අරුමැති ආදරයක් – 27

0
1859

නිවාස සැලසුම අදින යුගාෂ්ගේ මිතුරා පැමිණියේ තමාරාත් නන්දනීත් අපූර්වාගේ නිවසට පැමිණ අඩ හෝරාවක් පමණ ගෙවී යද්දීය. යුගාෂ් ඔහුට එහි ගොස් හැසිරෙන ආකාරය කලින්ම පැහැදිලි කර තිබූ නිසා  ජානකට අපහසු වූයේ නැත. කාමර තුනක් , විසිත්ත කාමරයක්, කෑම කාමරයක් හා නාන කාමරයකින් යුතු නිවසකට සැලැස්ම අඳින්නට අවසන ඔහු අපූර්වාත්, තමාරාත් සමඟ එකඟ විය.  පරණ නිවසෙහි වූ කොටස කඩා ඉවත් කරන්නට තීරණය කළේ එහි වාස්තු දෝෂ ඇතැයි සිතුණු  නිසාය. ජානක යනු ඒ පිළිබඳවත් හසළ දැනුමක් වූ අයෙකි.

“උඹ ගිහිල්ලා වැඩේ වන කලේ නෑ නේ..”

යුගාෂ් එසේ ඇසුවේ ජානක ආපසු එද්දීය. තමාරා වරින් වර යුගාෂ්ට අපූර්වාගේ නිවසෙහි සිදුවන දෑ පිළිබඳව පැවසූයේ දුරකතනයෙන්ය.

“නෑ.. නෑ.. උඹ කියපු විදිහටම වැඩේ කරලා ආවා. ඇත්තටම ඇයි බං ඒ…”

“ඇයි බං ඒ කියලා  අහන්නේ..”

“උඹ මේ මොකක්ද කරන්න යන්නේ…”

“ඒ අපේ අම්මගේ හිතවත් නංගි කෙනෙක් බං…” 

“ආ…..අම්මගේ හිතවත් කමට තමයි උඹ දැන් මේ  උදව් කරන්නේ. මං ගැන අගවන්න එපා. නම කියන්නවත් එපා කිව්වේ ඒක නිසා වෙන්න ඇති”

“උඹ ජොබ් එක කරලා ආවනං ඉවරයි නේ. ගාන කියහං. මං එකවුන්ට් එකට ට්‍රාන්ස්ෆර් කරන්නම්.”  

“එහෙනම් ඉතින් උඹ වෙන කාට හරි කියලා ප්ලෑන් එක ඇද ගනින්. උඹට  ඕකෙන් වාසියක් නැත්නම් මේ වගේ වැඩකට අත ගහයිද කීයටවත්. මම දන්නෙ නැද්ද ලෝයර්ලගේ හැටි. සල්ලි දකිනල් වචනේ දත් අස්සේ හිරකරගෙන ඉන්නේ”

“හරි.. හරි.. ඕව අනාගත ආයෝජන කියලා හිතා ගනින්කෝ…”

“ඒකනේ මං කිව්වේ…මචං මට දවස් තුන හතරක් දියං මං ප්ලෑන් එක ඇදලා දෙන්නම්. ඒ කෙල්ල හරි අහිංසක කෙල්ලෙක් බං. උඹ සිරාවටමද මේ කියන්නේ. එහෙම මොනව හරිද..”

“තවම කිසි දෙයක් නෑ…ඉදිරියෙදි මොනව හරි වෙයිද දන්නෙ නෑ”

එහා පස උන් යුගාෂ් උස් හඬින් හිනහ වූයේ  එසේ පවසමින්ය. සිත පුරා උඩුදුවා යන මේ ආගන්තුක සතුට කුමක්දැයි ඔහුට නොතේරේ. මිතුරා පවා අපූර්වා ගැන කතා කලේ පැහැදීමෙන්ය.

“මේ කෙල්ල දඩිබිඩි ගාලා අපිට උයනවා පුතා. දැන් ඉතින් දවල්ට කන්නෙ නැතුව යන්න හම්බවෙන්නේ නෑ.”

මින් සුළු මොහොතකට පෙර කතා කළ අම්මා පැවසූයේ ඒ අයුරින්ය. අපූර්වා  සිටින්නේ සැමගේම සිත් දිනාගෙනය. සැබවින්ම ඈ අපූර්ව යුවතියකි. මේ ජීවිතය පුරා හමු වූ සියලු යුවතියන්ට වඩා විශේෂත්වයක් ඔහු අපූර්වාගෙන්  දුටුවේය. ඒ විශේෂත්වය කුමක් ද යන්න පහදා දීමට අපහසු වුවත්. ඔහු ඇයට ඇලුම් කරමින් සිටියේය. ඒ මින් පෙර කිසි දිනක කිසිවෙකු වෙනුවෙන් ඇති නොවූ හැඟීමකි. 

“මොකද යකෝ තෝ තනියෙන් හිනා වෙන්නේ….”

තීක්ෂණ මිතුරා දෙස හැරුනේ එසේ අසමින්ය. 

“ඔය ලෙඩේ නං එච්චර හොඳ එකක් නෙමෙයි….”

“උඹ ලෝයර් කෙනෙක් මිසක් දොස්තර කෙනෙක් නෙමෙයි  ලෙඩ හොඳ කරන්න. පාඩුවේ  වැඩක් බලාගනින්.”

“දොස්තරලට හොඳ කරන්න බැරි සමහර ලෙඩ තියෙනවා ලෝයර්ලට හොඳ කරන්න පුළුවන්. අරූ ප්ලෑන් එක අඳින්න ගිහිල්ලා එන ගමන් මගෙන් අහනවා මේවා අනාගත ආයෝජන ද කියලා.”

“ඉතින් ඇත්තනේ ඌට එහෙම හිතෙන එක සාධාරණයි. ඇත්තටම යුගාෂ් උඹ ඒ  කෙල්ලට ආදරේ කරනවද.”

“මං හිතනවා බං ඒ හැඟීම ආදරේ තමයි කියලා. එයාව අමතක කරන්න බැරිකමක්. කතා කර කර ඉන්න ආසාවක්. එයාව මගේ ළඟ තියාගන්න ඕනේ කියන හැඟීමක් මට දැනෙනවා බං. එයා එයාගේ ජීවිතේ ගැන වේදනාවෙන් කතා කරද්දි  ඒ වේදනාව මටත් දැනෙනවා. මං හිතනවා බං ඒක ආදරේ කියලා.”

“කවද හරි දවසක අපූර්වා  දැන ගත්තොත් මේ හැමදේම පිටි පස්සේ ඉන්නේ උඹ කියලා.”

“මං නරක දෙයක් කලේ නෑනෙ බං. එයාට උදව් කරන්න මම එක එල්ලෙ ඉදිරිපත් උනොත් එයා කවදාවත් ඒ උදව් බාරගන්නේ නෑ. ඒක මට ඉර හඳ වගේ විශ්වාසයි.”

“තමාරා ආන්ටි ඒ කෙල්ලට අනුකම්පා කරනවා විතරයි බං. කවද හරි දවසක දැන ගත්තොත් උඹ එයාට ආදරේ කරනවා කියලා. ඒ අනුකම්පාව වෙනස් වෙයි.

එවර තීක්ෂණ ඇසුවේ මිතුරා දෙස බලාගෙනය. අපූර්වා කෙතරම් හොඳ  වුවත් මිතුරාට ඈ නොගැලපෙතැයි යන හැඟීමක් ඔහුට විය. 

“අම්මා බබෙක් නෙමෙයි බං. අම්මට සමහරවිට ඊට එහා ගිය දෙයක් තේරෙනව ඇති. මොකද මීට කලින් මම ඕන තරම් මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා බං. හැබැයි  ඒ අම්මව පාවිච්චි කරල නෙමෙයි. මං දන් නෑ අම්මා කොහොම හිතාගෙන ඉන්නවද කියලා. හැබැයි අම්මට යම් දෙයක් දැනෙනවා ඇති මට නොකිව්වට” 

යුගාෂ් පැවසූයේ මද හඬකින්ය. තීක්ෂණ හිස වැනුවේ ඊට එකඟවය. තීක්ෂණ යුගාෂ්ව හඳුනා ගත්තේ අද ඊයෙක නොවේ. මේ පාසල් කාලයේවත්, නීති පීඨයේ උගත් සමයේවත් ප්‍රේම සබඳතාවයක් ඇතිකරගත් අයෙකු නොවේ. එනිසාම මේ යුවතිය ඔහුට කෙතරම් වැදගත්දැයි තීක්ෂණ දැන සිටියේය.

සම්බා බතක්, මාළු ඇඹුල් තියලක්, පරිප්පු ව්‍යාංජනයක් සහ කවලම් පලා මැල්ලුමක් සමඟ  අපූර්වා  කඩිනමින්  සකස් කළ කෑම වේල ඉතා රසවත් එකක් විය. ඇය ඒ කෑම වේල සකස් කරන තුරුම පියසීලි සිටියේ නන්දනීත් අපූර්වාත් සමග කතා කරමින්ය. උදෑසන සිදුවීම අකුරක් නෑර ඕ තමාරා හා පැවසුවාය. 

“අනේ මේ මිනිස්සු පව් කර ගන්නේ මොන ලෝකෙකට ගෙනියන්නද නේද අම්මේ…අර දරුවට ඇවිල්ල පොඩ්ඩක් පණිවිඩය කිව්වනම් එයා ගිහිල්ලා අම්මව එක්කරගෙන එනවනේ.”

තමාරා කම්පා වූයේ සැබෑවටමය. මේ සමාජය තුළ විවිධ මිනිසුන් ජීවත් වන බව ඕ  හඳුනාගත්තේ පුෂ්පානන්ද හා විවාහ වී පැමිණියාට පසුවය. එදවස නානාප්‍රකාර මිනිසුන් ඔහුව  හමුවීමට නිවසට පැමිණේ. උවමනාවෙන් අසා නොසිටියත් ඔවුන් පුෂ්පානන්ද සමඟ කතා කරන දෑ තමාරාට වරින් වර ඇසී තිබේ. ඒවා පුදුම කතන්දරය.

“මට අන්තිමට මැරෙන්නවත් නිදහසක් නැති වුණා නෝනා”

පියසීලී පැවසූයේ සැබෑවටම කම්පා වෙමින්ය. ඒ වියපත් දෑස් වල තිබුණේ පිටාර යන්නට ආසන්න කඳුළකි. 

“අපි හිතපු දේවල්ම ජීවිතේ වෙන්නේ නෑ අම්මේ. මගේ මහත්තයා මාව දාලා ගිහිල්ලා මම දරුවත් එක්ක තනි උනාට පස්සේ අපේ අම්මත් ඔය විදිහටම මං ගැන කම්පා වුණා.”

තමාරා පැවසූයේ පියසීලිගේ දෑත් අල්ලා ගෙනය. අම්මා කෙනෙකුගේ සැනසීම දරුවන්ගේ සතුට බව විශ්වාසය. 

“ඇත්තටම රසයි පුතේ. ඔයාට හොඳ අත් ගුණයක් තියෙනවා.”

තමාරා පැවසූයේ කෑම කන අතරේය. නන්දනීත් ඇයව අනුමත කළේ හිස වනමින්ය. 

“මේ දරුවාගේ අම්මටත් හොඳට උයන්න පුළුවන්. මං ඒ දවස්වල කුස්සියේ වැඩක් නොකරපු ගානයි නෝනා.  උඹ බං බොලං කියාගෙන අඬන්න දොඩන්න හේතුවක් අපිට තිබුණේ නෑ. කටපුරා මට අම්මේ කියලා කතා කරපු කෙල්ල. ඕනෙම ගෑනියෙක් පිට මනුස්සයෙක්ව විශ්වාස කරලා කසාද බැඳලා එන්නේ තමන්ගේ ජීවිතය සතුටක් කරගන්න මිසක් දුකක් කරගන්න නෙමෙයි. මේක සතුට ඉහිරිලා තිබුණු කුරුලු කූඩුවක්. මං නිදහසේ පිනක් දහමක් කරගෙන හිටියා. ඒ සතුට දිහා බලාගෙන” 

“ආච්චි නෝනලාට අපි කන්න දෙමු නේද..”

අපූර්වා එසේ පැවසූයේ පියසීලි දිගින් දිගටම කියවද්දීය.

“අනේ නෑ පුතේ. ආච්චිට කතා කරන්න දෙන්න. ඒ කතා කරන තරමට තමයි ආචිචි සැහැල්ලු වෙන්නේ..ආච්චි කතා කරද්දි මට මගේ අම්මව මතක් වෙනවා. එයාත් එහෙමයි.”

“නෑ.. නෑ.. නෝනලා නිදහසේ කන්න. මට ඉතිං විටින් විටේ ඒවා මතක් වෙනවා.”

“ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකෙ නෑ අම්මේ. එළියට බැහැලා මිනිස්සු සීයක් එක්ක කතා කළොත් ඒ  සීයටම එක එක විදිහේ ප්‍රශ්න ඇති.”

අවසන තමාරා පැවසූයේ පිඟානත් අතින් ගෙන නැගී  සිටින්නට සැරසෙමින්ය. ඇය එපා යැයි පවසද්දීම අපූර්වා  ඉඳුල් පිඟාන සිය දෑත් වලින් අල්ලා ගත්තාය.

“මැඩම් අත හෝද ගන්නකෝ” 

“ඇත්තමයි අද බඩ පිරෙන්න කෑවා පුතේ. අපි දැන් වයසයිනේ  ඒක හින්දා මම කෑම බීම ටිකක් සීමා කරලා තියෙන්නේ. ඒ උනාට අද නම් ඒ ගැන හිතුවේ නෑ. පුතා හිටයනම් මං බැණුනුත් අහනවා නේද නන්දනී.”

තමාරා පැවසූයේ සිනහ මුසුවය. අපූර්වා ඒ මුහුණ දෙස බලා සිටියේ පහන් හැඟීමකින්ය. ඇයට තිබුණේ ගැහැණියකට කලාතුරකින් පිහිටන්නා වූ පෞරුෂයකි. කෙතරම් වේලා බලා සිටියත් එපා නොවෙන තරම්  කරුණාබර දෑස් යුගලකි.

අපූර්වා ආපසු හැරුණේ ඔවුන් හා කඩුල්ල තෙක්ම ඇවිද ගියාට පසුවය. 

“ප්ලෑන් එක හම්බ වෙච්ච ගමන් අපි වැඩ පටන් ගනිමු පුතේ. ඔයා මට හදහනේ ෆොටෝ එකක් ඉක්මනින්ම වට්ස්ඇප්  කරන්න. ඔයාගේ හදහන බලලා අපි සුබ වෙලාවකට වැඩ පටන් ගමු. ඒකට විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවා”

තමාරා පැවසූයේ අපූර්වාගේ හිස අතගාමින්ය. ඇය සැබවින්ම ආදරේ හිතෙනා දරුවෙකි. 

“උඹත් ඔහොමම කාලා හිටින් පුතේ. දුකයි සතුටයි දෙකම එක පාර ලැබෙන අපේ ජීවිත වලට ආයෙ මොන කල දසාවක් එන්න යනවද මන්දා. මං අම්මට කවන්නං උඹ  කාලා හිටින් කෝ..”

පියසීලී කාමරය තුළට ඇතුළු වූයේ බත් පිඟානකුත් බෙදා ගෙනය. අම්මාගේ අතට පිඟාන දුනහොත් ඈ මුළු කාමරය පුරාම බත් විසිකර දමයි. එනිසාම ඇයට බත් කවන්නේ අපූර්වා හෝ පියසීලීය. 

“අම්ම නිකන් දැන් නොතේරෙන පොඩි දරුවෙක් වගේ.” 

අපූර්වා එසේ සිතුවේ වැඩිපුර කවලම් පලා මැල්ලුම්  බෙදා ගන්නා ගමන්ය. 

“මෙන්න කෝල් එකක් ළමයෝ…”

කාමරය තුළ වූ ජංගම දුරකථනය නාද වූයේත් එවේලෙහිය. 

“හේෂානි වෙන්න ඇති” යැයි කියමින් ඕ දුරකථනය අතට ගත්තත් නම සදහන්ව තිබුණේ ‘ලෝයර්’ යනුවෙන්ය. අපූර්වාගේ මුව මත සිනහවක් ඇඳී ගියේ ඇයටත් හොරාය. 

“මොනවද ගෑනු ළමයා මේ වෙලාවේ කරන්නේ..”

එහා පසින් ඒ ගැඹුරු හඬ ඇසෙද්දී අපූර්වා සුසුමක් මුදා හැරියේ දෑස් පියාගෙනය. ඒ ලෝබ හිතෙනා හඬකි.

“හෙලෝ…..”

යුගාෂ් එසේ පැවසුවේ එහාපස වූ නිහඬතාවය නිසාය.

“මම කන්න හැදුවෙ සර්…”

“අනේ සොරි එහෙනම් මම කරදර කළා නේද? ඔයා කාලා ඉන්න.”

“නෑ සර් එහෙම නැහැ. බඩගින්නක් තිබිලා නෙමෙයි. මම අර මැඩම්ලට ලන්ච් එක දුන්නා. මේසේ අස් කරන්න කලින් මමත් කාලා ඉන්න කියලා හැදුවේ..”

යුගාෂ් නිහඬ වූයේ තත්පර කිහිපයකටය. මින් අඩ හෝරාවකට පමණ පෙර අම්මා කතා කරමින් පැවසූයේ අපූර්වා ඉක්මනින් දහවල් කෑම උයා ඔවුනට පිළිගැන්වූ බවයි. 

“ඇත්තමයි පුතේ පුදුම අත් ගුණයක් ඒක. හරිම රස කෑම වේලක්…”

ඈ තවදුරටත් පැවසූයේ අපූර්වාව වර්ණනා කරමින්ය. 

“ෂා.. එහෙනම් ඔයාගේ මැඩම් හරි ලකී.”

“සර් කාලද ඉන්නේ…..”

“තවම නැහැ..දැන් ඔයා හදිසියේම ඉව්වෙ මොනවද කියලා කියන්න බලන්න.”

“හදිසියට ලොකු දෙයක් හදාගන්න බැරි වුනා සර්. මාළු ඇඹුල් තියලුයි, පරිප්පුයි, කවලම්පලා මැල්ලුමකුයි, පපඩම් ටිකකුත් බැදලා ගත්තා.” 

“ඒකට නං කටට කෙළ ඉනුවා අපූර්වා. දන්නවද ඔය මං ආසම මෙනූ එක.”

“සර් ඇත්තම ද ඔය කියන්නේ.”

“ඇත්තමයි…මැල්ලුම් කන්න නං මං ටිකක් හොරයි. ඕකට පොල් සම්බෝලයක් වගේ තිබ්බනම් මරු. දැන් ඉතින් මට මගේ බත් එක කන්න හිතෙන්නෙත් නෑ.  දන්නවනම්  මං කලින් කියල බත් එකක් ගෙන්න ගන්නවා.”

“දවසක මං සර්ට එහෙම හදලා ගෙනල්ලා දෙන්නම්.”

“දැන් ඉතින් හිතයි, බඩයි  අවුස්සලා දවසක ගෙනත් දෙන්නම් කියලා හරියන්නෙ නෑ. ඉක්මනින්ම ගෙනත් දෙන්න වෙයි. ඔය ඉතුරු වෙලා තියෙන දෙයක් අද ඔතා⁣ගෙන ආවත් කමක් නෑ.”

“සර් මට විහිළු කරනවා.”

“විහිළුවට නෙමෙයි මං ඇත්තටම තමයි කිව්වේ.”

“ඇත්තටම බත් එකක් ගෙනත් දෙන්නද සර්…”

“ඔය ළමයට පුළුවන්නම් මං එපා කියන්නේ නෑ. .ත්‍රී වීලර් එකේ එන්න එපා. බස් එකක එන්න. ඇවිත් මට කෝල් එකක් දෙන්න.” 

යුගාෂ් ඉඩ දෙමින් සිටියේ හිතුවක්කාර සිතටය. අපූර්වාව දකින්නට ඔහුගේ සිතෙහි උපන්නේ ලොබකි. 

“මං එහෙම එන්න කිව්වට ඔයාට කරදරයිනේ අපූර්වා.”

“අනේ නෑ සර් මට පැයක් දෙන්න මම එන්නම්.” 

දුරකථනය විසන්ධි කළ අපූර්වා පපුවට අත තබාගෙන හති ඇරියේ වෙහෙස නිසාම නොවේ. ඈ උන්නේ සතුටින්ය. උදෑසන වූ සිදුවීම පවා අපූර්වාට අමතකව ගිය ගණනය. මේ සතුට ඔහු හා බෙදා ගන්නට හේතුවක් පෑදීමම ඇයව පුදුමයට පත්කර තිබිණ. විනාඩි කිහිපයක් ගතවද්දී ඕ පොල් සම්බෝලයක් කොටා ගත්තාය. ඉන්පසු බොහෝ පරිස්සමට බත් පත එතුවේ අලුත් ජීවයක් ලද්දා සේය.

“ආච්චි මම හේෂානි හම්බ වෙන්න යනවා. එයාට තමයි මේ බත් ටික ඔතා ගත්තේ.  ඉක්මනට එන්නම්…”

එසේ පැවසූ යුවතිය නිවසින් පිට වූයේ පියාපත් ලැබ ඉගිල යන්නා සේ සැහැල්ලු වෙන්ය.

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here