බිම්මල් –  25 කොටස 

අම්මා නිවසට පැමිණෙන තුරුම සුදු නංගී හා මා අතර කතා බහක් ඇති නොවීය. මා සමීපයේ සිට පරිගණකයේ යම් කාර්යයක නිරතව සිටින බවක් පෙන්වීමට උත්සාහ කළද, ඇය කිසිවක් නොකළ  බව මම දැන සිටියෙමි. සුදු නංගී පහසුවෙන් කැළඹෙන අයෙකු නොවේ. එවන් කැළඹීමක් ඇති වු විටෙක ඇයට සන්සුන් වීමට ද බොහෝ වේලාවක් ගත වෙයි. මට දැඩි කාන්සියක් දැනුනද, සුදු නංගී සමග කතා කරන්නට මම බිය වීමි. ඇගේ ගති ස්වභාවය හඳුනන වජිරා පවා ඇය සමග වදනක් හෝ කතා බහ නොකළ අතර ඇය සුදු නංගීගේ තේ කෝප්පය පවා ඇය සමීපයෙන් තබා නිහඬව නික්ම ගියාය.  තාත්තාගේ පැමිණීම නිසා දැඩි සේ කැළඹීමට පත් වූ සිත් වලින් යුතුව සිටි මා හෝ සුදු නංගී දිවා ආහාර පවා ගත්තේ නැත. වජිරා රහස් හඬින් ආහාර ගන්නා ලෙස මට ඇවිටිලි කළ ද, ඒවනවිට ආහාර රුචිය මා කෙරෙන් ඉවත්ව ගොස් තිබිණ.

අම්මා වෙනදාට වඩා වේලාසනින් නිවසට පැමිණියාය. ඇය පැමිණි ප්‍රීතිමත් විලාශය මා තුළ කුතුහලයක් ඇති කරන්නට සමත් වුව ද. මම කිසිවක් නොවිමසා නිහඬව බලා සිටියෙමි.

“හායි…”

රැගෙන පැමිණි බෑග් කිහිපයත්, අත් බෑගයත් සෝෆාව මත තැබූ අම්මා මාත් සුදු නංගීත් දෙස මාරුවෙන් මාරුවට බැලූ නමුත් සුදු නංගී හිස ඔසවා නොබැලුවාය.

“මේ වැස්සෙ සීතල මැකෙන්නත් එක්ක ඔයාලට සර්ප්‍රයිස් එකක් අරගෙන ආවෙ.”

අම්මා පැවසුවේ ප්‍රකට රූපවාහිනී නිවේදිකාවක් අනුකරණය කරමිනි. මා ආයාසයෙන් මුවගට සිනාවක් නගා ගත් නමුදු සුදු නංගී ඒවනතුරුත් පසු වූයේ පරිගණකය දෙසට හෙළා ගත් දෙනෙතින් යුතුවය.

“ළමයි…”

වෙහෙසට පත් ලෙසින් අම්මා මා අසළින් හිඳ ගත්තාය.

“මේ අවුරුද්දෙත් ගෝල්ඩ් ලෝටස් අවෝඩ් එකට මාව නොමිනේට් වෙලා.”

අම්මා අත් බෑගය තුළින් ගත් ආරාධනා පත්‍රයක් මා අතට දුන්නාය. මම එය දිග හැර බැලුවෙමි. මගේ නෙතග සතුටු කඳුලක් නැගිණ. පළාත් සංවිධානයක් මගින් සංවිධානය කරන ව්‍යාපාරික සම්මාන උළෙලකින් අම්මා පිට පිටම පස් වතාවක් වසරේ දක්ෂතම ව්‍යවසායිකාව ලෙස සම්මාන ලැබුවාය. අම්මා ලබන ලද සම්මානයන් විසිත්ත කාමරයේ වූ රාක්කයක තබා තිබිණ. ඇතැම් අවස්ථා වල ඇය ඒ අසල සිටගෙන තෘප්තිමත් දෑසින් තමා ලැබූ සම්මාන දෙස බලා සිටින බව මට සිහි විය.

“කන්ග්‍රැජුලේෂන්ස් අම්මා…”

මම අම්මාගේ මුහුණට මුහුණ ළං කළෙමි. එහෙත් සුදු නංගී තවමත් පසු වූයේ සුපුරුදු ඉරියව්වේය.    

“තෑන්ක් යූ මැණික.”

අම්මාගේ දෙනෙත් යොමු වී තිබුනේ සුදු නංගී දෙසටමය. ඇය කිසියම් ගැටලුවකට මුහුණ පා සිටින බව අම්මා අනුමාන කරන්නට ඇත. 

“මොකද මේ?”

සුදු නංගී අසළට ගිය අම්මා ඇගේ නිකටෙන් අල්ලා හිස එසවුව ද, සුදු නංගී ඇගේ අත ගසා දැම්මාය.

“ඇයි සුදු මේ? මුකුත් ප්‍රශ්නයක්ද?”

තාත්තා නිවසට පැමිණි පුවත වජිරා අභිනයෙන් පැවසුවද, අම්මාට එය වටහා ගැනීම අපහසු වූවා සේ පෙනිණ.

“ඔව්. ප්‍රශ්නයක්.”

සුදු නංගී වේගවත්ව පැවසුවාය.

“වෙන මුකුත් ප්‍රශ්නයක් නෙමෙයි. හැමදේම එපා කියලා ගෙදරින් එළියට බැහැලා ගිය ඔයාගෙ හස්බන්ඩ් මේජර් වංශනාත ගෙදර ආව එකයි ප්‍රශ්නෙ.”

අම්මාගේ දෙනෙත් උඩු මහළ දෙසට යොමු විය. මෙතෙක් ඇගේ මුහුණෙහි වූ ප්‍රීතිමත් ස්වභාවය අතුරුදන් වූයේ සැනෙකිනි.

“මොකක්ද වජිරා මේ සුදු බබා කියන්නෙ?”

අම්මා ඇසුවේ නිදිකුම්බා අත්තක් මැලවූවාක් මෙන් මැලවුනු මුහුණින් යුතුවය.

“කියන්නෙ මේජර් වංශනාථ අද මේ ගෙදරට ඇවිත්. හොඳ වෙලාවට මං නිදාගෙන හිටියෙ. නැත්නම් අද මෙතන දෙකෙන් එකක් සිද්ද වෙනවා.”

සුදු නංගී කෑගැසුවාය. කෝප වූ විට ඇගේ හැසිරීමෙහි ස්වභාවය හඳුනන අම්මා නිහඬව මා අසළින් අසුන් ගත්තාය. වජිරා ද අප සමීපයට පැමිණියාය.

“ලොකු බබා අසනීප වෙලා කියලා ආරංචියටයි සර් ඇවිත් තියෙන්නෙ මැඩම්.”

වජිරා අම්මාට පහදා දුන්නාය.

“ගියාද?”

“ඔව්. ගියා. ඩොක්ට අරුන් තමයි විස්තරේ කියලා තියෙන්නෙ.”

“කලබලේටම මට අමතක වුනා ඩොක්ට අරුන්ට කියන්න. මේ ගැන කිසිම දෙයක් වංශනාථට කියන්න එපා කියලා.”

අම්මා පැවසුවේ පසුතැවුනු ස්වරයකිනි.

“දුක මූණකින් තමයි හිටියෙ. මැඩම් එක්ක ප්‍රශ්න ඇති වුනාට බබාලා එක්ක ප්‍රශ්න ඇති කරගත්තෙ නෑනෙ.”

අම්මා දිගු සුසුමක් හෙලුවාය. සුදු නංගී යන්තමින් හිස ඔසවා අම්මා දෙස බලන ආකාරය මම දුටුවෙමි. ලැප්ටොප් පරිගණකය පසෙක තැබූ ඇය අම්මා අසළට පැමිණ ඇගේ කොපුලක හාදුවක් සටහන් කළාය.

“කන්ග්‍රැජුලේෂන්ස් අම්මා.”

අම්මාගේ මුවග පුළුල් සිනාවක් නැගිණ. ඇය සුදු නංගී ද මා ද දෑතින් වැළඳ ගත්තාය.

“අද සතුටු දවසක්. ඒ සතුට අඩුවුනා මේ මනුස්සයා ආවා කිව්වම.”

“සර්ටත් දරුවො බලන්න අයිතියක් තියෙනවනේ මැඩම්. ඒ ගැන හිතන්න එපා.”

වජිරා පවසන්නට ඇත්තේ අම්මා සැනසීමේ අරමුණින් යයි මට සිතිණ.

“වෙනදා වගේම අපි හැමෝම අවෝඩ් සෙරමනි එකට යමු.”

අම්මා එවර පැවසුවේ සතුටු මුහුණින් යුතුවය.

“මට යන්න වෙන එකක් නෑ අම්මා.”

මම පැවසුවෙමි.

“ඇයි?”

“ඒවෙනකොට මම මහරගම ගිහින් ඉඳීවි.”

අම්මා තදින් ඇසිපිය සැලුවාය. සිතා නොබලා වදන් පිට කිරීම සම්බන්ධයෙන් මා තුළ අුැති වූයේ පසුතැවිල්ලකි.

“කියන්න අමතක වුනානෙ. අද හේෂාන් ආවනෙ ෂොප් එකට.”

මා අම්මා දෙස බැලුවේ ඇය පැවසූ පුවත අදහා ගත නොහැකිවය. හේෂාන් අම්මා හමුවීමට ගියේ ඇයිදැයි ඇසීමට උවමනා වුව ද මගේ මුව තුළම වදන් ගොලු විය. අද උදෑසන අම්මා නිවසින් නික්ම ගිය පසු කීවතාවක් නම් මා ඔහු දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන්නට ඇත්ද? ඒ සෑම අවස්ථාවකම දුරකතනය ක්‍රියා විරහිත කර තිබිණ.

“තනියම?”

මා වෙනුවෙන් ඇසුවේ සුදු නංගීය.

“ඔව්. තනියම. කැබ් එකක් දාගෙන ආවා කියලා කිව්වා ඩොක්ට ළඟට. අද නම් බැන්ඩේජ් ගලවලා.”

මගේ සිතට සතුටක් දැනිණ. මා හා කතා නොකළ ද ඔහු යහතින් පසුවන්නේ නම් මට එය ප්‍රමාණවත්ය.

“ඩිනාලිට කතා කරලා කියන්න ඕන කියලත් කිව්වා. එයා අර හොස්පිටල් එකට කතා කරාලු. ඩිනාලිගෙ ඉඩ තවමත් එතන තියෙනවලු. ප්‍රමාද නොවී එක්ක එන්න කියලා හොස්පිටල් එකෙන් කිව්වලු.”

 “ඒකතමයි මැඩම්.”

වජිරා පැවසුවාය.

“අනේ දෙයියනේ ප්‍රමාද කරන්න එපා. අනිත් කටයුතු හැමදේම පස්සට දාලා අපේ බබාව එක්ක යන්න ඕන.”

“ඒකම තමයි හේෂානුත් කිව්වෙ.”

“ඇයි එයා ෆෝන් එක ඕෆ් කරගෙන ඉන්නෙ?”

මා ඇසුවේ හැඬුම් හඬිනි. අම්මා සිනාසුනාය.

“අපට කියන්න බැරි වුනාට හේතු ඇති පුතේ. වැඩිය ඒ ගැන හිතන්න එපා. හේෂාන් ඔයාට ආදරෙයි කියන එක විතරක් හිතේ තියාගන්න.”

මගේ සිත තුළට දහසක් සිතිවිලි වැල නොකැඩී පැමිණියද, ඒවා කිසිවෙක් සමග පවසන්නට මට නොසිතිණ.

“මැඩම්… තේ ගේන්නම්?”

වජිරා ඇසුවාය.

“ගේන්න. අපේ අරුන්දතී තේ හදනවා තමයි. ඒත් වජිරගෙ තේ එක කිට්ටුවටවත් එන්න එයාට බෑ.”

“අද සතුටු දවසක්නෙ. මම වජිරට හෙල්ප් කරන්නම්.” යි සුදු නංගී ද ගෙතුළට දිව ගියාය. අම්මා මා දෙසට හැරුණාය.

“සුදු හිටිය නිසයි මං මොනවත් අහන්නෙ නැතිව හිටියෙ. මොකක්ද වුනේ ඩිනාලි?”

තාත්තා නිවසට පැමිණි මොහොතේ සිටම නිවසින් පිටව යන මොහොත දක්වාම සිදු වූ සිදුවීම් මම අම්මාට විස්තර කළෙමි. ඇය සාවධානව සවන් දී සිටියාය.

“එයා තාමත් මට වෛර කරනවා.”

ඇය පැවසුවේ බිඳුනු හඬින් යුතුවය.

“සීයා මට දීපු බිස්නස් එක මං කැපවීමෙන් ඉස්සරහට අරගෙන ගියා. තාත්තා මට ඊර්ෂ්‍යා කළා. ඔයගොල්ලන්ට මතකද මන්දා ගෝල්ඩ් ලෝටස් අවෝඩ් එකට පළවෙනි වතාවට නොමිනේට් වුනු වෙලාවෙ එයා යකෙක් වුනා. මගේ ඔලුව බිත්තියේ හප්පපු පාරට ඔලුව පැළිලා ලේ ගලාගෙන ගියා. මං ස්වාධීන ගෑනියක් විදියට නැගී ඉන්නවට එයා කැමති වුනේ නෑ ඩිනාලි. එයාට ඕන වුනේ ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන හැම දේටම ඔලුව පාත් කරගෙන ඉන්න ගෑනියක් විතරයි.”

අම්මා පැවසුවේ ඇගේ සිත සැහැල්ලු කර ගැනීමට විය යුතුය. සුදු නංගී ඉදිරියේදී අම්මා තාත්තාගේ දුර්වලතා පැවසීමට මැළි වූයේ ඇය ඔහුට වෛර කරනු ඇතැයි සිතා විය යුතුය.

“අවෝඩ් එක ගන්න මට යන්න වුනේ තනියම. ඔයදෙන්නාවත් අරන් යන්න ඉඩ දුන්නෙ නෑ. එදා මට මං ගැන හරියට දුක හිතුනා.”

අම්මා සිය දෙනෙත් පිස ගත්තාය.

“සමහරවිට දැන් එයා එක්ක ජීවත් වෙන කෙනා එයාට ඕන විදියෙ ගෑනියක් වෙන්න ඇති. මට ඕනනම් පවුල් ජීවිතේ ගැන හිතලා බිස්නස් එක අත ඇරලා දාන්න තිබුනා. ඒත් තමන්ගෙ සහජ හැකියාවක් තියාගෙන  ගේ මුල්ලට වෙලා ගෑනියක් ඉන්න එක අපරාධයක්. මගේ සීයා නිතරම කිව්වෙ සල්ලි තියෙන කෙනා නෙමෙයි පොහොසතෙක් කියන්නෙ. තමන්ගෙ මහන්සියෙන් සතයක් හරි හම්බ කරන්න උත්සාහ කරන කෙනා කියලා.”

මම අම්මා දෙස බලා සිටියෙමි. ඇගේ ගති ස්වභාවයන් කවදත් සෘජුය. ස්ථිරසාරය. ඇය ජීවිතයේ ලද යම් ජයග්‍රහණයක් ඇත්නම් ඒ සියල්ල ඇගේ අනේකවිධ කැපකිරීම් වල ප්‍රතිඵලයන්ය.

“මම ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක් ඩිනාලි. එදා මම අධෛර්යමත් වුනා නම් අඳුරු වෙන්නෙ ඔයගොල්ලන්ගෙ ජීවිත. ඇත්තමයි. අද මම මං ඉන්න තැන ගැන සතුටුවෙනවා.”

අම්මා සිය ඇතුලු හදවත වමාරන්නාක් මෙන් මට දැනිණ. මම ඇයට සාවධානව සවන් දුන්නෙමි.

“ඉදිරියේදී බලාපොරොත්තු නොවුන ප්‍රශ්න මහ ගොඩක් ඒවි පුතේ. මම කියන්නෙ… ශක්තිමත් වෙන්න. දැන්මම ශක්තිමත් වෙන්න. කැන්සර් එකට ජීවිතේ යට කරන්න නොදී ඔයා කැන්සර් එක යට කරගන්න. හැමදේම වෙන්නෙ හොඳට කියන එක හැමතිස්සෙම හිතේ තියාගන්න.”

අම්මා මෙසේ පවසන්නේ මන්දැයි සිතුණද, මම එයට හේතු කාරණා නොවිමසීමි. ඇතැම් විට ඒ ඇය ලද ජයග්‍රහනයෙන් ඇති වූ උද්දාමය නිසා හෝ මගේ ජීවිතයේ ඉදිරිය ඇය කල් තබා දකින බැවින් විය යුතුය. මට හේෂාන් සිහියට නැගුනේ මන්දැයි මම නොදැන සිටියෙමි. 

“යමු තේ බොන්න.”

වජිරා පැමිණ කතා කළාය. 

“යමු.”

අම්මා මගේ අතින් අල්ලා නැගිට්ටුවාය. මා ඇය සමග කෑම කාමරයට යනවිටත් සුදු නංගී මේසයට හිඳගෙන සිටියාය.

“මගේ අතින් වැරැද්දක් වුනා නම් සමාවෙන්න වසරේ විශිෂ්ඨතම ව්‍යාපාරික කාන්තාව.”

ඇය හිස නමා අම්මාට ආචාර කළාය. ඒ අනුව හඬ නගා සිනාසුනද, මට ද නොවැටහෙන වේදනාත්මක සිතිවිල්ලක් සිත පතුලේ ඇනී රිදුම් දෙන අයුරු මට දැනිණ.

*

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles