අරුමැති ආදරයක් – 17

0
1292

යුගාශ්  සමග මතුගමට ගොස් යළි කළුතරට පැමිණි ගමන නිමා වූයේ අපූර්වාගේ සිතෙහි ආගන්තුක මතකයක් ඉතිරි කරමින්ය. මේ ඈ තරුණයෙකු අබියස මෙතරම් විවෘත වූ ප්‍රථම වතාවය. ඔහුට වූයේ නොනවතින ප්‍රශ්න කිරීමකි. තමාගේ නිහඬ බවේ තරමටම ඔහු කතා කළේය. ඔහුට තිබුණේ පුදුමාකාර ප්‍රශ්නය. ඒවාට පිළිතුරු නොදී සිටින්නට හැකියාවක් අපූර්වාට වූයේත් නැත. 

“මං කතා කරද්දි  ෆෝන් එක ආන්සර් නොකර ඉන්න එපා.”

ගමනාන්තයේදී ඔහු රුපියල් පන්දහසේ නෝට්ටුවක් ඈ අත තැබුවේ එසේ පවමින්ය. වෙනදා සේම ඉතුරු මුදල ලබා ගැනීම ප්‍රතික්ෂේප කල තරුණයා පසුපස අසුන මත වූ ලිපි ගොණුවත් රැගෙන උසාවි භූමියේ ඇවිද ගියේ කඩිනම් ගමනේය. 

යළිත් ත්‍රී රෝද රථ නැවතුමට නොගිය අපූර්වා නිවසට පැමිණියේ වෙහෙස නිසාම නොවේ. ජීවිතයේ සිදුවන පුංචි පුංචි වෙනස්කම් වලටත් ඈ දැන් බියය. ආගන්තුක තරුණයාගේ මිත්‍රත්වයේ හස්තය ගැන තවදුරටත් සිතා බලන්නට අපූර්වාට ඕනෑ විය. පුදුමය නම් ඔහු සිටියේ ප්‍රතික්ෂේප කරන්නට බැරි තැනකය. 

සොල්දර ගෙදර දෙසින් ඇසෙන ඝෝෂාකාරී සංගීතය අදත් පැහැදිලිව ඇසේ. විවාහ මංගල්‍යයෙන් පසුව දින දෙක තුනක් ගතව ගොස් තිබුණත් තවමත් සොල්දර ගෙදර සාද නිමා වී තිබුණේ නැත. 

“අලුත් ජෝඩුවගෙ යාළුවන්ට දිගටම පාටිලු..”

දහවල පැමිණි ගුණවතී නැන්දා ආච්චි සමඟ එසේ කියා තිබිණ. 

“උන්ට මේවා සහ ගහන්න වැඩි කාලයක් යන්නේ නෑ…..”

තමා දරු මුණුබුරුකම් අමතක කරමින් එසේ පැවසූ බව අපූර්වා හා කිව්වේ ආච්චීය. ඉවසීමේ සීමාවේත් කෙලවරකදී එවැන්නක් ඒ මුවින් පිට වූවා විනා ඈ කිසි විටකත් කිසිවෙකුට පලි ගසන තැනැත්තියක නොවේ. 

ආච්චී විසින් සාදා  දුන් තේ කෝප්පයත් රැගෙන අපූර්වා ගෙමිදුලෙහි වූ ලෑලි බංකුව මතින් වාඩි වූයේ දොර වසා දැමුවාට පසුවය. අම්මා උන්නේ රූපවාහිනිය දෙස බලාගෙනය. ඇය විටෙක හඬන්නේත්, සිනහසෙන්නේත් රූපවාහිනී තිරය මත මැවෙන දර්ශනවලට නොවේ.  අපූරුවා කුකුල් මසුත් ඉදි ආප්පත් ගෙන ආවේ ආපසු එන ගමනේදීය. ආච්චී උන්නේ මස් හොද්ද ඒදමින්ය. 

“ආච්චී මං වැඩිපුර ඉඳි ආප්ප ගෙනාවා.  කුකුල් මස් හොද්ද හැදුවට පස්සේ ගුනවතී නැන්දලටත් ටිකක් දෙමු නේද….”

යැයි අපූර්වා  පැවසූයේ විනාඩි කිහිපයකට පෙරය. දහවලේ පැමිණ ආච්චීගේත් අම්මාගේත් සැප දුක් සොයා බලන ඈ නිවසේ වැඩිපුර සකසන යමක් ගෙන එන්නට අමතක කරන්නේ ද නැත. මේ අයුරින් හෝ ජීවිතය ගැටගසා ගන්නට සහාය වූයේ මේ හිතවත්කම් බව විශ්වාසය. 

“ඔයා හිතන්නකෝ මොනම විදිහකින් හරි හැමෝම හොයා ගන්නේ එයාලගේ සතුට කියලා. ඔයාගේ තාත්තත් තමන්ගේ සතුට කියල හිතුණු දේ කළා. ඉතින් ඔයා මේ ජීවිතේ එක තැනක නතර වෙලා හරි යනවද? ඔයා හීන නොදැකපු කෙනෙක් නෙමෙයිනේ. ඔයා මේ විදිහට ජීවත් වෙනවා කියලා ප්ලෑන් නොකරපු කෙනෙකුත් නෙමෙයි නේ. මං දන්නවා මිනිස්සුන්ට හීන මරල දාන්න ලේසි නෑ. හීන මරලා දාපු මිනිස්සුන්ට තමන්වත් නැති වෙනවා. එහෙම ජීවත් වෙන්නන් වාලේ ජීවත්වෙන්න ඕන කෙනෙක් නෙමෙයි ඔයා. හොඳට හිතන්න අපූර්වා. එහෙම හිතනකොට ඔයාට දැනේවි මම දැන් එක තැනකින් ජීවිතේ ආපහු පටන් ගන්න ඕනේ කියලා. ගෑනු කියන්නේ හරි හයිය ජාතියක් කියල මම දන්නේ අත්දැකීමෙන්. ඒ මගේ අම්මා නිසා. අපූර්වා අපි කාගෙත් ජීවිතවල  අඩු වැඩි වශයෙන් දුක කියන දේ තියෙනවා. කලකිරීම කියන දේත් තියෙනවා. ජීවිත කාලයක් පුරාම අපි දුකෙන් ජීවත් වෙනවද කලකිරීමෙන් ජීවත් වෙනවද එහෙම නැත්නම් සතුට ළඟා කරගන්නවද කියන එක තීරණය කරන්න ඕනෙ අපි. අපේ සතුට වෙන කාගේවත් ලඟ නැහැ අපූර්වා. ඒක හොයාගන්න ඕනේ අපිම තමයි..”

ඔහුගේ වදන් තම දෙසවන් තුල දෝංකාර නංවන සෙයක් අපූර්වාට දැනෙන්නට විය. අපූර්වා එකල ප්‍රිය කළේත් ආපස්සට හැරෙන මිනිසුන්ට නොව ජීවිතය දෙස ධනාත්මකව බලන මිනිසුන්ටය. තම ජීවිතයේ සිදු වූ බලාපොරොත්තු නොවූ සිදුවීම් ඇයව අඩි ගණනක් ආපස්සට කැඳවාගෙන ගොස් නතර කරවා තිබිණ. තරුණ නීතිඥයාගේ වදන් වලින් පසුව සිතට දැනෙන මේ අමුත්ත කුමක්දැයි තේරුම් බේරුම් කර ගැනීමට අපූර්වා බොහෝ වෙහෙස වූවාය. එය අමුතුම උත්තේජනයකි. 

හේෂානිගේ අංකය සටහන් කරමින් ජංගම දුරකථනය නාද වූයේ එවේලෙහිය. තම සිතැඟි  ඇයත් සමඟ බෙදා ගැනීමට වූ උවමනාව තදින්ම සිතට දැනෙමින් තිබූ මොහොතක ඇගේ මේ දුරකථන ඇමතුම අපූර්වාට පුදුමයක් විය. 

“පණ තියෙන කල් මැරෙන්නේ නෑ මං මේ මතක් කළා විතරයි.”

“අනේ පලයන් යන්න..මං කතා කලොත් විතරයි උඹට මාව මතක් වෙන්නේ..”

“ඉතින් මං කතා කරන්න කලින් උඹ මට කතා කළාට කරන්න දෙයක් නෑ.” 

“අද නිකන් කටහඬෙත් වෙනසක් තියෙනවා. මොනවා හරි අමුත්තක් වෙලා. ඉතින් කියහන්කෝ ත්‍රීවිල් එකට ලස්සන කොල්ලෙක්වත් නැග්ගද..”

අපූර්වා සිනහසුනේ මදක් උස් හඬින්ය. ඇගේ ඒ සිනහ  හඬ යෙහෙළියට ඇසුණේ බොහෝ කලකට පසුවය. පසුගිය කාලයේ අපූර්වාට සිනහව අමතකව තිබූ ගණනය. පොඩි දෙයටත් ලෝකය පෙරලන්නට සිනහසුන යුවතිය පසුගිය කාලයේම ජීවිතය ගෙවා දැමුවේ එකම අයුරකින්ය.

“මං කිව්වේ බොරුවක් නෙමෙයිනේ..

“මේ අහන්නකෝ. ඔන්න හැබැයි මට විහිළු කරන්න බෑ. ඔයා හිතන විදිහේ දේකුත් නෙමෙයි. හැබැයි ඉතින් මේක මට ඔයාට නොකියත් බෑ”

“දැන් මට ඒක අහගන්න තියෙන හදිස්සියට ඔහෙට එන්න හිතෙනවා. වැල්වටාරම් කියවන්නෙ නැතුව වෙච්ච දේ හරියට කියනවද..”

යළිත් වරක් මද හඬකින් සිනහසුන අපූර්වා තරුණ නීතිඥයා හමු වූ දවසේ සිට අද දක්වා සිදු වු සියල්ල යෙහෙළියට පැවසූයේ සවිස්තරාත්මකවය. කිහිප වරක්ම ‘උඹ ඉන්නවාදැයි’ ඇඟෙන් අසන්නට අපූර්වාට සිදුවූයේ  හේෂානි හූ මිට් තැබීමකින්වත් කතාවට බාධා නොවූ නිසාය. 

“ඒ උඹ ඉන්නවද ලයින් එකේ….”

“ඉන්නව ඉන්නවා.. මං මේ කතාවේ සංශිප්තය එකතු කරලා අවසානය තීරණය කරන්න උත්සාහ කරන ගමන්..”

“අනේ මේ… මැටි මෝල් කතා නම් කියන්න එන්න එපා. ඒ මනුස්සයා මගේ ත්‍රීවිලර් එකේ හයර් එකක් ගියා. මං ගැන අනුකම්පා හිතිලද කොහෙද හයර් එකේ ඉතුරු සල්ලි ගත්තේ නෑ. ඔය ඉතින් යන එන ගමන් අරම කරන්න මෙහෙම කරන්න කිව්වා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් වෙන්න ඇති. ත්‍රී වීලර් එකේ යද්දි මිනිස්සු බස්සෝ වගේ යන්නෙ නෑනේ..”

“ඔව් ඉතිං මමත් ඊට වඩා දෙයක් හිතුවේ නෑ. ඒ මනුස්සයා සාමාන්‍ය විදිහට මමත්  එක්ක හයර් එකක් ගියා. ප්‍රශ්නෙ තියෙන්නේ උසාවියේදී වචන දහයක් කතා කරන්නත් සල්ලි ගන්න මිනිස්සු උඹට නොමිලේම උපදෙස් දීපු එක. සමහරවිට ඉතිං ඕවා ඉදිරි ආයෝජනද දන්නෙත් නැහැනේ.”

හේෂානි තාලයකට පැවසූයේ අපූර්වාගේ මුවෙහි යළිත් සිනහවක් සටහන් කරමින්ය. 

“කොල්ලා ලස්සනයිද..%

“දන්නෙ නෑ මං හරියට ඒ මනුස්සයා දිහා බැලුවෙ නෑ බං.”

“හරියට බලද්දි ලස්සනයිද කියලා හොයන්න බෑ. අර උඹ හොරෙන් හොරෙන් බලද්දි ලස්සනයි කියලා පෙනුනේ නැද්ද…”

“හැදිලා ඉවරයි දැන් එක ගානකට..”

“ඒක නෙමෙයි කෙල්ලේ. මං මේ ඇත්තටමයි කියන්නේ. ඔය රස්සාව ඇරෙන්න උඹේ  කියලා කොතනකවත් අඩුවක් පාඩුවක් නෑ. රස්සාව උනත් කාටවත් වදයක් කරදරයක් නැතුව තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන කරගෙන යනවනම් ඒකේ වරදකුත් නෑ. වරද තියෙන්නෙ මිනිස්සු බලන බැල්මේ. මට හිතෙන්නෙම ඔය ලෝයර් උවමනාවෙන්ම උඹව හම්බවෙන්න එනවා කියලා. එදා පර්ස් එක අමතක කරලා ගියේ…සාමාන්‍යයෙන් බං  ඕක උඹට මට වගේ සාමාන්‍ය මනුස්සයෙකුට සිද්ධ වුණාට ලෝයර් කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්ද..”

“අනේ මන්දා…..ඔව් ඉතිං… ඔයා කියන විදිහට හිතුවාම මම විතරක් නෙමෙයිනේ ත්‍රීවිලර් හයර් කරන්නේ. අනික මාව හම්බවුණේ ඊයේ පෙරේදා. ඊට කලිනුත් ඒ වගේ ගමන් ගියපු ත්‍රී වීලර්  එයාට ඕන තරම් ඇතිනේ. ඒත් ඉතිං ඔයා කියන විදිහේ විශේෂත්වයක් තියෙනවද එහෙම කරන්න තරම්.”

“අපේ අම්ම නිතර කියන දෙයක් තමයි මුහුදු හතකින් එහා හිටියත් හිමිකාරයා තමන් ළඟට එන එක නවත්තන්න බෑ කියලා. ඉතිං අපි එහෙම හිතමු.”

“අම්මෝ ඔයා හිතලා තියෙන දුරක්..”

“හිතලා තියෙන දුරක් නෙමෙයි. හිතන්න වෙනවා. ඔයාම ටිකක් කල්පනා කරලා බලන්න. ඔයාව කෑම කන්න එක්කරගෙන ගිහිල්ලා. ඔයා ගැන උවමනාවෙන් විස්තර අහලා. අරක කරන්න මේක කරන්න කියලා උපදෙස් දීල…මගේ ෆෝන් කෝල්ස් වලට ආන්සර් නොකර ඉන්න එපා කියලා කියලා කියන්න තරම්.  මොනවා හරි බැඳීමක් ගොඩනගා ගන්න නේද මේ හදන්නේ..”

“මං ඉන්නේ ඉන්නෙ එහෙම බැඳීමක් ගොඩනගා ගන්න එයා උත්සහ කලත් ඒකට අනුබල දෙන්න පුළුවන් තත්වෙක නෙමෙයි හේෂානි. අදත් මං ඒ අඳුරු අතීතයෙ  අතරමං වෙලා. අම්මගේ ප්‍රශ්නෙට මොකද කරන්නේ කියලා මට තවම තේරෙන්නේ නෑ. ඒත් හෙට අනිද්දා මොනවම හරි කරන්න වෙයි. අම්මා අංගොඩ ගිහින් දාලා ආපස්සට හැරිල එන්න  මගේ හිතේ හයියක් නෑ හේෂානි. ඇත්තමයි තාත්තා ගියේ අපිව ප්‍රශ්න ගොඩක අතරමං කරලා. මේ හැම ප්‍රශ්නයක්ම පටන් ගත්තේ එතනින්. තාත්තා දඬුවම් කලේ බාප්පට නෙමෙයි හේෂානි, අර අහිංසක අම්මට, මට,  ආච්චිට..ඒ කවුරු උනත්  මං කොහොමද අලුත් බැඳීමක් ගැන හිතන්නේ. අපි මේ පිස්සු කියෝනවා. ගැරේජ් එකේ අයියා මං ගැන කියන්න ඇතිනේ.  ඒ මනුස්සයා අනුකම්පා කරන්න ඇති”

“මුහුද හත් ගව්වත් තියාගෙන අමුඩ ගහන්න ලෑස්ති වෙන්න එපා. ජීවිතය යන විදිහට ගලාගෙන යන්න දීලා අපි ටික කාලයක් බලා ගෙන ඉමු. ලස්සන කාල එන්නෙ අමාරු කාලවල් ගොඩක් පහු කලාට පස්සේ. ඒක බොරුවක් නෙමෙයි. මං කියන්නෙ නැහැ ඔය ලෝයර් එන්නේ ඔයා එක්ක යාළුවෙන්නම බලාගෙන කියල. හැබැයි එතන විශේෂත්වයක්  නැත්තෙත් නෑ. ඔලුව පාවිච්චි කරලා ජීවිතේට මුහුණ දෙන්න වෙන්නේ ඔයාටම තමයි. හැමදාම අඳුරෙම හිටියොත් අපි කළු පාටම විතරයි දකින්නේ. කාලයක් යද්දි පාට පෙට්ටි⁣යේ තව පාට වර්ග තියෙනව කියල අපිට අමතක වෙනවා අපූ…හැමදේම උනේ හරිි ඉක්මනට. හැබැයි අපි හෙමිහිට ඔය අඳුරු ලෝකෙන් එළියට එමු. මේ….හෙට මට නිවාඩු..අපි කන්දෙ විහාරෙ යන්ද..අපි කියන්නේ උඹයි මමයි විතරක්..වෙනද වගේ සැහැල්ලුවෙන් හිනා වෙන්න බැරි උනත් චුට්ට චුට්ට හරි අපි ආයෙ ජීවත් වෙන්න බලමු..”

අපූර්වා  දුරකථනය විසන්ධි කළේ යෙහෙළියට එකග වූවාට පසුවය. 

“පුතේ…..අර ඉදි ආප්ප  ටික ගුණවතීලගේ  ගෙදරට දීලා ආවානං…”

පියසීලී එසේ පැවසූයේ අපූර්වා ලෑලි බංකුවටම වී ඔහේ කල්පනා කරමින් සිටියදීය. ඕ  සිටියේ අඳුරු පැහැ වැහි වළාකුළු අතරින් මෝදු වන්නට පොර බදන  සඳ දෙස බලාගෙනය. අවසන වැහි වළාකුළු පැරදී තිබිණ. පෙර සේම දීප්තියකින් සඳ හිනැහී බලා සිටියේය. අපූර්වා සිටියේ ඒ සඳ සමග⁣ කෝලං කරමින්ය. සිත මේ සා සැහැල්ලු වී තිබුනේ මාස ගණනාවකට පසුවය. සොල්දර ගෙදර දෙසින් නොනවත්වාම ඝෝෂාකාරී සංගීත රාවය ඇසුණත් පෙර සේම එහි අමිහිරි බවක් අපූර්වාට දැණුනේ නැත.

“ආච්චි හේෂානි කතා කරනවා හෙට කන්දෙ විහාරෙේ යං කියලා..”

“ඒක හොඳයි..උඹේ  ජීවිතෙත් පුංචිම හරි වෙනසක් තියෙන්න එපැයි. මං අම්මා බලාගන්නං.  පරිස්සමට ගිහිල්ලා එන්න..”

එවර පියසීලී පැවසූයේ යුවතිය අසලට ලංව ඇගේ හිස අතගාමින්ය. අද ඇය තටු කපා දැමූ කිරිල්ලියක සේය. පියසීලීට අන් සියල්ලකටම වඩා බියක් දුකක් වූයේ කෙල්ලගේ අනාගතය ගැනය.

ආච්චීගේ අතැගිලි හිස පුරා දිව ගියේ ඒ ආදරයේ සුවයත් එක් කරගෙනය.  හඬන්නට උවමනා වුවත් අපූර්වා එසේ නොකළාය. ඒ වෙනුවට ඕ නැඟී  සිටියේ පියසීලීව මඟ හරිමින්ය.

( යළිත් හමු වෙමු ආදරයෙන්)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here