තාදී – 58

0
3619

තාදී ගෙන් සමාව ඉල්ලීමෙන් පසුව මිෂෙල් උන්නේ පුදුමාකාර සැනසිල්ලකිනි.ජීවිතය පියාපතක් මෙන් සැහැල්ලු යැයි මිෂෙල්ට දැනෙමින් තිබුණු අතර ඇය සෑහෙන කාලයකට පසුව කෝපි හලකට පැමිණියේ ඒ දැනෙන සැහැල්ලුව තවත් හොඳින් අත්විඳීමටය. කෝපි හලේ වීදුරුවෙන් ඈත පෙනෙන මුහුද දෙස බලාගෙන සිටි මිෂෙල් කල්පනා කළේ පසුගිය කාලය පුරාවට සිදු වූ සිදුවීම් පිළිබඳවය. කල්පනාවේ ගිලී සිටි මිෂෙල් ගේ ඒ කල්පනා ලෝකය බිඳුනේ දුරකථනයට පැමිණි ඇමතුමක් නිසාය. ඇමතුම පැමිණියේ නොදන්නා අංකයකිනි. දුරකථන ඇමතුමක් වුවත් මේ මොහොතේ දැනෙන සැනසීමට බාධාවක් කර නොගැනීමට සිතූ මිෂෙල් එයට පිළිතුරු දුන්නේ නැත. දුරකථන ඇමතුම් කිහිපයක්ම පැමිණි පසුව දුරකථනය නිහඬ විය. 

මිෂෙල් යළි නිවසට පැමිණියේ පැය දෙකක් පමණ කෝපි හලේ ගත කිරීමෙන් අනතුරුවය. දැන් ඉතිරිව තිබෙන්නේ දෙමව්පියන් සමග කතාබහ කර ඉදිරියට කළ යුතු යමක් පිළිබඳව තීරණය කර ගැනීමටය. තම පියාගේ බලාපොරොත්තු වූ පරිදි විවාහය සිදු වූයේ නැතත් ඔහුගේ ව්‍යාපාර වලට ඉක්මනින් සම්බන්ධ වී අපතේ යන කාලයෙන් සහ ඉගෙන ගත් දෙයින් ප්‍රයෝජනයක් ගැනීමට මිෂෙල් සිතුවාය.

වාහනය මිදුලේ නතර කරන විට මිෂෙල් දුටුවේ නන්නාදුනන වාහනයක් මිදුලේ නතර කර තිබෙන ආකාරය ය. පැමිණ සිටින්නේ පියා ගේ මිතුරෙකු යැයි සිතමින් මිෂෙල් නිවසට ඇතුළු වූවාය.මිෂෙල්ගේ පැමිණීම දුටු රූපසිංහ සහ රමණී මෙන්ම පැමිණ සිටි තැනැත්තාද හැරී බැලූ අතර මිෂෙල් ගේ දෙපා ඉබේටම නැවතුණේ තප්පරයකටත් වඩා අඩු කාලයක් ඇතුළතය. 

ඉහළට ගත් හුස්ම පහළට හෙලන්නට පවා මිෂෙල්ට අමතක විය.ගැහෙන සිරුර සහ වෙව්ලන තොල්පට පාලනය කර ගන්නට මිෂෙල් උත්සාහ කළාය. මෙය සැබෑවක් ද එසේත් නැතිනම් සිහිනයක්ද කියා පසක් කර ගන්නට මිෂෙල් ඉතා වේගයෙන් ඇසිපිය සැලුවාය.

” යශාන් ” 

වෙව්ලන තොල්පට අතරින් මිෂෙල් මිමිනුවාය.වාඩිවී සිටි යෂාන් නැගී සිටියේ යන්තමින් සිනාසෙමිනී.

” හායි මිෂෙල්. මං ඔයාට කීප සැරයක්ම කෝල් කරා.ඒත් ඔයා ආන්සර් කලේ නැහැ ” 

මිෂෙල් සෙමෙන් අඩි තබා ඉදිරියට පැමිණියාය. මවුපියන්ගේ මුහුණු වලද වූයේ වෙනදා නොවූ පහන් බවකි. එහි තරහවක් හෝ නොහොඳ නෝක්කාඩුවක් ගෑවී වත් තිබුණේ නැත.

” දුව එනකන් අපි මේ යශාන් එක්ක කතා කර කර හිටියේ. එහෙනම් ඔය දෙන්න කතා කර කර ඉන්නකෝ. රමණි ඔයා කෑම මොනවා හරි ලෑස්ති කරන්න.මට පොඩි වැඩක් තියෙනවා මං උඩට ගිහින් එන්නම් ” 

රූපසිංහ මිෂෙල්ව සහ යශාන්ව හිතා මතාම තනි කිරීමට සිතා රමණීව මුළුතැන්ගෙයට  පිටත් කර හැර උඩුමහලට නැග්ගේය. මිෂෙල් උන්නේ පුදුමය මුසු වූ තවත් හැඟීම් ගොන්නක අතරමං වීගෙනය.

” මොකද මිෂෙල් මාව නිකන් කලින් දැකල නෑ වගේ ? වාඩිවෙන්න ” 

යශාන් නැවතත් කතා කළ පසු මිෂෙල් පියවි සිහියට පැමිණි අතර ඇය යශාන් අසුන් ගෙන සිටි තැනට මුහුණලා අසුන් ගත්තාය. යශාන්ව මේ දකින්නේ බොහෝ කාලයකට පසුවය. තමා ඔහුට වංචා කර , ඔහු සමග ජීවත් වූ නිවසින් පිටවී පැමිණියාට පසුව නැවත කැනඩාවේදී අහම්බයකින්වත් ඔහුව මුණගැසුණේ හෝ කතා කළේ නැත. ඉතින් මෙය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ මුණගැසීමකි. 

” මං ලංකාවට ඇවිල්ල දැන් දවස් කීපයක් වෙනවා ” 

මිෂෙල් මුනිවත රැක්කාය.කියන්නේ මොනවාදැයි තෝරා බේරා ගැනීමට නොහැකිව ඇය ලතැවුනාය. ඇගේ ඒ වෙනස තේරුම් ගැනීමට යෂාන්ට අපහසු වූයේ නැත.

” පහුගිය දවස්වල උනේ මොනවද කියලා ඔයාගේ අම්මයි තාත්තයි මට කිව්වා. මට ඇත්තටම ඔයා ගැන දුකයි මිෂෙල් ” 

යශාන්ව මුණගැසුණු අවසාන දිනයේ ඔහු තුළ සිටි කලබලකාරී සහ කලහකාරී තරුණයා මේ මොහොතේදී ඔහු වෙතින් දිස්වූයේ නැත. ඒ වෙනුවට සිටියේ ඉතා සාමකාමී සහ සන්සුන් පුද්ගලයෙකි.

” වෙච්ච දේවල් ගැන දැන් කතා කරල තේරුමක් නෑ යෂාන්. මං ගොඩක් දුරට හිත හදාගෙන ඉන්නේ. මං කරපු වැරදි මොනවද කියලා මට දැන් හොඳටම තේරෙනවා.මට දැන් ඕන ඒ හැමදේම හදාගෙන ඉස්සරහට ජීවත් වෙන්න. ” 

” ඔයාට ජීවිතේ හදාගන්න ඕන කමක් තියෙනවා කියලා මං දන්නවා. දැන් ඔයාව දැක්කමත් මට ඒක තේරෙනවා මිෂෙල් . මට සතුටුයි ඔයා ඔහොම හිතන එකටත්. ඔයා ඒ දවස් වලම ඔය විදිහට හිතුවා නම් අපි දෙන්නට මෙහෙම දෙපැත්තකට වෙන්න වෙන්නේ නෑනේ. ” 

මිෂෙල් පිළිතුරු දුන්නේ නැත. සෙල්ලක්කාර ජීවිතයක් ගත කිරීමෙන් විඳවන්නට සිදු වූයේ තමාට පමණක් නොවේ. තමා වෙනුවෙන් බොහෝ දෑ කළ , තමාට පණ සේ ආදරය කළ සහ තමාට රැකවරණය දුන් යශාන් පවා තමාගේ කල් ක්‍රියාව හේතුවෙන් බොහෝ විඳවූ බව මිෂෙල් දනී. තමා හිතු මනාපයට මුදල් වියදම් කරමින් එවැනි සෙල්ලක්කාර ජීවිතයක් ගත නොකලා නම් අද තමාට මෙවැනි පසුතැවීමක් විඳින්නට සිදුවන්නේ නැත.

” ඔයා ඇයි ලංකාවට ආවේ ? ” 

” vacation එකකට ආවේ. ඊටත් වඩා මට ඔයාව හම්බවෙලා කතා කරන්න උවමනාවක් තිබුණා. මොකද ඔයා ලංකාවට ආව බවක් වත් මං දැනගෙන හිටියේ නැහැ. ඔයා ඇවිල්ලත් මාස දෙකකට විතර පස්සේ තමයි මම දැන ගත්තේ ” 

” හ්ම්ම් “

මිෂෙල් සුසුමක් හෙළුවාය. තමා විසින් යශාන්ට සිදුකළ වංචාවට සහ ඔහුට කළ රැවටීමට අනුව නැවත ඔහුට මුහුණ දීමට හැකියාවක් මිෂෙල්ට තිබුණේ නැත.තමන් නැවත ලංකාවට පැමිණෙන බව ඔහුට පැවසීමට උවමනාවක් තිබුණත් ඒ උවමනාව පරදා ලැජ්ජාවක් පැන නැගී තිබුණු නිසා මිෂෙල් ලංකාවට පැමිණියේද ඔහුට නොකියාමය. 

” ඔයා මොකක්ද මිෂෙල් ඉස්සරහට කරන්න හිතා ගෙන ඉන්නේ ? “

” මං හිතාගෙන ඉන්න තාත්තගෙ බිස්නස් වලට ජොයින් වෙන්න “

” ඔයා ඒ ගැන තාත්තා එක්ක කතා කළාද ? “

” නෑ. තාම මට කතා කරන්න බැරි වුණා. මං මේ අද තමයි ඒ ගැන හිතුවේ ” 

මිෂෙල් කතා කළේ පවා යශාන්ගේ මුහුණ මගහරිමිනි. ඒ බව යශාන් හොඳින් නිරීක්ෂණය කළ අතර ඒ පිළිබඳව ඔහුට පුදුම වන්නට ද හේතුවක් තිබුණේ නැත. 

” මිෂෙල් මං ඇත්තටම ආවෙ ඔයත් එක්ක කතා කරන්න. ඔයා දන්නවා ඔයා කරපු දේවල් නිසා මං කොච්චර විඳෙව්වද කියල. ඇත්තටම කිව්වොත් මං තාමත් හිත හදාගෙන නැහැ. අපි දෙන්නා අතර වෙච්ච ප්‍රශ්න නිසා මට කොච්චර දේවල් නැති උනාද කියලත් ඔයා දන්නවා. ඒ දවස් වල ඔයත් එක්ක රණ්ඩු කලාට ඔයා දන්නවා ඒ දේවල් අසාධාරණ නැහැ කියලා. “

” මට සමාවෙන්න යශාන්. මං හිතලා බලන්නේ නැතුව කරපු දේවල් ගොඩක් වැරදියි කියලා මට තේරෙන්නේ දැන්. ඒකෙන් කොච්චර මිනිස්සුන්ට විඳවන්න වුණාද කියලත් මට තේරෙන්නේ දැන්.ඒත් ඒ හැමෝටම වඩා වැඩියෙන් විඳවන්නේ මම. ජීවිතේ කොතනින් පටන් අර ගන්නද , කොහොම හදා ගන්නද කියලා මට තාමත් තේරෙන්නේ නැහැ. මට දැනෙන්නේ මං අතරමං වෙලා වගේ. මට ඕනේ හැමදේම මුල ඉඳලා පටන් ගන්න.කලින් කරපු වැරදි නොකර ඉන්න ” 

මිෂෙල් තමා අතින් සිදුවූ වැරැදි වලට බොහෝ පසුතැවීමෙන් ඉන්නා වග යශාන් තවත් හොඳින් තේරුම් ගත්තේ ඒ මොහොතේදීය. ඇයට නැවත ජීවිතය ආරම්භ කිරීමට මේ තාක් සිදුවී ඇති දේවල් හොඳින්ම ප්‍රමාණවත්ය. ඇයට අවශ්‍ය වන්නේ හොඳ මග පෙන්වීමක් පමණි. 

” මිනිස්සු අතින් හැමදාම වැරදි වෙනවා නම් එක්කෝ ඒක ඒ මනුස්සයාගේ කරුමේ , නැත්තං මෝඩකම මිෂෙල්. තමන් කරන වැරදි තේරුම් අරගෙන ඒවා හදාගෙන ඉස්සරහට හොඳින් ජීවත් වෙන්නත් පින තියෙන්න ඕනේ ” 

යෂාන් තවත් යමක් කියන්නට සැරසුණේය. මිෂෙල් ඔහුට කතා කරන්නට ඉඩ හැර බලා සිටියාය.

” මං හිතන්නේ ඔයාට ඒ පින තියෙනවා. ඔයාගේ අතින් වෙච්ච වැරදි ඔයා තේරුම් ගත්ත එකම මට ලොකු සතුටක්. අනිත් එක , මං මෙහෙට ආවේ ඇත්තටම ඔයාගේ දුක සැප බලලා යන්න. ඒත් ඔයාගේ අම්මයි තාත්තයි එක්ක කතා කරාට පස්සේ මං තීරණයක් ගත්තා ” 

යශාන්ගේ මුහුණෙහි වූයේ සාමකාමී හැඟීමකි. මිෂෙල් තප්පර කිහිපයක් ඒ දෙස බලා උන්නාය. ධීර තාදී කෙරෙහි දක්වන ආදරය තුළින් තමා බොහෝ විට දුටුවේ අතීතයේදී යෂාන් තමා වෙත පෑ ආදරය සහ රැකවරණය ය. ධීර ගේ සිත තුළ තමා කෙරෙහි හැඟීමක් නැති බව දැන දැනත් තමා ඔහු ලුහුබැඳ යන්නට ඇත්තේ ඒ ගතිගුණ නිසා විය හැකිය.

” අපි දෙන්නා ආපහු හැමදේම අලුතෙන් පටන් ගමුද මිෂෙල් ? ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here