තාදී – 56

0
1843

පසුගිය දිනවල අලුත් වැඩියා කටයුතු සඳහා Clothez වසා තිබුණු නිසා තාදී මෙන්ම ගයත්‍රි ඇතුළු අනෙක් සේවිකාවන් පිරිසද උන්නේ බොහෝ කාර්යබහුල මොහොතකය. දින ගණනාවක් වසා තැබුණු Clothez විවෘත කර ගත වී තිබුණේ දෙදිනක් පමණි.

මිෂෙල් වාහනය නතර කර ඉන් නොබැස මිනිත්තු කිහිපයක් Clothez දෙස බලා සිටියාය. එය තිබුණාටත් වඩා හොඳින් පිළිසකර කර ඇති බව පෙනෙන්නට තිබුණේය. තාදී යනු බිඳ වැට්ටවිය හැකි තරුණියක නොවන බව මිෂෙල් නැවත වරක් පසක් කර ගත්තාය. ඒ සිතුවිල්ලෙන්ම වාහනයෙන් බැසගත් මිෂෙල් Clothez වෙත ඇතුළු වූවාය.

මිෂෙල් දොරෙන් ඇතුළු වනවා දුටු ගයාත්‍රී ඇය සමග සිටි අනෙක් සේවිකාවන් දෙදෙනා දෙසද බැලූවාය. ඔවුන් තිදෙනාම මිෂෙල් දෙස බැලුවේ අප්‍රිය හැඟීමකිනි. තම ආයතනයට දැඩි ලෙස අලාභ හානි සිදු කරන්නට කොන්ත්‍රාත්තුව භාර දුන්නේ මිෂෙල් බව ඔවුන්ට රහසක් නොවී තිබුණු අතර මිෂෙල් ද ඔවුන් දෙස බලා සිටියේ ලැජ්ජාව සහ පසුතැවීම මුසු හැඟීමකිනි.

” මිස්ව හම්බ වෙන්නද ? ” 

ගයාත්‍රී ඉදිරියට පැමිණියාය. ඒ පෙර දිනයේ මිෂෙල් කෙරෙහි වූ ගෞරවාන්විත හැඟීමෙන් නොවේ.

” ඔව් ” 

මිෂෙල් පිළිතුරු දුන්නේ ගයාත්‍රී ගේ දෑස් මගහරිමිනි. 

” මිස් මේ වෙලාවේ ටිකක් බිසී. වාඩි වෙලා ඉන්න මං බලලා එන්නම් ” 

ගයාත්‍රී අසල වූ සෝෆාව මිෂෙල්ට පෙන්වා කාර්යාල කාමරය වෙත ගියාය. තාදී උන්නේ බොහෝ කාර්ය බහුල මොහොතකය. එහෙත් ගයාත්‍රී පැමිණෙනවා දුටු නිසා තාදී හිස ඔසවා බැලුවාය.

” අර මිෂෙල් ඇවිත් මිස් ” 

ගයාත්‍රී මොහොතක් කල්පනා කළාය. මිෂෙල්ට තමා මුණ ගැසීමට පැමිණීමට හේතුවක් ඇත්තටම නැත. එහෙත් කුමන කාරණාවක් මත හෝ තමා මුණගැසීමට පැමිණි අයෙකුව මගහැරීමටද නොහැක.එහෙයින් ඕනෑම දෙයකට මුහුණ දීමට තාදී සිතා ගත්තාය.

” එන්න කියන්න ගයාත්‍රී ” 

ගයාත්‍රී පිටව ගොස් සුළු මොහොතකට පසුව මිෂෙල් කාර්යාල කාමරයට පැමිණියේ පෙර දිනයේ මෙන් කලබලයෙන් නොවේ.

” වාඩි වෙන්න මිෂෙල් ” 

තාදී ඇයව පිළිගත්තේ පුරුදු සන්සුන් බවිනි. මේ තරම් දේවල් සිදුව තිබියදීත් ඇය එසේ හැසිරෙන්නේ කෙසේදැයි මිෂෙල්ට සිතා ගත නොහැකි විය. තමා තාදී සිටින තැන සිටියා නම් කිසිසේත්ම මෙසේ හැසිරෙන්නේ නැත. එහෙත් මේ තාදී ය. ඇය සතුව ඇත්තේ ඇයටම ආවේණික වූ ගතිගුණය.

” ඉතින් ” 

තාදී කරමින් හුන් කාර්ය නවත්වා මිෂෙල් වෙත අවධානය යොමු කලාය.

” තාදී මාත් එක්ක තරහද ? ” 

මිෂෙල් වචන ගලපා ගත්තේ අපහසුවෙනි. තමා සිතා සිටියාට වඩා, තමා බලාපොරොත්තුවෙන් පැමිණියාට වඩා මේ මොහොත පහසු නැතැයි මිෂෙල්ට හැඟෙමින් තිබුණි.

” මොකටද මිෂෙල් ? ” 

” මං ඔයාට කරපු දේවල් වලට ? ” 

තාදී මදහසක් පෑවාය. එහි තරහවක් හෝ වෛරයක් ගෑවී තිබුණේ වත් නැත. ඇගේ මුහුණේ සටහන් වී තිබුණේ අව්‍යාජ බවකි. මිෂෙල්ට දරා ගත නොහැකි වූයේ ද එයමය. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් , අවෛරයෙන්ම වෛරය සංසිඳෙන බවත්  මිෂෙල් තාදී හමුවේ තේරුම් ගනිමින් උන්නාය.

” ඔයා ඇයි මාව හදිසියේම හම්බ වෙන්න ආවේ මිෂෙල් ? හදිසියක්ද ? ” 

මිෂෙල්ගේ මුහුණේ වූ හැඟීම් තේරුම් ගත් තාදී කතාව වෙනතකට හැර වීමට උත්සාහ කළාය. තමා ඉදිරියෙහි මේ මොහොතේ සිටින්නේද තමා වැනිම තරුණියකි.ඇය තමා ඉදිරියේ වුවද අපහසුතාවයට පත් වී සිටිය යුතු නැත.

” ඔව් . හදිසියක් “

” මොකද්ද ? ” 

” මං ආවෙ ඔයා ගෙන් සමාව ඉල්ලන්න තාදී ” 

මිෂෙල් පිළිතුරු දුන්නාය. ඇගේ දෑස් වල කඳුළු පිරී ඇති බව තාදී පැහැදිලිවම දුටුවාය. දුර දිග නොසිතා සිදු කළ ක්‍රියාවන් වල අර්ථයක් නොමැති බව මේ මොහොතේ මිෂෙල් වටහා ගෙන ඇති බව තාදී තේරුම් ගත්තාය.

” මට ජීවිතේ හුඟක් තැන් වැරදුනා තාදී. ඒ හැමදේම උනේ මං හිතන්නේ බලන්නෙ නැතුව වැඩ කරපු නිසා. මාව ධීර ට propose කරපු වෙලාවේ මං හිතුවා හැමදේම හදා ගන්නවා කියලා. මට ඇත්තටම මේ වෙඩින් එක ගැන ගොඩක් බලාපොරොත්තු තිබ්බා. ඒ හින්දම මට මගෙයි ධීර ගෙයි අතරේ තිබ්බ නොගැලපීම් තේරුනේ නැහැ. මොන දේ ගලප ගත්තත් මනුස්සයෙක්ට තමන් කසාද බඳින කෙනාගේ හැඟීම් තේරුම් ගන්න බැරි නම් ඒව ගලපගන්න බැරි නම් වැඩක් නෑ කියලා මට දැන් තේරෙනවා තාදී ” 

මිෂෙල් සුසුමක් හෙළුවාය.තාදී ඇයට කතා කරන්නට ඉඩ දී බලා සිටියාය.

” පොඩි කාලෙ ඉඳලම මගේ තාත්තා මං ඉල්ලන ඉල්ලන හැමදේම දුන්නා. කොටින්ම මං ඉගෙන ගන්න කැනඩා යද්දීත් තාත්තා මට හැමදේම දුන්නා. මගේ අනිත් හැමෝම පොඩි පොඩි රස්සාවල් කරලා සල්ලි හම්බ කරනකොට එහෙම කරන්න නොදී මං සල්ලි ඉල්ලලා හැම වෙලාවෙම ඒ ඉල්ලන්නේ මොකටද කියලා අහන්නෙවත් නැතුව තාත්තා මට සල්ලි එව්වා. ඒ නිසාම මට සල්ලි වල වටිනාකමක් වත් , තව මනුස්සයෙක් හම්බ කරන්න කොච්චර දුක් විඳිනවද කියලවත් තේරුමක් තිබුනෙ නෑ තාදී. ඒකයි එදා අර වගේ වරදක් මගේ අතින් සිද්ධ වුණේ. අනිත් එක , ඔයා නිසා ධීර මගෙන් ඈත් වෙනවා කියලා මම හිතන් හිටියට, ඇත්තටම හිතලා බැලුවොත් එහෙම ඈත් වෙන්නවත් ධීර එක වචනෙකින් වත් මට ලං වෙලා හිටියේ නැහැ ” 

මිෂෙල් ගේ දෑස් වල සිරවී තිබුණු කඳුළු බිංදු කම්මුල් දිගේ කඩා හැලෙන්නට පටන් ගත් අතර තාදී අසල වූ ටිශූ පෙට්ටිය මිෂෙල් වෙත දිගු කළාය. ඉන් ටිශූ එකක් ගත් මිෂෙල් එය දෑස් වලට තද කර ගත්තාය. තාදී ට ඇය ගැන දැනුනේ ශෝකයකි. දුරදිග නොබලා සිදු කළ වැරදි වලට දැන් ඇය බොහෝ පසුතැවෙන්නේය. තමා සොයා පැමිණ සමාව ඉල්ලීමට තරම් ඒ පසුතැවීම බලවත් වී ඇත.

” ධීර කොහොම වුණත් , මම ඔයත් එක්ක තරහ නෑ මිෂෙල්. පහුවෙලා හරි ඔයා මේ දේවල් තේරුම් ගත්ත එකම වටිනවා. ජීවිතේ හදා ගන්න ඔයා තාමත් පරක්කු නැහැ. ඔයා මේ දේවල් තේරුම් ගත්ත එකම අලුත් පටන් ගැන්මක් කියලා හිතන්න ” 

තාදී දෑත දිගු කර මිෂෙල් ගේ අතකින් අල්ලා ගත්තාය. මිෂෙල්ගේ ඉකිබිඳීම හැඬුමක් බවට පරිවර්තනය වූයේ එවිටය. ඇය උන්නේ තාදී ගේ කරුණාව දරා ගත නොහැකි මට්ටමකය.

” ඔයා ඇයි තාදී මෙච්චර හොඳ ? ” 

මිෂෙල් හැඬුම් අතරේ ඇසුවාය.

” මට හම්බවුනු ගොඩක් අය මට හොඳ උනේ නැති නිසා ” 

තාදී දුන්නේ සරල පිළිතුරකි. අද වන විට පැමිණ ඇති ගමන් මග තමාට කිසිසේත්ම පහසු වූයේ නැත. ඒ ගමනේදී කරුණාවන්ත මිනිසුන් තමාට මුණගැසුණේ ඉතා අල්ප වශයෙනි. මිනිසුන්ට කරුණාවන්ත විය යුත්තේ කෙසේ දැයි තාදී තේරුම් ගත්තේ ඒ අකාරුණික වීම් හමුවේය. 

” මං කරපු දේවල් ගැන මට දැනෙන්නේ මං ගැනම ලැජ්ජාවක් තාදී. මට ඊයේ රෑ හරියට නින්ද ගියේ නැහැ. මෙතනට ඇවිල්ලා ඔයාගෙන් සමාව ගන්නකම් මගේ හිතට සැනසීමක් තිබ්බෙත් නැහැ. ” 

” හිතලා හරි නැතුව හරි වැරදි කරන සමහර මිනිස්සුන්ට ජීවිත කාලෙම තමන් කරන වැරදි තේරුම් ගන්න බැරි වෙනවා. එයාලා කරන්නේ අනිත් මිනිස්සුන්ට චෝදනා කර කර දිගින් දිගටම වැරදි විතරක් කරන එක. ඒක හරි අවාසනාවක් මිෂෙල්. ඒත් බලන්න ඔයා කොච්චර හොඳද? ඔයා කළේ වැරැද්දක් කියලා පහුවෙලා හරි ඔයාටම තේරුම් ගියානේ. අනිත් එක ධීර උනත් මේ ප්‍රපෝසල් එක ගැන හිතේ කරදරෙන් හිටිය මිසක් ඔයා එක්ක තරහක් ඇති කියලා මං හිතන්නේ නෑ. ඒ හින්දා වෙච්ච දේවල් ගැන හිත හිත ඔයා තවත් දුක් වෙන්න එපා. ඉස්සරහට වෙන ඕනෙම දේකට ඔයාට මමයි ධීර යි ඉන්නවා ” 

තාදී කීවේ කරුණාවෙනි. ජීවිතයේ පළමු වතාවට කෙනෙක් මේ තරම් කරුණාවෙන් තමාට ජීවිතය පිළිබඳව කියා දුන්නාමය. මිතුරියක ලෙසින් හෝ මින් පෙරදී තාදීව මුණගැසුණා නම් තමාගේ ජීවිතයේ බොහෝ දේ වෙනස් වන්නට තිබුණා යැයි මිෂෙල් සිතුවාය.

” ඒ කියන්නේ ඔයා මට සමාව දෙනව නේද තාදී ? ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here