පිණි මුතු පලසක් – 25

0
40

තාත්තා විසින් ගුණවතී ගේ ගෙදරට ගිනි තබා ඇතැයි යන කාරණාව වගේම, තාත්තාත් මල්ලිත් නැති ගෙදර අම්මා තනියෙන් හැම දුකක් කරදරයක්ම විඳ දරාගන්නවාය කියන කාරණාව මාස ගණනාවකට පසුව අරුණව ගෙදර බලා පිටත් කර එවන්නට හේතු වුණ බව ඇත්තකි. ඒ ගමනේදි සමුධ්‍යාව හමුවන බවත්, ඒ වනාහී නොකියූ කතන්දර බොහොමයක් කියන්නට හේතු පාදන ගමනක බව දන්නවා වුනත් අම්මාව තනි කර දමා කොළඹට වී හිත නිදහසේ තියාගෙන ඉන්න විදියක් අරුණ දැනගෙන උන්නේ නැත. අරුණ රැගත් අරුණගේ පුංචි කාරය බංගදෙණිය හන්දියෙන් හරවා, පරමාකන්ද පසු කර, ගෙදර බලා ආවේ එවන් සිතුවිලි දහරාවක් එක්කය.

බොහෝ කාලයකට පසුව අරුණව දුටු ගම්මුන් උන්නේ මේ කවුද කියා හිතාගන්න බැරි තරම් කුකුසකය. අරුණ කොහොමත් ගම ඉන්නා කාලයේදිවත් එහෙමකට කියා එළියට බැස, තාත්තාගේ පවර් එක පාවිච්චි කල තවත් එක් පුතයෙකු නොවුන නිසා ගම්මුන්ට වඩා හුරුපුරුදු මුහුණුවර තිබුනේ ලක්ෂිතට මිස අරුණට නොවේ. අරුණ ගම හරහා වාහනය පදවාගෙන ගෙදර ආවේ ඒ සියලු කුතුහලය රැඳුණු මුහුණු මග හරිමින් බොහෝ දුර ඈත විහිදුන කල්පනාවක ගිලීය.

මිදුලේ ගරාජයේ කාරය නතර කර දමා ගෙට එද්දිත් මේ ගෙදර මින් පෙර තිබුනේ මෙයාකාර නිහඬතාවයක ගිලී නැතුව බව අරුණට අමතක නොවුනේය. මන්ත්‍රී ගෙදර තිබුනේ කොහොමත් සද්ද බද්ද පුරවාගෙන, මන්ත්‍රී බලයෙන් විරාජමානවය. ඒ නිවසම අද මූසල අඳුරකින් පිරෙන්නට හේතු වී තිබෙන්නේද කාලයක් පුරාවට විරාජමානව ඉන්නට හේතු කාරණා සැපයූ මන්ත්‍රී බලය සහ දේශපාලන සවිය නොවේද කියන පැනය හිත කියද්දි අරුණ හෙමින් සැරේ පියවර තබා එක එල්ලේම ගියේ අම්මා මේ වෙලාවේ ඉන්නවා ඇතැයි කියා හිතුන අම්මාගේ නිදන කාමරය වෙතය.

වෙනදාට අම්මාගේ කාමරය අස්සෙන් එන සුවඳ හඳුන්කූරු සුවඳ අද තිබුනේ නැතත් කිසිම වෙනසක් නැතුව එදා මෙදා තුර මේ ගෙ අස්සේ විහිදුන අම්මාගේ සුවඳ නාසය හරහා දිව විත් අරුණගේ හිත පතුලේ නතර වුනේ වඩා සංවේගයට බර හැඟීමකිනි. 

“අම්මා” කියා අරුණ කතා කර හඬ අනෝමාට ඇහුනේ සිහිනයෙන් මෙනි. පසුගිය දිනවල මේ නිවෙස අස්සේ වෙච්ච දේවල් අනෝමා පිලිගත්තේ හැබෑවක් ලෙස නොව සිහිනයක් පරිද්දෙනි. අරුණ කීයටවත් ගෙදර ඒ යැයි බලාපොරොත්තුවන් නොතිබුන නිසාවෙන්ම අනෝමා හිතුවේ අරුණගේ කටහඬ තමන්ට ඇසුනේ සිහිනයෙන් මෙන් කියාය. ඒ නිසාම අනෝමා තමන් ඇඳේ හාන්සි වී උන් ඉරියව්වෙන් මිදුනේ නැත. 

අම්මා ඉන්නේ තමන් ජීවත්වෙන ලෝකයේ වෙන්නෙ මොනවද කියා තේරුම්ගන්නට බැරි නිද්‍රාශීලී මොහොතක බව අරුණ තේරුම්ගත්තේ අනෝමාගේ ඒ හැසිරීමෙනි. අරුණ ආයෙම පියවරක් ඉදිරියට තබා අම්මා හාන්සි වී උන් ඇඳ වෙතට ලං වුනේය. අම්මාගේ නිරුවත් අත් ගොබය මත හීන් සීරුවේ අත තබා ආයෙම වතාවක් මුදු හඬින් “අම්මා” කියා කිව්වේය. මෙතෙක් වෙලා සිහින අස්සේ සැරිසරමින් උන් අනෝමා පියවි සිහියට ආවේ ඒ හඬින් ය.

අනෝමා නැගිට්ටේ “පුතේ” කියාගෙනම උනත් ඒ වචන වලට දෙතොල් වලින් නිවාඩුපාඩුවෙ එලියට එන්නට ඉඩ නොදී ඉකියක් ඉස්සර විය. අනෝමා අරුණව දැක්කේ බොහෝ දිනක් තිස්සේ වතුර පොදක් නැතුව කාන්තාරයක ඇවිද යමින් උන් අයෙකු ක්ෂේම භූමියක් දුටුවාක් බඳු විලාසයකිනි.

“අඬන්න එපා අම්මේ, මං ආවනේ” කියා අරුණ කිව්වද අනෝමා විසින් දිය කර හරින්නට යෙදුනේ මෙතෙක් දිනක් අඬා නිදහස් කරගන්නට බැරුව උන්නු වේදනාවක කඳුලු ය. අම්මාට හිතේ හැටියට අඬන්නට ඉඩ දී අම්මාව තුරුලු කරගෙන උන් අරුණට උඩ තට්ටුවට ගොස් ඇඟ පත සෝදාගන්නට ඉඩක් ලැබුණේ “පුතා කන්නේ නැතුව නේද එන්නැත්තෙ? ඉන් මං මොනාහරි හදන්න” කියා අම්මා ඉක්මන් අඩි තබා කුස්සියට යන්නට ගියයින් පස්සේය.

“අම්මා දැන්ද ඉව්වේ?” කියා අරුණ ඇහුවේ බතුත්, පරිප්පුත්, පොල් සම්බෝලයකුත් මේසයට හනි හනික අරගෙන එන ගමන් ලිපේ තියෙන බිත්තර බුල්ස් අයි එක බලන්නට යුහුසුලු වුන අනෝමා දිහා බලාගෙනය.

“ඔව් පුතේ”

“එතකොට මං ආවෙ නැත්තම් අම්මා මොනවද කන්නේ?” කියා අරුණ අහද්දි අනෝමා දෙනෙත් හංග ගත්තා වීද අරුණ උන්නේ ඒ හංගන්න හදන කතාව තේරුම්ගන්නට බැරුව නොවේ.

“කන්නෙ බොන්නෙ නැතුව දුක් විඳලා අම්මා කාගෙන්ද අම්මේ පලිගන්න හදන්නේ?” කියා අරුණ අහද්දී අනෝමා උන්නේ ආයෙ වතාවක් අලුත් වුණ කඳුලු රැල්ලකට කම්මුල් හරහා ගලායන්නට ඉඩ දෙමින් ය. 

“අම්මා කෙනෙක් කොහොමද පුතේ කාගෙන්වත් පළිගන්නෙ? මං පළිගන්න හදන්නෙ මගෙන්මයි. මට තිබ්බ මල්ලි ගැන ඔයිට වඩා හිතන්න. තාත්තව හදන්න බැරි විත්තිය මම තේරුම්ගත්තෙ ඔය මන්ත්‍රී පට්ටම එයාට ලැබිච්ච කාලෙමයි. එහෙම එකේ මට තිබ්බා මල්ලිව බලන්න. ඔයා කොහොමත් ඉස්සර ඉඳලා වද නුදුන්න, පිලිවෙලකට හැදිච්ච දරුවෙක් හන්දා මං හිතුවෙ මල්ලිත් මොක උනත් ගෙදර නැති තාත්තගෙ පාරෙ නොයා නිතර ඇහැට පේන ඔයාගෙ අඩිපාරෙ යාවි කියලා. මගෙ හිතට අමාරු අම්මා කෙනෙක් විදියට මට මගෙ දරුවව බේරගන්න බැරිවෙච්ච එක පුතේ. 

අනික මගෙ කුසෙන් උපන්න එක දරුවෙක් හිර කූඩුවක තපිනව කියල දැන දැන මං කොහොමද පුතේ බත් කටක් තියා වතුර උගුරක් උගුරෙන් පල්ලෙහට යවාගන්නෙ”

“හිතට අමාරු බව ඇත්ත අම්මේ. ඒ උනාට මේ වෙලාවෙ තමයි අපි හයියටම ඉන්නෝන” කියා අරුණ කියද්දිත් අනෝමා කරේ ගවුම් කරෙන් කඳුලු පිසදැමූ එකය. ගමන් මහන්සිය හන්දාම ආහාර ගත්තයින් පසුව අරුණ අවදි වී පල්ලෙහට එද්දිත් අනෝමා උන්නේ පන්සල් යනු පිණිස සූදානම් වෙමිනි. වෙනදාට නම් අම්මා පන්සල් යන වෙලාවට මල් නෙලා දෙන්නත්, තෙල් හඳුන්කූරු සූදානම් කර දෙන්නත් කොපමණ දෙනා ගෙදර උන්නද අද මන්ත්‍රී නිවස තිබෙන්නේ පාලුවට ගිය සොහොන් පිටියක් ලෙසින් බව අරුණ සිතුවේය. අම්මාට මල් නෙලාගෙන, හඳුන්කූරු ආදිය සොයාගෙන පන්සල් යන්නට අරුණ උදව් කරේ ඒ නිසාවෙන්මය.

අරුණ ගම රැඳුණ කාලයේ උසස් පෙලින් පසු ධර්මාචාර්‍ය විභාග ආදිය සමත් වී දහම් පාසලේ ඉගැන්වීම් කටයුතුවල නිරත වුණත් ගමෙන් පිට වී කොළඹ ගියයින්  පස්සෙ ගමේ පන්සලට යන්නට ලැබුනේ ඉතාම අඩු අවස්තා කීපයකදීය. අනෙක් අතට පන්සලට ගොස් හිත නිවා ගන්න එක අම්මාට වගේම තමන්ටත් හොඳක් වෙන අරුණ හිතුවේය.

එහෙත් ඒ අතරේම “සමුධ්‍යා කොහේ හරි ඉඳලා මුණ ගැහුනොත් මොකද කරන්නෙ?” යන ප්‍රශ්නය අරුණගේ හිත අස්සේ දඟර ගැසුවේය. පරමාකන්ද පන්සල තිබුනේ සුපුරුදු විදියටම සැඳෑකල ඉර අව්වේ දිලිසෙමින්, වඩා සිහිලසක් මෙන්ම සැනසුමක් පන්සල් භූමිය ඇතුලේ මවාපාමිනි.අරලිය ගස් හෙවණ යට වෙහෙර භූමියේ සිට ගල මුදුනට යන්නට ඇති පඩිපෙල නගින අතරවාරයේ අරුණ උන්නේ සිත එක තැනක රඳවාගන්නට උත්සහ කරමිනි. සිහිල් සුලං රැල් ඇවිත් ගත දැවටුනද හිත තිබුනේ නිරත්තර දැවීමක් තුරුලු කරගෙනය. ඒ වනාහී තමන්ගේ අය වෙනුවෙන්, තමන්ගේ අයම දල්වන්නට හේතුවුණ ගින්නකි. අනෙක් අතට මේ සියලු ගිනි පිටිපස්සේ තමන්ද ඉන්නවා යැයි අම්මා දැනගත් දිනක ඇය වඩ වඩාත් හිත රිදවාගන්නට එය හේතුවක් කරගන්නා බව අරුණට රහසක් උනේ නැත. අරුණ පඩිපෙල බැස පහල මාලයට එද්දිත් අම්මා උන්නේ වෙහෙර ගෙය අසල හිඳගෙන මුහුණ නොපෙනෙන කවුරුන් සමගින් හෝ කතාකරමින් ය. අරුණ දෙපා ඉදිරියට මෙහෙය වූයේ ඒ කවුරුන්දැයි කියා මොහොතකටවත් හිතන්නට වෙලාව නොගමින් ය.

දෙනෙත් පැටළුනේත් මෙතෙක් දිනක් වහින්නට බලාගෙන උන් වැස්සක් ඇද හැලුනේත් එකම මොහොතකය.

ඒ වනාහී අකල් වැස්සකි. ඒ දෙනෙත් අස්සේ හුවමාරු උනේද අකල් හැඟුම් දහරාවකි.

සමුධ්‍යාට ඇසුවේ එකම එක ගැටලුවකි.

“මිස්ට අරුණ කොහෙද මෙහේ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here