අරුමැති ආදරයක් – 2

0
1786

පියසීලිගේ ගතින් දහඩිය වැගිරෙමින් තිබිණ. ඕ ඉනට දෙඅත් තබාගෙන හති ඇරියේ කාන්තිව නිවසෙහි වූ එකම කාමරයට තල්ලු කර දැමුවාට පසුවය.

ඉවක් බවක් නැතුව පාර දිගේ දිව යන ගැහැණිය මෙල්ල කර ගැනීම ලෙහෙසි පහසු එකක් නොවේ. හොඳ වෙලාවට චින්තන කාන්තිව දැක ඇත්තේ අහම්බෙන්ය. 

“ මං අර පන්සලේ ටෙන්ට් එක ගේන්න කියලා ගියේ ආච්චි. හෙට අනිද්දා  ඉඳලා ගෙදර මිනිස්සු වැඩ පටන් ගන්න එපැයි. එතකොට තමයි දැක්කේ කාන්ති නැන්දා ඔලුවත් කසකස පාර දිගේ දුවනවා..”

“ අනේ උඹට පින් සිද්ධ වෙනවා පුතේ. ඉදින් මං ටක් ගාලා තේ එකක් හදන්නම්..”

“ තේ බිබී  ඉන්න බෑ ආච්චි. මං ඉක්මනට යන්න ඕනේ. අපූර්වා නංගිට හයර් එකක් වැදිලා ඇති..”

“ ඒක නේන්නං.  මං කෙල්ල එද්දි කන්න මොනවා හරි රත් කරන්න කියලා කුස්සියට ගියේ. ඒ අතරේ තමයි මේකි මේ පැනලා තියෙන්නේ.”

“ නරකද ආච්චී නැන්දව ගෙනිහිල්ලා අංගොඩවත් දැම්මනම්..ආච්චිට දැන් මේක  කරන්න ලේසි නෑ. අපූර්වා නංගි කියලා ගෙදර නවතින්නද..”

“ මාත් ඕක කීප සැරේ හිතුවා පුතේ. ඒ උනාට කෙල්ලට කියාගන්න විදිහක් නැතුව මේ ලතැවෙන්නේ.”

“ එයා නං ඉතිං ඕකට කැමති වෙන එකක් නෑ..අනේ මන්දා ආච්චි  මාත් වෙලාවකට හිතනවා මොන ඇස්වහක්  කටවහක් වැදුණද කියල. ඉස්සර මට මතකයි නැන්දයි, මාමයි, නංගියි ත්‍රීවිල් එකේ නැගලා කන්දේ විහාරේ යනවා. මේ වෙච්ච දේවල් දිහා බලද්දි හිතෙනවා දෙයියො බුදුන්වත් විශ්වාස කරන්නේ කොහොමද කියලා..”

“ ඒක අපේ වෙලාව පුතේ. එහෙමයි කියලා දෙයියො බුදුන්ට බනින්න එපා. මේ කුසෙන් වදාපු දරුවො දෙන්නා දෙවිදියක් වෙච්ච කොට අනිත් දේවල් ගැන කවර කතාද..”

“ එහෙනම් මං ගිහිල්ල එන්නම් ආච්චි…”

චින්තන අපූර්වාගේ කුඩා  නිවසින් පිටවූයේ පියසීලීගේ  දෙපා වැන්දාට පසුවය. නොසිතූ මොහොතක මේ ජීවිත වලට ඇතුළු වූ දුර්භාග්‍ය සමය කවදා කෙසේ නිමාවේදැයි පියසීලි නොදනී. එහෙව් කෙළෙහිගුණ නොදත් දරුවෙකු තම කුසින් වැදුවාදැයි අදටත් ඇය සිතන්නේ පුදුමයෙන්ය. මේ අසරණයන්ට මේ සා විපතක් සිදු වූයේ එනිසාය.

චින්තන පැමිණ කතා කර යද්දි පියසීලි උන්නේ සහල් ලිප තබන්නට සූදානමින්ය. නිරතුරුවම නිවස ඉදිරිපස දොර වසා තබන්නේ කාන්ති නිසාමය. එහෙත් චින්තන කාන්තීව නිවසට කැඳවාගෙන එන තුරුම ඇය නිවසේ නොසිටි බව පියසීලී නොදනී. 

බත ලිප තැබූ ඕ ආපසු හැරී විත් කාන්තිට දෝෂාරෝපණය කළේ සිතෙහි වූ වේදනාවටය. එහෙත් තමා මේ පවසන කිසිවක් ඇගේ සවනත වැකේදැයි යන්න පවා විශ්වාසයක් නොවේ. ඔළුව කසමින් ඈ සිටින්නේ එක දිගටම කුමක්දෝ මුමුණමින්ය. ඒ උන් හැටියේම සමහරවිට ඇයට නින්ද යයි. යළිත් වතාවක් අගුලු ලා  දොර වසා දැමූ පියසීලී යතුර තම ඉනෙහි රඳවා ගත්තාය. ඇගේ ආරක්ෂාවට තමන් යමක් කරනු විනා ඇයට දොස් පවරා පලක් නොවේ.

****-=====*****====******=====***—-=

අපූර්වා තරුණ නීතිඥයා දෙස හරිහැටි බැලුවේ අලුත්ගම උසාවිය අසල ත්‍රී රෝද රථය නැවතූවාට පසුවය. සැබවින්ම ඔහු සුන්දර කඩවසම් තරුණයෙකි. ඕ ඉක්මන් වූයේ බිම බලා ගන්නටය.

“ නවසීයක් දෙන්න මහත්තයා….”

ඇය පැවසූයේ ඔහු ගණන අසන්නට ප්‍රථමය. යුවතිය දෙසට රුපියල් දහසේ  නෝට්ටුවක් දිගු කළ ඔහු ඇය ඉතුරු මුදල දීමට උත්සහ දරද්දී එය ප්‍රතික්ෂේප කළේය.

“ තැන්කියු ඔයාට මාව ගෙනල්ලා බැස්සුවට….”

එපමණක් පවසා ඔහු අරලියා ගස්වලින් සෙවන වූ මාවත දිගේ ඇවිද ගියේ ආපසු හැරී නොබලමින්ය. ත්‍රී රෝද රථය පණ ගන්වන්නට සිතා පහතට නැමුණු අපූර්වා යළි කෙලින් වී තත්පර කිහිපයක් ගතව යනතුරු උසාවි සංකීර්ණය දෙස බලා සිටියාය. 

තම ජීවිතයේ මේ සා පෙරළියක් සිදුවන්නට මූලාරම්භය සැපයූයේත්, අවසානය ලියූවේත් මෙතැනදීය. කෑ ගසා හඬන්නට තරම් දුකක් හදවත තුළ පෙරලි කරද්දී ඕ ත්‍රී රෝද රථය පණ ගන්වා ගත්තාය. අවට සිටි කිහිප දෙනෙකු හැරි හැරී තමා දෙස බලන අයුරු දුටුවත් අපූර්වාට එහි වගක් වූයේ නැත. දැන් ඇයට එය හුරු පුරුදුය.

“ ඕක උඹ වගේ ළමිස්සියෙකුට හරි යන රස්සාවක් නෙමෙයි කෙල්ලේ…මං කොහොම හරි මේකිව  බලාගන්නම්. උඹ උඹේ ගැන බලා ගනින් දුවේ…”

ත්‍රී වීලරය පණ ගන්වාගෙන නිවසින් පිටවන්නට සැරසෙද්දීත්. පොල් කොළ වලින් හෙවිලි කර තිබූ කුඩා වැස්ම යටට ත්‍රී වීලරය යළි   ඇතුළු කරද්දිත් පියසීලී එසේ පවසන්නේ සැමදා උදේ හවස යමක් මතක් කර දෙන විලසින්ය. මුල් දිනවල ආච්චිගේ සිත හැදෙන්නට යමක් පැවසුවත් දැන් අපූර්වා සිටින්නේ ඒ කිසිවක් නොඇසුනු ගණනටය. 

මේ සා දුර ගමනාන්තයකට පැමිණීම පාඩුවක් යැයි සිතෙන්නේ ආපසු හිස් අතින්ම යාමට සිදු වුවහොත්ය.එනිසාම අපූර්වා උවමනාවෙන්ම මග යන එන අය දෙස බැලුවාය.

උසාවියේ සිට කිලෝමීටර් එකහ මාරක් පමණ ඇතුළට එද්දී ත්‍රී රෝද රථයට අතදැමුවේ කුඩා දියණියක වඩාගෙන උන් තරුණියකි.

“ කොහෙටද අක්කේ..”

“මට ඔය ඉස්සරහා ඩිස්පෙන්සරිය ගාවට යන්න ඕනේ..කීයක්ද නංගී…”

ඈ එසේ ඇසුවේත් දෑස් විසල් කරගෙනය.

“ එකසිය අසූවක් දෙන්න…”

එසේ පැවසූ අපූර්වා  පසුපස හැරුනේ පුරුද්දට සේය. ආසනය මත තිබෙන මුදල් පසුම්බිය ඕ දුටුවේ එවේලෙහිය.

“ අයියෝ මේ මනුස්සයා පර්ස් එක දාලා ගිහිල්ලා…”

එසැනින්ම එසේ පැවසූ යුවතිය ත්‍රී රෝද රථයෙන් බැස  ආසනය මත වූ මුදල් පසුම්බිය සිය දකුණතට ගත්තාය.

“ කලින් හයර් එක ගියපු කෙනාගෙද..”

“ ඔව් ලොයර් මහත්තයෙක් ආවේ. අලුත්ගම උසාවියට.”

“ හරි වැඩේ. දැන් හොයනවා ඇති..”

“ ඒක තමයි..මේ මිනිස්සු මොන සිහියෙන් වැඩ කරනවද මන්දා…” 

‘කාට හරි ගිනි ගෙඩියක් දීලා යන ගමන් වෙන්න ඇති …’ අවසන් වදන් කිහිපය ඕ මුමුනා ගත්තේ තමාටමය.

“ඒගොල්ලන්ගේ සිහිය තියෙන්නේ ඉතින් සල්ලි ගැන තමයි..වෙන මොනවද..”

“ බලමු අක්කේ මං අඳුරන ගරාජ් එකක අයිය කෙනෙක් තමයි හයර් එක කතා කරලා දුන්නේ. එයා ළඟ විස්තර ඇතිනේ. මං බලලා මේකේ ටෙලිෆෝන් නම්බර් එකක් හරි තිබුණොත් කෝල් එකක් දෙන්නම්. අක්ක නගින්නකෝ…”

එසේ පැවසූ අපූර්වා මුදල් පසුම්බිය සුරක්ෂිතව තබා ත්‍රී  රෝද රථය පණ ගන්වා ගත්තාය. 

“ ත්‍රී වීලර්  එක නවත්තගෙන බලද්දී ඩ්‍රයිවින් ෂීට් එකේ ගෑණු කෙනෙක් ඉන්නවා දැකලා මට පුදුමත් හිතුනා.”

“ මේ රස්සාව කලින් කලේ  මගේ තාත්තා. එයා හදිසියේ නැතිවුණා. ඉතින් රස්සාවල් හොය හොය ඉන්න මට කාලයක් තිබුණේ නෑ. ආසාවට වගේ ත්‍රීවිල් එක ගෙදර තියෙන හින්දා පදින්න පුරුදුවෙලා ලයිසන් අරගෙන තිබුනේ. නොදන්න දේට වඩා දන්න දේ හොඳයි කියල හිතුනා.”

තමා මේ කතාව පවසන්නේ කී වෙනි වතාවටදැයි මතකයක් අපූර්වාට නොවේ. ඒ තරමටම මෙහි ගොඩවන මගීන්ට ප්‍රශ්නය.

“ ඒක නරක දෙයක් නෙමෙයිනේ නංගී…”

“ දරුවාට මොකද….”

“ දැන් දවස් තුනක් තිස්සේ උන. එක පාරකුත් බෙහෙත් ගෙනාවා. ඒ උනාට සුවයක් නෑ. ලේ එකක්වත් චෙක් කර ගන්න ඕනේ කියලා මේ යන්නේ…”

තරුණිය රුපියලක්වත් අඩු වැඩි නොවී රුපියල් එකසිය අසූවක් අපූර්වා වෙත දිගු කළේ ත්‍රී රෝද රථයෙන් බැස ගත්තාට පසුවය. ඕ රුපියල් සියය පමණක් අතට ගෙන ඉතිරි අසූව ඇය අතේම තිබෙන්නට හැරියාය.

“ ගන්න නංගි කමක් නෑ…”

“ එපා අක්කේ ඕන නෑ…කොහොමටත් මං මේ එන ගමනනේ…”

“ පරිස්සමට යන්න නංගී…ඔයාගේ හිතේ තියෙන හැම හීනයක්ම ඉෂ්ඨ වෙන්න ඕනේ. අපි කවුරුත් මේ ජීවිතය දිනන්න වෙහෙස මහන්සි වෙන ගෑණුනේ…”

අපූර්වා සිනාසී ඇයට සමුදුන්නේ කිසිවක් නොකියමින්ය. එදිනෙදා ජීවිතයට මුහුණ දෙනවා විනා සිහින දකින්නට ඇය දැන් බියය. තම සිතෙහි වූ සිහින මෙලොවෙහි අන් කිසිවෙකුට වූවාදැයි සැක සහිතය. අපූර්වා අර පරිස්සමට තැබූ මුදල් පසුම්බිය දිගහැර බැලුවේ තවත් මද  දුරක් ඉදිරියට පැමිණියාට පසුවය. රුපියල් පන්දහසේ නෝට්ටුවකුත් දහසේ නෝට්ටුවකුත් පන්සියේ නෝට්ටුවකුත් පිළිවෙලින් අසුරා තිබිණ. ඉන්පසු වූයේ බිල් කිහිපයකි. බැංකු කාඩ් පතකුත් හඳුනා ගැනීම් කාඩ් පතකුත්  ඇගේ නෙත ගැටුණේ හොඳින් පිරික්සා බලද්දීය. අවසන ඇය හඳුනා ගැනීමේ කාඩ්පත  අතට ගත්තාය. 

එහි නම සදහන්ව තිබුණේ නීතිඥ යුගාෂ් ධීරසේකර යනුවෙන්ය. 

====*****=====*****=====*****======

නාඳුනන අංකයක් සටහන් කරමින් තම ජංගම දුරකථනය නාදවද්දී යුගාෂ් සිටියේ මිතුරෙකු සමග නෙස්කැෆේ කෝප්පයක් පානය කරමින්ය. හදිසියේ සිදු වූ අකරතැබ්බය නිසා ඔහු දහවල ආහාරය ලබා ගත්තේත් නැත. තම සේවා දායකයන් සඳහා පාවිච්චි කරන මෙම දුරකථන අංකයට නිතරම නාඳුනන අංක වලින් ඇමතුම් ලැබුණත් මේ ඇයමයැයි  ඔහුගේ සිත පවසන්නට විය. එනිසාම දුරකථන අංකය හොඳින් මතකයේ තබා ගත් තරුණයා ඊට පිළිතුරු සපයන්නට නොගියේය. ඇය හා කතා කළ යුත්තේ මෙවන් කලබලකාරී අවස්ථාවක නොවේ.

“ ඇයි උඹ ෆෝන් එක දිහා බලාගෙන තනියෙන් හිනා වෙන්නේ….”

මිතුරා ඇසුවේ යුගාෂ්ම දුරකථනය යළිත් මේසය මත තබන්නට සැරසෙද්දීය.

“ නෑ බං…නිකං…දන්නැති නම්බර් එකක් පස්සේ ආන්සර් කරනවා..”

“ ක්ලයන්ට් කෙනෙක්ද දන්නෙ නෑ..”

“ සමහර විට වෙන්න පුළුවන්. ඒත් මට ටිකක් ටයඩ් බං..”

“ ඔන්න භූමි කම්පාවක්…”

යුගාෂ් හිස එසවූයේ මිතුරා එසේ පවසද්දීය.

“ හායි…උදේ ඉඳලම ඔයාව දැක්කේ නෑ යුගාෂ්..මං සෙනිතගෙනුත් ඇහුවා..

අනාරාධනයෙන්ම දෙදෙනා අසලට පැමිණ ඉඳගත්තේ පංචාලී තේනුවරය. ඇයත් මෙම උසාවියේම නීතිඥවරියක ලෙස සේවය කළාය. පංචාලි යුගාෂ් ගැන විශේෂත්වයක් දක්වන බව උසාවියේ බොහෝ දෙනෙකුට අමුත්තක් නොවේ.

“ මුගේ වාහනේ බ්‍රේක් ඩවුන් එකක් වෙලා. ඊට පස්සේ වාහනේ ගරාජ් එකකට දාලා ට්‍රයි ෂෝ  එකක තමයි ඇවිත් තියෙන්නේ..”

“ අයියෝ අපිට කෝල් එකක් දෙන්න එපැයි..”

“ ඒකට ඉතිං මං ආයිත් කවුරුවත් මහන්සි කරවන්න ඕනෙ නෑනේ පංචාලි. මගේ වාහනේ නැතිවුණාට මේ පාරවල්වල ඕනේ තරම් වාහන තියෙන්නේ..”

එවර යුගාෂ් පැවසූයේ ඇයව ගණනකට නොගෙනය. පංචාලි යනු ප්‍රදේශයේ ප්‍රසිද්ධ ලී බඩු  ව්‍යාපාරිකයෙකුගේ එකම දියණියයි. පෙනුමෙන් සේම  හැසිරීමෙනුත් ඈ යුගාෂ්ගේ සිත් ගත්තේ නැත.

“ මචං උඹ මමත් එක්කනේ යන්නේ නේද..මට ෆයිල් එකක් ගන්න තියෙනවා. ඔෆිස් එකට ගිහිල්ලා ඒක අරගෙන එන්නම්..උඹ එතකල්  මෙතන ඉන්නවද වාහනේ  ගාවට  යනවද..”

“ අයියෝ සෙනිත…ඔය ආපහු අමුතුවෙන් යන්න එපැයි යුගාශ්ව ගෙදරට ඇරලවන්න. මං කොහොමටත් ඒ ගෙවල් පහු කරගෙනනේ යන්නේ. මම යුගාෂ්ට ලිප්ට් එකක් දෙන්නම්..”

එවර ඈ පැවසූයේ යුගාෂ් දෙස බලාගෙනය. මිතුරන් දෙදෙනාම හිර වූයේ පිළිතුරක් සොයා ගනු නොහැකිවය. ඇය පැවසූයේ සැබෑය.  යුගාෂ් නිවසට ඇරෙනවා සෙනිත  ආපසු පැමිණිය යුතුය. එහෙත්..පංචාලි තම ගමනාන්තයට යන්නේ යුගාෂ්ගේ නිවස පසු කරගෙනය.

එනිසාම එම යෝජනාව ප්‍රතික්ෂේප කර සිටීමට හැකියාවක් යුගාෂ්ට වූයේ නැත.

( යළිත් හමු වෙමු ආදරයෙන්…..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here