නූපුර හා ජිතේන්ද්‍ර අතරෙහි අපූරු සම්බන්ධයක් ගොඩනැගෙමින් තිබිණ. කිශෝරි ව නම් ඉඳහිට අන්තරා හමුවන්නට මගට ආ වෙලාවක හමු වී කතා බහ කර ඇති නූපුර, මේ සිය සීයාව සජීවී ව හමු වූ ප්‍රථම වතාවයි. දක්ෂිණ ගේ පියා කාලයකට පෙර මිය ගොස් තිබුණෙන්, නූපුර ට සීයා කෙනෙකු ගේ ඇසුර ලැබුණේ ම නැත. ජිතේන්ද්‍ර ට ද මීට පෙර මුණුපුරෙකු සිටියේ නැත. අන්තරා ගේ නමට ගෙදර ලියා දී දක්ෂිණ නීතියෙන් වෙන් වී ගියාට පසු වුව ජිතේන්ද්‍ර දක්ෂිණ ගේ ගෙදරට ගොඩ වූයේ නැත. නමුත් මුණුපුරා විදේශයෙහි සිට සැත්කමක් සිදු කොට මව්රට පැමිණි දිනයේ ම ඔහු එහි ආවේ ය. ඉන්පසු හැම උදයකමත් හවසකමත්, නූපුර බලන්නට ජිතේන්ද්‍ර එහි පැමිණියේ ය.
සීයා කියන්නේ තාත්තා වාගේ කෙනෙකු නොවේ. තාත්තෙකු සිය දරුවන් කෙරේ දක්වන්නා වූ ප්‍රතිපත්ති හා ආකල්ප, ඔහු ගේ දරුවන් පියවරුන් හෝ මව්වරුන් වී ඔවුන් සීයලා වූ වහා ම වෙනස් වේ. දරුවන්ට ආදරය නො පෙන්වූ ඔවුහු, මුණුපුරන්ට මිණිපිරියන්ට ලෝකයට ම පේන්නට ආදරය කරන්නට ගනිති. මිතුරන් ලෙස ඔවුන්ට කෙතරම් සමීප වන්නේ ද යත්, වැඩිවිය එළඹෙණ මුණුපුරු මිණිපිරියන්ට, සිය ජීවිත වල තුරුණු අතීතය ගැන දරුවන්ට නොකී බොහෝ රහස් පවා හෙළිදරව් කරති. සීයලා ගේ අනාගතයේ ප්‍රමුඛ බලාපොරොත්තුව සිය මුණුපුරු මිණිපිරියෝ වෙති.
නූපුර හමුවන්නට පෙර ජිතේන්ද්‍ර ගේ ජීවිතයට විවර වී නො තිබි ඒ ද්වාරය, ඔහු ගේ මේ සුවිශේෂ ආගමනයත් සමග විවර විය. දෙන්නා ට කතා කරන්නට ඕනෑ තරම් මාතෘකා තිබිණි. සම වයස් මිතුරන් දෙදෙනෙකුට සේ ය. ජිතේන්ද්‍ර ගේ සංගීත දිවියේ රස මුසු ඕපාදූප දැනගන්නට නූපුර කුහුල් සහගත විය. ඔස්ට්‍රේලියාවේ ජන ජීවිතය ගැන ද නව පරපුරේ තරුණයන් ගේ ඔහු ට නො තේරෙන ඇතුලු පැතිකඩ ගැන ද දැනගන්නට ජිතේන්ද්‍ර නො ඉවසිලිමත් වූයේ ය. සීයාත් මුණුපුරාත් කතා කරමින් සිටින විට ගෙදර යන්නට ද ජිතේන්ද්‍ර ට අමතක වේ.
“අප්පච්චි ඔහෙද ධාරා…”
කියා එතකොට දුරකතන ඇමතුමක් දී අසන්නට කිශෝරි ට සිදු වේ.
“ඔව් අම්ම. ඔය පුතා එක්ක කියෝ කියෝ ඉන්නෙ”
“රෑ වෙන්න කලින් එවන්න ධාරා. වාහන වල හෙඩ් ලයිට්ස් වලට දැන් එයාට පේනවත් අඩු වෙනව. එක්කො රෑ වෙනවනං මටත් ඔහෙට එන්න කියන්නෙපැයි”
අම්මා ගේ නෝක්කාඩුවෙහි වන්නේ රෑට අප්පච්චි රිය ධාවනය කිරීම ගැන නො කැමැත්තට වඩා, ඇයවත් මෙහි නො කැඳවීම බව අන්තරා දනී. කෙසේ වෙතත් කිසි දාක නොවූ විරූ සැහැල්ලුවක් දැන් ඇයට දැනේ. පවුලක් ලෙස මේ විදිහට එක් වී සිටීම කියන්නේ මොන තරම් හයියක් දැයි ඇය දනී.
ලංකාව තුළදී ද නූපුර ව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කොට අවශ්‍ය උපදෙස් හා අදහස් ලබා ගැනීම නිසා තවදුරටත් ඔවුන්ගේ හදවත් වල පැටවී තිබූ බර හා ඇවිලෙමින් තිබූ ගින්දර නිවී ගියේ ය. සීයා හා මුණුපුරා එක්ව ඇවිදින්නට ගමන් යොදාගත්තේ ඉනික්බිතියි. මේ ගැන අන්තරා තරමක් පසුබෑවෙන් යුගාත්ම ට මැදිහත් වෙන්නට සිදු විය. ඒ නූපුර ගේ පෙළඹවීම මත ය.
“එහෙම අමාරුවක් මට දැන් නෑ යුගාත්ම අංකල්. එහෙනං පැය ගාණක් ෆ්ලයි කළේ… අම්මට පොඩ්ඩක් තේරුං කරල දෙන්නකො”
යුගාත්ම ගේ මුහුණේ ඇඳුනේ සාවඥ සිනහවකි. නූපුර ට එහි අරුත් වැටහුණේ නැත.
“උඹලගෙ අම්ම ඇවිත් කවුරුවත් කියන දෙයක් අහන ගෑනියෙක්ද බං කොල්ලො. එයා මොකද්ද කියන්නෙ ඒක තමයි හරි. අපි නිකං දෙකයි පණහෙ සිල්ලර කෑලි වගේ එයා ළඟදි”
නූපුර හඬ නගා සිනහ වූයේ ය. එහෙම සිනහ වෙත්දී හිසේ තුවාලය තරමක් රිදුණත්, මේ සතුට අස ඒ කුඩා රිදුම් අමතක කරන්නට බැරි නැත.
“ඔයා ඉන්නෙත් එහෙම තැනකද…”
“මං මොකද… දෙයියන්නාන්සෙ ආවත් එහෙම තමයි. බලමුකො පොඩ්ඩක් ට්‍රයි කරල හොඳේ. හැබැයි මට වැඩේ ගොඩදාල දෙනවමයි කියල පොරොන්දු වෙන්න බෑ. සීයට මොනාද එයා කියල තියෙන්නෙ…”
“සීයට කිව්වලු අප්පච්චිට එක කොල්ලෙක්වත් නෑනෙ… මට ඉන්නෙත් එක කොල්ලයි. මගෙ කොල්ලව මං පරිස්සං කරගන්න ඕනෙ කියල”
“එහෙනං ඉතිං මට මොනා නොකියයිද…”
“යුගාත්ම අංකල් පොඩ්ඩක් ට්‍රයි කරල බලන්නකො”
නූපුර ලංකාවට පැමිණියාට පස්සේ ම අන්තරාව ඔහු ට තනිව හමු වූයේ නැත. යුගාත්ම නිතර එහි ආවේ ගියේ ය. දැන් දැන් ඔහු පවුලේ කෙනෙකු ම වී හිඳී. බොහෝ විට ඔහු ගේ කෑම වේල් අන්තරා ගේ ගෙදරින් පිරිමැසේ. බඩගිනියි කියාගෙන එන්නට තැනක් දැන් ඔහු ට වේ. කොහොමටත් ගෙදර ඉහුම් පිහුම් වලදී යුගාත්ම ද අන්තරා ගේ හිතේ ඉඳී. ජිතේන්ද්‍ර වැඩිපුර රෑ කෑම කන්නේ අන්තරා ගේ ගෙදරිනි. සමහර දිනෙක කිශෝරි ද විත් ජිතේන්ද්‍ර සමග ගෙදර යයි. නැතහොත් අන්තරා අම්මා ගේ කෑම පංගුව බෙදා ජිතේන්ද්‍ර අතේ යවයි. යුගාත්ම වැඩිපුර කන්නට කැමති දේවල්, අන්තරා හඳුනාගෙන හිඳී. ඔහු වඩාත් කැමති අහරක් පිසිත්දී හදවතෙහි අමුතු හැඟීමක් වන බව දැන් ඇයට දැනේ. එහෙම දෙයක් ඔහු ට නොදී කන්නට හිත් නොදෙන බැඳීමක් ඇති වෙමින් පවත්නා බව ඇයට දැනේ. ඔහු දකින්නට දැන් දැන් ඇගේ ඇස් වල ප්‍රාර්ථනීය ආශාවක් වන බව අන්තරා හඳුනාගනිමින් හිඳී. යුගාත්ම එන ගමන් නූපුර ටය කියා මොනවා හෝ විශේෂිත කෑමක් ගෙන එයි. නමුත් එහි අන්තරා වෙනුවෙන් ද අන්වාර්යෙන් කොටසක් වෙයි. ඒ බැඳීම එහෙම සවිමත් පදනමක් සහිතව ඉදි වෙමින් තිබිණ. ඔවුන් වෙනුවෙන් ඔවුන් ගේ හදවත් වල පුදුම තමන්ගේ හැඟීමක් ධමනි හා ශිරා ද ඉසියුම් කේෂණාලිකා ද ඔස්සේ පොම්ප කරමින් තිබිණ.
“චුට්ටක් ඉඳගන්නකො”
එදා දවල් කෑම වෙලාවේ අතුරුපසක් ද ගෙන අන්තරාගේ ගෙදරට ආ යුගාත්ම, මුළුතැන්ගෙයි කෑම මේසයට හිඳගත්තේ එහෙම කියමිනි. අන්තරා ගේ දෑස් ගෙතුළට යොමු වන කොරිඩෝරය වෙතට පා වී ගියේ ය.
“පුතා හිටියට කමක්නෑ අනේ”
යුගාත්ම ඇගේ අතක මැණික් කටුව ළඟින් අල්වා අන්තරා ව පුටුවෙහි වාඩි කරවූයේ ය. ඇය රෝස මලක් සේ රෝස පාට වූවා ය.
“ළමයත් එක්ක චුට්ටක් එළියට ගිහින් එමු ඉතිං. කොල්ලට ආච්චිල සීයල එක්ක වුණත් සෙට් වෙන්න මීට කලින් චාන්ස් එකක් ලැබිල නෑනෙ”
“අනේ මට බයයි යුගාත්ම. පුතාට තාම හොඳටම සනීප නෑනෙ. අනික මේක සෙල්ලං සර්ජරි එකක් නෙවෙයිනෙ”
“සෙල්ලමට කවුද අනේ සර්ජරි කරන්නෙ… එහෙම නෙවෙයි… අපිට ඩොක්ටර් කිව්වනෙ දැන් රිස්ක් එකක් නෑ කියල”
“ඔයාව අපේ අප්පච්චි නේද උසිගන්නල මං ළඟට එව්වෙ…”
“ඔයා හිතන්නෙ උසිගන්නන්න මං සුනඛ කුළේ කියලද…”
යුගාත්ම හඬ නගා සිනහ වූයේ ය. ඒ සිනහවෙන් වශීකෘතව, ඇය දෑස් නො පියවා ඔහු දෙස බලා සිටින්නට වූවා ය.
“කණ්ණාඩියක් තිබුණනං මෙතන… මං ඔයාට පෙන්නනව”
සිනහව තුනීව යත්දී, ඔහු එසේ කීවේ බරැති ආදර සරකිනි.
“මොනාද…”
“ඔයාගෙ ඇස්”
“ඇයි…”
“එහෙනං… දැන් ඒවයෙ පිරිල තියෙන්නෙ ආදරේ කියල ඔයත් දකියි”
අන්තරා දෑස් පියන් පහළට බරකළා ය.
“මට ලෝබ හිතෙනව මේ ගත වෙන කාලෙ ගැන. මොනා වුණත් අපි දැන් විසි ගණන්වල පොඩි උන් නෙවෙයිනෙ”
“කාල ඉන්න ඉතිං”
අන්තරා ගේ හඬ තානයෙහි වූයේ නූපුර ට කතා කරනා අප්‍රමාණ ආදරයයි. සිය සිරුරෙහි කොටසක් වූ, සිය හදවතෙහි කොටසක් වූ, සිය ආත්මයෙහි කොටසක් වූ කෙනෙකු අමතත්දී ඇගේ හඬ නිරායාසයෙන් එපරිදි වේ. යුගාත්ම ගේ මුවග සිනහවක් නැඟිණ. ඉතා හෙමිහිට ඔහු ඇගේ අතක් අල්වාගත්තේ ය. අන්තරා තිගැස්සී හැරී බැලුවා ය.
“නූපුර මට කැමති නැතිවෙයි වගේද…”
ඈ ඔහු ගේ අතටත් හොරෙන් ඇගේ අත මුදාගත්තා ය. ඊලඟට මේසය මතට හිස බර කොට, ඇගේ කොපුලක් ඔහු ගේ අත්ල මතින් තැබුවා ය. යුගාත්ම ට දැනුණේ ඔහු ගේ අත්ල මතට මොහොතකට සුමුදු නාමලක් පතිත වූවා මෙනි.
“එයා කැමතියි ඔයා අපේ වෙනවට. එයා ඒක මට කිව්ව”
අන්තරා ගේ ඇසින් ගිලිහුන කඳුලක් යුගාත්ම ගේ අත්ල මත සීතල ගින්දරක් ඇති කළේ ය. එක මොහොතකට විශ්වය නතර විය. කුරුල්ලෙකු කෑගසන හඬකුදු නැගුණේ නැත. ඔහු එහෙමම පහත් වී ඒ මල් පෙති කොපුල මත සිය දෙතොල් තද කළේ ය. අන්තරා ගේ නෙතු පියවෙන සුවයක් දැනිණ.