“අම්මේ.. අම්මේ…….”
අමායා උස් හඬින් කෑ ගැසුවේ තම කාමරයේ සිටමය. සුළඟට වැටෙන කොළයකටත් කලබල වෙන තරමට තැතිගෙන උන් නන්දා දියණියගේ කාමරයට දිව ආවේ අඩියට දෙකටය. ඒ පසු පස ඇගේ සැමියාත් විය. අමායා උන්නේ කාමරය මැද්දේ සිටගෙන දෑත් ඉනට තබාගෙනය. ඒ දෑස් කාමරය වටා සැරිසරන්නට වූයේ සමනුත්, නන්දාත් පුදුමයට පත් කරමින්ය. දියණිය දැන් කාමරයෙන් පිටතට පැමිණෙන්නේ කලාතුරකින්ය. ඕ මේ දරා සිටින්නේ ලෙහෙසි පහසු දුකක් නොවන බව විශ්වාසය.
“ඇයි දරුවෝ…”
“අම්මේ මගේ ෆෝන් එක නැහැ.”
“ෆෝන් එක කොහේ යන්නද ඔයා තිබ්බ තැනක ඇති.”
“අනේ නෑ අම්මේ හැම තැනම හෙව්වා. මං මේ කාමරෙන් පිට කොහෙවත් ෆෝන් එක තිබ්බේ නෑ.”
අමායාගේ හඬ හැඬුම් මුසු විය.
“එහෙම නැති වෙන්නේ කොහොමද? අපි තුන්දෙනා විතරනේ මේ ගෙදර ඉන්නේ. කලබල වෙන්නෙ නැතුව ටිකක් හොයන්න ළමයෝ”
“හැම තැනම හොයලා තමයි මං අම්මට කතා කළේ. ඉඳිකටු තුඩක් ගානට හෙව්වා.”
“ඒක හරි පුදුම කතාවක්නෙ දූලයි තාත්තේ. මොකද පිටින් මනුස්සයෙක් ඇවිල්ල ඕක ගෙනිච්චද…”
“මං නාන්න යන්න කලින් නදීෂාත් එක්ක කතා කලා. ඊට පස්සේ ෆෝන් එක චාජ් එකට ගහලා මෙතන තියලා ගියේ අම්මේ.”
අමායා සිය දඹර ඇඟිල්ල දිගු කර පෙන්වූ දෙසට නන්දාත්, සමනුත් හැරුනේ එකම වරකය. ස්විචයට සම්බන්ධ කර තිබූ චාජරය එලෙසම වුවත් දුරකථනය එහි වූයේ නැත.
“ඒක හරි පුදුම වැඩක්නේ…”
සමන් කාමරයෙන් පිටවූයේ අඩියට දෙකටය. අඩක් සාදා නිමකර තිබූ නිවසේ ඉදිරිපස දොර මින් හෝරාවකට පමණ පෙර වසා දැමූ බව ඔහුට විශ්වාසය. නන්දා උන්නේ මුළුතැන් ගෙය තුලය. දියණිය එළිමහනේ ඉටි කොළ වලින් වටකර ඇති නාන කාමරයේ සිට නිවස තුළට පැමිණෙන අයුරු සමන් හොඳටම දුටුවේ ඊට මදක් එහාට වන්නට පොල් ලෙලි ගසමින් උන් නිසාය. නිවසේ දොර සම්පූර්ණයෙන්ම ඇර දමා තිබෙන අයුරු ඔහු දුටුවේ විසිත්ත කාමරයට පැමිණියාට පසුවය.
නිවැසියන් පිටුපස කොටසෙහි හෝ කාමරවල සිටීනම් ඉදිරිපස දොර වසා තැබීමේ පුරුද්ද ඇතිවූයේ මෑතකදීය. පොඩි උන් දෙදෙනා සිටියදී ඔවුන් බොහෝ විට රැඳෙන්නේ විසිත්ත කාමරයේ හෝ නිවසින් පිටත මිදුලේය. කුෂ්ඨ රෝගය සෑදුණු බල්ලෙකු එහේ මෙහේ සැරිසරමින් සිටින්නේ තමනට ආරක්ෂිත නවාතැනක් සොයමින්ය. දෙවරක් තුන්වරක්ම ඔහු කාමරවලට වැදී ඇඳන් යට රිංගාගෙන සිටියදී සොයා ගත්තේ අමුතු පිළී ගඳක් ඒ කාමර තුළින් හැමූ නිසාය.
“නන්දා ඔයාද මේ දොර ඇරියේ..”
එවර සමන් ඇසුවේ තමා පසුපස පැමිණ සිටින බිරිඳගෙන්ය.
“නෑ… මං පිටිපස්සේ හිටියේ ඉස්සරහට ආවෙම නෑ. අමායා ඇරියෙත් නෑ නේද.”
“නෑ අම්මේ….”
“එහෙනම් කවුරුහරි ඇවිල්ලා තියෙනවා…ඔය ෆෝන් එක ගෙනියන්නම බලාගෙන”
“හත් දෙයියනේ….”
“මට හොඳට මතකයි මම දොර වහලා ගියා කියලා. ඔය දෙන්නගෙන් එක්කෙනෙක් දොර ඇරියේ නැත්තං මේක මෙහෙම ඇරෙන්න විදිහක් නැහැනේ. අනිත් එක අමායට මතකයි නං ෆෝන් එක චාජර් එකට ගහලා ගියේ කියලා ඒක එතන නැති වෙන්න විදිහකුත් නෑ.”
“අනේ තාත්තේ කවුද ඒක ගෙනිච්චේ…..”
“ගෙනිච්චෙ සමහරවිට ඒක වුවමනා මනුස්සයෙක් වෙන්න ඇති. නන්දා මගේ ෆෝන් එක කුස්සියේ තිබුණා. ඒක අරං ඇවිල්ලා ලෝයර් මහත්තයට කෝල් එකක් ගන්නකෝ.”
“තාත්තේ…මේ අර…”
“අපේ ගෙවල්වල අරන් යන්න වටින බඩු මුට්ටු නෑ කියල මිනිස්සු දන්නවා දරුවෝ. මේ ජීවිතේට හොරෙක් හතුරෙක් ආපු ගෙදරක් නෙමෙයිනේ. ඔයා නාන්න යද්දි ගලවල තියපු චේන් එකත් මම දැක්කා මේසෙ උඩ තියෙනවා. හොරෙක් ආවානම් ගෙනියන්නෙ චේන් එක මිසක් ෆෝන් එක නෙමෙයි..”
“ආ මෙන්න…..ෆෝන් එක වදිනවා…මහත්තය උසාවියෙද දන්නේ නෑ.”
“කතා කරන්න පුලුවන් තැනක ඉන්නවනම් කතා කරාවි නේ…”
යුගාෂ් ඇමතුම හා සම්බන්ධ වූයේ දෙවරක් තුන් වරක් දුරකථනය නාද වූවාට පසුවය. එවේලෙහි ඔහු උන්නේ අපූර්වා මුණ ගැසීමට යාමේ සූදානමින්ය.
“මහත්තයා මං අර අමායගේ තාත්තා. අර නඩුව..”
“ඔව්..අම්මා එයාගේ තාත්තා කියන්න..”
“මහත්තයා දුවගේ ෆෝන් එක නෑ.”
“නෑ කිව්වේ..”
“මගේ පවුල කුස්සියේ උය උයා හිටියේ. දුවත් නාගෙන ගේ ඇතුලට ආවට පස්සේ තමයි ෆෝන් එක නෑ කියලා දන්නෙ. අමායා නාන්න යන්න කලින් ෆෝන් එක චාජර් එකට ගහලා ගිහිල්ලා තියෙන්නේ.”
“ගේ ඇතුලේ හොඳට බැලුවද..”
“ඔව් මහත්තයා නැති බව විශ්වාසයි. මං ඉස්සරහ දොර වහල තමයි පිටිපස්ස පැත්තට ගියේ. දොරත් ඇරලා දාලා තිබුණා.”
“තාත්තා එහෙනම් කලබල වෙන්නෙ නැතුව අමායත් එක්ක පොලිසියට යන්න. වෙන මොකුත් අවශ්‍ය නැහැ. කවුරුවත් සැකයි කියලා කියන්නත් අවශ්‍ය නැහැ. ෆෝන් එක නැති වෙලා කියලා විතරක් පොලිසියෙ ඇන්ට්‍රියක් දාන්න. කාමරය ඇතුලේ තිබිලා තමයි නැති වුනේ කියලා ඇත්තම කියන්න. වෙන කිසිම දෙයක් කියන්න අවශ්‍ය නෑ. අපිට ඕනේ ෆෝන් එක නැති උනා කියල ඇන්ට්‍රියක් දාන්න විතරයි. ඊට පස්සේ ඒ ඇන්ට්‍රි කොපි එක ගන්න.”
“හොඳමයි මහත්තයා මේක අරුන්ගේ වැඩක් වෙන්න ඇති.”
“මං ඒක බලාපොරොත්තු උනා තාත්තේ. ඒ ෆෝන් එකේ තිබුණු හැම දෙයක්ම මගේ ළඟ තියෙනවා. ඒ නිසා කිසිම දේකට බයවෙන්න එපා. අමායට චුට්ටක් ෆෝන් එක දෙන්නකෝ..”
සමන් තමා අසල සිටින දියණිය දෙසට ජංගම දුරකථනය දිගු කළේය. ඈ උන්නේ හඬමින්ය.
“සර්……”
“අමායා දැන් තාත්තත් එක්ක පොලිසියට යන්න. ඔයාගේ කාමරේ චාජර් එකට ගහලා තිබුණු ෆෝන් එක නැති වෙලා කියලා විතරක් ඇන්ට්‍රි එක දාන්න. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් කියන්න අවශ්‍ය නෑ. ඔයාගේ ළඟ ඔය ෆෝන් එක ගෙනාපු බොක්ස් එක තියෙනවද.”
“තියෙනව සර්…”
“ආ ඒක ඇතුලේ තියෙනවා නම්බර් එකක්. ඔයා ඒකත් අරගෙන යන්නකෝ. ඊට පස්සෙ කරන්න ඕන දේවල් තාත්තා කියයි. කිසිම මොහොතක කිසිම කෙනෙක් සැකයි කියන එක අඟවන්න යන්න එපා. හොරෙක් ඇවිත් ඔයාගේ ෆෝන් එක ගෙනිහිල්ලා. එච්චරයි. තේරුණා නේද…”
යුගාෂ් පැවසූයේ පැහැදිලි හඬකින්ය. ඒත් සමඟම ඔහුගේ මුවෙහි සටහන් වූයේ අවඥා සහගත සිනාවකි.
“උඹ ඒකට පරක්කු වැඩි දයාල්…..”
එසේ පැවසූයේ සිතය. දුරකථනයට සමුදුන් ඔහු නැගී සිටියේ සිය ලැප්ටොප් පරිගණකය වසා දමමින්ය.
“නිලේකා…මං ඔයාට ෆයිල් එකක් දුන්නා නේද ලෑන්ඩ් රෙජිස්ට්‍රේෂන් එකෙන් චෙක් කරන්න කියලා. ඒ වැඩේ කොහොමද.”
“සර් මං ඒක යවලා තියෙන්නේ. අර සර්ගේ යාළුවටත් මම කතා කළා. හෙට දවස දෙන්න කියලා කිව්වා. චෙක් කරලා කතා කරන්නම් කිව්වා සර්.”
“ඒ ෆයිල් එක මට දෙන්න……”
තීක්ෂණ කාර්යාලයට ඇතුළු වූයේ යුගාෂ් වාහනයේ යතුර අතට ගනිද්දීය.
“උඹ කොහේ යන්නද මේ හදන්නේ?..”
“මචං පොඩි හදිස්සියකට එළියට යනවා.”
“උඹට මේ ඊයේ පෙරේදා ඉඳලා මාර හදිසි තමයි තියෙන්නේ. දැන් උඹ මට කිව්වා නේද හවසට අර බෝට්ටු කේස් එක ගැන ඩිස්කස් කරනවා කියලා.”
“මචං මම කීයට හරි උඹේ ගෙදරට එනවා.”
“උඹට මීට කලින් නඩු ගැන ගෙවල්වල කතා කරන සිරිතක් තිබුනේ නෑනේ. මෙච්චර ලොකු ඔෆිස් එකක් තියාගෙන මොකටද අපි අනුන්ගෙ නඩු ගෙවල් වලට ගෙනියන්නේ.”
“උඹටත් ඉතින්..මොකක් හරි කමක් නෑ කොනක් අල්ල ගත්තහම..”
“දැන් උඹ ඔය කන්නෙත් නැතුවද යන්නේ…මං කන්න ආවේ.”
“කන්න තමයි යකෝ යන්නේ….”
“අර කෑම එක තියෙන්නේ මේසේ උඩ..”
“අද ඒක එපා….අද වළලු දාපු අතකින් මට කෑම එකක් හම්බ වෙනවා.”
“ආ…එච්චර දුර දිග ගිහිල්ලද….ඉදහං මං ආන්ටිට කියන්න මීට පස්සේ නන්දනීගේ අතටත් වළලු දාන්න කියලා. අන්න පංචාලිට උඹව හම්බ වෙන්න ඕනෙ කියලා කිව්වා.”
“පංචාලි මට කතා කළා බං. මං ඒ වෙලාවේ පොඩි වැඩක හිටියේ. ඇයි දන් නෑ හදිසිය.”
“උඹට කියන්න ඕන එක මට කියලා වැඩක් නෑ කියලා කිව්වා..”
“හරි බං මං පංචාලිට හවසට කතා කරන්නම්. උඹ එහෙනම් මේ වැඩ ටික බලහන්කො. මට පැයයි බං ඕනේ පැයයි…”
“අනේ මන්දා ඉතින් හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් තමයි….”
යුගාෂ් කාර්‍යාල කාමරයෙන් පිට වූයේ සිය මිතුරාගේ බඩට පහරක් ගසාගෙනය.
“නන්දනීගෙ කෑමත් නරකම නෑ. උඹට ඕන නම් කන්න පුළුවන්.”
ආපසු හැරී වීදුරු දොර ඇරි යුගාෂ් පැවසූයේ සිනහ සරින්ය.
“වරෙන්කෝ තෝ…කොහොමත් උඹට ඔහොම ගිහිල්ලා කන්න තමයි වෙන්නේ..”
තීක්ෂණ එසේ පවසද්දීත් යුගාෂ් සිටියේ තම වාහනය අසලය.
කළු පැහැ ඩෙනිම් කලිසමකුත් අහස් නිල් පැහැති ටී ෂර්ටයකුත් ඇදගත් යුවතිය උන්නේ බස් නැවතුමේය. තත්පර කිහිපයක් ඈ දෙස බලා උන් යුගාෂ් මදක් එහාට වන්නට වාහනය නතර කර ඇය දෙසට ගියේ ඇවිදගෙනය.
“ගොඩක් වෙලාද ඔයා ඇවිත්….”
“අහ්…නෑ සර්. විනාඩි පහක් විතර ඇති.”
“මං කරදර කලා නේද…”
“අනේ නෑ සර්. මේක මට සතුටක්.”
“හැබැයි ඉතින් මම කෑම එක කනකල් ගෑනු ළමයට ඉන්න වෙනවා.”
“සර් ඔෆිස් එකට ගෙනියන්නේ නැද්ද…”
“එච්චර කාලෙ නාස්ති කරන්න බෑ වගේ. මේ චුට්ටක් ඉස්සරහා බීච් එක ලඟ බෙන්ච් වගයක් තියෙනවා. අපි එතැනට යමුද..”
“එහෙම කන්න පුලුවන්ද සර්ට…සර් වගේ කෙනෙක්”
“එහෙම කෑවොත් කැවෙන්නෙ නැද්ද….හැමදාම අපූර්වා මට ට්‍රාන්ස්පෝර්ට් දුන්නනේ. අද මගේ වාහනේ යමු..කෝ දෙන්නකො බෑග් එක..අනික මට ඔයා එක්ක බොහෝම වැදගත් කාරනයක් කතා කරන්න තියෙනවා”
යුගාෂ් එසේ පැවසූයේ ඈ අතැඟිලි වලින් එල්ලාගෙන උන් කහ පැහැති කුඩා බෑගය අල්ලා ගන්නට තම දකුණත දිගු කරමින්ය.
“නෑ සර්…එක බර නෑ මම ගන්නම්….
ඉස්සර වූයේ යුගාෂ්ය. අපූර්වා ඒ පසු පසින් වැටුණේය. පුදුමයනම් ඇයට බියක, සාංකාවක සේයාවක්වත් නොදැනීමය. හුරු පුරුදු රැකවරණයක් යට නතරව සිටිනවාවන් හැඟීමක් ඇගේ සිතට දැනෙමින් තිබිණ. යුගාෂ් අපූර්වාට සමාන්තර වූයේ පාර පනිද්දීය. එපමණක් නොව මදක් එහාට වන්නට නතර කර තිබූ වාහනය අසලට ඇවිද යන ගමනේදී ඇයව පාර අයිනට කළ යුගාෂ් අනික් පසට මාරු විය. ඒ සෑම විටකම යුවතිය ඔහු දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය.
එහෙත් මේ සියල්ල දෙස බලා සිටින තවත් දෑසක් වූ බව දෙදෙනාම දැන සිටියේ නැත.
(හෙටත් හමු වෙමු ආදරයෙන්)