සුසුවඳ සූත්‍ර – 52

0
2300

භාණුක ජිතේන්ද්‍ර මුතුමුදලි, දිය නාගෙන විත් බරාඳයෙහි හාන්සි පුටුවේ වැතිරගත්තේ ය. ගමන් වෙහෙස නිවා නොගෙන ම ඔහු උදයෙන් ම සංගීත සංධ්වනියෙහි පුහුණුකිරීම් යොදාගෙන තරුමුතු සංගීත ආශ්‍රමයට ගියේ ය. දවසේ ම එහි පුහුණුවීම් වල නිරත වී ද, ඔහු ට ලොකු වෙහෙසක් නො දැනේ. නුවර ගමන නිසා කාලයක් තිස්සේ හිතේ හිර වී තිබි අසන්තෘප්ත බවක් තෘප්ත වී ඇති සැටියෙකි.

දිය නාගත් ගමන් නිසා ඔහු ට නැවුම් සුවදායී බවක් දැනිණ. සිය තරුණ වියෙහි දී උපයා සපයාගත් මුදල් වැය කොට තනාගත් මේ ගෙදර නිර්වාණයක් සේ දැනෙන්නේ දැන් ය. ලෝකේ කොහේ කරක් ගැසුවත්, ගෙදර ඇවිත් වැටෙනවා වාගේ හිතට සනීපයක් නැත. උළු සෙවිලි කළ, බිමට රතු සිමෙන්ති දමා ඔප කළ, සෙවනැති මිදුලක ඉදි වුණ සිසිලැති නිවහන මේ වයසටත් වැඩ කරන ඔහුගේ කලාකාමී හදවත මැනවින් අවබෝධ කරගත්තකි.

කිශෝරි ස්වාමියා ගේ උණු තේ එක ගෙන පැමිණියා ය.

“සුදු නෝනා තාම ආවෙ නැද්ද…”

“ධාරා මෙහෙන් ගියෙත් දවල්වෙලා. ගෙවල් එහෙම අස්කරල අතුගාල ඔක්කෝම වැඩ ටික කරලයි එහෙ ගියේ. එහෙත් මේ ටිකේ වහල නිසා අස්පස් කරන්නැති”

“හ්ම්”

“සමහර වෙලාවට මටත් වැඩිය වයසයි වගෙයි දේවල් ගැන හිතන්නෙ. සමහර වෙලාවට ඉස්සර අපේ ගෙදර හිටිය පොඩි කෙල්ලමයි. අපරාදෙ මගෙ කෙල්ලගෙ ජීවිතේ නාස්ති වුණා”

ජිතේන්ද්‍ර හදිසි සුසුමක් හෙළුවේ ය. පපුවේ තැන් තැන් වලින් සුදු වූ රෝම පිරිමදිමින් තේ උගුරක් දෙකක් බීවේ ය.

“කාලෙ නාස්ති වුණා තමයි. ඒත් අපිට කෙල්ල ඉතුරු වුණානෙ කිශෝ. සපු කැකුළක් වගේ ලස්සනට මෝරගෙන ආපු කෙල්ලව අර දක්ෂිණය රවට්ටගත්ත. ඌගෙ නැටුමට තියන හපන්කමට කෙල්ල අහුවුණා. ඒ වැරැද්ද නිවැරදි කරගන්න තමයි දෙවියො මේ අවස්ථාව දීල තියෙන්නෙ”

“හ්ම්”

“සුදු නෝනා මුකුත් කිව්වෙ එහෙම නැද්ද ගමනෙන් පස්සෙ… තරුපතිගෙ පුතා ගැන එහෙම…”

කිශෝරි වෙතට නැඹුරු වී එසේ විමසත්දී ජිතේන්ද්‍ර ගේ මුවහ සිනහවක් විය. ඇස් දීප්තියෙන් බැබළිණි.

“එහෙම මුකුත් කිව්වෙනං නෑ. හැබැයි ඒ ළමයත් එක්ක දැන් හරි හිතවත්. දෙන්න බොහොම විනෝදෙන් සතුටෙන් තමයි කතාබහ කරන්නෙ”

“මුකූත් කලබලයක් කරන්න ඕන නෑ. කොහොමටත් දැන් ඒ දෙන්න පොඩි ළමයි නෙවෙයිනෙ. කසාද බන්දෝල දෙන්න කිට්ටු දරුවො ඉන්න දෙමව්පියොනෙ”

“යුගාත්ම පුතානං එකපයින් කැමතියි. අපේ එක්කෙනගෙත් අකමැත්තක් ඇති කියල මන්නං හිතන්නෑ. ඒත් ඉතිං මුකුත් කියන්නෑනෙ”

“ගෑනු කවදද ඉතිං හිතේ තියෙන දෙයක් කිව්වෙ. හා කියන්නෙ බෑ කියන එකට. එපා කියන්නෙ ඕන කියන එකට…”

ජිතේන්ද්‍ර හඬ නගා සිනහ වෙමින් හිස් තේ කෝප්පය කිශෝරි අතට දුන්නේ ය. ඇය නෝක්කාඩු බැල්මකින් ඉවත බලාගත්තා ය. සැමියා පෙර කවදාටත් වැඩි සතුටකින් හිඳිනා බව කිශෝරි ඉඳුරා දනී. ඇයට දැන් දෙවියන්ගෙන් ඉල්ලන්නට තිබෙන්නේ මේ සතුට සදාකාලික කර දෙන ලෙස පමණි.

හැන්දෑවේ පාරින්දි අන්තරා ගේ ගෙදර ආවේ වැඩ නිම වීමටත් පෙර කෙටි නිවාඩුවක් දමා ය. ඊට හේතුවක් තිබිණි.

“සුබ ආරංචියක් තියනව. අන්තරා කියයි”

කියා දවාලේ යුගාත්ම කීවේ ය. කුමක්දැයි ඇසුවාට සිනහ වූවා මිස ඔහු පැහැදිලි කළේ ම නැත. නමුත් ඒ සිනහව වෙනදාට වැඩිය මනමාල පාටයි කියා ඇයට සිතිණ. ඒ අනුව යමක් සිදු වී ඇති බව ඇය අනුමාන කළා ය. නුවර ගමනේදී යුගාත්මට කැමැත්ත දෙන ලෙස මගින් මගට අන්තරා ට කීව ද, පාරින්දිගේ පපුවට බරක් පැටවෙන්නට යුගාත්මගේ මේ හිනාව හේතු විය. එය අසාමාන්‍ය ගැස්මකි. උදර කුහරය පුරා අතුණුබහන් පෙරළෙන සංවේදනයක් විය. සිරුර තුළ කවර වෙනසක් සිදු වෙනවා ද කියා ඇයට වැටහුණේ ම නැත. දිවා ආහාරයෙන් පසු හිත එකඟ කරගෙන වැඩක් කරන්නට ඕ අපොහොසත් වූවා ය.

“අන්තරාව බලන්න යන්න මං ශෝට් ලීව් එකක් දාන්නද”

කියා ඈ යුගාත්මගෙන් ඇසූයේ වැඩ කරන්නට බැරි ම තැනයි. අන්තරා කන්නට කැමති ම පළතුර වන ඉදී සුවඳ හමන අන්නාසි ගෙඩියක් ද ගෙන, පපුවේ රිදුම සිනහවකින් සඟවාගෙන ඈ ආවා ය.

“මගෙ රෝස මල. දවස් තුන හතරක් දැක්කෙ නැති නිසා මං පාළුවෙං හිටියෙ”

ඇය අන්තරාව වැළඳගෙන තත්පර කිහිපයක් හිඳිමින්, හුරතල් තානයකින් මිමිණුවා ය.

“අන්නාසි ගෙනත්”

“හ්ම්. ඔයා ආසයි කියල මතක් වුණා”

“මොනාද බොන්නෙ… තේ ද කූල් ඩ්‍රිංක් එකක්ද…”

“ඔයා හදන වැනිලා සුවඳ තේ තමයි ඉතිං. ඒක නෙවේ. කෙල්ලගෙ මූණ මලක් වගේ පිපිල. මොනාහරි වෙලා වගේ…”

අන්තරා මොහොතක් පාරින්දි දෙස බලාගෙන ම සිටියා ය. ඇය වතාවක් ප්‍රේමයේ කුණාටු රළකට හසු වී අසීරුවෙන්  වෙරළකට ගසා ආ යුවතියකි. හිරිමල් යෞවනයේ දී ම එවන්   රළ දෙක තුනකට හසු වෙනවා කියන්නේ හිතක් දරුණු ලෙස තුවාල වෙනවා කියන එකටයි. පාරින්දි  වෙනුවෙන් යුගාත්මව දුරක් තබාගෙන ඇසුරු කරන්නට ඇය ඇරඹුමේ සිට ම හිතාගත්තේ එබැවිනි. නමුත් ඔහු ඇයට පෙම් නො කරනා බව පාරින්දි පවා දනී.

“එහෙම මුකුත් වුන්නෑ ඉතිං. යුගාත්ම කිව්ව එයා මට කැමතියි මාව බඳින්න කැමතියි කියල. මං කිව්ව මං එයාට කැමතියි හැබැයි ආයෙ බඳින්න මං තාම සූදානම් නෑ කියල. එච්චරයි”

මහ ගින්නකට දිය පොදක් විසි කළා සේ සියුම් සහනයක් පාරින්දි ට දැනිණි. නමුත් ඒ සුළු මොහොතකට බව ද ඇය දැන සිටියා ය.

“මං දන්නෑ මං වරදක් කරනවද කියල. යුගාත්ම ඔයා ගැන හිතන්න කැමතියිනං ඒ කියපු වචනටික වුණත් ඉල්ලා අස්කරගන්න මට පුළුවන්”

අන්තරා එසේ කීවේ අවංකව ම ය. හදවතින් ම ය. සිය සැමියාව වෙනත් ස්ත්‍රියකට හිමි කරගන්නට දී පසෙකට වූ ඇයට, තවත් ගැහැනියකගේ ප්‍රේමය උදුරාගැනීමේ සිතිවිලි මාත්‍රයක් හෝ ඇති කරගත නො හැකි ය.

“පිස්සුද ඔයාට. කොහොමද ඒක වරදක් වෙන්නෙ… අපි එක කොන්දේසියක් දාගමු”

“කොන්දේසියක්…”

“හ්ම්. යුගාත්ම කියන්නෙ දැන් මට යාළුවෙක් මිසක් බොස් මිසක් වෙන කවුරුවත් නෙවෙයි. මං එයා ගැන කැමැත්තෙන් හිටිය එකත් අපි අමතක කරමු. ඒ වගේම මීට පස්සෙ කවදාකවත් අපි ඒ ගැන වචනයක්වත් කතා නොකර ඉමු. ගෑනුකමට හිතේ ඇතිවෙන ආදරේකට වැඩිය… ගෑනු හිතකට යාළුකම් හරි වටිනව අන්තරා. ළඟින් වැටිල දුකක් කියන්නහරි ඉතුරුවෙන්නෙ යාළුවෙක්. දැන් යුගාත්මත් මට යාළුවෙක් විතරයි. මං ඔය දෙන්නට හදවතින්ම සුබ පතනව. එතන චූටි ඊරිසියාවක්වත් නෑ. ඊරිසියාවක් තියා නොගන්නයි මට ඕනෙ”

“හරිම කෙනා දවසක හම්බවෙනව පාරි”

“මං මේ කල්පනා කරන්නෙ හරිම එකා තාම ඉපදිල නැද්ද කියලයි. නැත්තං මූ තාම හම්බුන්නැත්තෙ මොකෝ…”

පාරින්දි හඬ නගා සිනහ වූවා ය. නමුත් අන්තරා ගේ හිතේ තුනී දැවිල්ලක් ඉතිරි වී තිබිණ. පාරින්දි නික්ම ගිය පසුත් ඇය ඒ සිතිවිලි අතරේ දෝලනය වෙමින් සිටියා ය. යුගාත්ම පැමිණි විටත් අන්තරා ඒ පසුතැවීමේ ශේෂයන් ගැන ඔහු ට පැමිණිලි කළා ය.

“ඒ ළමය ඇත්ත ඇති සැටියෙන් තේරුං අරං ඉන්නෙ. හිතේ පොඩිහරි අවුලක් තියනවනං ඒක එහෙමම යටපත්  වෙන්න අරිමු. එහෙම දෙයක් අපි දන්නෙත් නෑ අපිට දැනිලත් නෑ වගේ. කාලය ඊට වැඩිය ලොකු තුවාල වුණත් හෙමිහිට සනීප කරනව කියල අපි දන්නවනෙ අන්තරා. කූරු ගගා පාරන්නැතුව ඉන්නයි ඕනෙ”

 ඔහු අවධාරණය කළේ ය.

“අනිත් එක මේ ලෝකෙ අපි කැමති හැම කෙනාම අපිට කැමති වෙන්නෝනෙ කියල එකක් නෑනෙ. ඉස්කෝලෙ කාලෙ ඉඳන් මටත් කෙල්ලො කී දෙනෙක් ගැන කැමති හිතිල තියනවද… උං අකමැතිනං මොකෝ බලෙං කැමතිවෙන්න කියන්නයැ”

අන්තරා යුගාත්ම වෙතට තරවටු බැල්මක් හෙළුවා ය. ඔහු ඈ පිටුපසින් විත් වැළඳගෙන ගෙල පාමුල මුහුණ හොවාගත්තේ ය.

“බැඳපු ගෑනිත් අන්තිමට මට කැමති නෑ කියල ඔය ගියේ. මේ වගේ හාල් කෑලි තමයි ඉතිං අපිට කැමති වෙන්නෙ”

ඔහු ගේ වචන අතරේ අපමණ ආදරයක් තැවරී තිබිණ. දවසේ ම වැඩ කොට දිය නාගෙන නැවුම් වූ අන්තරා වෙතින්, විලවුන් නොවන සුවඳක් දැනිණ.

“මොකටද දන්නෑ මෙච්චර හාල් කෑල්ලක් පස්සෙ පන්නන්නෙ…”

“ඒකනං සංසාරෙ පුරුද්ද වෙන්නැති. එක සැරයක් පැදුරටවත් නොකියා මාරු වුණාට ආයෙනං එහෙම කරන්න දෙන්නෑ”

“අම්මල බලනව ඇති මං ඇයි ලේට් කියල. අපි යං”

“හැමදාම හවසට ගෙදර ඇවිත් මෙහෙම ඔයා ළඟට වෙලා ඉන්න තියෙනවනං කොච්චර දෙයක්ද…”

“තාම මං පර්මිශන් දුන්නෑ”

ඔහු එහෙම සිටියදී ම අන්තරා තේ හැදූ භාජන ටික සේදුවා ය.

“පර්මිශන් ගන්න හැටි මං දන්නව”

කියමින් යුගාත්ම එහෙම ම ඇගේ බඳ දෙපසින් අල්වා බෝනික්කියක සේ ඔසවා ඈ පැන්ට්‍රි මේසය මතින් තැබුවේ ය. අන්තරා සිනහ වෙමින් කෑ ගැසුවේ ඔහු ගේ ගෙලේ එල්ලෙමිනි. එහිදී යුගාත්ම ගේ මුහුණ ඇගේ ළය මත පතිත විය. එක ම උණුහුම් විද්‍යුත් තරංගයක් ඔවුන් දෙදෙනා ගේ ම අභ්‍යන්තරයෙහි පැතිර ගියේ ය. අන්තරා සිනහව තුනී කරගනිමින් දෑස් පහළට හැරවූවා ය. නමුත් ඇගේ දෑත් තවමත් ඔහු ගේ ගෙල වටා රැඳී තිබිණ.

“යං. නැත්තං හෙට අකමැත්තෙන් හරි ඔයාට මාව බඳින්න වෙයි”

යුගාත්ම ගේ දෙඅදර දඩබ්බර අඩවන් සිනහවකින් හැඩ විය. අන්තරා බලා සිටියේ ඇස් වල තරවටුවක් තියාගෙනයි. ඔහු ඇයව යළිත් බඳ දෙපසින් අල්වා ඔසවා බිමින් තැබුවේ ය. මෙහෙම මිහිරක් සිය කුලුඳුල් ප්‍රේමයේදී හෝ දැනී ඇති බවට මතකයක් අන්තරා ට වූයේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here