අවුරුදු 9දී වසර 20ක් වැඩිමල් මිනිසෙක් හා විවාහ වී වෛද්‍යවරියක් වූ ඇගේ කතාව

ආනන්දිට අවුරුදු නවයේදී ඇයට වඩා අවුරුදු විස්සක් වැඩිමහලු ගෝපල් සමඟ විවාහ වන්නට සිදු වෙනවා.ඔහු තැපැල් කාර්යාලයේ ලිපිකරුවෙක්.මේ ළමා විවාහය ආනන්දිගේ ජීවිතය අගාධයට හෙළන්නේ නැහැ.ඇගේ ජීවිතය අපූර්ව මාවතක ගමන් කිරීමට යොමු කරවූ ඒ කතාව Anandi Gopal නම් මරාති චිත්‍රපටියෙන් ඔබට නරඹන්නට පුලුවන්.

ආනන්දිගේ සැමියා ඇයට පොතපත කියවන්නට හුරු කරනවා.ඇයට එතරම් වෙහෙසෙන්නට ඉඩ හරින්නේ නෑ.ඇය වැඩෙහි යෙදෙන විට ඔහු ඇයට ඇහෙන්නට පොත් කියවනවා. ආනන්දිට නිසි වයස් එළඹුණු විට උපදින දරුවා රෝගී වෙනවා.වෛද්‍යවරයෙකු සොයා ගැනීමට නොහැකි වීමෙන් ඒ දරුවා මිය යනවා.දරුදුක උසුලා ගන්නට නොහැකිව වැළපෙන ආනන්දි අලුත් පාරක ගමන් කරන්නට තීරණය කරනවා.ඒ වෛද්‍ය විද්‍යාව ඉගෙනීමේ මාවත.ඒ ගමනට ගෝපල්ගෙන් ලැබෙන්නේ නොමඳ ආශිර්වාදයක්.

ඒ බ්‍රිතාන්‍ය යටත් විජිත සමය.කාන්තා මිෂනාරි පාසලකට ආනන්දි ඇතුළු කිරීමට ගෝපල් කටයුතු කරනවා.ඔහු ඒ වෙනුවෙන් හින්දු ආගම පවා අත් හරිනවා.ඒ නිසා ඔවුන් විවිධ ගැහැට වලට ද ගොදුරු වෙනවා.මිෂනාරි පාසලේ සිට අරමුණ ඉටු කර ගන්නට නොහැකි තැන ගෝපල් තම ළාබාල බිරිඳ ඇමරිකා යවන්නට උත්සාහ කරනවා.ඔවුන්ට ඒ සඳහා උදව් කරන්නට ඇමරිකානු වෛද්‍ය යුවළක් ද මුණ ගැසෙනවා.ආනන්දි විසින්ම පාසල තුළ කරන කතාවකින් ඉන්දියාවට කාන්තා වෛද්‍යවරියන් අත්‍යවශ්‍ය වගට මිනිසුන් අතර මතයක් නිර්මාණය වන අතර ඇයට පෙන්සිල්වේනියාවේ කාන්තා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට වරම් හිමි වෙනවා.

ඇය ඇමරිකාවේදී වෛද්‍ය පුහුණුව අරඹන්නේ දහනව හැවිරිදි වියේදී.ඇමරිකාවේ කාලගුණය සහ ආහාර රටාව ඇයට නුහුරු නුපුරුදු වී ලෙඩ රෝග හට ගත්ත ද ආනන්දි ඉන් සැලෙන්නේ නෑ.ඇගේ උපාධි නිබන්ධනය ආර්‍ය හින්දූන්ගේ ප්‍රසව විද්‍යාව සම්බන්ධයෙන් වනවා.මේ ධෛර්යමත් ගැහැනියට උපාධිය ලබා ගැනීමෙන් පසු වික්ටෝරියා රැජිනගේ සුබාශිංසන පවා හිමි වෙනවා.

ඉන්දියාවේ ඉපදී ඇමරිකාවට ගොස් බටහිර වෛද්‍යවරිය වූ පළමු කාන්තාව වූ ආනන්දිබායි ගෝපල්රාම් ජොශිගේ සත්‍ය කතාව මේ මරාති චිත්‍රපටියට පදනම් වී තිබෙනවා.ගැහැනියක සතු ධෛර්යය ද සැමියෙකුගේ නොපසුබට උත්සාහය ද අපූර්ව ලෙස විවරණය කරන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ සමීර් සංජේ විද්වන් විසින්.2019 පෙබරවාරි දහ නවවැනිදා මේ චිත්‍රපටිය නිකුත් වී තිබෙනවා.මරාති චිත්‍රපටියක් වූ Anandi Gopal සම්මානයන්ට පවා බඳුන් වූ චිත්‍රපටියක්.

“අභියෝග සඳහා ස්තුතිවන්ත වන්න.මාර්ගය දුෂ්කරතා සහ කටුකොහොල් නොතිබුණේ නම් කිසිවෙකුටත් ශිෂ්ටාචාරයේ හෝ සංස්කෘතිය කිසිම ප්‍රගතියක් ලබා ගන්නට බැහැ”

ඒ කතාව පවසා තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රථම වෛද්‍යවරිය වූ ආනන්දිබායි ගෝපල්රාම් ජොෂී.ඇගේ ධෛර්යයේ කතාව ඔබත් මඟ නොහැර නරඹන්න.

Related Articles

Don't Miss


Latest Articles