ගාලු පාර දිගේ මද දුරක් ඉදිරියට පැමිණි යුගාෂ් වාහනය නවතා ගත්තේ සමුද්‍රාසන්නයේ තැනකය. සිය දකුණතේ දෑඟිලි වලින් නළලත මිරිකා ගත් තරුණයා ආසනයට හේතු වී දෑස් පියා ගත්තේ සිතට දැනෙන නොසන්සුන් හැඟීම නිසාය. අපූර්වා මේ සිතෙහි ඉඩ සොයමින් උන්නේ යුගාෂ්ටත් පාලනය කර ගත නොහැකි වේගයකින්ය. ඊයේ පෙරේදා සිට කුමක් හෝ හේතුවක් මවාගෙන යළිත් යුවතියව දකින්නට පෙරළිකල සිතුවිලි ඔහු දරා ගත්තේ මහත් වූ ආයාසයකින්ය. කොහොමටත් කිසිවකට ඉක්මන් වීමේ පුරුද්දක් යුගාෂ්ට වූයේ නැත. විටෙක ඔහු දෙපසට දෝලනය වෙමින් කිරා මැන බලමින් පිළිතුරු සෙව්වේතත ඇය ගැන මේසා වද වෙන්නේ මන්දැයි යටිසිත ඇසූ ප්‍රශ්නයටය.
අවසන සිය තාරුණ්‍යට ඉඩ දෙමින් ඔහු ජංගම දුරකථනය දකුණතින් අල්ලා ගත්තේය.
හුරුපුරුදු අංකයක් සටහන් කරමින් ජංගම දුරකථනය නාද වද්දී අපූර්වා සිටියේ ත්‍රී රෝද රථ නැවතුම් පොලෙහිය.
“අපූර්වා මම යුගාෂ්…මාව මතකද දන්නෙ නෑ…”
“මතකයි සර් ..ඇයි සර්…”
“අපූර්වා මට මතුගමට යන්න වුවමනාවක් තියෙනවා. ඔයාට පුළුවන්ද උසාවිය ළඟට ඇවිල්ලා මාව පික් කරන්න. මේ දවස් ටිකේ එක්සෑම් එකක් නිසා ටිකක් මහන්සි උනා අපූර්වා. ඒ නිසා වාහනේ ඩ්‍රයිව් කරන එක රිස්ක් එකක් කියලා හිතුනා. නින්ද යයිද දන් නෑ.”
“සර්ව එක්කරගෙන ගිහිල්ලා ආපහු කළුතරට දාන්නත් ඕනද.”
“ඔව් අපූර්වා…..මට ඩොකියුමන්ට්ස් වගයක් බාර දෙන්න තියෙන්නේ. ඒක විනාඩි පහක්වත් යන වැඩක් නෙමෙයි.”
“කීයටද සර් මම එන්න ඕනේ..”
අපූර්වා එසේ ඇසුවේ තත්පර කිහිපයක් නිහඬව උන්නාට පසුවය.
“අපූර්වා එකොළහට ආවොත් ඇති…..”
“මම එන්නම් සර් ඇවිල්ලා සර් කෝල් එකක් දෙන්නම්..”
යුගාෂ්ගේ මුවේ සඳහන් වූයේ ජයග්‍රාහී සතුටකි. යුවතිය හයර් එක බාරගත්තේ බැහැයි කියන්නට බැරි කමට බව විශ්වාසය. ඔහු යළිත් ගාලු පාරට වාහනය අවතීර්ණ කළේ ඒ සතුට සිත පුරා පිනුම් ගසද්දීය.
“සමහර මිනිස්සු ඉන්නවා ඇත්තටම උදව් කරන. සමහරු ඉන්නවා අනුන්ට උදව් කරන මුවාවෙන් තමන්ගේ බඩ වඩා ගන්න. ආයෙත් ආවහම බලමුකො පුතේ. කොරොස් කටෙත් කිඹුළු දකින්න ඕන නෑ.”
සමන් පැවසූයේ ත්‍රීරෝද රථයේ වාඩි වී සිටි තම සගයා දෙස බලමින්ය. අපූර්වා ජීවිතයේ අලුතින් සිදුවන යමක් මේ වැඩිහිටියන් දෙදෙනා හා බෙදා ගන්නේ තාත්තා හා පවසන්නා සේ විශ්වාසයෙන්ය. ඔවුන් දෙදෙනාගෙන් ලැබෙන ගුරුහරුකම් දැන් මේ ජීවිතයට බොහෝ වටී.
“හැමදාම උඹත් ඔහොම ඉන්න ඕනෙ නෑ අපූර්වා. නන්දසිරිගේ හිතේ ලොකු වුවමනාවක් විශ්වාසයක් තිබුණා උඹට උගන්වන්න. මට මතකයි ඉස්කෝලෙ යන කාලෙ අපූර්වා ගැන තාත්තා අපිත් එක්ක ඇවිල්ලා විස්තර කියනවා. ඒ නිසා මේ රස්සාව කරන ගමන් හරි වැඩිදුර ඉගෙන ගන්න බැලුවනං හොඳයි.අපිත් පුළු පුළුවන් විදිහට උදව් කරන්නම්.”
“මාත් එහෙම හිතුවා මාමේ. ඒ උනාට කිසි දෙයක් කරන්න තරම් මගේ හිත නිරවුල් නෑ.”
“බලාපොරොත්තු විදිහටම ජීවත් වෙන්න ලැබෙන්නේ අපි කීයෙන් කී දෙනාටද. එන විදිහකට ජීවිතයට මුහුණ දෙන්න සිද්ද වෙනව. වරදකට තියෙන්නේ ටිකක් කලින් ඔයාට මේ වගකීම් දරා ගන්න වෙච්ච එක අපූර්වා”
චින්තන පැවසූයේ අන් සියල්ලන්ගේම කතා වලට සවන් දීගෙන සිටියාට පසුවය. විවාහයෙන් පසු ඔහු ත්‍රී රෝද රථ නැවතුම්පලට පැමිණියේ ඊයේ දවසේය.
ජීවිතය කොතැනකින් හෝ පටන්ගත යුතු බව දැන සිටියත් එහි ආරම්භය කෙසේ සිදුවියයුතුදැයි සිතන්නට තරම් සන්සුන් මනසක් අපූර්වාට වූයේ නැත.
හරියටම එකොළහ වද්දී අපූර්වා උසාවි සංකීර්ණය අසලට පැමිණියාය. නීතිඥවරයාට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ ඉන් පසුවය.
වරින් වර අත් ඔරලෝසුව දෙස බලමින් උන් මිතුරාගේ මුහුණෙහි සටහන් වූ අපූරු සිනහව තීක්ෂණ හොඳටම දුටුවේය. හදිසියේ යුගාෂ්ට යාමට ඇති ගමන කුමක්දැයි ඔහු දැන සිටියේ නැත. කිහිප වරක්ම ප්‍රශ්න කරද්දිත් ඔහු පැවසූයේ ‘ඇවිත් කියන්නන් බං’ යනුවෙන්ය. වාහනය තිබියදී ඔහු ත්‍රී රෝද රථයක් ගෙන්වා ගන්නේ කුමන හේතුවක් නිසාදැයි තීක්ෂණ සිතුවේ මවිතයෙන්ය. හවස් වරුවේ කරන්නට ඒ හැටි වැඩක් නොවූ නිසා ඔහුත් මේ ගමනට සහභාගී වීමට තීක්ෂණ උත්සාහ කරද්දී යුගාෂ් ඔහුව වළකාලූයේත් ‘මේක උඹත් එක්ක යන්න පුළුවන් ගමනක් නෙමෙයි බං’ කියමින්ය.
යුගාෂ් පැමිණෙන විට අපූර්වා සිටියේ රියදුරු අසුනේ වාඩිවීගෙන තම ජංගම දුරකථනය දෙස බලාගෙනය. වර්තමානයේ මාර්ගගත ක්‍රමයට උසස් අධ්‍යාපනය ලැබිය හැකි නිසා එවන් වූ පාඨමාලාවකටවත් සම්බන්ධ විය යුතුයැයි අපූර්වා කිහිප වරක්ම සිතුවාය. ඇය මෙවේලෙහි උන්නේත් ඒ පාඨමාලා පිළිබඳව විස්තර සොයමින්ය.
“මැඩම් අපි යමුද එහෙනම්……”
යුගාෂ් ත්‍රී රෝද රථය පිටුපසින් අසුන් ගද්දීත් අපූර්වා ඔහු පැමිණි බවක් දැන සිටියේ නැත.
“සොරි සර්…”
“සොරි කියන්න ඔයා වරදක් කලේ නෑනේ. ඒ වචනේ පාවිච්චි කරන එක අවම කරගන්න. අපූර්වා මට යන්න ඕනේ මතුගම ටවුන් එකට..අපූර්වට කරදරයක් නැත්නම් මම තවම ලන්ච් ගත්තෙ නැහැ. අපි හොඳ තැනක් බලලා නතර කරලා කාල යමුද..”
“සර් කාල එන්න මම ඉන්නම්…..”
අපූර්වා රිය පදවන්නේ බොහෝ අර පරිස්සමටය. එනිසාම ඇය සමඟ යන ගමන ඕනෑම අයෙකුට ආරක්ෂාකාරීය.
“එහෙම හොඳ නෑ අපූර්වා ඔයා තවම කාලත් නෑ නේද. අනිත් එක අපූර්වා මට කරපු ඒ ලොකු උදව්වට මට කිසිම දෙයක් ඔයා වෙනුවෙන් කරන්න බැරි වුණා. මාව වරදවා හිතන්න එපා. මම, යාළුවෝ ගොඩක් වෙලාවට එහෙම තැනකදි අනිත් කෙනාට ලන්ච් එකක් හරි ඩිනර් එකක් හරි තමයි දෙන්නේ. මම අපූර්වාට ලන්ච් එකකට ඉන්වයිට් කරන්නේ”
“අනේ බොහොම ස්තුතියි සර්. එහෙම ඕනෙ නැහැ. සර් කාල එනකල් මට ත්‍රීවිලර් එකට වෙලා ඉන්න පුළුවන්.”
“එහෙනම් ඉතින් අපි දෙන්නම බඩගින්නෙ යමු අපූර්වා. ඔයා මට දැන් යාළුවෙක් වගේ. සමහරවිට පාරේ යන ත්‍රී වීලර් එකකට නැග්ගනම් මං මෙහෙම ඒ ඩ්‍රයිවර්ට කතා නොකරන්න තිබුණා”
“අනේ සර් එහෙම හොඳ නැහැ නේද..මං මේ කිව්වේ මටත් සර්ටත් දෙන්නටම”
“අපි පාළු තැනකට යනවා නෙමෙයි අපූර්වා. මේ පළාතේ හරි ප්‍රසිද්ධ ගොඩක් අය ගැවසෙන තැනක් මේ. මට ගෑස්ට්‍රික් නම් තියෙනවා. ඒක තමයි බය..කමක් නෑ අපූර්වාටත් කන්න බැරි නම් අපි යමු.”
එවර යුගාෂ් පැවසූයේ තමාගේ ඇරයුම ඇය ප්‍රතික්ෂේප කිරීම එතරම් ගණනකට නොගත් බව හඟවමින්ය.
“අනේ ග්‍රෑස්ට්‍රික් තියෙනවනං වෙලාවට කන්න ඕනි සර්..සර් කාල එන්නකො කියන දේ අහලා.”
“ටිකක් ඉස්සරහට යනකොට වම් පැත්තෙ තියෙනවා රිවර් සයිඩ් කියලා තැනක්. එතන කෑම හරි රසයි අපූර්වා. මං සමහර දවසට අම්මටත් එක්ක කෑම ගෙනියන්නෙ එතනින්.”
යුගාෂ් කියවාගෙන ගියේ අපූර්වාගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවීමය.
යුවතියගේ මුහුණෙහි ඇඳි මැකී ගියේ සිනහවකි. ඔහු අත් හරින පාටක් නොවේ.
තමා සමග ගමනක් දෙකක් ගිය මේ තරුණයා මනුස්සකම්වලින් ඉහල අයෙකු බව අපූර්වා වටහාගෙන උන්නාය. එහෙත් ඔහු හා ගොස් ආහාර ගන්නට තරම් සමීප සබඳතාවයක් ඇයට වූයේ නැත. මේ ආරාධනය ප්‍රතික්ෂේප කරන්නටත් නොකරන්නටත් බැරි එකකි.
ඉස්සර තාත්තා ඉඳහිට මෙතනින් කෑම ගෙනාවා අපූර්වාට මතකය. රස නහර පිනා ගිය ඒ ආහාරවල රසයත්, සුවඳත් ඇයට මේ දැනුදු දැනෙන්නා සේය. තාත්තා මියගිය පසුව එවන් ආහාර වේලක් භුක්ති විඳින්නට අවස්ථාව ලැබුනේම නැත. එහෙත් මේ අයුරින් තරුණයෙකු සමග අවන්හලකට යාම කොතරම් සුදුසුදැයි ඈ සිතුවේ නිහඬවය. තමාගේ ප්‍රතික්ෂේප කිරීම තුළ ඔහු හිතුවක්කාරී ලෙස බඩගින්නේ සිටිනු ඇතැයි යුවතියට සිතිණ. එනිසාවෙන් කිසිවක් නෑසූ ඕ අවසන ‘රිවර් සයිඩ්’ නාම පුවරුව අසල ත්‍රී රෝද රථය නතර කළාය.
“බොහොම ස්තූතියි අපූර්වා. බැහැල එන්න මමත් එක්කම ඇතුලට යමු.”
“ඒක හොඳ නැහැ නේද සර්.”
“යාළුවෙක් එක්ක කෑම ටිකක් කෑවට ඒක වරදක් ඇති කියලා මම හිතන්නේ නැහැ. හැබැයි අපූර්වට හිතෙනවනං ඒක වරදක් කියලා අපිි ආපහු යමු.”
මේ හිතුවක්කාර තරුණයාගෙන් ගැලවිල්ලක් නොවන පාටය. ඔහු නීතිඥයෙකු බව සිහිව ඒ දෙතොලතර ඇඳී ගියේ මන්දස්මිතයකි. යළිත් කිසිවක් කතා නොකළ යුවතිය ඇන්ජිම ක්‍රියා විරහිත කර යතුර අතට ගත්තාය.
සිදුවෙමින් පවතින්නේ යුගාෂ්ට වුවමනා වූ දේමය. මේ අයුරින් ඇයට කෑමකට ආරාධනා කරන්නට ඔහු සිතා සිටියේ නැත. නන්දනී විසින් සාදා දුන් දිවා ආහාරය කාර්‍යාලීය බෑගය තුලය. සැබැවින්ම යුගාෂ්ට මතුගමට යාමට තරම් හේතුවක් වූයේ නැත. එයත් මවා ගත් හේතුවකි.
“උඹට මේ මොනවා වෙලාද කොල්ලෝ…..”
තමාගෙන්ම අසාගත් තරුණයා පසු පසින් පැමිණි යුවතියට පෙන්වූයේ ආපන ශාලාව කෙළවරක වූ මේසයකි. එහි ලොකු තදබදයක් වූයේ නැත. පසෙකින් ගලා ගිය කළු ගඟ දෙසින් හමා එන සුළඟ දහවලේ විඩාව නිවන්නට සමත්ව තිබිණ.
“සර් මම අතනින් ඉඳගන්නම්…”
අපූර්වා එවර ඇසුවේ කෙළවරෙහි වූ කුඩා මේසයක් පෙන්වමින්ය.
“එහෙම දෙපැත්තක ඉඳගන්නෙ ඇයි. මං ඔයාව කන්නෙ නෑ. පිස්සු මනස්ගාත හිතින් අයින් කරලා මෙන්න මෙහෙන් ඉඳගන්න අපූරුවා. ඔය තියෙන හැම බාධකයක්ම අයින් කරලා බලනකොට අන්තිමට අපි මිනිස්සු. බේදයකට තියෙන්නේ ගැහැණු, පිරිමි වීම විතරයි. හැබැයි ඉතින් මගේ යාළුකම් වලට ඒක බාධාවකුත් නෙමෙයි.”
යුගාශ් එසේ පැවසුයේ මෙනුපත ඇය වෙත දිගු කරමින්ය. යුවතිය සිටියේ දෑස් විසල් කරගෙනය. මෙනුපත අල්ලාගෙන සිටි ඇගේ දෑඟිලි ගැහෙමින් තිබූ බව යුගාෂ් හොඳටම දුටුවේය.
“සර් කැමති දෙයක් ගන්න. මට බොන්න මොනවා හරි තිබුණොත් ඇති”
“අපි මොනවා හරි කන ගමන් බොමු. චිකන් ෆ්‍රයිඩ් රයිස් ඇන්ඩ් ප්‍රොන්ස් ඩෙවල් ඕඩර් කරන්නම්. ඔයා කනවනේ. ඊට වඩා වෙනස් දෙකට කැමති”නම් කියන්න.
“ඒ හොඳටම ඇති සර්”
“අපූර්වගේ යාළුවො මොකද කියන්නේ ඔයා මේ ජොබ් එක කරන එක ගැන. එයාල මොනවද කරන්නේ…”
“හොඳම යාළුවෝ දෙතුන් දෙනා නං කැම්පස්. එක්කෙනෙක් පේරාදෙණිය කැම්පස් එකේ. ජොබ් කරන අයත් කීපදෙනෙක්ම ඉන්නවා. එයාල ඉතින් කියන්නේ මේ ඉරණමට කොහොම හරි අභියෝග කරන්න ඕනේ කියලා.”
“ඔව් ඇත්ත එයාලා කියන එක හරි. ඔයාට ඉන්නේ හොඳ යාළුවෝ ටිකක්.”
“මේ වෙලාවේ මං ඒ කිසිම දෙයක් ගැන හිතන්නෙ නැතුව අද දවස ගැන විතරක් හිතනව සර්..”
දුම් දමන කුකුල් මස් මිශ්‍රිත එළවළු බතක්, ඉස්සන් බැදුමක් මේසයට පැමිණියේ එවේලෙහිය. ඉන් සුළු මොහොතකට පෙර යුගාෂ් ඉඟුරු මිශ්‍රිත බීම වර්ගයක් ඇනවුම් කලේ අපූර්වාගේ අදහස් නොවිමසාමය.
“අද දවස ගැන විතරක් හිතලා ජීවත් වෙන්න බෑ. විශේෂයෙන්ම ඔයා වගේ තරුණ ගැහැණු ළමයෙකුට. අපි මොනවා හරි ඉගෙන ගන්න පටන් ගමුද. ඔයා අර කියපු මොන්ටිසෝරි ෆීල්ඩ් එකේ දෙයක්..සමහරවිට ඔයාට තනියෙන් මොන්ටිසෝරි එකක් පටන් ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මාකටින් වගේ..ඔයාට ප්‍රායෝගික ජීවිතයේදි භාවිතා කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්නම් හොඳයි..එහෙම නැත්නම් කවුන්සලින් වගේ දෙයක් උනත් කමක් නෑ. මං හිතනවා ඔයාට ඒ සබ්ජෙට් එක හොඳටම ගැලපෙයි කියලා.”
අපූර්වා විසල් කරගත් දෑස් වලින් ඔහු දෙස බැලුවේ පුදුමයෙන්ය. මින් අඩ හෝරාවකට පමණ පෙර ඇය දුරකථන තිරය මත යුහුසුළුව ඇඟිලිතුඩු දුවවමින් සොයමින් සිටියේ උපදේශනය සඳහා වූ පාඨමාලාවන් ගැන විස්තරය.
යුගාෂ් උන්නේ ඈ ඉදිරිපස වූ පෝසිලේන් වර්ගයේ සුදු පැහැ පිඟානට බත් බෙදමින්ය. යුවතිය දරා උන් සිතුවිලි අවදි වෙමින් තිබුනේ හෙමි හෙමිහිටය.
(යළිත් හමුවෙමු ආදරයෙන් )
ReplyForwardAdd reaction |