ෂෙහාරා අවදි වූයේ නිවසේ ගේට්ටුවේ සීනුව නාද වන හඬටය.ඇය අපහසුවෙන් දෑස් හැර ඇඳ අසල වූ ජංගම දුරකථනය ගෙන වෙලාව බැලුවාය. එහි සටහන් වූයේ උදෑසන එකොළහයි තිහ ලෙසය. ආදිත්‍ය කාර්යාලයට යන්නට ඇතැයි ෂෙහාරා අනුමාන කළේ තවමත් කාමරයෙන් පහව නොගොස් ඇති ඔහුගේ විලවුන් සුවඳ නිසාය.
යන්තමින් මුහුණ සෝදා ගෙන තරප්පු පේළිය බැසවිත් ප්‍රධාන දොරටුවද විවර කර ගෙන පැමිණ ෂෙහාරා ගේට්ටුවේ වූ කුඩා කවුළුව විවර කර පැමිණ සිටින්නේ කවුරුන්දැයි බලන විට ගේට්ටුව ඉදිරියේ සිටියේ අශිකාය. ෂෙහාරා කොහේදෝ වූ සිනහවක් මුහුණට නගා ගෙන ගේට්ටුව විවර කර අශිකාට නිවසට ආරාධනා කළාය.
ෂෙහාරා ඒ වන විටත් ඇඳ සිටියේ පිජාමා එකක් නිසාත් ,ඇගේ මුහුණේ දකින්නට වූ ස්වභාවය නිසාත් ඇය අවදිවන්නට ඇත්තේ තමා පැමිණි පසුව බව අශිකා අනුමාන කළාය.
” මට විනාඩි පහක් දෙන්න ආන්ටි මං මූණ හෝදගෙන එන්නම්.දැන් අනේ නැගිට්ටෙ ”
ෂෙහාරා පැවසුවේ එය ඉතාම සාමාන්‍ය දෙයක් අයුරිනි. අශීකා කිසිවක් නොකියා සිනහවක් පමණක් නගා ගෙන වාඩි වී නිවස පුරා බැල්මක් හෙළුවාය
” ඊයේ යාළුවෙක්ගේ බබෙක්ගෙ birthday party එකක් තිබ්බා.ආදිත්‍යයට පොඩ්ඩක් සනීප නෑ වගේ නිසා මං විතරයි ගියේ.මං එනකොට පාන්දර දෙක විතර උනා.ඉතිං පොඩ්ඩක් නිදා ගත්තා ”
” පුතා ගිහින් වොෂ් එකක් දාගන්න.මං ඉන්නම්”
ලද අවසරයෙන් ෂෙහාරා ක්ෂණිකව තරප්පු පේළිය නැග කාමරයට දිව ගියාය. අශිකා වාඩි වූ තැනින් නැගිට මුළුතැන්ගෙයට ඇතුළු වූවාය.පෙර දින තමන් විසින් එවන ලද කෑම බඳුන් සින්ක් එක තුල ගොඩ ගසා ඇති ආකාරයත් , මුළුතැන්ගෙයි මතු පිටවල් මත අපිළිවලට විවිධ බඩු තබා ඇති ආකාරයත් දුටු අශිකාගේ මුවට නැඟුනේ සුසුමකි. අනතුරුව අශිකා ශීතකරණය විවෘත කළාය.එයද මුළුතැන්ගෙයට දෙවැනි නැත.
අශිකා කොනක සිට සියල්ල අස් කරන්නට පටන් ගත්තාය.ඒ තම වැඩිමහල් පුතු වූ ආදිත්‍ය පිළිබඳව උපන් දුක සිතේ තද කර ගෙනය.විනාඩි දහයක් පමණ වන විට අපිළිවෙලව තිබූ මුළුතැන්ගෙය පිළිවෙලක් කරන්නට අෂිකාට හැකි විය.ෂෙහාරා මුළුතැන් ගෙයට ඇතුළු වූයේ එවිටය. මෙවැනි පිළිවෙලක් කෙදිනකවත් මේ මුළුතැන්ගෙය තුළ තිබී නැති නිසා ෂෙහාරා පුදුම වූවාය.
” අනේ මම නැගිට්ටට පස්සේ මේ ටික අස් කරන්න හිටියේ ආන්ටි.ඔයා කරදර වුනේ මොකටද ? ”
” ඔයා වොෂ් එකක් දාගෙන එනකන් මං මේ ටික අස් කලා.ඕක මහා දෙයක් නෙමේනේ ෂෙහාරා . මේ.. දැන් ඔයා කන්නෙ මොනවද ? ”
කෑමක් පිළියෙල කරන්නට හෝ යමක් නිවස හරියේ නැති බව අශිකා තේරුම් ගත්තේ මොහොතකට පෙර ශීතකරණය විවෘත කළ මොහොතේමය.
” මොන හරි ඕඩර් කරනවා.මං ආන්ටිටත් එක්ක මොනවා හරි ඕඩර් කරන්නද ? ”
” මං කාලා ආවේ පුතේ. ඔයා කාලා ඉන්නකො ”
අශිකා නැවත සාලයට එන අතරේ කීවාය. අශිකා යනු සාම්ප්‍රදායික නැන්දනියක මෙන් නොවේ. ඇය ඉතාම සන්සුන් ගතිගුණ ඇති ආදරණීය කාන්තාවකි. තමාගේ බොහෝ මිතුරු මිතුරියන්ට සිටිනා නපුරු සහ තද නීති පනවන නැන්දනියන් අතරේ අශිකා යනු මැණිකක් බඳු කාන්තාවක් බව ෂෙහාරා තේරුම්ගෙන තිබුණේ විවාහයටත් පෙර සිටමය.
නමුත් මෙවැනි වේලාවල් වල ආදිත්‍ය නිවසේ නැති බව දැන දැනම අශිකා පැමිණෙන්නට ඇත්තේ කුමක් හෝ හේතුවක් නිසා බව අනුමාන කරමින් ෂෙහාරා වාඩි වූවාය.
” මං ආවේ ඔයා එක්ක කතා කරන්න පුතේ ”
තමාගේ අනුමානය නිවැරදි බව ෂෙහාරා සිතුවේ අශිකා ඉතාම සන්සුන් ලෙස කතාව ආරම්භ කළ විටය.
” මොනාද ආන්ටි? ”
තමන් ෂෙහාරාට කෙසේ සැලකුවත් ඇගේ සිතේ තමා ගැන තිබෙන්නේ කුමනාකාරයේ හැඟීමක්දැයි අශිකාට තේරුම් ගන්නට මේ වන තුරුත් හැකිව තිබුණේ නැත.ඇය විවාහයෙන් පෙර හෝ පසුව කෙදිනකවත් තමාට ” අම්මා” යැයි කියා අමතා තිබුණේ නැත. ඉන් තමා හා ෂෙහාරා අතර තරමක දුරස් බවක් දැනුනත් අශිකා සෑම විටම උත්සාහ කළේ ඒ දුරස්බවව නොදැනෙන්නට හිතවත්කම් පවත්වා ගන්නටය.
” ඔයා දන්නව අංකල්ගේයි මගේ ජීවිතේ කොච්චර නම් ප්‍රශ්න තිබුණද කියලා. ඔයාගේ තාත්තා මේ ප්‍රපෝසල් එක අරගෙන එනකොටත් අංකල් ජීවත් උනේ වෙන ගෙදරක කියලා ඔයා නොදැන හිටියා නෙමෙයිනේ පුතේ ”
” මං ඒ හැමදේම දන්නවා ආන්ටි ”
” කසාදයක් කියන්නේ දෙන්නෙක් අතර ලියවිල්ලකින් වෙන බැඳීමක් විතරක් නෙමෙයි පුතේ. හැබැයි එහෙම ලියවුනේ නැති හරිම පිරිසිදු බැඳීමුත් මේ ලෝකේ ඕන තරම් තියෙනවා ”
අශිකා අවසන් වදන් කිහිපය පිට කළේ හදවතේ සුසුමක් ඇතිවය.
” ආදිත්‍ය වගේම අභිමනුත් තේරෙන කාලෙ ඉඳලම අංකල්ගේයි මගෙයි ප්‍රශ්න දැක්කා. පිටට නොපෙන්නුවාට ඒ දෙන්නා ඒ ප්‍රශ්න නිසා සෑහෙන දුක් වින්දා කියලා මං දන්නවා. ”
ෂෙහාරා නිහඬව අසා උන්නාය.මෙවැනි කතා බහක් තම නැන්දනීය සහ තමා අතර සිදු වන්නේ පළමු වතාවටය.
” පවුලක් ඇතුලේ රණ්ඩු සරුවල් , නොගැළපීම් ඕන තරම් තියෙන්න පුළුවන්.ඒ නොගැලපෙන තැන් ගලපගෙන, අනිත් කෙනා වෙනුවෙන් කැප කිරීම් කරලා ජීවිතේ සතුටින් ඉස්සරහට අරගෙන යන එකයි කසාදයක් කියන්නේ. මේ යෝජනාව ගෙනාවේ ඔයාගේ තාත්තා.ඒ ඔය දෙන්නා ගැලපෙනව කියල එයාට හිතෙන නිසා.කොටින්ම අපි මේ කසාදේ කරලා දුන්නේත් එහෙම හිතාගෙන. ඒක ඇතුළෙ සතුටින් ඉන්නවද නැද්ද කියන එක තීරණය කරන්න ඕන ඔය දෙන්නා ”
අශිකා මේ කතා කරන්නට පැමිණ ඇත්තේ ආදිත්‍යය වෙනුවෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. ඇත්තටම තමා අත බොහෝ වැරදි ඇති නිසා ෂෙහාරා තවදුරටත් නිහඬව ඉන්නට තීරණය කළාය.
” මං කැමති නෑ කවදාවත් මටයි අංකල්ටයි වෙච්ච දේ ඔය දෙන්නට වෙනව දකින්න. ජීවිතේ ගැන මීට වඩා වගකීමෙන් හිතන්න පුතේ. ජීවිතේ කියන්නේ සෙල්ලමක් නෙමෙයි. මිනිස්සු සල්ලි හම්බ කරන්න ඕනේ , කසාද බැඳලා දරුවෝ හදන්න ඕනේ. ඒ හැමදේම ඇතුලේ පවුල කියන එක රැකගෙන මැරෙනකල් එකට ජීවත් වෙන්නත් ඕනේ ”
” මේකයි ආන්ටි ”
එවර ෂෙහාරා මුව විවර කළාය.
” ආදිත්‍යගෙයි මගෙයි නොගැලපෙන තැන් හුඟක් තියෙනවා කියන එක දැනගෙනමයිනේ අපි මැරි කලේ. ආදිත්‍යයට වඩා මං අවුරුදු පහ හයක් බාලයි.ඉතින් එයා හිතන විදිහට නෙමෙයි මම හිතන්නේ.අනිත් එක මං ආස ලයිෆ් එක එන්ජෝයි කරන්න. ඒ මිසක් කසාද බැඳපු ගමන් දරුවෝ හදාගෙන ගේ අස්සට හිරවෙන්න ඇත්තටම මං ආස නැහැ ”
” මං මේ කියන්නේ දරුවෝ හදාගෙන ඔයා ගේ අස්සේ ඉන්න ඕනේ කියලා නෙමෙයි පුතේ. හැමදේම ගැන මීට වඩා වගකීමෙන් හිතන්න කියලා. පිරිමියෙක් බලාපොරොත්තු වෙනවා තමන් කසාද බඳින ගෑනු කෙනා තමන්ව දරුවෙක් වගේ බලා ගනියි කියලා.හැම තැනකදිම එයාගේ පස්සෙන් ඉදියි කියලා. ඒ එයාලට තමන්ගෙ වැඩ තනියම කර ගන්න බැරි නිසා නෙමෙයි. පිරිමියෙක් උනත් ආදරේ කියන තැනදී පොඩි ළමයෙක් වෙන නිසා. ඔය මොන දේ දුන්නත් ගෑනු අපි පරාද වෙන තැන් තියෙනවා තමයි. ඒ උනත් අපි දැනගන්න ඕනේ පවුල් ජීවිතේ රැකගෙන ඉන්න ”
” ආන්ටි දැන් මට මොකක් කරන්න කියලද කියන්නේ ? ”
ෂෙහාරා ඇසුවේ ඇත්තටමය. පවුල් ජීවිතයක වගකීම් , බැඳීමක වටිනාකම් කරට ගෙන ජීවත් වන්නට තමන්ට තේරෙන්නේ නැත. විවාහයට පෙරදීවත් එය තමාට කියා දෙන්නට තමන්ගේ මවට වුවමනා වූයේද නැත.
” ඔය දෙන්නගෙ පවුල ඇතුලේ සතුට තියෙන්නේ කොතනද කියලා හිතලා බලන්න පුතේ.ඔයාට මගේ පුතා වෙනුවෙන් මොනාද කරන්න පුළුවන් කියලා හිතල බලන්න. මං මේක කියන්නේ ඔයාට නැන්දම්මා කෙනෙක් විදියට නෙමෙයි.අම්මා කෙනෙක් විදිහට.නිකමට ආදිත්‍ය දිහා බලන්න. එයා අපේ ගෙදර ඇතුළෙදි විඳපු දුක මේ ගේ ඇතුළෙදිත් විඳිනවා දකින්න මට ඉඩ තියන්න එපා පුතේ ”
දෑස් වලට කඳුළු නැගෙන්නට පෙර අශිකා අත් බෑගය ගෙන නැගී සිටියාය. මෙතනින් එහා කළ යුතු යමක් තීරණය කළ යුතු වන්නේ ෂෙහාරාම ය. පිටව යන්නට පෙර අෂිකා නැවතත් වරක් ෂෙහාරා දෙසට හැරුණාය.
” මං මේ ගමන ආවෙ ආදිත්‍යගේ උවමනාවටවත් , එයාගේ කීමටවත් නෙමෙයි. අම්මා කෙනෙක් හැටියට ඔයාගෙන් ඉල්ලීමක් කරලා යන්න. මං ආව බවක් ඔයා කීවොත් ඇරෙන්න මගෙන් නම් මේ ගැන එයා දැන ගන්නේ නැහැ. පරිස්සමෙන් ඉන්න පුතේ ”
අශිකා ගේට්ටුව ඇරගෙන පිට වූවාය. ෂෙහාරා එහෙමම වාඩිවී මොහොතක් කල්පනා කළේ මේ ගෙවන ජීවිතය පිළිබඳවය.එක අතකට දෙමව්පියන්ගේ කීමට විවාහ වී නොසිටියා නම් තමාට අවැසි ලෙස විනෝදයෙන් ජීවත් වන්නට තිබුණා යැයි ෂෙහාරා සිතුවාය. ඇත්තටම තමාව විවාහ කර දීමට දෙමව්පියන්ට උවමනා වූයේ තමන්ගේ විනෝදකාමී ජීවිතයට තිත තැබීමේ අරමුණෙනි. එහෙත් එකවරම එසේ කළ නොහැක. ගෙවී යන තරුණ කාලය නැවත පැමිණෙන්නේ නැති නිසා තමා වෙනස් විය යුතු නැතැයිද , තමාට ආදරය කරනවා නම් ආදිත්‍ය තමාව ඉවසිය යුතු බවත් අවසන ෂෙහාරා සිතුවාය.