පිණි මුතු පලසක් – 17

0
1140

සමුධ්‍යාට ගුණවතීත් සත්සරාවත් රැගෙන කිසිවෙකුට නොපෙනී හොර රහසේ කොළඹ ළමා හා කාන්තා කාර්‍යංශය බලා එන්නට උපකාර කලේත් අරුණය. ඒ තමන් හොඳින්ම දන්නා මිතුරෙකුගේ වාහනයක් ආණමඩුවේ පරමාකන්ද ගමට යවන්නට කටයුතු කරය. ගෙදර යන බව කියා සමුධ්‍යා උදේ පිටවුන නිසාත්, ඒ වෙද්දිත් ගුණවතී සහ සත්සරා බංග දෙනිය හන්දියට ඇවිත් උන් නිසාවෙනුත් ගමේ කිසිවෙකුට  නොපෙනී වාහනයේ නැගී කොළඹ එන්නට තිදෙනාට හැකියාව ලැබිණි. කොළඹ දවසක් දෙකක් නතර වී ඉන්නට වන බව සමුධ්‍යා කළින්ම කියා තිබුණු නිසාවෙන් “ඈතින් නෑවෙන කෙනෙක්ගෙ මගුල් ගෙදරක” යන බව කියා තමන් දවසක් දෙකක් වැඩට නොඑන බව මන්තී ගෙදර නෝනාට කියන්නට ගුණවති කටයුතු කරාය.

“නුවර යන්න එන්නයි මගුලට ඇඳ පැලඳගෙන යන්නයි ගුණවතීලට විය හියදම් ඇතිනෙ” කියා අනෝමා නෝන අත මිට මෙලවූ සල්ලි දකිද්දි ගුණවතී උන්නේ උහුලා ගන්න බැරි වේදනාවකිනි. සමුධ්‍යා මිස් කිව්ව නිසාවෙන්ම මේ සියල්ල ළඟ කට වහගෙන උන්නද, අනෝමාගේ කරුණාවන්ත කම හිත දියවෙන්නට යන එක ගුණවතී වලක්වාගත්තේ ඉතාම අපහසුවෙන් ය. මන්ත්‍රී තුමා කොච්චර නරක මනුස්සයෙක් උනද මන්ත්‍රී නෝනා පුදුමාකාර හිත උණුවෙන ගැහැණියක බව මුලු ගමම දන්නා පිළිගන්නා කාරණාවක් බව අමතක කරන්නට ගුණවතීට පුලුවන් කමක් නැත. මේ වෙන කිසිම දෙයක් නොදැන අනෝමා නෝනා තමන්ගේ අතේ මිට මෙලවූ සල්ලි වලින් තමන් යන්නේ ඇයගේ ඇස් දෙක වන් පුත්තු දෙන්නාගෙන කෙනෙකුට ප්‍රශ්නයක් කරන්නට බව දන්නවානම් කියා ගුණවතීට හිතිච්ච වාර අනන්තය. 

සත්සරා කොළඹ ආව පළවෙනි වතාව ඒකය. කොළඹ පේන්න වෛවර්ණ ලෝකයේත්, විවිධාකාර සුන්දර කඩවල් දිහාත් වාහනයේ ජනේලයෙන් බලමින් සත්සරා එද්දි සමුධ්‍යාත්, ගුණවතීත් උන්නේ වෙන වෙනම ලෝක වල හිරවීගෙන කල්පනා කරන ගමන් ය. 

අරුණගේ ඇමතුම සමුධ්‍යාගේ දුරකතනය බලා ආවේ ඒ මොහොතේය.

“ඔයාලා ආවා නේද මිස් සමුධ්‍යා?” කියා අරුණ අහද්දි සමුධ්‍යා පිළිතුරු දුන්නේ සිනාවකිනි.

“ඔව් මිස්ට අරුණ, මම උදේ මිස්ට අරුණට වාහනේට නැගලා මැසේජ් එකකුත් දැම්මා. උදේ හන්ද මම කෝල් එකක් දුන්නෙ නෑ ඩිස්ටර්බ් වෙයි කියලා” 

“අනේ නෑ ඒකට නම් කමක් නෑ. මම ඇත්තටම කතා කරේ සමුධ්‍යා අද මට එන්න වෙන්නෙ නෑ. මට තව කේස් එකකට එළියට යන්න වෙලා තියෙනවා. ඒක කියන්න මම කතා කරේ. ඔයාට අවුලක් නෑ නේද ඒක? ශාරධා කිව්ව එයා කෝල් කරලා ඔක්කොම විස්තරේ කිව්වා කියල, මමත් කතා කරලා තියෙන්නෙ. ඔෆිසර් දිලානි කියල කෙනෙක්ව තමයි ඔයා ගිහින් මීට් වෙන්න ඕන. මම ඕල්‍රෙඩි එයාලට ඉන්ෆෝම් කරල තියෙන්නෙ ඔයාල එනවා කියල. මගෙ නම කිව්වම හරි එතනට ගිහින් හොඳේ?” කියා අරුණ කියද්දි අරුණ නැතුව මේ ගමන යන්නට මද විචිකිච්චාවක් හිතට ආවත් දැන් ගමනේ බොහෝ දුර ඇවිත් නිසා ආපසු හැරී යනවා වෙනුවට සමුධ්‍යා ඉතිරි දුරත් යන්නට හිතුවාය. 

කොළඹ ජනාකීර්ණ ගොඩනැගිලි අස්සෙන් ඉර තිබුනේ තමන්ගේ රැස් මාලාව විහිදුවමිනි. ඒ ගොඩනැගිලිවල වහලවල්වලට ඉහළින්, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ කාර්යාලයේ බිත්ති හරහා දිගු, තැඹිලි පැහැති කිරණ විහිදුවමින් සිටියේය. ඒ බිත්තිවලින් ඇතුළත ඇතුළත වාතාවරණය තිබුණේ විවිධාකාර හැඟීම් සමුදායන් සමග උණුහුම් වෙමිනි. සමුධ්‍යාත් සත්සරාත් ගුණවතීත් ඒ කාමරවලට ඉදිරියෙන් අසුන්ගෙන උන්නේ තමන්ට කතා කරන්නට නියමිත නියෝජිතවරිය එනතුරුය. කාන්තා නිළධාරිනියක් පැමිණ ඔවුන්ට අඬ ගැසූ පසු සත්සරා ආච්චි අම්මාගේ අත අල්ලාගෙන ඉදිරියට යද්දී සමුධ්‍යාත් ඔවුන් සමගම එක පෙළට වැටුණාය. 

වට මේසයක්, පුටු දෙකක්, නීති බන්ධන සහ ටෙඩි බෙයාර්ස් ලාගෙන් පිරුණු රාක්කයක් සහිත නිහඬ කාර්යාලයකට සමුධ්‍යාත්, ගුණවතීත්, සත්සරාත් ඇතුලු වුනේ ඒ අනුවය. ඒ කාර්‍යාල කාමරය ඇතුලත වාතාවරණය වෙනස් ලෙස දැනුනද ඒ වනාහී හිත රිදවන, බියට පත් කරවන අන්දමේ වෙනසක් නොව සිත සනසන අන්දමේ වෙනසකි. ඒ කාර්‍යාල කාමරයේ කෙළවරේ වාඩි වී සිටියේ කාන්තා හා ළමා කාර්යාංශයේ පළපුරුදු නිලධාරිනියක් වන පොලිස් පරීක්ෂක දිලානි කොස්තා ය. නීති ආධාර කොමිසම හරහා පත් කරන ලද ළමා අයිතිවාසිකම් නීතිඥ දෙව්නි අල්විස් ද ඇය සමග එහි අසුන්ගෙන උන්නාය.

“සමුධ්‍යා නේද? මේ දැන් චුට්ටකට කලින් තමයි අරුණ මට කෝල් කරලා ඔයාලා ඇවිත් කිව්වේ” කියමින් තමන් ඉදිරියේ තබා තිබූ අසුන් පෙන්වූ දෙව්නි සමුධ්‍යා ඇතුලු පිරිසට එහි වාඩිවෙන මෙන් කීවාය.

“ආණමඩුවෙ ඉඳල එන්න ඕන නෙ මැඩම්. ඒකයි”

“ෆස්ට් තින්ග්ස් ෆස්ට් සමුධ්‍යා. මට මැඩම් කියන්න ඕන නෑ. මට දෙව්නි කියන්න. ඒ හොඳටම ඇති”කියා දෙව්නි සිනාසෙද්දි සමුධ්‍යාත් එයට පිළිතුරු සිනාවකින් එකඟ වුණාය. 

“හරි දැන් මේ කේස් එකේ ඔක්කොම ඩීටේල්ස් ටික අපිට ඩොක්ටර් ශාරධාගෙ පැත්තෙනුත් ඇවිල්ලා තියෙනවා ඩොකියුමන්ට් එකක් විදියට. මම අද මේ ඔෆිසටත් එන්න කිව්වේ අපිට ඒ විට්නස් එකත් සැහෙනම මේ කේස් එකට ඉම්පෝටන්ට් හන්දා. මේක තමයි ඇත්තටම අපෙ පළවෙනි ලීගල් ස්ටෙප් එක වෙන්නෙ. සෝ ඒ නිසාම මේක අපිට හරිම වැදගත්” තිදෙනා වෙතටම සහනදායක සිනහවක් පාමින් දේව්නි පැවසුවාය. “මේ වෙච්ච හැමදේටම නීතිය සම්බන්ධ කරගෙන යන ගමනෙ පළවෙනි අඩිය තමයි මේක.”

සත්සරාත් ගුණවතීත් උන්නේ මේ වෙන කිසිවක් තේරුම් ගන්නට නොහැකිව යම් කිසි කලබලයකින් බව තේරුණ හන්දාම දෙව්නි ඔවුන් වෙතද සිනාවක් පෑවේ අස්වසන සිතිවිල්ලකිනි.

පරීක්ෂක දිලානි Confidential – Minor Victim ලෙස සලකුණු කර තිබුණ තුනී දුඹුරු පැහැති ගොනුවක් විවෘත කර දෙනෙත්වල පැලඳගෙන උන් කණ්ණාඩු කුට්ටම අතෙන් සකස් කරගත්තාය.

“තව ඉස්සරහට මේ ගමන යන්න කලින් වෙන හැමදේම අපි ඔයාලා එක්ක බෙදාගන්නම්. මොකද මම හිතන්නෙ මේක අපි හැමෝටම වෙන විදිය තේරෙන්න ඕන දෙයක්. මට ඩොක්ටර් ශාරධා වගේම අරුණත් කිව්වා මේ කේස් එකට සම්බන්ධ අපරාධ කාරයා යම් කිසි දේශපාලන බලයක් තියෙන මනුස්සයෙක් කියන එක. හැබැයි අපි පොරොන්දු වෙනවා මෙතනදි ඒ හැමදේටම වඩා අපි පොඩි දරුවෙක්ගෙ ආරක්ශාව වගේම අනාගතේ පරිස්සම් කරන්න අපේ උපරිමය කරනවා කියලා.

පළවෙනිම නීතිමය පියවර වෙන්නෙ පැමිණිල්ලක් දාන එක. අපි ස්ටේට්මන්ට් එකක් කියලා කියන්නෙ. අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඒ ස්ටේට්මන්ට් එක ගන්න එක. අපි දැනටම ඩොක්ටර් ශාරධාගෙ පැත්තෙන් කතාව දන්නවා. දැන් අපිට උවමනා වෙනවා දරුවගෙ ආච්චි අම්මා එහෙම නැත්තම් භාරකාරයගෙන් මේ ගැන ප්‍රකාශයක් ගන. ටීචටත් පුලුවන් ටීචගෙ පැත්තෙනුත් දරුවගෙ දැක්ක වෙනස්කමක් වගේ දෙයක් ගැන ප්‍රකාශයක් දෙන්න. ඒකත් අපිට උදව්වක් වෙයි මේ ප්‍රොසෙස් එකේ ඉස්සරහට.

මේ ස්ටේට්මන්ට්ස් ඔක්කොම අපි ඔෆීශියලි රෙකෝඩ් කරගන්නවා. දරුවට මෙන්ටලි බලපෑමක් නැත්තම් දරුවටත් පුලුවන් එයාගෙ පැත්තෙනුත් ප්‍රකාශයක් කරන්න. හැබැයි ඒක කරන්නම කියල කිසිම බලපෑමක් කරන්නෙ නැහැ”

“මේ දේ ඇත්තටම වෙච්ච දෙයක් කියලා ඔප්පු කරන්න අපි මොනවහරි පෘෆ් අරගෙන එන්න ඕනද ඔෆිසර්? මොකද ඇත්තටම දරුවා අපිට කිව්ව දේ සහ ඩොක්ටර් ශාරධා චෙක් කරලා දරුවට ලොකුවටම මානසිකව බලපෑමක් වෙලා තියෙන්නෙ කිව්ව එක ඇරෙන්න අපිට වෙන පෘෆ් කියල පෙන්නන්න දෙයක් නෑ” කියා සමුධ්‍යා කියද්දි දෙව්නිත් දිලානිත් එකිනෙකා දෙස බලා නැගුවේ මද සිනාවකි.

“නෑ සමුධ්‍යා තියෙනවා”

“මොකද්ද?” 

(මේ සියලුම නීති කරුණු අන්තර්ජාලය ඔස්සේ ලබාගත් ඒවා නිසාවෙන් නිරවද්‍යතාවයේ කුමක් හෝ ගැටලුවක් තිබේනම් එය නිවැරදිකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here