තාදී – 52

0
1336

වසන්ත රූපසිංහ මුණගැසීමට ඒ නිවසට ගොස් ආපසු පැමිණියේ එතරම් සතුටුදායක මුහුණකින් නොවේ. ඔහුගේ මුහුණ මළානික වී තිබුණි. එහෙත් ජයමිණි ඒ පිළිබඳව විමසන්නට ගියේ නැත. සැබවින්ම වසන්ත මේ දකින්නේේ සිහිනයකි. ධීර කෙදිනකවත් මේ විවාහයට කැමති වෙන්නේද , තාදී ගෙන් ඈත් වන්නේද නැති බව ජයමිණි හොදාකාරවම දැන උන්නාය. ධීර එතරම් තදබල ලෙස තාදීට බැඳී සිටින්නේය. එහි අරුමයක් නැත්තේ තාදී තුළ පවතින හොඳ ගතිගුණ නිසාය. 

එහෙත් ධීර නිවසට පැමිණියෙ එයට වඩාත් හාත්පසින්ම වෙනස් ස්වරූපයකිනි. පිරුණු සහ සතුටුදායක හැඟීමක් මෙන්ම උද්යෝගී බවක්ද ඔහු තුළ තිබුණු අතර ඔහු වාහනයෙන් බසිද්දී පෙරමගට ගිය ජයමිණි ඒ වෙනස හොඳින්ම හඳුනා ගත්තාය.

” අද නං හරි සතුටින් වගේ ? ” 

” අම්මට ඒක තේරුනාද ? ” 

” නැත්තම්. මං ඔයාගේ අම්මනේ ධීර. ඔයාගේ පොඩි වෙනසක් උනත් මට දැනෙනවා ” 

ධීර ජයමිණි ගේ අත තදින් අල්ලාගෙන නිවස තුළට ගොඩ වූයේය.

” ඉතින් කියන්නකෝ අද මොකද මෙච්චර සතුටෙන් කියලා ? ” 

” මං සතුටින් ඉන්නෙ තාදී නිසා අම්මා ” 

” ඉතිං තාදී නිසා ඔයා වෙනදටත් සතුටින් නේ හිටියේ ” 

ධීර සෝෆාවෙන් වාඩි වූ අතර ජයමිණි ද ඔහු අසලින් වාඩි වූවාය. අනතුරුව ධීර මුදා හලේ දිගු , එහෙත් සතුටුදායක සුසුමකි. එහි වූයේ විශාල ජයග්‍රහණයක් ලැබූවා වැනි හැඟීමකි.

” අම්මා දන්නවද , මීට පස්සේ කාටවත් බෑ තාදී ට අපහාස කරන්න. එයාට කවුරුත් නෑ කියලා , එයා අනාත කෙල්ලෙක් කියලා , ආතක් පාතක් නෑ කියලා එයාට අපහාස කරන්න කාටවත් බෑ මීට පස්සේ. විශේෂයෙන්ම තාත්තට ” 

ජයමිණි කිසිවක් නොකීවාය. වසන්ත රූපසිංහ මුණ ගැසීමට ගිය බව හෝ ජයමිණි ධීර ට කියන්නට ගියේ නැත. එය ඔහුගේ මේ මොහොතේ සතුට නැතිකර දමන බව ජයමිණි දැන් හුන් නිසාය.

” දැන් තාදී ගේ ජීවිතය සම්පූර්ණයි අම්මා. මට තියෙන ලොකුම සතුට ඒක. කාටවත් කරදරයක් නොවී ජීවත් උනාට එයාට එහෙම ජීවිතයක් ලැබෙන්න ඕනේ. ” 

” ඔයා මොනා ගැනද පුතා මේ කියන්නේ ? ” 

” අම්ම දන්නවද අද මොකද්ද උනේ කියලා ? ” 

ධීර කුඩා දරුවෙකු සේ සතුටින් ජයමිණි දෙසට හැරුනේය. ජයමිණි ට සිහිපත් වූයේ කුඩා කල පාසල් ගොස් නිවසට පැමිණෙන ධීර මේ ආකාරයටම මේ සෝෆාව මත වාඩි වී පාසලේදී සිදු වූ සිදුවීම් සියල්ලම තමා ඉදිරියේ දිග හරින ආකාරය ය.

” අපිට තාදී ගේ අම්මව හම්බවුණා ” 

ධීර ඒ සතුටුදායක ආරංචිය ජයමිණි ට කීවේය.ජයමිණි ට ඒ ආරංචියේ අදහාගත නොහැකි වුවත් ඇය හදවතින්ම සතුටු වූවාය.තාදී යනු ගුණ යහපත් යුවතියකි. ඇය කිසිවෙකුටත් අවැඩක් කිරීමට සිතන්නේවත් නැත. එහෙයින් ඇයට ජීවිතයේ කෙනෙකුට ලැබිය යුතු දේවල් ලැබිය යුතුමය.

” මොනවා ? ඒ කොහොමද ? ” 

ෂෙරීන් තාදීව සොයා ගෙන සෙවනට ගොස් තිබූ  ආකාරයත් , ඇය ලබාදුන් දුරකථන අංකය ඔස්සේ තාදී ඇයව ඇමතූ ආකාරයත් අනතුරුව තමා සහ තාදී ෂෙරීන් ව මුණ ගැසෙන්නට ගිය ආකාරයත් ධීර විස්තර කළේ සතුටිනි.

” අම්මා දන්නවද , තාදී එයා ගේ අම්ම වගේමයි. හරිම ලස්සනයි. ඒ විතරක් නෙමෙයි ඒ අම්මා හරිම කරුණාවන්තයි. හරියට ඔයා වගේ අම්මා ” 

ධීර ජයමිණි සමගින් සතුට බෙදා ගත්තේය. ඇත්තටම ජයමිණි උන්නේද සැබෑම සතුටකිනි.දැන් බොහෝ ගැටලු වලට විසඳුම් ලැබෙන බව ඇය සිතුවාය.

වසන්ත උන්නේ දෙවන මහලේ තරප්පු පේළිය පටන් ගන්නා තැන සිට ජයමිණි ගේත් ධීර ගේත් කතාවට සවන් දීගෙනය . ඔහු පහත මාලයට යන්නට ආවේ ධීර ගේ වාහනයේ හඬ ඇසීය. ඒ විනාඩි පහකටත් පමණ පෙරය. වසන්ත පහළට බසින්නට තරපු පේළියට තැබූ පියවර නැවත පසු පසට ගත්තේ ධීර තාදී ගැන යමක් කියනවා ඇසුණු නිසාය. ඇසුණු විස්තර වලට අනුව දැන් කිසි සේත්ම තාදීට අකමැති වීමට තමාට හේතුවක් නැත. එහෙත් මෙතැන ඊට වඩා ගැටලුවක් ද ඇත.

” ජයමිණි ආවේ නැත්තේ ඇයි වසන්ත ? ” 

රූපසිංහ සන්ධ්‍යාවේ දී තමා ගෙන් ඇසුවේ මෙවැනි ගමනකට ජයමිණි අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු නිසාය. එහෙත් ප්‍රථම වරට ජයමිණි තමා සමග ගමනකට සහභාගී වීම ප්‍රතික්ෂේප කරමින් නිවසේ නතර වූ අයුරු රූපසිංහට කියා ගත නොහැකි නිසා වසන්ත අසරණ වූයේ වූයේය.

” එයාට ටිකක් සනීප නෑ රූපේ. මං කිව්වා ඔන්න ඔහේ ගෙදරට වෙලා ඉන්න කියලා ” 

” ආ එහෙමද ? එහෙනම් එන්නකෝ ඇතුලට ” 

මිෂෙල් සහ රමණී ද බලා උන්නේ වසන්ත පැමිණෙන තුරුය. රූපසිංහ ද ඉතා බලාපොරොත්තු සහගතව විවාහය පිළිබඳව ඔහු තුළ තිබූ බොහෝ සැලසුම් පිළිබඳව කතාබහ කළ අතර මිෂෙල් සහ රමණී ද එක්ව අඩු වැඩිය එකතු කළෝය. වසන්ත උන්නේ හිත යටින් නොසන්සුන් වී වුවත් ඔහු තමාගේ සිතැඟි ද ඉදිරිපත් කළ අතර සිදුවන්නට යන විවාහය පිළිබඳව රූපසිංහ පවුල මෙන්ම බොහෝ බලාපොරොත්තු වසන්ත ද ඇති කර ගත්තේය. 

වසන්ත උන්නේ අසරණ හැඟීමකිනි. ඇත්තටම තාදී යනු මිෂෙල්ට වඩා දස ගුණයකින් යහපත් ගතිගුණ ඇති යුවතියකි. ඇය සතුව ඇත්තේ ඇය දුක් මහන්සියෙන් හරි හම්බ කර ගත් මුදල්ය. ධීර ජයමිණි ට පැවසූ ආකාරයට තාදී ගේ මවද ව්‍යාපාරික කාන්තාවකි. දැන් තමාට මේ විවාහයට අකමැති වීමට ඇති එකම හේතුව නම් රූපසිංහ ට වූ පොරොන්දුවය.

වසන්ත සුසුමක් හෙලා කාමරයට ගොස් ඇඳට වැටුනේ පරාජිත හැඟීමකිනි. පියෙකු වශයෙන් තමා මේ මොහොතේ තෝරා ගත යුත්තේ තම එකම පුතු ගේ සතුටය. එහෙත් තමන් විසින්ම දුර දිග නොබලා ගත් තීරණයක් දැන් එයට හරස් වෙමින් පවතී. 

මිෂෙල් රෑ කෑම මේසයට වාඩි වුයේ පසුගිය දින දෙක තුළ හරි හැටි කෑමක් නොගත් නිසාය. ඇය උන්නේ සතුටෙන් ඉපිලෙමිනි. විවාහය පිළිබඳ බොහෝ තොරතුරු සාකච්ඡා කරගෙන අවසන් නිසා මිෂෙල්ට දැනෙමින් තිබුනේ ජයග්‍රාහී හැඟීමකි.

” දැන් ඉතින් අර නොකා හිටපු දවස් දෙකට හරියන්න හරියට කන්න මිෂෙල් ” 

රූපසිංහ කීවේ ව්‍යංජන බෙදා ගන්නා අතරේය. දැන් තම දියණියගේ විවාහයට කිසිදු බාධාවක් නැත යන හැඟීම රූපසිංහ ට ගෙන ආවේ සතුටකි.තමාට පොරොන්දු වූ ආකාරයට තම දියණිය ඇය අතින් වූ සියලු වැරදි නිවැරදි කරමින් ඉදිරියට ජීවත් වනු ඇත. තමාට ඇත්තේ ඇය කැමති ආකාරයට මෙම විවාහය කර දීම පමණි. 

” අර තාදිට නම් හොඳම වැඩේ. හිතුවා මදි මාත් එක්ක හැප්පෙන්න  ” 

මිෂෙල් හිත තුළ පැන නැගුණු කෝපය යටපත් කර ගෙන කීවාය. රූපසිංහ මිෂෙල් දෙස බැලුවේ කෝපයෙනි.

” අනේ මේ මිෂෙල්.දැන්වත් ඕක නවත්ත ගන්නවා. දැන්වත් මගේ මූණෙ දැලි ගාන එක නවත්තල හැදෙන්න බලනවා. ඒ කෙල්ල ගේ ප්‍රශ්නෙ වසන්ත බලා ගනියි.ඔයා ඒකට මැදිහත් වෙන්න යන්න එපා. මෙච්චර හරියක් කරලා හිරෙත් ගිහින් ආවට පස්සේත් වසන්ත මේකට කැමති වෙච්ච එක ගැනම ඔයා සතුටු වෙන්න. වසන්තට සල්ලි තිබ්බට මොළේ නැති නිසාම හොඳයි ඉතින් ” 

රූපසිංහ කීවේ තදිනි. තැටිය රත් වූ වෙලාවේ තමා රොටිය පුච්චා ගත යුතුය. 

” එකම දේ කියලා මේ ළමයට බැන්නා කියලා කිසි දෙයක් වෙන්නෑනෙ රූපේ. අපි ඉස්සරහට කරන්න පුළුවන් මොනාද කියලා බලමු. වසන්ත එක්ක කතා කර ගත්තා වගේ මේ වෙඩින් එක අපි පුළුවන් හොඳම විදිහට කරමු.මොකෝ අපිට කියලා ළමයි දහයක් දොළහක් නෑ නේ ” 

රමණී කීවේ මිෂෙල්ගේ හිත රිදී ඇති බව ඇගේ මුහුණෙන් දුටු නිසාය. විදෙස් රටක අධ්‍යාපනය ලබන්නට ගොස් ලැබුණු නිදහස ඇය අයුතු විදිහට ප්‍රයෝජනයට ගත් බව දෙමව්පියන්ට රහසක් නොවේ. එහෙත් දිගින් දිගටම ඇයට එලෙස ජීවත් වීමට ඉඩ හැරිය යුතු ද නොවේ. ඒ නිසා විවාහයක් කරදී ඇයට පිළිවෙල වූ ජීවිතයක් ලබා දීම රමණිගේ මෙන්ම රූපසිංහගේ ද විශාලම බලාපොරොත්තුව විය. 

ජයමිණි උදෑසන අවදි වී මුළුතැන්ගෙයට ගොස් තේ එකක් සූදානම් කරගෙන නැවත කාමරයට පැමිණියේ වසන්ත පෙර දින රාත්‍රියේ ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කළ නිසාය. උදෑසන අට වී තිබියදීත් වසන්ත අවදි නොවූ නිසා තේ එක කණ්ණාඩි මේසය මතින් තැබූ ජයමිණි වසන්තව අවදි කරන්නට සිතා ගෙන ඔහුට යන්තමින් තට්ටුවක් දැම්මාය.

” වසන්ත ” 

තෙවරක් පමණ තට්ටු කළද වසන්ත වෙනදා මෙන් අවදි වූයේ නැත. ජයමිණි උවමනාවෙන් ඔහුගේ සිරුරට අත තබා බැලුවාය. එය අයිස් කඳක් මෙන් සීතල වී තිබුණි.

” අනේ ධීර ” 

ජයමිණි ගේ විලාපය මුළු නිවසටම ඇසුනත් වසන්ත සෙලවුණේ හෝ නැත.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here