(අ)හිමි සිහින -43

අපි උසාවි බංකුවේ එකට ඉඳගෙන හිඳීම නිසා තවත් දෙයක් සිද්ධ වෙලා තිබුණා.අපි දික්කසාද වෙන්නේ කාගේ හෝ උවමනාවකට ද කියලා විනිශ්චකාරතුමා සොයා බලලා තිබුණා.එහෙම සහයෝගයෙන් ඉන්න ජෝඩුවක් දික්කසාදයකට යාම තේරුමක් නැති බව පිටින් බලන අයට නිගමනය කරන්න පුළුවන්.ඇතුළාන්ත කතාව දැන සිටියේ අප පමණයි.

එහෙම වෙනත් කාගේ හෝ උවමනාවට දික්කසාද කළ හැකි බව මමත් දන්නවා.මගේ පළමු දික්කසාද එවැනි අවස්ථාවක්.නමුත් මෙය එවැනි අවස්ථාවක් නෙමෙයි.අපි හොඳින් සිතා බලා ගත් තීරණය වෙනස් කරන්න මට කිසිසේත් ම උවමනා වුණේ නැහැ.මගේ වාසනාවට ඒ තීරණය වෙනස් කරන්න අසංක උත්සාහ කළෙත් නැහැ.

“පවුල් උපදේශනයකට යොමු වෙලා බලන්න.”

හොඳින් කතා බහ කරමින් මිතුරු කමින් ඉන්න යුවල වෙන් නොකර නැවත එකතු කරන අභිප්‍රායෙන් උසාවිය එහෙම යෝජනාවක් අපට ගෙනාවා.නමුත් මම එය තරයේ ප්‍රතික්ෂේප කළා.සිත් තැවුල් ඇති වෙන්වීමට දාහක් හේතු ඇති සමහර යුවලවල් උපදේශනයකින් අනතුරුව වඩාත් යහපත් පවුල් ජීවිත ගත කරන ආකාරය මමත් දැක තිබෙනවා.ඔබේ smart lady සමූහය මගින් බිඳුනු රිදවුම් ලබන ගැහැනුන්ව වහ වහා උපදේශනයට යොමු කරන ආකාරය මම බලා සිටින්නේ බොහොම ආදරයකින්.එවැනි තැන් ඒ කාලේ අපිට තිබුණා නම් මම වුණත් අවුරුදු හතක් තිස්සේ කිසිම තේරුමක් නැති කසාදයක ගිලී හිඳින එකක් නැහැ.ඒ තේරුමක් නැති ජීවිතේ නිර්නාමික සටහනක් මගින් ඔබට ඔබට ලියා එවන ආකාරයත් වහා ගැලවී පලා යා යුතු ආකාරය ඔබ මට කියන හැටිත් මට මැවී පෙනෙන තැන් ඕනෑ තරම්.

මම උපදේශනය ප්‍රතික්ෂේප කළා.මට අවශ්‍ය වූයේ දික්කසාදය ලබා ගන්න.

අසංක ඔහුගේ කාරය මිලට ගන්න කලින් අපි දිගටම නඩු වාර සඳහා ගියේ මගේ තාත්තගේ වාහනයෙන්.කොහොමටත් අසංකට මෝටර් රථයක් ලැබුණා කියලා ඔහු සමග රැඳෙන්න මට උවමනාවක් තිබුණෙ නැහැ.මගේ තාත්තා මාව වාහනවලින් රට හැ වලින් රට හැම තැනම එක්කන් ගිය දවස් ඕනෑ තරම් මගේ අතීතයේ තිබුණා.වෙන එකක් තියා අසංකගෙ අම්මා සහ තාත්තවත් විවිධ සංචාර රැගෙන ගියේ මගේ තාත්තා.ඒ නිසා අසංකට දේවල් ලැබුණා කියලා ඔහුත් එක්ක රැඳෙන්න මට තුන් හිතකවත් උවමනාවක් තිබුණෙ නැහැ.එහෙත් මේ මනුස්සයා මේ කාර් එක ණය වෙලා මිලට ගැනීම ගැන නම් මට තිබුණේ දුකක්.තව කිහිප දිනයකට පස්සේ ඔහුගේ දුක බෙදා ගන්න මාත් ඔහුත් එක්ක නෑ.දැඩි ණය අර්බුද ආපු වෙලාවට සියදිවි නසාගන්න ඕනෑ කියලා පවා අසංක කියපු හැටි මම සිහිපත් කළා.

couple fight

“ඔයා ජීවත් වෙන්න ඕනේ කෙනෙක්. විකාර හිතන්න එපා.ඕන දෙයක් වුනත් මම ඔයාට ඉන්නවා අපි එකතුවෙලා මේ ප්‍රශ්න වලින් ගොඩ යමු..”

ඔහුට එහෙම කියපු හැටි මට අමතක නැහැ.නමුත් මම ඔහුත් එක්ක හිටියට ඔහු මාත් එක්ක හිටියේ නැහැ.ඒ හේතුව තමයි අපි වෙන් කරපු එකම හේතුව.

ආදරය බිඳුවක් හෝ ලැබෙනවා නම් ආපහු පෙරළා සාගරයක තරම් ආදරයක් දෙන්න ගැහැනියක් සූදානම්.ආදරය සහ රැකවරණයත් තමන්ව දරා ගැනීමත් සහකාරයෙකුගෙන් මහ හුඟක් බලාපොරොත්තු වෙන ගැහැණු ආදරය නැති ලෝකයක රැඳෙන්න කැමති වෙන්නේ නැහැ.

ආදරේ! ඒ අපිව ජීවත් කරවන ප්‍රාණ වායුව කියන මම තදින්ම විශ්වාස කරනවා.

ජීවිතේ එක් පරිච්ඡේදයක් අවසන් කරමින් මගේ දික්කසාද නඩුවේ අවසාන දිනය උදා වුණා.

“මේ කතාව ඉවර වෙන්නත් කිට්ටු ඇති කියලා දැන් අපිව කියවන අයට හිතෙනවා ඇති.”

දෙවෙනි විවාහයෙන් මං දික්කසාද වෙන තැනට ආවහම smart lady කණ්ඩායම මට කියනවා.ඔව් ඔබ මේ කතාව කියවන්නේ ආසාවෙන්.මං ගැන අනුමාන ඉදිරිපත් කරන්නේ ආසාවෙන්.ඉතින් කොටස් හතළිස් ගාණක් තිස්සේ මම කියන කතාව දැන් අවසන් වෙන්න කිට්ටුයි කියලා ඔබට හිතෙනවා ඇති.

“ඔයාට කතා කරන්න ආස හිතෙනවා”

Woman alone and depressed at seaside

smart lady පිටුවට මට එහෙම පණිවිඩ එවපු අයත් ඉන්නවා.ඔව්! ළඟදිම දවසක ඔබත් එක්ක කතා කරන්න මම කැමතියි.ගෑනු අපට බෙදා ගන්න ඕනේ තරම් සමාන අත්දැකීම් තියනවා.අපි හෙමින් සැරේ කතා කරමු.

හැබැයි මගේ කතාව ඉවර වෙන්න ලඟයි කියල හිතන්න එපා.මේ මොහොතෙත් මං ඒ කතාවෙ පිටු ලියමින් ඉන්නේ.ඔබ තව මේ කතාවෙන් හතරෙන් එකක් වත් කියවල නෑ කියලා මට හිතෙනවා.දවසින් දවස හිතාගන්න බැරි තරම් වෙනස් වුණු මගේ ජීවිත කතාවෙ පිටු තවත් එහෙමමයි.

එහෙමනම් අපි හෙටත් හමුවෙමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles