ඉඳුදුන්න -21

“මං හිතන්නේ ෂෙරිල්ගෙ ඊළඟ උගුල තමයි උඹ..”

පෙරදා රාත්‍රියේ ෂෙරිල්ගෙන් ලද ඇමතුම ගැන කියද්දී සිතිජ පැවසුවේ හිනැහෙමිනි.ෂෙරිල්ගේ තාවකාලික සහකාරයෙකු වීම අවස්ථා හිමි කරගැනීමක් ද අහිමි කරගැනීමක් දැයි ඉඳුවර සිතන්නට ගත්තේ ය.ඇය පැමිණෙන පොට ඔහුට නොවැටහුණා නොවේ.

“ෂෙරිල්ගෙ උගුලෙ වැටුණොත් ඔක්කොම ඉවරයි පුතේ.අර ඇමති පුතා පවා නැත්තටම නැති වුණා.පංකජගෙ ක්‍රිකට් ගැහිල්ල ඉවරෙටම ඉවරයි.උඹත් ලොකුවටම නාගන්නව ඕකෙන්..”

සිතිජ වැඩිදුරටත් කියවන්නට ගත්තේ ය.ඔහු එසේ කියන්නේ එකම නාලිකාවක තරු වී හිඳිද්දී නාලිකා ප්‍රධානියාගේ දියණිය තමන්ට ආකර්ෂණය වූ නිසාදැයි ඉඳුවර සිතී ය.

“දුව නාගෙන විකාර කරගන්න බව ලොක්ක දන්නව.මෑන් ෂෙරිල්ව පළාතට වද්දා ගන්න අකමැති ඒකයි..”

ඉඳුවර ඒ ආරංචිය නොදැන හුන්නේ ය.නමුත් ඔහු බොහෝ දෑ දැන ගත්තේ ඉක්මනින් ය.

“ඉඳුවර, මිස්ට වික්‍රමබාහුට ඔයාව මීට් වෙන්න ඕනලු.හෙට නවයයි තිහ වෙනකොට චැනල් එකට එන්න.” නාලිකා ප්‍රධානියාගේ පෞද්ගලික ලේකම්ගේ ඇමතුම ආවේ ටෙලි නාට්‍යය රූගත කිරීම් අහවර වූ හැටියේ ය.ඉඳුවර එය සිතිජට පැවසුවේ ය.

“ෂෙරිල් මීට් වෙන්න දවස් කීයක් ගියාද උඹ?”

සිතිජ අසන්නේ උස් හඬින් හිනා වෙන අතර ය.එකම එක දිනයක් ඈ හා රාත්‍රී ආහාර ගන්නට තරු පන්තියේ හෝටලයකට ගිය බව ඉඳුවර හෙළි කළේ ය.

“එහෙ නැවතුණා?”

“පිස්සුද බං..ෂෙරිල්ගෙ අයිඩියා එකක් තිබ්බා වගේ තේරුණා.ඒත් මං ආව.
ඇත්තටම මට එදා රෑ රෙකෝඩින් එකකුත් තිබ්බා..”

ඉඳුවර පැවසුවේ කරදකාරී හඬකිනි.

“මට නම් පෙරහැර පටන් අරන් කියල තේරිලා තියෙන්නෙ.කස කාරයො යන්න අරන්.තරිඳි ඩ්‍රාමා එකේ චාටර් වෙන්න අරන් කියල හිතෙන් නැද්ද?”

ඉඳුවර නැවත ඒ ගැන සිතුවේ නාලිකා ප්‍රධානියා මුණ ගැසෙන්නට යන ගමනේ දී ය.තරිඳි ටෙලි නාට්‍යයට පැමිණියේ තමන්ගේ පෙම්වතිය වන්නට වග ඔහු දැන සිටියේ ය.නමුත් දැන් පිටපත ලියැවෙන්නේ ඈ සිතිජගේ ප්‍රේමය පතමින් ඔහු පසුපස යන අන්දමට ය.යූ ටියුබ් වෙත නිකුත් කෙරෙන ටෙලි නාට්‍ය කොටස් හැම එකකම පාහේ මිනිසුන් දෙස්දෙවොල් තබන්නේ චරිතයට නොවේ.තරිඳිට ය.

“ඉඳුවර, වාඩි වෙන්න.මට ඉඳුවර එක්ක බොහොම වැදගත් කතාවක් තියෙනවා..”

නාලිකා ප්‍රධානි බන්දුල රණබාහු පැවසුවේ සුහද ලීලාවෙනි.ඔහු කොහොමටත් නාලිකාවේ සුළු සේවකයාට පවා ඉතා කාරුණික සහ මිත්‍රශීලි බව මාධ්‍ය ලෝකය පුරා ප්‍රචලිත කතාවකි. “මාකටිං ට්‍රික්ස් බං..” වැඩසටහන් අධ්‍යක්ෂක වරයෙකු ඒ ගැන ඉඳුවරට කීවේ එහෙම ය.

“ඉඳුවර, ඔයා මේ චැනල් එකට විතරක් නෙවෙයි.කලාවටත් වටින මනුස්සයෙක්. ඉඳුවරට ඉහළට යන්න හදලා දෙන වැඩේට මං හැම දෙයක්ම කරන්නෙ බොහොම පරිස්සමින්.ඉඳුවර ඒ සමහර දේවල් ප්‍රතික්ෂේප කරනවට මට හේතු දැන ගන්න අවශ්‍යයි..”

ප්‍රතික්ෂේප වූයේ මොනවාදැයි ඉඳුවර සිතන්නට ගත්තේ ය.රඟපාන්නට ආරාධනා ලද දිනයේ එය වහා ප්‍රතික්ෂේප කරන්නට ඔහුට බල කළේ සරසවි මිතුරා වූ අධීෂ ය.නමුත් ඉඳුවර එය බාර ගත්තේ ය.අද වන තුරු ඔහු නාලිකාවේ එකම ආරාධනාවක්වත් පැහැර හැර නොමැත.

“තරිඳි එක්ක ඇක්ට් කරන්න ඉඳුවර අකමැති ඇයි?”

ඉඳුවර උඩගොස් බිම වැටිණ.සැබෑව ඔහු මේ වන විට ඈ කෙරෙහි තද ආකර්ෂණයකින් යුතු වීම ය.නමුත් ප්‍රධානියා අසන්නේ වෙනත් දෙයකි.

“මම තරිඳිට අකමැති නෑ සර්..”

ඔහු වචන ගලපා ගත්තේ ය.

“ශානු කියන්නේ තමරා කුමාරිගෙ දුව.එහෙව් නිළියෙක්ගෙ දුව වෙච්ච ශානු තමන්ට චාන්සස් හොයන්න එක එක ගේම් ගහන් නෑ කියලා මං දන්නවා. ඉඳුවර,මට අවසාන වතාවට කියන්න ඉඳුවර ස්ක්‍රිප්ට් එක චේන්ජ් කරන්න යුගාන්තට බලපෑම් කරේ නැද්ද?”

ඉඳුවර සෘජුව හිඳ ගත්තේ ය.තමන් කොතැනක හෝ පාවිච්චි වන ආකාරයකි. ඉන් මිදීමේ මඟ ඇත්තේ තමන්ට ය.

“සර්ට මගෙ ෆෝන් එක චෙක් කරන එක මහ දෙයක් නෙවෙයිනෙ.කම්පැනි එකට එක කෝල් එකක් දීලා කරන්න පුලුවන් වැඩක්නෙ.මං යුගාන්ත අයියා එක්ක කතා කරලා තියෙන්නේ වතාවක් දෙකක්..කේසර බිල්ඩ් අප් කරගන්න විතරයි..”

ප්‍රධානියා තම කාමරයේ ඔබමොබ ඇවිදිමින් මඳ වෙලාවක් ගෙවී ය.ඉන් අනතුරුව ඔහු ඉඳුවර දෙසට සෘජු බැල්මක් හෙළී ය.

“මේ චැනල් එකේ කවුරුහරි මේ දවස්වල ඉඳුවර කිට්ටුවන්ත වුණාද? තරිඳිලගෙ සීසන් එකේ කෙනෙක්..නැත්තං වෙන චැනල් එකක කෙනෙක්..”

උගුල ඇටවෙන ආකාරය ඉඳුවරට පැහැදිලි ය.ඔහු වහා සත්‍යය පවසන්නට තීරණය කළේ ය.

“තරිඳිගෙ ඇක්ටින් ගැන මගෙ මූණට අවුලක් කිව්වෙ එක්කෙනයි..”

“කවුද?”

“සර්ගෙ ලොකු දුව,ෂෙරිල්..”

ප්‍රධානියා පැමිණ ඉඳුවර අසලින් හිඳ ගත්තේ ය.ඇතැම්විට තාරකාවක වන සිහිනය මෙතැනම අවසන් කර දමා පිටවන්නට සිදු වන බව ඉඳුවර සිතී ය. ඔහුට මොකක්දෝ හේතුවකට අමන්දීගේ මුහුණ සිහිව ආවේ ය.

“ඉඳුවර..ඔයයි ෂෙරිලුයි අතර රිලේෂන්ශිප් එක දැන් කොච්චර දුර ගිය එකක්ද?”

ඒ ප්‍රශ්නය අසන්නේ තාත්තා කෙනෙක්දැයි ප්‍රධානියෙක්දැයි තීරණය කරන්නට ඉඳුවර මිනිත්තු කිහිපයක්ම වැය කළේ ය.මේ ප්‍රධානියාගේ හඬ ය.දියණියගේ හදවත පැහැර ගත් යෞවනයෙකුට අමතන තාත්තා කෙනෙකුගේ හඬක් නොවේ.

“කතා කරනව විතරයි.මට ඇත්තටම ෂෙරිල් ගැන හැඟීමක් නෑ සර්.සොරි..මං රිලේෂන්ශිප් එකක් ගැන හිතලා නෑ.හිතුවත් ෂෙරිල් ගැන හිතන්න බෑ සර්

බන්දුල වික්‍රමබාහු නැගී සිටියේ සැනසීම පිරුණු මුහුණකිනි.

“ඉඳුවර,මෙතැනින් එහා ප්‍රශ්නෙ අයිති මට.මං ඒක විසඳන්නම්.තමන්ගෙ ගමන හරියට යන්න.මගෙ කාටවත් ළං වෙලා ඉහළ යන්න බෑ කියල තේරුම් ගත්තට මං ඉඳුවරට ක්ලැප් කරනව..”

ඉඳුවර එතැනින් පිට වූයේ සැනසුමෙනි.සියල්ල යහපත්ව විසඳී අවසන් යැයි ඔහු සිතී ය.නමුත් ඔහු තමන්ට සතුරන් කිහිප දෙනෙක්ම නිර්මාණය කර ගනිමින් සිටි මොහොතක් ගෙවා දමමින් සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles