දුරකථනය විසන්ධි උනේත් අරුණ එතන තිබුණ පුටුවක් මතට ඇදගෙන වැටුනේත් එකටමය. අරුණට දැනුණේ මුළු ලෝකයම කඩා වැටුණාක් බඳු හැඟීමකි. ඔහු පුටුවෙන් නැගිට, කාමරය පුරා එහා මෙහා ඇවිදින්නට වූයේත් සිතේ සිතුවිලි දහසක් ගැටෙන්නට වූ නිසාවෙනි
“මොකද්ද දැන් කරන්නෙ? මොකද්ද දැන් කරන්නෙ?” කියා අරුණ තමාටම මුමුණා ගනිමින් කාමරය පුරා එහෙමෙහෙ ඇවිද ගියේ එක අතකින් කෙස් මිටි කරගනිමින්ය.
ඔහුට සමුධ්‍යාගේ මුහුණ මැවී පෙනුණි. බිය වූ දෙනෙතින් අසරණ තමා දෙස බලාගෙන “අනේ අරුණ මාව බේරගන්නකෝ” කියා කියන සමුධ්‍යා කෙනෙකුව අරුණගේ හිත ඇතුලේ ඇඳී ගියේත් අරුණ නැවත වතාවත් දුරකතනය අතට ගෙන යම් අංකයක් අංකනය කරන්නට ගොස් නතර වුනේත් හිත අස්සෙන් පැන ආ කුමක් හෝ විධානයක් නිසාවෙනි.
පොලිසියට ගොස් මේ ගැන පැවසුවහොත්, විදුර වීරබද්ධන වන තමන්ගේ තාත්තා මේ ක්‍රියාව කළ බව මුළු රටම දැන ගනු ඇතැයි කියන සිතුවිල්ල අරුණගේ සිතට විවිධාකරයේ අණ දෙමින් උන්නේය. එයාකාර දෙයක් වුවහොතින් කොහොමත් විනාශ වී පවතින තමන්ගේ පවුලේ කීර්ති නාමයට එකතුවෙන්නට අලුතෙන් කැලැලක් නොමැති බව දැන උන්නද අරුණව බියට පත් කරේ ඒ හැඟීම නොවේ. ඔහු නීතිඥයෙකි. ඔහු යුක්තිය වෙනුවෙන් පෙනී සිටින, සිටිය යුතු අයෙකි. තමන් විසින් මෙහෙයවනු ලබන එක් නඩුවක වැරදිකරුවා තමන්ගේම සහෝදරයා බව ලෝකයක් දැන ගැනීම තමන්ගේ වෘත්තිය අනාගතයට හානියක් වන්නට හැකි බව අරුණට අමතක වූයේ නැත. සත්සරා වෙනුවෙන් යුක්තිය ඉටුකරන්නට යාම අවසානයේ තමන්ගේ ජීවිතයේ සිටින ගැහැණුන් දෙදෙනාගෙන් එක් අයෙකුව විනාශයට පත් කරන්නට මං සලසා ඇති බව දන්නා නමුත් තමන්ගේ පියාගේ වෙස් මුහුන ගලවා දමා ඔහුගේ සැබෑ තතු ලෝකයට හෙළි කර, සමුධ්‍යාව බේරා ගන්නවද, නැතිනම් තමන් වෙනුවෙන් නිහඬතාවය රකිනවාද කියා අරුණ සිටියේ නොවිසඳෙන ප්‍රශ්නයක පැටලීය. සිත තිබුණේ යුක්තිය සහ ආදරය අතර දරුණු සටනක් කරමිනි.
සමුධ්‍යා දෑස් විවෘත කළේ තද හිසේ කැක්කුමක් සමගිනි. හිස පුරා දරුණු වේදනාවක් පැතිරී යද්දී සමුධ්‍යා තමන් වටේ තිබෙන අන්ධකාරයට දෙනෙත පුරුදුකරගන්නට දෙනෙත් හැරියේ ටිකෙන් ටිකෙය. ඇය සිටියේ කොහේදැයි ඇයට නිශ්චිතවම මතකයක් තිබුණේ නැත. අවසන් වරට ඇයට මතක තිබුණේ තමන්ව නොදන්නා පිරිමින් දෙදෙනෙක් විසින් ත්‍රිරෝද රථයකට බලෙන් තල්ලු කර දැමූ බවයි. ඒ සිහිය නැවත එද්දී තමන්ගේ අත් පා බැඳ ඇති බවත් තමන්ට චලනය වන්නට අපහසු බවත් සමුධ්‍යාට තේරුණාය.
ඇය අවට බැලුවාය. තමන්ව ගැට ගසා තිබෙන්නේ කුඩා, අඳුරු කාමරයක බවත් බිත්තිවල තිබුණේ තීන්ත ගැලවී ගිය පැරණි පෙනුමක් බවත් එකම විදුලි බුබුලක් සිවිලිමේ එල්ලී, දුර්වල ආලෝකයක් විහිදුවමින් තිබෙන බවත් කාමරයේ ජනේලයක් හෝ කිසිදු වාතාශ්‍රයක් එන්නට මගක් නැති බවත් සමුධ්‍යා තේරුම්ගත්තාය. එය හරියට පැරණි ගබඩා කාමරයක් වැනි තැනක් වන අතර තමන් කොතෙක් කෑ ගැසුවද කිසිවෙකුට එය ඇසෙන්නට ඉඩක් නැති බව සමුධ්‍යා තේරුම් ගත්තේ ගබඩා කාමරවලට යොදන අන්දමේ බරැති යකඩයෙන් මෙන් කල දොරක් පමණක් මේ කාමරයට ඇතුලුවීමට සහ පිටවීමට යොදා ඇති බව දුටු විටය. එහෙත් සිත කියූ අසරණ විධානයක් නිසාවෙන් සමුධ්‍යා තම ලේ රහ එන උගුර පාදා හඬ නැගුවාය.
“කවුද ඉන්නේ?අනේ මාව ලෙහන්නකෝ” කියා සමුධ්‍යා හැකි තරම් හයියෙන් කෑගැසීමට උත්සාහ කළත්, ඇගේ කටහඬ පිට වූයේ යන්තම් මිමිණීමක් ලෙසිනි. වතුර බිඳක් නොලැබීම නිසාවෙන් මුව තිබුණේ වියළී ගොස් ය. තමන්ව ගැට ගසා ඇති ලණු ලෙහාගන්නට උත්සහ කරද ඒ උත්සහය තමන්ගේ අත් පා කපා දමන්නට හේතු වූ නිසාවෙන්ම වේදනාව දරාගත නොහැකි තැන සමුධ්‍යා එය අතහැර දැමුවාය.මිනිත්තු කිහිපයකට පසු, කාමරයේ දොර විවර විය. එතැන සිටියේ සත්සරාය. සත්සරාගේ මුහුණේ තිබුණේ දුකක් හා කෝපයක් මිශ්‍ර වූ භාවයකි. ඇගේ දෙනෙත් රතුවී තිබුණේ අඬා ඇති බවට ඉඟි කරමිනි.
අරුණ සමඟ දුරකථන සංවාදය අවසන් වූ පසු, විදුර සිනහවකින් තොල් සරසා ගත්තේය. ඒ සිනහවේ තිබුණේ යම් තෘප්තියක් පමණක් නොවේ; ජයග්‍රහණයේ සහ ජීවිතය තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීමේ දක්ෂතාවය යන දෙකම මුසු වුණ සතුටකි. ඔහු සුවපහසු පුටුවකට බර වී, දෑස පියාගෙන, සිගරට්ටුවක් දල්වා ගත්තේය. අලු පැහැති සිගරට් දුම සෙමෙන් කාමරය පුරා පැතිර ගියේය.
“හිතුවා වගේම තමයි. හැමදාම ඕක කියන දේ කරනවා,” ඔහු තමාටම මුමුණා ගත්තේය. ඔහුගේ හඬේ තිබුණේ අවඥාවක් මිශ්‍ර වූ ආඩම්බරයකි. “තාත්තා කියන දේ නොකර ඉන්න තරම් ඌට කොන්දක් නැහැ.” යයි තමන්ටම කියාගත් විදුර මේ ලෝකයේ මිනිසුන් සැබවින්ම හැසිරෙන්නේ කෙසේදැයි තමන් හොඳින්ම දන්නා බව නැවත නැවතත් සිතට පහදා ගත්තේය. යුක්තිය, සදාචාරය වැනි දේවල් යනු පොත්වලටත්, දුර්වල මිනිසුන්ටත් පමණක් සීමා වූ වචන බව ඔහු තරයේ විශ්වාස කළේය.
ඔහු සිතින් තම සැලැස්ම යළි සකස් කර ගත්තේය. සත්සරාගේ නඩුව ඔහුට විශාල ගැටලුවක් වී තිබුණි. එය ඔහුගේ නමට, ඔහුගේ ව්‍යාපාරයට, ඔහුගේ කීර්ති නාමයට සෘජුවම බලපෑමක් එල්ල කරන තර්ජනයක් විය. ” මොන එකාද කැමති තමන්ට කරදර කරගෙන අනුන්ගෙ කරදර විසඳන්න? ඔය ගෑනිව උස්සන් ආව එකම ඇති ගෑනිවයි අරූවයි දෙන්නවම මේකෙන් අයින් කරලා දාන්න” කියා කල්පනා කරද ලමා අපචාර නඩුවක් එසේ පහසුවෙන් ඉවත් කරගන්නට බැරි බවත්, විශේෂයෙන්ම තමන් මේ කරන්නට යෙදුන අන්දමේ දේවල් සිදුකර ඉවත් කරගන්නට බැරි බවත් විදුර දැනගෙන උන්නේ නැත.
එනිසාම ඔහු උන්නේ බිඳෙන්නට නියමිත් බලාපොරොත්තු පොදි බැඳ ගනිමින් සිගරට්ටුවෙන් දිගු හුස්මක් ගෙන, දුම වළලු ආකාරයෙන් පිට කරමිනි.
“මොන එකාද සල්ලිවලට නැමෙන්නෙ නැත්තෙ? මොන එකාද තමන්ගෙ උන්ට කරදර කරගෙන ප්‍රශ්න විසඳගන්න යන්නේ? යුක්තිය? අම්මාගෙ රෙද්ද” යැයි තමන්ටම කියාගත් විදුරගේ දෙනෙත් වල තිබුණේ දැඩි, සීතල බැල්මකි.
“අරුත් පාඩමක් ඉගෙන ගන්නේ මෙදා පාර තමා. උන් දන්නෙ නෑ උන් පොල්ලෙන් ගැහුවෙ නයාට විත්තිය. යුක්තිය කියන්නේ පොත්වලට විතරයි. එළියට ආවම තියෙන්නේ බලය විතරයි. බලය තියෙන කෙනාට මේ ලෝකේ හැමදේම තමන්ට ඕන විදිහට කරගන්න පුළුවන්. අනිත් උන් ඉන්නෙ ඒකට ඔලුව නවන්න.
මහ ලොකුවට නීතිය ගැන කතා කරනවා. හැබැයි අන්තිමට තාත්තාගේ වචනෙට ඔලුව නවනවා. ඕක තමයි ඇත්ත ජීවිතේ. ඕකා මගෙන්ම ඒ පාඩම ඉගෙන ගත්ත එක හොඳයි. මගෙන් කාලා මට විරුද්ධ වෙන්න පර බල්ලා” යැයි කියමින් සිතින් සිනාසුණ ඔහු නැවත වරක් දුරකථනය අතට ගත්තේය.
“හෙලෝ, ගාමිණී? මම කිව්ව වැඩේ වුණාද? ඔය ගෑණිව හොඳට බලාගන්න. කිසිම හානියක් වෙන්න දෙන්න එපා. ඔව් ඔව් යවන්න යවන්න. ඒ මූණ දැක්කම ඒකිට තේරෙන්නෙ නැතෑ ඇත්ත නැත්ත” ඔහු කීවේය. ඒ හඬේ තිබුනේ නිශ්චිත විශ්වාසයකි. කිසි දිනක බිඳ නොවැටෙතැයි සිතූ විශ්වාසයකි.
කෑ ගසා අවසානයේ කිසිත් පලක් නොමැති තැන සමුධ්‍යා දෙනෙත් පියාගෙන ඉකි බිඳින්නට වූයේ තමන් හොඳටම අසරණ බව තේරුම් ගොසින් ය. “දඩස්” යන හඬින් දොර විවර උනේත් සමුධ්‍යා බලාපොරොත්තු නොවුන හඬක් ඒ විවර වුන දොරෙන් ඇතුලට ගලා ආවේත් එකම වෙලාවකය.
ඒ වනාහී තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවුන හඬක් යන්නට වඩා සමුධ්‍යාව කැළඹුවේ වෙනත් සිතුවිල්ලකි.
“හැමෝම එකතුවෙලා මාව අමාරුවේ දාලාද?”