(අ)හිමි සිහින -152

සුදාරක සුව කර ගැනීමේදී ගුප්ත ශාස්ත්‍රවල පිහිට පතන්නට මං කිසිම මොහොතක සිතුවේ නැහැ.හැම මොහොතකම වෛද්‍ය ශාස්ත්‍රය ඇරුණු විට මා බෞද්ධ වත්පිළිවෙත් වලට අනුව ඔහුට සෙත් පතන්නට ක්‍රියා කළා පමණයි.මා ගුප්ත විද්‍යාව ගැන කිසිවක් දැන සිටියේ නැහැ.ඒ හැරුණු විට දිල්හානි සහ සුදාරකගේ අම්මා කළ කී සමහර දේවල් නිසා ශාස්ත්‍රය ගැන කිසිම ආකාරයකින් විශ්වාසය තබන්නටත් මට නොහැකි වුණා.

මේ එවැනි දේවල් ගැන මගේ විශ්වාසය අහම්බයකින් ගොඩනැගුණු පන්දම ගැන කතාවක්.මගේ කතාව කියවන ඔබට ගැහැනියක  ලෙස මා ජීවිතය තුළ මුහුණ දුන් විවිධ අත්දැකීම්  විස්තර කරන නිසා මේ සිදුවීම ද ලියා තබන්නට මා සිතුවා.

සුධාරක අසනීපයෙන් පසුවූ දිනවල ඔහු වෙනුවෙන් සෙත් පතා මෙහෙණින් වහන්සේ නමකට සිවුරක් පූජා කරන ලෙස මට  සමීපතමයෙකු පැවසුවා.මේ කාරණාව ඉෂ්ට කරන්නට මම මෙහෙණින් වහන්සේ නමක් සොයන්නට වුණා.මෙවැනි කාරණා සඳහා උපකාර පතන්නේ සුදාරකගේ ප්‍රධානියා ගෙන්.මෙහෙනින් වහන්සේ කෙනෙකු සොයා දෙන ලෙස ද මම ඔහුගෙන් ඉල්ලා සිටියා.ඒ ඉල්ලීම ඉදිරිපත් කරද්දී ඔහු මට පෙරළා දුන්නේ අපූරු පිළිතුරක්.

“අනුරාධා දන්නවද මම දැන් කොහෙද ඉන්නේ කියලා? මම ඉන්නේ මෙහෙණින් වහන්සේ කෙනෙක් ළඟ.”

මෙය මට සතුටක් ගෙන ආ ප්‍රවෘත්තියක් වුණා.අනුරාධපුරයේ පිහිටා ඇති මෙහෙණි ආරාමය වෙත මා ගියා.එතැනට ගියේ මට අපූරු පුවතක් ද දැන ගන්නට ලැබුණා.ඒ මොහොතේ මා සිටි මානසිකත්වය මත මට එය සැබෑවටම හිත සැනසුම ගෙන ආ ආරංචියක්.

ඒ මෙහෙණින් වහන්සේ ඉතා සිල්වත් නිසා ඇය පවත්වන බෝධිපූජා සම්බන්ධයෙන් අනුරාධපුරයේ හොඳ විශ්වාසයක් ගොඩනැඟී තිබුණා.සුදාරකගේ සමීප වෘත්තීය මිතුරෙක් මෙහෙණින් වහන්සේ හමුවී සුදාරක වෙනුවෙන් බෝධි පූජා පවත්වන ලෙස එතුමියගෙන් ඉල්ලීමක් කර තිබුණා.ඉතා අසාධ්‍ය මට්ටමක ගිලන් ඇඳ ප්‍රතිකාර ලබන මගේ සුදාරක වෙනුවෙන් ඒ මොහොතේ ද ඒ ආරාමයේ පහනක් දැල්වෙමින් තිබුණා.සෑම දිනකම එය මෙහෙණින් වහන්සේ විසින් ඔහුට සෙත්පතමින් බෝධි පූජා පවත්වන බව මා දැන ගත්තේ ඒ මොහොතේ දී.අප නොදුටු නොදන්නා මිනිසුන් පවා අප වෙනුවෙන් කරමින් සිටින දේ ගැන මට මහත් සතුටක් දැනෙන්නට වුණා.

මේ කොරෝනා වසංගතය තදින් පැතිරී යමින් තිබූ කාලයක්.

සුදාරකගේ සේවා ස්ථානය මේ ආරාමයට උදව් කරමින් හිඳින බව ද මට ඒ මොහොතේ දැනගන්නට ලැබුණා.ඒ කාලයේ ඔවුන්ගේ වෘත්තීයට අදාල වූ දෙයක්ද වුණා.මගේ ඉල්ලීම පැමිණෙනවිට අත්‍යවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන සුධාරකගේ ආයතන ප්‍රධානියා එතැනට ගොස් සිටීම ද මට අවශ්‍යද ඉක්මනින් කර ගැනීමට ලැබුණු ආශිර්වාදයක් වුණා.

“මම හැමදාම හවසට බෝධිපූජාවක් තියනවා නෝනා.ඔයාලා පූජාවට සහභාගි වෙන්න.”

විවිධ ඖෂධ වර්ග බෝධීන් වහන්සේට පූජා කරමින් විශේෂිත ක්‍රමයකට බෝධි පූජාවක් පවත්වන්නියක ලෙස එතුමිය ප්‍රසිද්ධියට පත් වී සිටියා.ඒ නිසා ඒ පූජාවට සහභාගී වන්නට මමත් සුදාරකගේ පවුලේ අයත් ඔහුගේ වෘත්තීය සගයන් කිහිප දෙනකු සෑම දිනකම ඒ ආරාමය වෙත ගියා. ඒ මුළු කාලය තුළම නිර්මාංශ වන්නටද මම වගබලාගත්තා.නමුත් සුදාරකගේ පවුලේ සියල්ලන් ම මස්මාළු කෑම නැවැත්වූයේ ද නැහැ.

වසර කිහිපයක සිට මේ කාලය දක්වාම මට උගුරේ ආබාධයක් පැවතුණා.එයට මම බොහෝ ප්‍රතිකාර ලබා ගත්තා.විවිධ වෛද්‍ය පරීක්ෂණ සිදු කළා. නමුත් කියන්නට තරම් අසනීපයක් තිබුණේ නැහැ.ස්වර තන්තු වලට සිදු වූ හානියක් වන්නට ඇතැයි වෛද්‍යවරයා අවසානයේදී පවසා සිටියා.

මේ සම්බන්ධයෙන් නොසිතූ කතාවක් මට අසන්නට ලැබුණේ ඒ ආරාමයේදී.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles