වෙ නෑනෙ. ඔයා ඔහොම ඉන්න”

ආකාශ් ගේ සැර කිරීම මත යළිත් මා පුටුවේ ඉන්දවිණි.

“අනේ ආකාශ්…”

දොස්තර වීනු නොසන්සුන් වූවා ය.

“ප්ලීස් විනූ. ඔයා රෙස්ට් රූම් එකට ගිහිං බොන්නකො. නැත්තං මං තේ එකක් ගෙන්නවන්නද ඔයාට…”

කියමින් ආකාශ් මේසය මත වූ දුරකතනයෙහි රිසීවරය සුරතින් ගත්තේ ය. එතකොට ම විනූ පුටුව පස්සට තල්ලු කරමින් නැගී සිටියා ය.

“ඔයා ගෙන්නන්න ඕන නෑ. මට පුළුවන් තේ එකක් ගෙන්නගන්න”

කියමින් ඇය කාමරයෙන් නික්ම ගියේ සිය උස් පා වහන් වල අඩි ගැටෙන හඬ තව දුරටත් මගේ හදවත මැද්දේ ශේෂ කොට තබා ය.

“හරි. එතකොට පූජා මේ කම්පනි එකත් එක්කත් අපි ලොකුවට ගනු දෙනු කරනව. මේ තියෙන්නෙ සාමාන්‍යයෙන් ඒගොල්ලො අපිට සප්ලයි කරන ඩ්‍රග්ස්…රයිට්…”

ටික වෙලාවක් යන තෙක් ආකාශ් ගේ ඒ හඳුන්වා දීම් ගැන කිසිත් මගේ මනසේ රැඳුණේ නැති තරමි. ආකාශ් සඳයුරු ගුරුගේ කෙරේ දොස්තර විනූ විසින් ප්‍රකට කරන්නට යෙදුණ ඒ ආධිපත්‍යය ගැන කුකුසක් හිතට රිංගා ගත්තේ මගේ අවසරයකින් තොර ව ම ය. ඒ හුදු ගැහැනු ගතියට ආවේණික සැකයක් කියා අනිත් අතට මම සිතුවෙමි. කෙසේ වෙතත් එදා දවස තුළ තවත් දෙවරක් පමණ ඇය ව මුහුණට ම මුණ ගැසුණත් විනූ උවමනාවෙන් මගේ මුහුණ හෝ බැලුවා නොවේ. 

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x