අරුමැති ආදරයක් – 7

0
2974

සොල්දර ගෙදර අලුත් වැඩියාවෙමින් තිබුණේ කඩිනමින්ය. නිශ්ශංකට මේ දිනවල වැඩ අධික වූයේත් එනිසාය. දෙවෙනියාගේ විවාහයට තිබුණේ තෙමසකටත් වඩා අඩු කාලයකි. ලේලිය රත්නපුරයේ වතු අයිතිකාරයෙකුගේ දුවකි. ඔහු වෙනුවෙන් සොල්දර ගෙදර ලබා දිය යුතු යැයි තීරණය කෙරුණේ හදිසියේය. ඉෂාර ඊට වඩාත් කැමති වූයේ විවාහයෙන් පසුව වෙනම ජීවත් වන්නට අදහසක් ඔහුගේ සිතෙහි වූ නිසාය. ඒ සියල්ලටම වඩා සොල්දර ගෙදර වැඩි වටිනාකමක් ඇතැයි ඔහු විශ්වාස කළේය. පසුගිය කාලය පුරාම අම්මාත් තාත්තාත් සොල්දර ගෙදර දිනා ගැනීම පිළිබඳව කතා කලේ මහත් වීරකමක් කල අයුරෙන්ය.

නිශ්ශංක අලුත් වැඩියා වෙමින් තිබූ නිවස වටා ඇවිදගියේ ආඩම්බරයෙන්ය. මේ නිවස හිමි කර ගත හැකි වෙතැයි විශ්වාසයක් ඔහුගේ සිතෙහි වූයේ නැත. මේ අදහස මුලින්ම ඔහුගේ සිතට ඇතුළු කළේ බිරිඳ නාලනීය. ඇය දුරදිග සිතා බලා වැඩ කරන ගැහැනියකි. මුලදී සොහොයුරා සමග සුහදව කතාකර යම් මුදලක් දී ඔවුන්ව පිටමන් කරන්නට සිතුවත් ඔහු ඒ පිළිවෙලට කැමති වූයේ නැත. ඔහු කියා සිටියේ නිවසෙහි වැඩි අයිතියක් ඔහුට හිමිවිය යුතු බවය. ඉඩම් නඩුවක් දක්වා දුරදිග ගියේ ඒ කතාබහය. විවාහයෙන් පසුව නිශ්ශංක පදිංචි වූ නිවස සාදද්දී සොහොයුරා ඊට ශ්‍රමයෙන් අන් සියල්ලන්ටම වඩා දායක වූ බව සැබෑය. එහෙත් අම්මාගෙන් තාත්තාගෙන් හෝ ඔහුගෙන් කියා නිශ්ශංකට ලැබුණු දෙයක් වූයේ නැත. ඒ ඉඩම් කෑල්ල මිලදී ගත්තේ ඔහු රැකියාවට ගොස්,  පසුව ලබාගත් ණය මුදලකින්ය. නාලනීගේ පාර්ශවයෙන් ඇයට දෑවැදි ලෙස මතුගම නිවසක්ද රබර් අක්කර කිහිපයක්ද ලැබිණ. දැනට පදිංචිව සිටින නිවස සෑදූයේ දෑවැදි ලෙස ලැබුණු ඒ නිවස විකුණා දැමුවාට පසුවය. එය මේ ගමේ වන අන් නිවාස වලට වඩා නවීන පෙනුමකින් හා වැඩි පහසුකම් වලින් යුක්ත වූවාය.

“ඔයාගේ පැත්තෙන් කියලා අපිට කිසිම උදව්වක් නැහැ..පියසිරි අයිය හරිි කපටියි. අන්තිමට මිනිහා ඔක්කොම භුක්ති විදින්න තියාගත්තා. සොල්දර ගෙදරයි ඔය ඉඩමයි තමයි මේ අහල ගම් හතකින්ම වටිනාකමෙන් වැඩිම තැන. අපේ අයියා දැක්ක ගමන් කිව්වා සුද්දෙක් දැක්කනං කෝටි ගානක් දීලා ගනියි කියලා”

නිශ්ශංකට ඒ බව පසක් වූයේ බිරිඳ නිරතුරුවම මැසිවිලි නඟද්දීය. ඉවසා බලා සිටියත් අම්මා නිවසේ වැවෙන එළවළුවක් පලතුරක් පලා වර්ගයක් සහෝදරයා අත එවනවා විනා ඉඩම බෙදා තමාට සාධාරණයක් ඉෂ්ට කරන පාටක් වූයේ නැත.

අවසන නිශ්ශංක අම්මා හමුවී ඒ පිළිබඳව කෙලින්ම ප්‍රශ්න කළේය.

“උඹ  දැන් ඉන්න හිටින්න තැනක් හදාගෙනනේ තියෙන්නේ. අයියට කිසි දෙයක් නෑ. ඌ උඹට ඉගැන්නුවා. කසාද කටයුතු කරලා දුන්නා..ඌට සාධාරණයක් ඉෂ්ට කරන්න එපැයි පොඩි පුතේ. ඌ මේ ත්‍රීවිල් එක දුවලා කීයක් හරි හොයාගෙන ජීවත් වෙන මිනිහා. ඒකෙන් ඒ හැටි දෙයක් හම්බවෙන්නෙත් නැහැනේ. මං ඉඩමෙන් කොටහක් උඹේ නමට ලියලා දෙන්නම්. මහ ගේ  අයියට දෙමු පුතේ. අර කෙල්ලෙක් එක්ක උන් පාරට බහින්නද..

නිශ්ශංක  එදින නිවසට පැමිණියේ කෝපයෙන්ය. කිසිදු සරුසාරත්වයක් නොවූ ඉඩම තමාට කුමක් කරන්නටදැයි ඔහු සිතුවේය. මඳක් පැරණි ස්වභාවයක් ඉසිළුවත්  සොල්දර ගෙදර වූ වටිනාකම වැඩිය. මුළු ඉඩමේම වටිනාම කොටස වූයේ නිවස ඉදිව ඇති ඒ කොටසයි.

“කෙල්ලන්ට මොකටද ගෙවල්. කෙල්ලෝ කවද හරි පිට තැනකට දීග යනවා. මාර මිනිස්සුනේ..ඕගොල්ලන්ගේ අම්මට තිබුණනේ අපි ගැනත් ඔය විදිහට හිතන්න. මෙතන ඉන්නේ කොල්ලොම තුන්දෙනෙක්. උන් තුන්දෙනාට ගෑනු ගේ ඉන්න තැන් තුනක් එපැයි..අනික ගෙවල් දොරවල් අයිති වෙන්න ඕනේ පවුලේ බාලයට. එකයි චාරිත්‍රය.”

අම්මා තමාත් අතර සිදුවූ සාකච්ඡාව පිළිබඳව පවසද්දී නාලනී පරල වූවාය. මෙතුවක්කල් භුක්ති වින්දාට කිසියම් මුදලක් දී සොහොයුරාව ඉවත් කිරීමේ යෝජනාව සම්මත වූයේ  ඉන් පසුවය. සොහොයුරන් දෙදෙනා අතර ඇති වූ ආරවුල් දුරදිග  ගියේ බොහෝ කල් ගතව යන්නට මත්තෙන්ය. අවසන නිශ්ශංක පෙරකදෝරු මහතෙකු හමු වන්නට ගියේය. මුලින්ම ඔහු ‘මහ ගෙදරට නඩු දානවා…’ යැයි යන ආරංචිය පැතිර වූයේ සොහොයුරාව බියවද්දන්නට සිතා ගෙනය. එහෙත් අපූර්වාගේ පියා  වංගුවේ කඩය අසලදී  එහෙනම් නඩු කියලා බලමු යනුවෙන් කට මැත දොඩවා තිබිණ. ඒ සොයුරා එසේ නොකරාවිය යන විශ්වාසයෙන්ය. ඊට පසුදාම අලුත්ගම උසාවියට ගොස් නිශ්ශංක සොහොයුරාට විරුද්ධව නඩු දැමුවේ ඔහු පිළිබඳව උපන් කෝපයෙන්ය.

නන්දසිරි එල්ලි මැරුණු කජුගස ඒ දින වලම කපා දැමුවත් නිශ්ශංක වැරදීමකින්වත් ඒ දෙසට නොයයි. ඔහු යළිත් නිවස ඉදිරිපසට පැමිණියේ ඒ පෙදෙස මඟ හරිමින්ය. අදටත්  ගමේ මිනිසුන් තමාට බැණ වදින බව ඔහු දැන සිටියත් ඔහු ඒවා තුට්ටුවකටවත් මායිම් කලේ නැත. ඒවා අසන්නට ගම්මුන් හා පයුරු පාසානම් පවත්වන්නටද නොගියාය.

“අපි උන්ගෙන් කාල ඇඳලා ජීවත් වෙන්නෙත් නෑ. උන්ට කන්න අඳින්න දෙන්න යන්නෙත් නෑ..”

ඔහු නිරතුරුවම එසේ පවසයි..ඒ නාලනීගේ වදන්ය.

“නිශ්ශංක මහත්තයා…සෑහෙන්න වෙහෙසක් ගන්න වෙනවා අපිට මේ ගෙදර මනුස්ස වාසයක් බවට පත් පත් කරගන්න..අවුරුදු විස්සකින් තිහකින් කිසිම අළුත් වැඩියාවක් කෙරිලා නෑ..අලුත් ජෝඩුවක් නේ පදිංචියට එන්නේ”

කොන්ත්‍රාත්තුව බාරගෙන උන් මාතර ප්‍රදේශයේ පුද්ගලයා නිශ්ශංක ඉදිරි පිටට පැමිණ පැවසූයේ උඩුමහල දෙස බලාගෙනය. ඔහු පවසන්නේ අසත්‍යයක් නොවේ. නිවස පසුපස කොටස සම්පූර්ණයෙන්ම ගරා වැටී තිබිණ. සොහොයුරා ඉන්නං වාලේ උන්නාට මේවායේ වටිනාකම දැන සිටි පුද්ගලයකු නොවේයැයි නිශ්ශංක සිතුවේ කෝපයෙන්ය.

“අර කාලකන්ණි  මිනිහා මේ කිසිම දේකින් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව නිස්කාරණේ මැරිල ගියා..මේක සල්ලි උපද්දවන්න තිබුනු උල්පතක්..මොන අලුත් වැඩියාවක්ද. ඕකට මේ ගෙදර හුනු ටිකක් ගා ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ..”

එවර නිශ්ශංක පැවසූයේ සිය හඬ මදක් බාල කරමින්ය. 

“මේක හෝටලයක් හදන්න නම් කියාපු තැන මහත්තයා. මේ පැත්තෙන් රබර් යාය. අනිත් පැත්තෙන් කඳු පල්ලම..ඈතට වෙනකන් එක සීරුවට පේනවා..ඔය වත්තේ මැද්දෙන් ගලාගෙන යන දොළ තියෙනවනේ ඕක නිකම්ම ස්වභාවික නාන තටාකයක් විදිහට හදන්න පුළුවන්..සුද්දෝ මේ වගේ තැන් වලට හරි කැමතියි. පාර අයින ගමන් බිමන් වලිනුත් කරදරයක් නෑනේ…විලා දෙක තුනක් ගහගන්න සල්ලි තිබුණනම් ආයේ ලක්ෂෙට කොඩිය දාන්න තිබුණ⁣”

මේ අදහස මේ අයුරින්ම ඉෂාරත් පවසනු නිශ්ශංකට ඇසී තිබිණ. ඔහුත් බිරිඳත් ඉෂාරට සොල්දර  ගෙදර ලබා  දෙන්නට තීරණය කළේත් එනිසාය. යම් දෙයක් ලැබිය යුත්තේ ඉන් ප්‍රයෝජනයක් ගත හැකි අයෙකුටය.

                                *************************

යුගාෂ් තමාරාව සොයාගෙන පහත මාලයට පැමිණියේ හෝරාවක් පමණ එක සීරුවට කල්පනා කරමින් සිටියාට පසුවය.  යුවතිය වෙනුවෙන් යමක් කළ යුතු යැයි යන සිතුවිල්ල ඔහුගේ සිතට වද දෙමින් තිබිණ. ඔහුට තිබුණේත් තමාරාගේ පරාර්ථකාමී සිතුවිලිය. කිසිවෙකුගේ දුකක් කරදරයක් දකින්නට ඒ සිත කැමති වූයේ නැත.

“අර පණ්ඩිත ගෑනි උඹේ ඔළුව කාලා තියෙන්නේ…”

අප්පච්චි බොහෝවර යුගාෂ්ට එසේ පවසා තිබිණ. ඔහු පවසන්නේ මිනිසුන් සතුටින් ජීවත් වීමට නම් ආත්මාර්ථකාමී විය යුතු බවය. කපටි කෛරාටික මිනිසුන් විය යුතු බවය..සිය වෘත්තීමය ජීවිතයේ දියුණුවටත් අවැසි වූයේ ආත්මාර්ථය බවය.

“මම හිතුවා සද්දයක් නැති හින්දා පුතා නිදි කියලා..”

තමාරා උන්නේ සුවපහසු පුටුවකට බර වී තම ලැප්ටොප් පරිගණකය දිග හැරගෙනය. ප්‍රදේශයේ ප්‍රසිද්ධ වී තිබූ කාන්තා සමිති කිහිපයකම ඕ ප්‍රධාන තනතුරු දැරුවාය. බොහෝවිට අසරණ මිනිසුන් වෙනුවෙන් ඒවා මාර්ගයෙන් යමක් සිදු වූ බව යුගාෂ් දනී. පසුගිය කාලයේ ප්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකු සඳහා මහන  මැෂින් ලබාදීමේ උත්සවයකට යුගාෂ් ද සම්බන්ධ විය.

“අම්මා මොකද කරන්නේ?…..”

“මම මේ කාන්තා සමිතියේ බජට් එක චුට්ටක් චෙක් කලා පුතේ..අවුරුද්ද අන්තිමේ අපි මිනිස්සුන්ට මේවා නිවැරදිව පෙන්නන්න ඕනනේ..ඒක ඒ හැටි හදිසි වැඩක් නෙමෙයි. පුතා මොනවා හරි කරදරේකින්ද ඉන්නේ..මූණ හරි නෑ. මං ඒකයි එහෙම ඇහුවේ..”

සවසත් තමාරා උඩුමහලට නගිද්දී යුගාෂ්  උන්නේ සදැල්ලේය. තමා ඒ අසලට පැමිණි බවවත් නොදන්නා තරමට ඔහු කල්පනාවකය. තමාරා කිසිවක් කතා නොකරම ආපසු හැරුණේ ඔහුට බාධාවක් නොවිය යුතු නිසාය. තරුණ දරුවන් ප්‍රශ්න විසඳා ගන්නේ තනිවමය. දෙමවුපියන් කළ යුත්තේ අවශ්‍ය තැන්වලදී ඊට මැදිහත්වීම පමණි. 

“කරදරයක් නෑ අම්මා..මට අම්මගෙන් පොඩි උදව්වක් ඕනේ..”

“ඒ මොකක්ද…පුතා.”

“මං දන්න තැනක ගෑණු ළමයෙක් ඉන්නවා. මට ඒ ළමයට, ඒ ළමයාගේ පවුලේ අයට උදව් කරන්න ඕනේ. ලොකු අසාධාරණයක් වෙච්ච ළමයෙක්”

“පුතාට එහෙම හිතෙනවනං අපි ඒක කරමු. හැබැයි මං කැමතියි දැනගන්න ඔයාට ඇයි එහෙම විශේෂ සිතිවිල්ලක් ඒ අය ගැන ඇති වුනේ කියලා…”

යුගාශ් තමා දැන උන් කතාව තමාරා හා පැවසූයේ කෙටියෙන්ය. කතාව අවසන දිගු සුසුමක් මුදා හැරියේ තමාරාය. යුගාෂ්ගේ කැමැත්තට බාධා කරන්නට හේතුවක් ඕ සතු නොවූවාය.

“කොහොමද අපි මේ මිනිස්සුන්ට උදව් කරන්නේ. එයාල කැමති වෙයිද ඒකට. පුතා ළඟ මොනවා හරි ප්ලෑන් එකක් තියෙනවද..එක 

එක පාරටම අපි උදව් කරනවා කියලා ඒගොල්ලෝ ගාවට යන්න බැහැනේ අම්මා. අනිත් එක ඔයා පුෂ්පානන්දගේ වයිෆ් කියලවත් මං පුෂ්පානන්දගේ පුතා කියලවත් දැනගත්තොත් මං හිතන්නෙ නෑ අම්මේ ඔය මිනිස්සු අපේ උදව් ගන්න කැමති වෙයි කියලා.”

“ඒකනං එහෙම තමයිි පුතා. අපි කොහොමද මේ ඇත්ත හංගල මිනිස්සුන්ට උදව් කරන්නේ.” 

“අම්මට පුළුවන් නම් නන්දනීත් එක්ක ඒ ගෙදරට යන්න. අම්ම කියන්න අපි කාන්තා සංවිධානයකින් ආවේ ඒගොල්ලන්ට උදව් කරන්න කියලා. මුලින්ම එ මිනිස්සුන්ගේ හිතේ විශ්වාසයක් ඇතිකර ගන්න අම්මා..”

“එහෙම ගියා කියමු. මොනවද අපි ඒ මිනිස්සුන්ට කරන උදව්. මාස් පතා මුදලක් දෙන එකද එහෙම නැත්නම් ගෙයක් දොරක් හදලා දෙන එකද..එහෙමත් නැත්නම් එයාගේ අසනීපෙන් ඉන්න අම්මට බෙහෙත් කරන එකද..”

“මේ ඔක්කොම කරන්න ඕන අම්මා..ස්ටෙප් බයි ස්ටෙප්.. හැමදේම කරන්න ඕනේ. හැබැයි ඒ හැමදේටම ඉස්සර වෙලා අපි ඒ ගෑනු ළමයට උගන්නලා සුදුසු රස්සාවක් හොයලා දෙන්න ඕනේ..එහෙම නැත්නම් ගෙදර ඉඳලා කරන්න පුළුවන් තමන්ගේ ව්‍යාපාරයක්..මොකද හයිඑඩියුකේෂන් වලට යන්න බලාපොරොත්තුවෙන් හිටපු ළමයෙක් ඔය.”

තමාරා තම පුතු දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය. ඔහුගේ කතාවෙහි යම් ආවේගයක් ඇතැයි ඇයට සිතිණ. මින් පෙරත් කිහිප වතාවකම ඔහු අසරණ මිනිසුන් වෙනුවෙන් තමාගෙන් උදව් ඉල්ලා සිටියේය. එහෙත් ඒ මේ සා ආවේගයකින් නොවේ.

‘අනේ අම්මා මෙන්න මේ අයව බලලා කරන්න පුළුවන් දෙයක් කරන්න..සල්ලි මොනවා හරි ඕන නම් කියන්න අම්මා…’ යනුවෙන් පවසනවා විනා මේ සා තැවීමක් ඔහු තුළ නොවුණි. 

තමාරා ඔහුගේ ඉරියව් වඩා හොඳින් නිරීක්ෂණය කළේ එනිසාය. මෙම නඩුව දිනවා දී ඒ මිනිසුන්ට අසාධාරණයක් කලේ තම අප්පච්චීය යන සිතුවිල්ල ඔහුගේ සිතට වද  දෙන්නට පටන් ගෙන ඇතැයි අවසන ඇයට සිතිණ. පුෂ්පානන්දගේ සමහර ක්‍රියා කලාපයන් ගැන ඔහු කොහොමටත් සිටියේ අපැහැදීමෙන්ය. පුෂ්පානන්දට එදත් අදත් වැදගත් වූයේ මුදල් මිස මනුස්සකම් නොවේ.

“අපි ඒක කරපු පුතා. ඔයා හරියට ඒ තැන බලල කියන්නකෝ..මම නන්දනීත් එක්ක ඉක්මනින්ම යන්නම්..”

අවසන තමාරා පැවසූයේ මෘදු හඬකින්ය. උදව් ලැබිය යුතු මිනිසුන් මේ සමාජය තුළ ඕනෑ තරම් වේ. තමාරාට නීතිය ගැන විශ්වාසයක් නැති වූයේ  තම සැමියා නිසාමය. ඔහු තම වෘත්තියට ගරු කළ අයෙකු නොවේ. ඒ දක්ෂතාවයත්, පුහුණුවත් සාධාරණය වෙනුවෙන් මෙහෙය වූ අයෙකු ද නොවේ.  උදව් ලැබිය යුත්තේ නීතියෙන්වත් පිළිසරණක් නොවන මෙවන් මිනිසුන්ටට බව තමාරා විශ්වාස කළේ එනිසාය.

( යළිත් හමු වෙමු ආදරයෙන්…….)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here