සැමියාගේ ආදරය නොලැබීම නිසා වේදනාවට පත් බිරිඳක්.

ජීවිතය රඳා පවතින්නටත් ජීවිතය සුන්දර වෙන්නටත් අත්‍යවශ්‍ය දේවල් අතරේ ආදරයට තියෙන්නෙ ඉහළම තැනක්.විවාහයෙන් ආදරය මිය යනවා කියන කතාව සමාජයේ ප්‍රසිද්ධ වෙන්න හේතුව ඇත්තටම එහෙම වුණු පවුල් අනන්ත නිසා.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක වන රත්නා පුෂ්පකුමාරි මහත්මිය අද කියන්නේ ආදරය මිය ගිය විවාහයක් ගැන.

ජීවන්ති සහ කුසල් විවාහ වුණේ ආදර සම්බන්ධතාවයකින්.බොහෝ දෙනෙකුට වගේ ඔවුන්ටත් තිබුණේ පිටතට පෙනෙන සර්ව සම්පූර්ණ ජීවිතයක්.පාසල් යන වයසේ දුවෙක් සහ පුතෙක් ඉන්න ජීවන්ති වඩාත්ම පෙළීමට ලක් වූ කාරණාවක් තිබුණා.ඒ ආදරය අහිමි ලෝකයක් ඇය වටා නිර්මාණය වීම.

කුසල්ගේ ආදරය තිබුණේ නිදි යහනට පමණයි.

කුසල් පුතාටත් දුවටත් බත් කවනකොට ජීවන්ති ගිහින් බත් කටක් ඉල්ලුවාම කුසල් ඇය දිහා බලන්නේ නුරුස්නා විදියට

“ඇයි අත කැඩිලද? පොඩි උන් දෙන්නට වඩා හුරතල් වෙන්න එපා ජීවා.මොන මල කෝලමක්ද?”

ඔහු එහෙම බනින්න පුරුදු වෙලා හිටියා.ඔහු බොන තේ එකේ උගුරක් ඉල්ලීම, ටීවී බලද්දී කුසල් අසලින් අසුන් ගැනීම කුසල්ව පුදුම විදියට කෝපයට පත් කළා.

කුසල්ට වෙනත් සම්බන්ධතාවයක් නැති බව ජීවන්ති සොයාගත්තා.ඔහු කිසිම අඩුවක් ඇයට කරන්නෙත් නෑ.ආර්ථික ගැටලු ඇති බොහෝ කාන්තාවන් සමඟ බලද්දී ඇය ගෙවන්නේ සියල්ල පිරුණු ජීවිතයක්.නමුත් වැදගත්ම දේ ආදරය ඇයට ලැබෙන්නේ නෑ.

ජීවන්තිට උෂ්ණාධික රෝගයක් වැළදී සිරුරේ බිබිලි හට ගැනීමක් වෙන්නේ ඔය කාලයේ.ඇය පිටේ රෑෂ් එකකින් පීඩා විඳිනවා.ඉතින් එවැනි වෙලාවට ඇය කොන්ද ටිකක් කසන ලෙස කුසල්ගෙන් ඉල්ලුවත් “බෙහෙත් ගන්න සල්ලි දෙනවනෙ, මල කෝලං කියවන්න එපා කියමින්” ඔහු ඇයට බැන වදිනවා. ජීවන්ති කොන්ද කසන උපකරණයක් මිලට ගන්නේ මේ නිසා.

“තමුසෙ මේකෙන් තිස්සෙම කහන්නෙ මට පේන්නද? ” ඉන්පස්සේ කුසල් ඒ විදියට බනින්න පටන් ගන්නවා.මෙය දිගින් දිගටම පැවතුණොත් තමන්ට ආතතිය ඇති වෙන නිසා ජීවන්ති ප්‍රතිකාර සඳහා යොමු වෙනවා.

උපදේශනය ප්‍රතික්ෂේප කල කුසල්ට රත්නා මහත්මිය අමතන්නේ දුරකථනය හරහා.”ගෑනුන්ගෙ හිතලු” ගැන කෝපයට පත් ඔහුට කාන්තාවකට ආදරය අවශ්‍ය තරම වටහා දෙන්න රත්නා මහත්මිය ක්‍රියා කරනවා.

ඊට සති කිහිපයකට පසු රත්නා මහත්මිය හමුවෙන කුසල් කියන්නේ

“ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ දැන්.මං ඔෆිස් ඉවර වෙලා ගෙදර යන්නෙත් පුදුම සතුටකින්.අපි අලුතෙන් විවාහ වුණා වගේ හැඟීමක මම ඉන්නෙ” කියලා.

අප කියවන හිතවත් ස්වාමි පුරුෂයන්ට මේ කතාව හරහා වටහා ගන්න තිබෙන්නේ මෙන්න මේ කාරණාවයි.

ඔබ මිල අධික බොජුන් හලකින් ඇණවුම් කරන ආහාරයට වඩා ඔබත් සමඟ මුළුතැන්ගෙයට වී පිසින ආහාරයකින් සතුටු වෙන්න බිරිඳ කැමතියි.ඔබ මිල අධික හෝටලයක නිවාඩුව සැලසුම් කරත් හැම රාත්‍රියකම ඔබේ උරහිසේ හිස තබා ටෙලි නාට්‍යයක්, වීඩියෝ එකක් බලන්න ඔබේ බිරිඳ කැමතියි.විවාහ වී දරුවන් ලැබුණත් කාලයකට පෙර ඔබ අසලට වී පෙම්බස් දෙඩූ පෙම්වතිය තවමත් ඈ තුළ ඉන්නවා. ඔබ ඉතා සක්‍රීය ලිංගික ජීවිතයක් පවත්වා ගන්න යුවලක් වෙන්න පුලුවන්.ඔබ යහනේදී ඇය ඉතා සතුටට පත් කරන්නෙක් විය හැකියි.නමුත් ඇයට ආදරය උවමනා නිදි යහන මත පමණක් නෙවෙයි.ජීවිතයේ සෑම මොහොතකම ඔබේ ආදරය විඳින්න ඇය මහත් ලෝබකමක් දක්වනවා.

අහඹු හාදුවක් හෝ වැලඳ ගැන්මක්,ඇය උයද්දී පොඩි අත් උදව් දීමක්,ඇගේ උකුලට හිස තබා රූපවාහිනිය නරඹන හවසක්, ඔබේ තේ කෝප්පයෙන් කොටසක් ඇයට ඉතිරි කිරීමක්, බත් කටක් කැවීමක් ඔබ බොළඳ දෙයක් ලෙස දකිනවා ඇති.ඒත් ගැහැනියකට ඒ විශාල ආදරයක්.ඒ නිසා සෑම තත්පරයකම ආදරය කරන්න.බැඳෙන්න.

හිතවතියනි, ඔබේ සැමියාට ආදරය කරන්න අමතක වී ඇතිනම් ඔබ වෙනුවෙන් ලියූ සත්‍ය කතාවක් ඇතුළත් මේ සටහන ඔහු සමඟ බෙදා ගන්න.

ආදරයම ඉතිරේවා.

Related Articles

Don't Miss


Latest Articles