අරුමැති ආදරයක් – 11

0
46

සිතූ සේම වෙනදාට වඩා පාන්දරින් අවදි වූ අපූර්වා බතක් ලිප තබා පතෝල වෑංජනයකුත් කරවල බැදුමකුත් සාදා තැබුවාය. සිහින් වෙන්නට ලියූ මුකුණුවැන්නා මිටියකුත්, මැල්ලුමක් සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍යයත් පසෙකින් තැබුවේ ඊට බොහෝ වේලා ගත නොවන නිසාය. ඉන්පසු ඕ මිදුල අතු ගෑවේ අඳුරේමය. වරින් වර පියසීලී  නැගී සිටින්නට උත්සාහ කළත් අපූර්වා ඊට ඉඩ නොදුන්නාය. මේ ජීවිතයට හුරු වනවා හැරෙන්නට මේ රාජකාරී කරදරයක් හෝ බරක් කරගන්නට ඇයට හිතුනේ නැත.

“අනේ ආච්චි ඇහැ ගහගෙනම ඉන්න…මොනවා හරි දෙයක් උනොත්  අපිට මුළු ජීවිත කාලෙම පසුතැවෙන්න වෙනවා..”

පියසීලී තම මිණිබිරිය දෙස බලා සිටියේ දෑස් වල කඳුළක් තබාගෙනය.  සතුටින් සැනසීමෙන් පිරී තිබූ ජීවිතවලට මොන හෙන ගෙඩියක් පහත් වූවාදැයි ඇයට නොතේරේ. පැහැදිලි ඔප්පු තිරප්පු නොවූ නිවස බෙදා වෙන් කළ හැකි ක්‍රමයක් වූයේ නැත. පෙරකදෝරු මහතෙකු ලවා හෝ ඒවා පිළිවෙලක් කරන්නට උත්සහ කළ සෑම වතාවකම ලොකු පුතා පැවසූයේ ඒවාට තවත් කල් ඇති බවය. ඔහු කිසිවිටෙකත් තම සොහොයුරාව අවිශ්වාස නොකරන්නට ඇත.  කළ යුත්ත කල් නොදැමිය යුතුයැයි, මේ උගත් පාඩම ජීවිතය තියෙන තුරු වලංගුය. 

අපූර්වා නිවසින් පිටවන්නට පෙර සුපුරුදු ලෙසම පියසීලී බුදු පහන තැබුවාය. අද දවසේත් ඇගේ ප්‍රාර්ථනය වනුයේ අපූර්වාගේ ආරක්ෂාවය. සොල්දර ගෙදර ඉඩම දෙසින් එක දිගට විවිධාකාරයේ ශබ්ද ඇසේ. නිශ්ශංකගේ දෙවෙනියාගේ විවාහ උත්සවය හෙට අනිද්දාම පැවැත්වෙන බව පැවසූයේ ඊයේ නිවසට පැමිණි ගුණවතීය. දන්නා තරමින් ඊට ගමින් ආරාධනා ලැබ තිබෙන්නේ ග්‍රාම සේවක මහතාට පමණක් බව පැවසූයේත් ඈය. කොහොමටත් ග්‍රාම සේවක එදා සිට නිශ්ශංකගේ ගජයාය. මූනිච්චාවට කතා කලාට ඉඩම් නඩුවේදී නිශ්ශංකට ලියැකියවිලි සාදන්නට උදව් වූයේ ඔහු බව පියසීලී දනී.

“ඉඩම සුද්ද කරනවා රබර් හිටවන්නලු…ඊයෙත් බැකෝ එකක් වැඩ.”

අපූර්වා එසේ පැවසූයේ ආච්චි  ත්‍රී රෝද රථය අසලට පැමිණ ඇඟිලි තුඩු වලින් ඉස්සී යාබද ඉඩම දෙස බලන්නට සැරසෙද්දීය. 

“මේ වැට මායිමටත් ඕකුන් එයිද දන්නේ නැහැ.”

“එයාලගේ ඉඩමනේ ආච්චි. ඒක සුද්ද කරගත්තා කියලා අපිට මොකුත් කියන්න බෑ. ආචිගේ ඇතුලට වෙලා ඉන්න. ඕවට රණ්ඩු සරුවල් කරගත්තා කියලා අපිට ලැබුණු දෙයක් නැහැනෙ.”

යුවතිය එසේ පැවසූයේ ත්‍රී රෝද රථය පණ ගන්වා ගනිමින්ය. ඇයට බොහෝ දුරක් යාමට ලැබුණේ නැත. ජංගම දුරකථනය නාද  වූයේ නිතර ඇය සමඟ ගමන් බිමන් යන ගුරුවරියකගේ නමක් සඳහන් කරමින්ය. 

“අපූර්වා……ඉස්කෝලේ ළඟට එනවද මට ටිකක් බැංකුවට යන්න ඕනේ.”

“විනාඩි පහක් දෙන්න ටීච මං එන්නම්…..”

එසේ පැවසූ ඈ   ත්‍රීරෝද රථය ආපසු හරවා ගත්තාය. බාප්පාගේ ඇල්ටෝ වර්ගයේ කාරය  ඉදිරියට පැමිණියේ ඈ ඒ යන අතරේය. රථය පදවාගෙන පැමිණියේ පුංචි අම්මාය. පටු මාවතේ තත්පරයකටවත් වේගය බාල නොකරමින් ඈ ඉදිරියට ගියේ අපූර්වාව මගහරින්නට වූ උවමනාව නිසාමය. වෙනදා සේ නතරව ඉඩ දුන්නේ ඈය.

“මිනිහෙක් ඇතිවෙන්නත් නැති වෙන්නත් හේතුවක් වෙන්නෙ ගෑනියෙක්. උඹලගේ පුංචි අම්මා තමන් ගැන හිතුවා මිසක්කා අනුන් ගැන හිතපු කෙනෙක් නෙමෙයි. උන්ගේ පරම්පරාවම ඊට වඩා වැඩි වෙනසක් නැහැ.”

ඒ ආච්චි අම්මා නිතර පැවසූ කතාවකි. කවුරුන් කෙසේ වුවත් විය යුතු ලොකුම අහිමිවීම සිදු වූයේ අපූර්වාටය. තාත්තා පමණක් නොව වර්තමානයේ ඇයට අම්මාත් නොසිටියා සේය. ඒ ගැහැණු දරුවෙකුගේ ජීවිතයේ අන් කිසිවකින් සපුරා ලිය නොහැකි හිස්කමකි.

                                   **************

“අම්මා අද නන්දනීත් එක්ක අර ගමන යන්න. මම දහයට විතර වගේ ටැක්සියක් එවන්නම්. මං දන්න තරමින් ඒ වෙලාවට ගෙදර ඉන්නේ ආච්චියි අර අසනීප ගෑනු කෙනයි විතරයි. මේක අපි කරන්නම ඕන දෙයක් අම්මා..”

යුගාෂ් එසේ පැවසූයේ නිවසින් පිටවීමට සූදානම්වය. තමරා  හිස වැනුවා මිස කිසිත් නොකීවාය. පොසොන් උත්සවය පිළිබඳව සිදු සිදුකරන විශේෂ සාකච්ඡාවකට අද දිනයේ පන්සලට යාමට සිදුව තිබුණත් ඇයට යුගාෂ්ගේ ඉල්ලීම අහක දමන්නට සිතුනේ නැත. අප්පච්චිගේ සමහර වැඩ ගැන යුගාෂ් කල කිරීමෙන් පසු වන බව තමාරා දනී. එනිසාම තමාරාට උවමනා වූයේ ඔවුන් හමුවී උදව්වක් කර යුගාෂ්ගේ හිත නිදහස් කරන්නටය.

පොරොන්දු වූ සේම උදෑසන දහය වද්දී ඔහු වාහනයක් එවා තිබිණ. නන්දනීට කලින්ම දී තිබූ උපදෙස් නිසා ඇය බලා  සිටියේ ෆයිල් කවරයකුත් තුරුලු කරගෙනය. කොහොමටත් නිවසින් පිටට යාමට ලැබෙන අවස්ථාවලට ඈ ඉතා කැමතිය. 

අඩක් නිම කර තිබූ යුගාශ්  විසින් පැවසූ නිවස ඉදිරිපස කුලී රථය නවතන්නට බොහෝ වේලා ගත වූයේ නැත. යළි පැමිණෙනතුරු මද  වේලාවක් නැවතී සිටින්නයැයි රියදුරාට පැවසූ තමාරා ඉස්සර වූයේ නන්දනීටත් සංඥා කරමින්ය. කඩුල්ල පැන්නූ ඈ කුඩා නිවස දෙසට ඇවිද ගියේ හෙමින් ගමනේය. මල් වර්ග රාශියක් වවා තිබූ ගෙමිදුල පිළිවෙල එකක් විය.ලෑලි දොර වසා තමා තිබිණ. ගෙහිමියන් නිවසේ නැතැයි සිතද්දීම තමාරාට ඇසුණේ රූපවාහිනියේ හඬකි. එනිසා ඕ ලෑලි දොර අසලටම ළංව ‘ගෙදර කවුදැයි..’ ඇසුවේ මදක් උස් හඬින්ය. 

තත්පර කිහිපයකට පසු ‘ක්රාස්…’ හඬක් සමග ලෑලි දොර විවර වූයේ අවුරුදු හැත්තෑවක් පමණ වයැසැති කාන්තාවකගේ අතින්ය. වියපත් ඕ ඇඳගෙන උන්නේ රෙද්දක් සහ හැට්ටයක්ය. සුදු වූ හිස කේ උඩට පීරා ගෙඩියක් වන්නට බැඳ තිබුණේ ගෙල පාමුලට වන්නටය.

“මම කාන්තා සංවිධානයකින්.  ගමේ අය තමයි අපිට ඔයාලා ගැන විස්තර කිව්වේ. අපිට ටිකක් කතා කරන්න පුලුවන්ද. ඔයාලට මොනව හරි උදව්වක් අවශ්‍යනම් ඒ ගැන අපි කතා කරමු”

පැමිණ සිටියේ කාන්තාවන් දෙදෙනෙකි. ඔවුන්ගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම බැල්මක් හෙලූ පියසීලි ආපසු ගෙතුළට එබුණාය. උදෑසන ආහාරය ලබා ගත් කාන්ති නිදන්නට  වූයේ මින් අඩ හෝරාවකට පමණ ඉහතදීය. පියසීලී ටෙලි නාට්‍යක් බලන්නට පටන් ගත්තේ ඉන් පසුවය.  බාගෙට ඇරි දොර සම්පූර්ණයෙන්ම ඇර දමා ප්ලාස්ටික් පුටු දෙකක් එළියෙන් තැබූ  පියසීලී ආපසු දොර අඩවල් කර දැමුවාය. 

“වාඩි වෙන්න නෝනා..මට තේරුනේ නැහැ කොහෙන්ද ආව කියල කිව්වේ.”

“අපි කාන්තා සංවිධානයකින්. අසරණ වෙලා ඉන්න කාන්තාවන්ට අපි විවිධ ආකාරයෙන් උදව් කරනවා. ඒ සංවිධානයේ නියෝජිතයො දෙන්නෙක් විදිහට තමයි අද අපි මේ ගමන ආවේ. කිහිප තැනකටම ගිහිල්ල කතා කරද්දි අපිට මේ ගෙදර ගැන දැනගන්න ලැබුණා. මානසික රෝගී කාන්තාවක් ඉන්නවා කියලා.” 

තමාරා පැවසූයේ පැහැදිලි හඬකින්ය. ඇයට වුවමනා වූයේ මුලින්ම කාන්තාවගේ සිතෙහි තමන් ගැන විශ්වාසයක් ඇති කරවන්නටය.

“ඒකනං එහෙම තමයි නෝනා. අනේ ඉතිං  උදව් කියලා අපි මොනවා ඉල්ලන්නද. අපිට තියෙන ප්‍රශ්න විසඳන්න නෝනලට පුළුවන් වෙයි කියලා මං හිතන්නෙ නෑ.”

සුසුමක් හෙලූ පියසීලී අසුන් ගත්තේ මදක් එහාට වන්නට වූ ලී කොටය මතින්ය. 

“උපතේ ඉඳලම මානසික රෝගියෙක්ද. මේ අම්මගේ දුවද ඒ…”

නිවසේ සිටින රෝගී කාන්තාව පිළිබඳව යමක් දැනගෙන උන්නත් තමාරා ප්‍රශ්න කළේ කිසිවක්ම නොදන්නවා සේය.

“අනේ නෑ නෝනා….අපිට පහුගිය කාලේ ලොකු කරදරයක් වුණා. ඊට පස්සේ තමයි මගේ ලේලි ලෙඩෙක් උනේ”

“අපි ඉස්සර වෙලා මේ ගැන විස්තර කතා කරමු. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් දෙයක් අපි ඔයාලා වෙනුවෙන් කරන්නම්.”

“අපි වෙනුවෙන් කරන්න දෙයක් නෑ නෝනා. අපේ ජීවිතේ ගෙවිලා ඉවරයි දැන්.  පුළුවන්නම් අපේ කෙල්ල වෙනුවෙන් මොනවාහරිි කරන්න”

“කෙල්ල වෙනුවෙන් කිව්වේ.”

“මගේ මිණිබිරී වෙනුවෙන්. මේ ලෙඩාගේ දුව වෙනුවෙන්. ඒ කෙල්ල අපි දෙන්නෙක්ගේ බර උහුලනවා.”

“ඔව්.. අපිට පුළුවන් නේද නන්දනී එයා වෙනුවෙන් දෙයක් කරන්න. අපිට විස්තර කියන්නකො අම්මා..” 

එවේලේ තමාරා පැවසූයේ එහා පස සිටගෙන උන් තම සේවිකාව දෙස බලමින්ය. ඇයත් හිස වැනුවේ තමාරාව අනුමත කරමින්ය. 

“දුව ඉගෙන ගන්න ගමන් මොන්ටිසෝරියක උගන්න උගන්න හිටියේ. ඒ අතරේ තමයි අපිට මේ හැම කරදරයක්ම වුණේ. අන්තිමට ඒ දරුවා ඉගැන්විල්ලයි ඉගෙන ගැනිල්ලය්  දෙකම නවත්තලා ත්‍රීවිල් රස්සාවට ගියා.”

“ත්‍රීවිල් රස්සාවට…”

“ඔව්…..එයාගේ තාත්තා මැරෙන්න කලින් කර කර ඉඳපු රස්සාව තමයි ඒක.” 

“අපිට කියන්න පුළුවන්ද මුල ඉදලම  මොකද උනේ කියලා…”

“අගහිගකම්  ඕන තරම් තිබුණා. ඒ උනාට මේ හරි ආදරෙන් ජීවත් වෙච්ච දරු පවුලක් නෝනා.  අර සත්තිකුම්භ ජාතකේ කතාව වගේ මේ කුසෙන් වදාපු මගේ දරුවෝ දෙන්නට කසාදෙන් පස්සේ දෙපොළක නතර උනා. මේ ගෙදර ඉන්න මේ අසනීප වෙච්ච ලේලි කවදාවත් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න බැලුවෙ නෑ. තමන්ගේ පාඩුවේ මිනිහගේ කීමට යටත් වෙලා මිනිහා හරි හම්බ කරලා දෙන දේ කාල බීල, නැන්දම්මා වෙච්ච මටත් අම්මා කෙනෙක් වගේ සලකගෙන,  දරුවත් හදාගෙන පාඩුවේ ජීවත් වුණා. ඔය කම්බි වැටෙන් පේන කැලෑව වගේ කොටහට එහා පැත්තේ තියෙන්නේ මගේ මනුස්සයාගේ මහ ⁣ගේ. සොල්දර ගෙදර කියලා කිව්වහම මේ පැත්තෙ ඕන කෙනෙක් දන්නවා. අක්කර පහකට කිට්ටු වෙන ඉඩම. මගේ මනුස්සයාගේ කිරි අත්තා කෙනෙක් ඉංග්‍රීසි ආණ්ඩුවේ හොඳ තානාන්තරයක් දරල තියෙනව. එතකොට තමයි ඔය ඉඩකඩන් හම්බවෙලා තියෙන්නේ. ඕවට තියෙන්නේ බලපත්‍ර කියලා ජාතියක්..මගේ අර අනිත් දරුව කසාද බැන්දේ  රත්නපුර දිහාවේ සල්ලිකාරයෙක්ගේ දුවෙක්. ඒ ළමයට ඉඩකඩන් ගෙවල් දොරවල් සල්ලි ගැන පුදුම තණ්හාසයක් තිබුණා. ඒ මහ මිනිස්සුත් පරිප්පු ඇටෙන් රොටි පුච්චන ගානට තමයි ප්‍රසිද්ධිය. මේ ළමයා කියලා වෙනසක් උනේ නෑ. කාලෙත් එක්ක සහෝදරකම් නැතුව ගියා. අන්තිමට මේ ඉඩකඩම් වලට අයියා මලෝ නඩු කියන්න පටන් ගත්තා.”

“හරි අපරාධයක්නෙ වෙලා තියෙන්නේ…..”

තමාරා එසේ පැවසූයේ වියපත් ගෑණියගේ දෑස් මුල එකතු වී තිබූ කඳුළු දෙස බලාගෙනය. 

“මේ අහිංසකයා නඩු  කියන්න ණය වුණා. අන්තිමට සහෝදරකං ජන්මාන්තර වෛර බවට පත්වුණා. නෝනලා අහලා ඇතිනේ කළුතර උසාවියේ පුෂ්පානන්ද මහත්තයා ගැන.”

තමාරාත් නන්දනීත් මුහුණෙන් මුහුණ බලාගත්තේ ඈ එසේ පවසද්දීය. සිත ගැස්සුනත් ඕ ඒ බවක් මේ වියපත් ගැහැණිය ඉදිරිපිට දී ප්‍රදර්ශනය නොකළාය. ඒ වෙනුවට හිස වැනුවේ පුෂ්පානන්දව දන්නා බවක් අඟවමින්ය. 

“මගේ පොඩි පුතා අන්තිමට ඔය පුෂ්පානන්ද මහත්තය ඇල්ලුවා. ලොකු පුතා එදාම ගෙදර ඇවිල්ලා කිව්වා නඩුව පරදිනවා කියලා. අන්තිමට ඒ කියපු විදිහටම අපි නඩුව පැරදුණා.”

ඉතින් ලියකියවිලි බලපත්‍ර තියෙනවනම් පරදින්න හේතුවක් නැහැනේ.

“පුෂ්පානන්ද මහත්තයයි පොඩි එකයි එකතුවෙලා ඒවා එයාලට වාසි වෙන විදිහට හදාගෙන තිබුණා. ඉඩකඩම් භුක්ති විඳලා බලා කියා ගත්තට මේං මේ කොටහ තමයි අපිට හමුබ උනේ..එදා ඉදලා ලොකු එකා හරි හිතේ අමාරුවෙන් හිටියේ…”

“මං මේ නෝනලාට තේ ටිකක් හදන්නං…”

පියසීලි නැගී සිටියේ එසේ අසමින්ය. තේ බීමෙහි අවශ්‍යතාවයක් නොවූවත් තමාරා ඊට එකඟව හිස වැනුවා මිස ‘එපා’යැයි නොකීවාය. යුගාෂ් පැවසුවාට වඩා යමක් ඇයට දැනෙමින් තිබිණ. ගැහැණුන් කොතැනකදීවත් මේ සා අසරණ වනවාට ඇය කැමති වූයේ නැත.සැබැවින්ම ඒ සිත වූයේ නොසන්සුන්වය. තමාරාට ඇවැසිව තිබුණේ ඔවුන් හා හිතවත්කමක් ගොඩනගා ගන්නටය. ලාංකීය ජන සමාජයේ ඒ හිතවත්කමට හොඳම පාලම වනුයේ තේ කෝප්පයක්ය.

(යළිත් හමුවෙමු ආදරයෙන්…..)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here